Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහසේ සැරිසරන ඇලිගේටරයා හෙවත් කමෝව් KA 52 හෙලිකොප්ටරය

ජාත්‍යන්තර මිලිටරි හෙලිකොප්ටර් රෙගුලාසි වලට අනුව රුසියාව විසින් නිර්මාණය කරන ලද යුධ පිටියේ පියාඹන ඇලිගේටරයා ලෙස ප්‍රසිද්ධ කමෝව් KA 52 (KAMOV KA 52) නම් ප්‍රහාරක හෙලිකොප්ටරය එරට විසින් දැනට නිෂ්පාදනය කර තිබෙන අති නවීනතම හා හොඳම ප්‍රහාරක හෙලිකොප්ටරයයි. ලෝකයේ දැනට නිපදවා ඇති ප්‍රහාරක හෙලිකොප්ටර් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන තිබෙන මෙම අධි බලැති හෙලිකොප්ටරය සන්නද්ධ හා සන්නද්ධ නොවී ඇති භූමි ඉලක්ක හා අඩු වේග ගුවන් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබෙනවා.

Kamov නිර්මාණ කාර්යාංශය විසින් 1996 වසරේ දෙසැම්බර් මාසයේදී මෙහි නිර්මාණ කටයුතු ආරම්භ කරන අතර 1997 වර්ෂයේ ජූනි මාසයේදී පළමු ගුවන්ගත කිරීම සිදු කරනවා. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ යුධ අහසේ තම ආධිපත්‍ය පතුරවන බලවත් රුසියානු ඇලිගේටරයා පිළිබඳව සටහනක්.

කළු මෝරා වැඩිදියුණු කර නිපදවූ ඇලිගේටරයා

කමෝව් KA 50 (කළු මෝරා) (Wikipedia)

සියළු කාලගුණික තත්වයන් හමුවේ දිවා රාත්‍රී දෙකේම එකලෙස සාර්ථක මෙහෙයුම් සිදුකළ හැකි අයුරෙන් කමෝව් KA 52 හෙලිකොප්ටරය නිෂ්පාදනය කිරීමට රුසියානු කමෝව් ගුවන් යානා නිෂ්පාදන කාර්යාංශය (Kamov) සමත් වෙනවා. ඒ වගේම එය KA 50 ප්‍රහාරක හෙලිකොප්ටරයේ වැඩිදියුණු කිරීමක් ලෙසද හැදින්විය හැකියි. නමුත් එහි ඉදිරිපස කොටස ද්විත්ව ආසන සහිතව ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.(KA 50 හෙලිකොප්ටරයේ ඇත්තේ එක් ගුවන් නියමු අසුනක් පමණයි)

KA 52 යානය පුළුල් නාසයක් සහිත වන අතර එය නියමු කුටියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉවහල් වෙනවා. KA 50 යානයේ දකින්නට ලැබෙන මිලිමීටර් 30 ස්වයංක්‍රිය අවි හා දෘඩ පරාස එලෙසින්ම මෙම යානයේත් දකින්නට ලැබෙන අතර මෙම හෙලිකොප්ටර් යානා දෙකේම ඇති ප්‍රධාන විශේෂත්වය වන්නේ ගුවන් ගත වීම සඳහා එක් භ්‍රමක තලයකට (Rotor blade) ඉහළින් පිහිටන ලෙස තවත් භ්‍රමක තලයක් නිර්මාණය කර තිබීමයි.

මෙම විශිෂ්ට ගණයේ රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටරය ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද AH-64D Apache හෙලිකොප්ටරය හා කරට කර තරඟ කළ හැකි නිර්මාණයක් ලෙස හදුන්වන්නට පුළුවන්.

හෙලිකොප්ටරයේ විශේෂත්වය

පියාඹන ඇලිගේටරයා ලෙස ප්‍රසිද්ධ කමෝව් KA 52 (Pinterest)

හෙලිකොප්ටරයේ බාහිර රැඳවුම් ගබඩා හයක් පිහිටා තිබෙන අතර ඒවා ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල (air to air), ගුවනේ සිට ගොඩ බිමට එල්ල කරන මිසයිල (air to land), රොකට්ටු හා යුධ ටැංකි නාශක (Anti-Tank) මිසයිල ගබඩා කිරීම සඳහා යොදා ගනු ලබනවා.

ගුවන් ඉලක්ක හා භූමි ඉලක්ක සඳහා වෙන් වෙන් වශයෙන් රේඩාර් පද්ධති දෙකක් යානයේ සවිකර ඇති අතර දිවා රාත්‍රී තාප නිරීක්ෂණ පද්ධති, නියමු කුටියට ඉහළින් හා යානයේ නාසයට පහලින් කුඩා කුටි දෙකක ස්ථාපිත කර තිබෙනවා. හෙලිකොප්ටරයට සවිකර තිබෙන ඉලෙක්ට්‍රොනික උපකරණ හේතුවෙන් සතුරු රේඩාර් පද්ධති වලට හසු නොවී ගමන් කළ හැකියි. ඊට අමතරව හෙලිකොප්ටරය සතුව Facelift image Replacement, Laser range finder හා Target designator වැනි රූපවාහිනී පද්ධතීන් සමන්විත වෙනවා.

ඇලිගේටර් යානයට බලය සපයනු ලබන්නේ ක්ලිමොව් ටර්බෝෂාෆ්ට් ( Klimov VK-2500 turboshaft engines) නම් අශ්ව බල 2,400ක අධි බලැති එන්ජින් යන්ත්‍ර දෙකක් මගිනුයි. එමෙන්ම ඇලිගේටර් යානයට පැයට කිලෝමීටර 310කට අධික වේගයක් ලබාගැනීමට හැකියාව පවතිනවා. යානය දිග මීටර් 13.5ක් ද පළල මීටර් 4.50ක් හා උස මීටර් 4.9 ක්ද වෙනවා. කමෝව් KA 52 යානයට වරකදී කිලෝග්‍රෑම් 10,800ක බරක් ගුවන් ගත කළ හැකියි. තත්පරයට මීටර් 10ක වේගයකින් මීටර් 3600ක උන්නතාංශයකට ගමන් කිරීමේ හැකියාව පවතින අතර අවම ගුවන් අවකාශයක් තුළ අවම කාලයකදී ප්‍රහාර එල්ල කරන හෙලිකොප්ටර් අතරින් ප්‍රමුඛ ස්ථානයක් මෙම ඇලිගේටර් යානය විසින් අත්කරගෙන සිටිනවා.

ගුවන් නියමුවන් විසින් පළදින හෙල්මට්(Topowl) මගින් ඉලක්ක නිරීක්ෂණය කල හැකි වන අතර ඉලක්ක හදුනා ගැනීම, හදුනාගත් ඉලක්ක දර්ශනය කිරීම හා ඉලක්ක වලට පහරදීම ස්වයංක්‍රීයව සිදුවන අතර අවශ්‍ය විටක එය ගුවන් නියමුවාගේ පාලනය යටතට ගත හැකියි. Built-in control mechanism මගින් යානය ස්වයංක්‍රීයව පාලනය කිරීමට නියමුවාට අවස්ථාව උදාකර දෙනවා.

ඇලිගේටරයාගේ අවි පද්ධතිය

අවි පද්ධතිය (Pinterest)

ලේසර් කිරණ ආධාරයෙන් ප්‍රහාර එල්ල කළ හැකි යුද ටැංකි නාශක AT-9 Atala මිසයිල 12ක් හා AT-16 Vikhar වර්ගයේ මිසයිල 8ක්ද, ගුවනේ සිට පොළවට ප්‍රහාර එල්ල කල හැකි (air to surface) B8V-20 වර්ගයේ රොකට් විදින දෙකක් බාහිරෙන් සවිකර ඇති අතර ඒ මගින් S-8 මිලිමීටර් 80 මිසයිල නිකුත් කළ හැකියි. තවද යානය වෙත එල්ල වෙන ප්‍රහාරක මිසයිල වලින් ආරක්ෂා වීමට විද්‍යුත් ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා.

යානයෙන් නිකුත් වන Vikhar වර්ගයේ මිසයිලයකට කිලෝමීටර් 10 –15ත් අතර පොළවේ පිහිටි ඉලක්ක සාර්ථකව විනාශ කල හැකි අතර හෙලිකොප්ටරට බාහිරින් පිහිටා ඇති ගුවනේ සිට ගුවනට විදිය හැකි Igla රොකට් විදින දෙක මගින් නිකුත් කරන Igla මිසයිල මගින් අනෙක් සතුරු ප්‍රහාරක යානාවන්ට බරපතල ලෙස හානි සිදුකල හැකියි.

නියමු කුටිය ඇතුළත (HowlingPixel)

යානයේ පිටත රවුමේ දකුණු පසින් මිලිමීටර් 30 Shipunov 2A42 වර්ගයේ ස්වයංක්‍රිය අවියක් සවිකර තිබෙන අතර එමගින් මීටර් 1500ක් දුරින් භූමියේ ඇති ඉලක්කයකට සාර්ථකව පහර දීමේ හැකියාව පවතිනවා.

ගුවන් සටන් සඳහා විශේෂ හැකියාවක් දක්වන කමෝව් KA 52 විසින් හෙලිකොප්ටර් යානාවට මෙම අවිය උපයෝගී කරගනිමින් මීටර් 2500ක් පමණ ඉහළින් ගමන්කරන හෙලිකොප්ටර් යානාවන්ට ප්‍රහාර එල්ල කළ හැකියි.

ලොව පුරා ගගන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූ ඇලිගේටර් යානය යුධ මාධ්‍යයන්ගේ විශේෂ අවධානයකට ලක් වූ හෙලිකොප්ටරයක්. ඕනෑම අවස්ථාවක දරුණු ප්‍රහාර එල්ල කරමින් සතුරු රේඩාර තරංග අවුල් කර සතුරාට බරපතල හානි සිදුකළ හැකි පියාඹන ඇලිගේටරයා සමකාලීන හෙලිකොප්ටර අතර විශිෂ්ටයෙක් ලෙස හැදින්විය හැකියි.

ප්‍රහාර (Wallpaper Abyss – Alpha Coders)

2011 වසර වන විට රුසියානු ගුවන් හමුදාව මෙම හෙලිකොප්ටර් 140කට වැඩි ගණනක් ඇනවුම් කර තිබෙනවා. මේ වන විට ඊජිප්තු ගුවන් හමුදාවද කමොව් KA 52 ප්‍රහාරක හෙලිකොප්ටරය භාවිතා කරනවා. ත්‍රස්තවාදයට එරෙහිව රුසියාව විසින් සිදු කරන මෙහෙයුම් වලදී කමෝව් ප්‍රහාරක හෙලිකොප්ටය විශාල කාර්යක් ඉටු කරනවා.

කවරයේ ජායාරූපය – Pinterest

Related Articles