සදා සමරමු නිදහස් අධ්‍යාපනයේ පියා

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදියට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර යන වචනය සවනත වැකුණු විගසම අපට සිහිවෙන්නේ ඔහු නිදහස් අධ්‍යාපනයේ පියා බව යි. එහෙත්, ඒ සඳහා එතුමා පැමිණි මාවත සුවපහසු රෝස මල් යහනාවක් නොවේ. අප්‍රතිහත ධෛර්යයත් නොසැලෙන වීර්යයත් ඔස්සේ දැයේ දරුවන් උදෙසා එතුමා විසින් කරන ලද අපමණ සේවාවට නිසි ලෙස ඇගයීමක් වී නැහැ. එතුමාගේ උපන්දිනය යෙදී ඇති ඔක්තෝබර් 13 වනදා කන්නන්ගර දිනය බව නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබන මෙන්ම, ඵල නෙලා ගත අය පවා දන්නේදැ යි සැක සහිත යි.

1884 දී ඔක්තෝබර් 13 වැනි දින මෙලොව එළිය දුටු කන්නන්ගර, ගාල්ල රිච්මන්ඩ් විදුහලේ දිප්තිමත් ශිෂ්‍යයෙක්. වරක් පාසැලේ පැවැත් වූ ත්‍යාග ප්‍රදානෝත්සවයක දී කන්නන්ගරගේ දිනා ගන්නා ත්‍යාග දැක “ඔබේ තෑගී ගෙන යන්නට කරත්තයක් ගෙනාවේ නැද්ද?” යි විදුහල්පතිවරයා අසා තිබෙනවා. 1904 දී ගණිත ගුරුවරයෙකු ලෙස එම විද්‍යාලයටම සම්බන්ධ වූ එතුමා පසුව මොරටුව වේල්ස් කුමර විදුහලේ හා වෙස්ලි විදුහලේ ද දරුවන්ගේ නැණ නුවණ පාදා දීමට හැකියාව ලැබෙනවා.

පසුකාලීනව අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික ව්‍යාපාරය හා සම්බන්ධ වූ තරුණ කන්නන්ගර, සර්. ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ආතර් වී. දියෙස් සමග උරෙනුර ගැටී කටයුතු කළා. විශේෂයෙන්ම 1915 දී ඉංග්‍රිසීන් විසින් පනවන ලද යුධ නීතීය මඟින් පීඩාවට පත් වූ නායකයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නීතීඥ කන්නන්ගර ඉදිරිපත් වුණා. ඉන් ලද පන්නරය ඔස්සේ 1923 ගාල්ල සඳහා පැවති අතුරු මැතිවරණයේ දී එතුමා විශාල වැඩි ඡන්ද ප්‍රතිශතියකින් ව්‍යවස්ථාදායක සභාවට පත් වුණා. 1924 දී නැවත වරක් එම අසුනටම එතුමා තේරී පත් වූයේ දෙගුණයකටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකිනුයි.  

1931 දී ඩොනමෝර් කොමිසම මඟින් ව්‍යවස්ථා සභාව වෙනුවට සර්ව ජන ඡන්ද බලය හරහා පිහිටුවන ලද ජාතික මන්ත්‍රණ සභාවට එතුමා පත්වෙනවා. එවකට පැවති ඩොනමෝර් ක්‍රමය අනුව, පත් වූ සියලුම මන්ත්‍රීවරුන් විධායක කමිටුවලට පත් කරන ලද අතර, එම කමිටුවල සභාපතිවරයා එම විෂයෙහි ලා අමාත්‍යවරයා වුණා. අධ්‍යාපන කමිටුවේ සභාපතිවරයා වූයේ කන්නන්ගර මහතා යි. එමෙන්ම කන්නන්ගර මහතා ජාතික මන්ත්‍රණ සහාවේ ජාතික ඇඳුම ඇඳි පළමු ඇමතිවරයා ද වුණා. 

එතුමා ජාතික ඇඳුම භාවිතා කළේ බොහෝ කළු සුද්දන් මෙන් අසරණ මිනිසුන්ගේ ඇස්වලට වැලි ගසා තම පටු දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමට නොව, එතුමා තුළ පැවති සැබෑ ජාතික අභිලාෂයන් මුදුන්පත් කරවීමට බව එතුමා විසින් ගෙන එන ලද 1939 අංක 31 දරණ අධ්‍යාපන ප්‍රඥප්තිය සාක්ෂි දරනවා. හුදු ප්‍රඥප්තිවලින් තම අත් සෝදා ගැනීම ඉවත හල එතුමා, තම අභිලාශයන් සාක්ෂාත් කරනු වස් ලාංකීය අධ්‍යාපනයේ ගුණාත්මක තත්තවය මෙන්ම ගොඩනැගිලි ආදි පහසුකම්වල සැබෑ තත්ත්වය වාර්තා කිරීම සඳහා කන්නන්ගර මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා. ජාතියට සදාකාලික වටිනාකමක් දීමේ අරමුණින් එම කමිටු වාර්තාවේ නිර්දේශ 1943 දී ඉදිරිපත් කළා. එම නිර්දේශ අනුව යමින් 1944 දී මැයි මස 30 වෙනිදා අධ්‍යාපන සංශෝධන ආඥා පනත ඔස්සේ නිදහස් අධ්‍යාපන යෝජනා මන්ත්‍රණ සභාවට කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුණා.

එම යෝජනාවලිය, කන්නන්ගර මහතා පැය හයකට අධික කාලයක් තිස්සේ පැවති ඓතිහාසික කතාවක් හරහා රාජ්‍යය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා. වර්තමානයේ හරසුන්, මඩ ප්‍රහාර පිරි පාර්ලිමේන්තු කතා අපමණව අසා ඇති අපට කන්නන්ගර මහතාගේ ඒ මනරම් කතාව කිසියම් වෙනසක් ගෙන එනු නොඅනුමාන යි.

එතුමා සිය දීර්ඝ කතාව ආරම්භ කරන්නේ තෝමස් ග්‍රෙරේ නම් වූ ප්‍රසිද්ධ කවියාගෙ කවියකින්.

“නොයෙනා හිරු රැස් සිඳු ගැබ පතුළට

අගනා මිණි කැට අදුරේම සැගෙවෙද

පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත

හමනා සුළෙඟින් වනෙයෙම පරවෙත”

“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.”

ඇත්තටම නූගත්කම යනු අවස්ථා අහිමි වීමකි. ඈත ගම් දනව්වල අවස්ථා අහිමි දිළිඳු දරුවන් නඟා සිටවිය හැක්කේ අධ්‍යාපන අවස්ථා ලබාදීමෙන් බව කන්නන්ගර මහතා දැඩිව විශ්වාස කළා.

කෙසේ වෙතත්, මෙම ප්‍රගතිශීලී නිදහස් අධ්‍යාපන යෝජනා සඳහා බාධක වැට කඩුලු බොහෝමයක් එල්ල වුණා. ගමේ බත් බැලයන්ට අධ්‍යාපනය දුන් විට ගස් නගින්නේ අපිදැ යි ඇසූ ජාතික විරවරයෝ මෙන්ම, කන්නන්ගරට එලව එලවා පහර දුන් මාධ්‍ය එකල බොහෝ තිබුණා. එහෙත් කන්නන්ගර මහතාට  හේරත්නායක, ඊ.ඒ. නුගවෙල, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක යන මන්ත්‍රණ සභා සභිකවරුන්ගේ සහායත් ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහාය ලැබුණා. මේ පනතට තම පුද්ගලික ලාභ අපේක්ෂාවන් මත එරෙහිව සිටි අයට ද කන්නන්ගර මහතා සිය කතාවේ දී කාරුණික ආයාචනයක් කිරීමට පසුබට වූයේ නැහැ. 

“ගරු සභිකවරුනි, එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුවා මා එන විට ගඩොලින් බැඳ තිබු රෝමය වෙනුවට ඉතිරි කොට ආවේ කිරි ගරුඬෙන් තැනූ රෝමයකි. අන්න ඒ වගේ අප යන විටත් මිල අධික අධ්‍යාපනය මිල බැස්සුවා ය. වසා මුද්‍රා තබන ලද අධ්‍යාපන විවෘත ලිපියක් බවට පත් කළා ය. ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපන දිළින්දන්ගේ දායදයක් පත කළායැ යි උදම අනන්න පුළුවන් නම් එය කොයි තරම් අගේදැ යි”

යනුවෙන් එතුමා ඔවුන්ගේ හෘද සාක්ෂිය අවදි කළා. ඒ අනුව 1945 ජූලි මාසයේ දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ අතර, දහසක් දූ දරුවන්ගේ හා දෙමාපියන්ගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් එම වසරේ ඔක්තෝම්බර් මස පළවෙනිදා සිට එය බලාත්මක කෙරුණා.

මෙම පනත හරහා අපේක්ෂිත ප්‍රධාන අරමුණු හා ඉලක්ක කිහිපයක් වනවා.

  1. බාලාංශ (දැන් පළවෙනි ශ්‍රේණිය) පන්තියේ සිට විශ්වවිද්‍යාල දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීම. මෙය අඩු ආදායම් ලබන දිළිඳු පවුල්වල දරුවන්ට සිය ජීවිත වෙනස් කිරිමට ලැබුණු මහඟු උදව්වකි.
  2. ප්‍රාථමික පාසැල්වල අධ්‍යාපනය මව් භාෂාව මඟින් පැවැත්වීම. හදවතේ භාෂාව මවිබස යි. චින්තන හැකියාවන් දියුණු කළ හැක්කේ මව් භාෂාව හරහා අධ්‍යාපන ලබාදීමෙන් බව වරක් ජවහල්ලාල් නේරු ද පවසා ඇත.
  3. තුන්වන පන්තියේ සිට ඉංග්‍රීසි අධ්‍යාපන ලබා දීම. සිංහල පමණක් යන ජනප්‍රිය මතය දේශපාලකයන්ට ඡන්දය ලබා ගැනීමට හොඳ මාතෘකාවක් වුවද, විවිධ භාෂා හැදෑරීම අධ්‍යාපනයට අත්‍යවශ්‍ය කරුණක් බව සක්සුද සේ පැහැදිලි ය. ඒ අනුව කන්නන්ගරයන් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම හරහා සුපිරි පන්තියට වෙන්කර තිබූ ඉංග්‍රීසි අධ්‍යාපනය මේ රටේ සාමාන්‍යය දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබිණි.
  4. මධ්‍ය පාසැල් ක්‍රමයක් බිහි කිරීම. රට පුරා රාජකීය විදුහලට ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක අතින් සමාන පාසැල් ක්‍රමයක් බිහි කිරීම මෙහි අරමුණ විය. එතුමාගේ කාලයේ මධ්‍ය විද්‍යාල 54කි. අද ජනප්‍රිය පාසැල් කර දරුවන් දක්කන තරගය එදා දිවැසින් දුටු කන්නන්රයන්ගේ ඒ පාසැල ව්‍යාපෘතිය වැඩි දියුණු කළේ නම්, දරුවන් ඉපදීමටත් පෙර ලිපින හොයා මුදල් මෙන්ම වෙනෙකුත් අපුල දනවන අල්ලස් දීමට දෙමාපියන්ට අද දිනයේ සිදුනොවනු ඇත.
  5. දරුවාගේ “හිස, හදවත හා දෑත්” වර්ධනය වන විෂය මාලාවක් හඳුන්වා දිය යුතු අතර, දරුවාගේ යහපැවැත්ම සඳහා බුද්ධිය සහ ප්‍රායෝගික හැකියාව පිළිබඳ අධ්‍යාපනය අවශ්‍යය වේ. ඇත්ත වශයෙන්ම පනතේ වඩා වැදගත් ඉලක්කය මෙය යි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ අනිටු ප්‍රතිඵල අප අද සමජයක් ලෙස ළඟා කරගනිමින් හෝ ළඟා කරගෙන හෝ සිටී.

කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන යෝජනාවල ප්‍රතිඵලයන් වැඩි කල් නොගොස්ම ළඟා කරගත් බව දත්තවලින් මනාව පිළිබිඹු වෙනවා. 1931 දී 89%ක් වූ පාසැල් නොගිය ළමුන් ගණන 1947 දී 37%ක් දක්වා පහළ බැස්සා. 1967 දී විශ්වවිද්‍යාල ළමුන්ගෙන් 76%ක්ම ගම්බද ළමුන් වීම පැහැදිලිව කියාපාන්නේ කන්නන්ගර ප්‍රතිපත්ති ඔස්සේ අධ්‍යාපනය ගමට ගලා ගිය ආකරය යි.

1931 සිට 1947 දක්වා වසර 16ක් අධ්‍යාපන ඇමති ධුරය ද 1936-1947 මතුගම ආසනයේ මන්ත්‍රීවරයා ද වූ කන්නගර මහතා, 1947 පැවති අතුරු මැතිවරණයෙන්, විල්මට් ඒ. පෙරේරාට පරාජයට පත්වුණා. විල්මට් ඒ. පෙරේරා ඡන්ද 19,000ක් පමණ ලබා ගනිද්දී, කන්නන්ගර මහතාට ලැබුණේ ඡන්ද 16,000 පමණයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් එතුමා, ලංකාවේ පළමු පෞද්ගලික විශ්වවිද්‍යාල වූ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ අයිතිකරුට පරාජයට පත් වීම දෛවයේ සරදමකි. එහෙත් විලමට් ඒ. පෙරේරාගේ ශ්‍රීපාලි, වර්තමාන පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන් තම මඩි තර කරගැනීම මූලික පරමාර්ථය කර නොගත් බව පැවසිය යුතුම යි. ඉන්පසුව 1952 දී පැවති මහ මැතිවරණයේ දී අගලවත්ත ආසනය ජයග්‍රහණය කළ එතුමා නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වෙන්නේ දෙගුණයකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. එහෙත් ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වන්නේ ඩි. එම්. බන්ඩා යි. කන්නන්ගරයන්ට හිමි වන්නේ පළාත් පාලන ඇමතිධුරය යි. ඔහුට අධ්‍යාපන ඇමතිධුරයට රජයේ බොහෝ දෙනෙක් විරුද්ධ වී ඇති අතර, ඒ එතුමාගේ සේවය තවදුරටත් ගම් දනව් කරා යාමෙන් බමුණු කුලවලට විය හැකි බරපතල තර්ජනය පහසුවෙන් එසේ වළකා දැම්මා. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන පනතේ අයිතිය බොහෝ පක්ෂ සින්නකර ලියා ගැනීමට, දේශපාලනික වාසි ලබා ගැනීමට උත්සුක වුවද කන්නන්ගර මහතාට අත් වූ ඉරණම කණගාටුදායක යි.

ඊටත් වඩා තත්ත්වය ඛේදවාකයක් වන්නේ කන්නන්ගර ප්‍රතිපත්තියැ යි මොර දෙමින්, එතුමාගේ නමින් මහජන මුදල් කාබාසිනියා කරමින් ස්වයං-අභිෂේක ලැබීම යි. දැයේ දරුවන් නඟා සිට වූ කන්නන්ගර නාමය ඔක්තොබර් 13 වෙනිදාටවත් මේ රටේ දරුවන්ගේ සිහියට නැගෙන්නේ නම්, එය මේ උදාර ලාංකීය පුරුෂයාට කරන අවම ගෞරවය යි.

උපුටා ගැනිම්:

ජයලත් මනෝරත්න ‘ගුරු තරුව’ වේදිකා නාට්‍යයෙන්

මැතිවරණ කොමිසම

Related Articles