කේම්බ්‍රිජ් සරසවියේ KGB ඔත්තුකරුවෝ

කේම්බ්‍රිජ් සරසවිය බ්‍රිතාන්‍යයේ ප්‍රධානම සරසවි කිහිපයෙන් එකක් බව අපි දන්නවා. එයට ඇතුළ් වීමට වාසනාව ලැබීම සාමාජ තත්ත්වය හෝ දක්ෂතාව පිළිබඳ සාධකයක්. ඉතින්, සාමාන්‍ය විශ්වාසය නම් ධනවත් සහ බලවත් පවුල්වල දරුවන් මෙහි අධ්‍යාපනය ලබන බව යි. මේ අය කොමියුනිස්ට් ඔත්තුකරුවන් වේයැ යි බලාපොරොත්තු වීම තරමක් අසීරු දෙයක්.

එහෙත් 1930 දශකයේ දී කේම්බ්‍රිජ් සරසවියෙන් කොමියුනිස්ට් ඔත්තුකරුවන් පිරිසක්ම බිහි වුණා. මේ කිසිවකු ඔවුන් කළ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් දඬුවම් වින්ඳේ නැහැ. එමෙන්ම ඔවුනගේ කටයුතු නිසා, විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය අවසානයේ පමණ සිට 1950 දශකය මුල දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා විසින් සෝවියට් කඳවුර සම්බන්ධව කළ කිසිදු වැදගත් ඔත්තු මෙහෙයුමක් සාර්ථක නොවූ බව විශ්වාස කෙරෙනවා. බටහිර රටවල මොවුන් හඳුන්වනු ලැබූයේ “කේම්බ්‍රිජ් පස්දෙනා” (The Cambridge Five) යනුවෙන්. සෝවියට් KGBය ඔවුන්ව හඳුන්වා දුන්නේ “විශිෂ්ටයින් පස්දෙනා” (The Magnificent Five) යනුවෙන්.

කේම්බ්‍රිජ් පස්දෙනා

කේම්බ්‍රිජ් පස්දෙනා ලෙස ප්‍රකට වූ මෙම පිරිසෙන් වඩාත්ම ප්‍රසිද්ධ චරිතය වූයේ හැරල්ඩ් ඒඩ්‍රියන් රසල් ෆිල්බි හෙවත් කිම් ෆිල්බි යි. ඔහුගේ පියා තානාපති නිලධාරියකු සහ අරාබි විශේෂඥයකු වුණා. ඩොනල්ඩ් මැක්ලේන්ගේ පියා ද ප්‍රකට ලිබරල් දේශපාලකයකු වූ අතර 1918 – 20 සමයෙහි බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා වුණා. ගයි බර්ජස්ගේ පවුල ද ධනවත් එකක් වුණා. ඇන්තනි බ්ලන්ට්ගේ පියා ඉංග්‍රීසි පල්ලියේ පූජකයකු වුණ අතර මෙම පස්දෙනා අතුරින් සාමාන්‍ය පවුලකින් පැමිණි අයකු වූයේ ජෝන් කේන්ක්‍රොස් පමණ යි. කේන්ක්‍රොස් ඉතා දක්ෂ සිසුවකු ලෙස ප්‍රකට වුණා.

කිම් ෆිල්බි (PA)

1930 දශකයේ යුරෝපයේ දේශපාලනය අවුල් සහගත තත්ත්වයක තිබුණා. 1929 මහා ආර්ථික අවපාතයත් සමග විරැකියාව ඉහළ ගිය අතර යුරෝපා රටවල් ගණනාවක ෆැසිස්ට්වාදය ශක්තිමත් වුණා. මේ අවස්ථාවේ ඇතැම් තරුණයින්ගේ අදහස වූයේ ෆැසිස්ට්වාදයේ නැගීම වැළැක්වීමේ හැකියාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට නොමැති බව යි. ෆැසිට්වාදයට එරෙහිව සටන් කළ හැක්කේ සෝවියට් දේශයට පමණකැයි හැඟීමක් ඔවුන් අතර ඇති වුණා. කේම්බ්‍රිජ් පස්දෙනා ද අයත් වූයේ එම කාණ්ඩයට යි.

සරසවියෙන් පිට වූ පසු ෆිල්බි ඇතුළු පිරිස විවිධ රැකියාවන්ට ඇතුළ් වුණා. ෆිල්බි 1937 දී “ද ටයිම්ස්” පුවත්පතෙහි වාර්තාකරුවකු ලෙස ස්පාඤ්ඤ සිවිල් යුද්ධය වාර්තා කිරීම සඳහා එම රට වෙත පිටත් වුණා. ඔහු එහිදී දක්ෂ වාර්තාකරුවකු ලෙස නමක් දිනා ගත්තා. එමෙන්ම බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන් සමග ද සබඳතා වර්ධනය කරගත් ඔහු තමන් දන්නා තොරතුරු සෝවියට් ඔත්තු සේවය වෙත ලබා දීමට වුණා.

ඔහු ස්පාඤ්ඤය වෙත පිටත්ව ගොස් ස්වල්ප කලකින් ෆිල්බි අනතුරකට මුහුණ දුන්නා. ඔහු ගමන් කළ රථයට සමූහාණ්ඩුවාදී පක්ෂය විසින් භාවිතා කළ සෝවියට් දේශයේ නිපදවන ලද උණ්ඩයක් පතිත වුණා. ඔහු සමග සිටි තිදෙනා මියගියත් ෆිල්බි හිසෙහි තුවාල සහිතව ජීවිතය ගලවා ගත්තා.

ඉන් මාස තුනකට පසු ෆැසිස්ට් නායක ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ විසින් ෆිල්බි වෙත පදක්කමක් ප්‍රදානය කළා. රහසිගතව ෆ්‍රැන්කෝට එරෙහි කඳවුර වෙනුවෙන් සේවය කරන ෆිල්බි වෙත ෆ්‍රැන්කෝ විසින්ම පදක්කමක් ලබා දීම දෛවයේ සරදමක් මෙන් වුණා.

මේ අතර ගයි බර්ජස් ද බීබීසී ගුවන් විදුලිය සමග සම්බන්ධ වී සම්මුඛ සාකච්ඡා ආදී වැඩටහන් ඉරිදිපත් කළා. ඔහු මෙහිදී දේශපාලකයින් ඇතුළු ඔහුගේ රහසිගත කර්තව්‍යය සඳහා වැදගත් පුද්ගලයින් සමග සබඳතා ගොඩ නගාගත්තා. එමඟින් ඔහු විවිධ තොරතුරු ලබාගැනීමට හැකියාව වර්ධනය කරගත්තා.

බ්‍රිතාන්‍ය ඔත්තු සේවයට බැඳීම​

1930 දශකය අවසන් වන විට යුරෝපය යුද්ධයක් කරා ගමන් කරමින් සිටියා. මෙවැනි අවස්ථාවක් සඳහා බ්‍රිතාන්‍ය දේශීය ඔත්තු සේවය වූ MI-5 හෝ විදේශයන්හි බුද්ධි කටයුතුවල යෙදුණ MI-6 ඔත්තු සේවය සූදානමින් සිටියේ නැහැ. ඔවුනට පිරිස් බලය ප්‍රමාණවත් වූයේ නැහැ.

මේ වනවිට ගයි බර්ජස් තමන් ගොඩ නගාගෙන සිටි සබඳතා හේතුවෙන් දේශපාලන ලෝකයේ පිළිගත් චරිතයක් වුණා. එක් අතකින් ජන මාධ්‍ය ක්ෂේත්‍රයේත් ඔහු චරිතයක් වූ අතර එහෙයින් ද සබඳතා ගොඩනැගී තිබුණා. මේ අතර​, පොදු සමාජයේ එතරම් කතාබහට ලක් නොවූ තවත් හේතුවක් නිසා ද ඔහු වැදගත් සබඳතා ගොඩ නගාගත්තා. බර්ජස් සමරිසියකු වූ අතර සමරිසි ප්‍රජාව අතර ඔහුට මිතුරන් සිටියා.

ගයි බර්ජස් තරුණ වියේදී (Steven Runciman)

යුරෝපයේ වෙනත් රටවල ප්‍රධාන දේශපාලකයන් සමග වැදගත් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා ඔහුව යොදාගනු ලැබුණා. මේ අතර ඔහු විසින් සිදුකළ යුරෝපා සංචාරවල දී ලද තොරතුරු බර්ජස් විසින් MI-6 ආයතනය වෙත ද ලබා දුන්නා. සිය කටයුතු සඳහා පිරිස සොයමින් සිටි MI-6 ආයතනය ඔහුට 1939 දී නිත්‍ය නතතුරක් ලබා දුන්නා. ස්වල්ප කලකට පසු ඔහු කිම් ෆිල්බිව ද එම ආයතනයේ කටයුතු සඳහා බඳවා ගැනීමට සමත් වුණා.

බර්ජස් සහ ෆිල්බි තමන්ට ලැබුණ තොරතුරු සෝවියට් NKVDයට ලබා දුන්නා. මේ අතර බ්‍රිතාන්‍ය ස්වදේශ ඔත්තු සේවාව වූ MI-5 තුළට වෙනත් ඒජන්තයකු ඇතුළත් කරගැනීමට NKVDය සමත් වුණා. ඒ ඔත්තුකරුවා වූයේ ඇන්තනි බ්ලන්ට්.

ඇන්තනි බ්ලන්ට් (Getty Images)

බ්ලන්ට් මුලින්ම බුද්ධි සේවා සඳහා ඉදිරිපත් වන විට ඔහුව ප්‍රතික්ෂේප කෙරුණේ ඔහුගේ වාමාංශික අතීතය හේතුවෙන්. කේම්බ්‍රිජ්හි සිටින අතර ඔහු වාමාංශික කටයුතුවල යෙදී තිබුණා. චිත්‍ර කලා ඉතිහාසඥයකු වූ බ්ලන්ට් සිය මිතුරකුගේ නිර්දේශය මත MI-5 වෙත බඳවා ගනු ලැබුණේ මේ අතර යි.

බ්ලන්ට් MI-5 ඇතුළත සිට දේශීයව බ්‍රිතාන්‍ය ඔත්තු සේවා විසින් කරන ලද කටයුතු පිළිබඳ NKVDය දැනුවත් කළා. MI-5 ආයතනය වෙත ඔත්තු සපයන සෝවියට් නිලධාරියකු පිළිබඳ තොරතුරු සැපයීම​, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයට එරෙහි කටයුතු පිළිබඳ තොරතුරු ලබා දීම ආදිය ඔහු විසින් කරන ලද ප්‍රධාන කාර්යයන් අතර වුණා.

කෙසේ වෙතත් ලෝක යුද්ධය සමයේ දී සෝවියට් බුද්ධි අංශවලට වැදගත්ම සේවයක් සැපයූවේ මේ එක් අයකුවත් නොව ජෝන් කෙයර්න්ක්‍රොස් විසිනුයි. කෙයර්න්ක්‍රොස්ට ඉහළ සමාජයේ සබඳතා නැති වුණත්, ඔහු ගණිතය පිළිබඳ විශේෂ කුසලතාවක් දැක්වූවකු වූයෙන්, ජර්මන් රහස් කේතයන් බිඳින කණ්ඩායමට එක් කරගනු ලැබුණා. මේ අනුව ජර්මන් රහස් පණිවිඩ පිළිබඳ සෝවියට් බලධාරීන් දැනුවත් කිරීමට ඔහුට හැකි වුණා. මෙහිදී නැගෙනහිර පෙරමුණේ ජර්මන් හමුදා සේනාංකවල ගමනාගමනයන් පිළිබඳ තොරතුරු ඔහු විසින් සෝවියට් දේශය වෙත යවනු ලැබුණා. මෙම විස්තර​, විශේෂයෙන්ම කුර්ස්ක් සටනේ දී සෝවියට් රතු හමුදාවට ඉතා වැදගත් වූ බව විශ්වාස කෙරෙනවා.

තම කටයුතු පිළිබඳවම ඔත්තු සැපයීම

දෙවන ලෝක යුද්ධය අවසාන වූ පසු එතෙක් එක් පිළක සටන් වදිමින් සිටි සෝවියට් දේශය සහ බ්‍රිතාන්‍යය එකිනෙකාගෙන් ඈත් වුණා. මේ සමගම MI-6 ඔත්තු සේවය විසින් සෝවියට් දේශය සහ කොමියුනිස්ට් කඳවුරේ අනෙකුත් රටවලට එරෙහිව රහස් ඔත්තු සේවා කටයුතු ක්‍රියාත්මක කළා. මේ සඳහා MI-6 ආයතනය තුළ වෙනම “9 වන අංශය​” නමින් අංශයක් ද පිහිටුවනු ලැබුණා. කුමක් දෝ හේතුවකට කිම් ෆිල්බි එම අංශයටම අනුයුක්ත කරනු ලැබුණේ එහි ප්‍රධානියා ලෙස යි.

මීළඟ වසර කිහිපය තුළ සෝවියට් කඳවුරට එරෙහිව කරන ලද සියළු රහස් මෙහෙයුම් පිළිබඳව තොරතුරු ෆිල්බි විසින් NKVDයට ලබා දෙන්නට ඇතැයි විශ්වාස කළ හැකියි. ඒ අතරම බ්‍රිතාන්‍ය ඔත්තු සේවා සඳහා තොරතුරු සැපයූ සෝවියට් නිලධාරීන් පිළිබඳවත් ඔහු සෝවියට් ඔත්තු සේවා වෙත තොරතුරු ලබා දුන්නා.

ඇල්බේනියාවේ කොමියුනිස්ට් පාලනය පෙරළා දැමීම සඳහා සන්නද්ධ සටන්කාමීන් එරටට යැවීමේ මෙහෙයුම මෙසේ ෆිල්බි විසින් පාවා දෙන ලද්දක්. මෙම සටන්කාමීන් පැරණි ඇල්බේනියානු රාජාණ්ඩුවට පක්ෂ වූ අය යි. ඔවුන් මෝල්ටාවේ දී පුහුණු කර ගොඩබිමින්, මුහුදින්, සහ ගුවනින් ඇල්බේනියාව වෙත යවනු ලැබුණා. මේ සියළු දෙනා ඇල්බේනියානු සන්නද්ධ අංශ අතට පත් වුණා. මෙහිදී අල්ලාගත් පිරිස 300 ක් පමණ වන්නට ඇතැයි සඳහන් වනවා.

ඩොනල්ඩ් මැක්ලේන් 1937 දී (Daily Mail)

1945 අගෝස්තුවේ තුර්කියේ කොන්සල්වරයා ලෙස පත් වූ සෝවියට් නිලධාරී කොන්ස්තන්තින් වොල්කොෆ් මෙසේ ෆිල්බි විසින් පාවා දුන් අයකු වුණා. වොල්කොෆ් තමා සතුව වූ තොරතුරු ලබා දෙන පොරොන්දුව පිට බ්‍රිතාන්‍යයේ රැකවරණ සහ මුදල් ත්‍යාගයක් ඉල්ලා සිටියා. ඔහු සඳහන් කර තිබුණේ විදේශ සේවයේ නිරත සෝවියට් ඔත්තුකරුවන් දෙදෙනකු පිළිබඳ ඔහුට තොරතුරු ලබාදිය හැකි බව යි. නමුත් ෆිල්බි විසින් මෙම තොරතුරු සෝවියට් ඔත්තු සේවය වෙත ලබා දුන් අතර ඔහුව සෝවියට් දේශයට රැගෙන යනු ලැබුණා.

මේ වනවිට ඇන්තනි බ්ලන්ට් MI-5 සංවිධානයෙන් ඉවත්ව සිටියා. ඔහු 1946 සිට රජුගේ පින්තූරවල භාරකරු ලෙස කටයුතු කළා. බ්ලන්ට් ඉවත් වූයේ සෝවියට් ඔත්තුකරුවකු ලෙස දෙබිඩි ජීවිතයක් ගත කිරීමේ අපහසුව නිසයි. මේ අතර බර්ජස් ද සංවිධානයෙන් ඉවත් ව විදේශ සේවයට ඇතුළත්ව සිටියා. ඔහු හා මැක්ලේන් යන දෙදෙනාම විදේශ සේවයෙහි වූ හෙයින් වොල්කොෆ් දැන සිටි විදේශ සේවයේ ඔත්තුකරුවන් දෙදෙනා ඔවුන් යයි සිතිය හැකියි. නමුත් ෆිල්බි නිසා එම රහස එම අවස්ථාවේ පිටතට පැමිණියේ නැහැ. මේ අතර බ්ලන්ට් දිගටම බර්ජස් සමග මිත්‍රත්වය පවත්වාගන ගියා. මේ අනුව බර්ජස් තමන්ට ලැබෙන තොරතුරු සෝවියට්වරුන් අතට යැවීමට අතරමැදියකු ලෙස බ්ලන්ට්ව ද භාවිතා කළා.

බ්‍රිතාන්‍ය – ඇමරිකානු කටයුතු

මෙහි ප්‍රතිඵලය වුණේ තවත් වසර හයක් පමණ කාලයක් ගතවනතුරු සෝවියට් බලධාරීන්ට මොවුන් වෙතින් වැදගත් තොරතුරු ලැබීම යි. මේ අවස්ථාවේ මැක්ලේන් සිටියේ වොෂිංටනයේ යි. ඒ අනුව, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව අතර සාකච්ඡා පිළිබඳ තොරතුරු සියල්ල ඔහුට ලැබුණා. ඔවුන් සෝවියට් දේශය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග කලින්ම දැන ගැනීමට එරට නායක​ ජෝසෆ් ස්ටාලින්ට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම 1950 දී කොරියානු යුද්ධය හටගත් අවස්ථාවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් කොරියාව අරභයා සෝවියට් දේශය සමග යුධ නොවදින බව ස්ටාලින් කලින්ම දැනගෙන සිටියා.

ජෝන් කේන්ක්‍රොස් සිය ජීවිතයේ අවසන් සමයේ (Daily Mail)

මේ අතර ජෝන් කේන්ක්‍රොස් මේ වෙද්දී කටයුතු කළේ පරමාණු බෝම්බ ව්‍යාපෘතියට සම්බන්ධව යි. මේ හේතුවෙන් ඒ පිළිබඳව ද තොරතුරු ලබා දීමට කේන්ක්‍රොස් සමත් වුණා. පාරමාණු බෝම්බ රහස් පිළිබඳ වැඩි විස්තර ලබා ගත්තේ ඔහුගෙන් නොව වෙනත් අයගෙන්. ඒ පිළිබඳව අප වෙනමම ලිපියකින් විස්තර කරන්න බලාපොරොත්තු වනවා.

මේ වෙද්දී බර්ජස් මෙන්ම මැක්ලේන් ද සිය දෙබිඩි ජීවිත හේතුවෙන් මානසික පීඩනයට පත්ව තිබුණා. ඔවුන් බීමත්කමට හුරු වුණා. මේ අනුව මේ අයගෙන් එක් තැනැත්තකු හෝ අතින් රහසක් පිටවීමේ අවදානක් මතු වුණා.

Cover Image: කේම්බ්‍රිජ් සරසවිය (PA)

මූලාශ්‍රයයන්​:

Related Articles