KGB සහ CIA සටන්බිම – බර්ලින්

නිරවි යුද්ධය පැවති සමයේ කොමියුනිස්ට් කඳවුර මධ්‍යයේ පිහිටි ධනපති කඳවුරට අයත් ප්‍රදේශයක් වූයේ බටහිර බර්ලිනය යි. මේ  හේතුව නිසා නිරවි යුධ සමයේ බර්ලිනය දෙස විශේෂ අවධානයක් යොමු වී තිබුණා.

මේ කාලයේ දෙපාර්ශවයම එකිනෙකා පිළිබඳ තොරතුරු සොයාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බව අප දන්නවා.  බර්ලියනයේ සුවිශේෂීභාවය නිසා එම නගරය මෙම ඔත්තු සේවා සටන්වල දී විශේෂම ස්ථානයක් වුණා.

බර්ලින් අවහිරය​

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග ජර්මනිය කොටස් හතරකට බෙදාගන ප්‍රධාන මිත්‍ර රටවල් හතරේ හමුදා පාලනයට යටත් කෙරුණා. මෙම රටවල් වුණේ ඇමරිකාව​, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සහ සෝවියට් දේශය යි.

මෙහිදී බර්ලින් අගනුවර ද කොටස් හතරකට බෙදනු ලැබුණා. බර්ලින් නගරය පිහිටියේ සෝවියට් පාලන ප්‍රදේශය මැද යි. එහි ප්‍රතිඵලය වුණේ සෝවියට් ප්‍රදේශය මැද දූපතක් හා සමානව බටහිර බර්ලිනය ඉතිරි වීම යි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය බෙදීම (Wikimedia Commons)

මෙසේ සෝවියට් පාලන ප්‍රදේශය මැද බටහිර කඳවුරට අයත් ප්‍රදේශයක් තිබීම පිළිබඳව සෝවියට් නායක ස්ටාලින් සතුටු වුණේ නැහැ. මේ අනුව එම ප්‍රදේශය තමන් යටතට ගැනීමට ඔහු උත්සාහ කළා.

1948 ජූනි 24 වන දා සෝවියට් හමුදා විසින් බටහිර බර්ලිනයට එන සියළු මාර්ගයන් වසා දැම්මා. ඔවුන් බලාපොරොත්තු වූයේ බර්ලිනය තනි කර​, ආහාර ආදී අවශ්‍යතා ගෙන ඒමට නොහැකි තත්ත්වයකට පත් කිරීමෙන් එය දමා යන තත්ත්වයට බටහිර රටවල් පත් කිරීම යි.

මෙහිදී බටහිර රටවල් තීරණය කළේ සෝවියට් බලපෑමට යටත් නොවිය යුතු බව යි. ඒ අනුව ඔවුන් බටහිර බර්ලිනයට ගුවනින් ආධාර යවන්නට පටන් ගත්තා. මෙය ඉතා විශාල ව්‍යාපෘතියක් වුණා. මිලියන දෙකක පමණ ජනගහනයක් ජීවත් කරවීමට අවශ්‍ය දෑ යැවීමට දිවා රෑ නොබලා එක දිගටම ගුවන් යානා යැවීමට සිද්ධ වුණා.

මිත්‍ර හමුදා බර්ලිනයට සැපයුම් එවයි. ටෙම්පල්හොෆ් ගුවන්තොටුපල අසල (Public Domain)

සෝවියට් දේශය මෙම ක්‍රියාවලිය නැවැත්වීමට යුධමය ක්‍රියාදාමයක් කරා යනු ඇති ද යන සැකය බටහිර රටවල්වලට තිබුණා. මේ අනුව බර්ලිනයේ දී ඔවුන් කළ පළමු බුද්ධි කටයුත්තක් වූයේ සෝවියට් දේශයේ මීළඟ පියවර පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට උත්සාහ කිරීම යි. එහිදී සෝවියට් දේශය යුද්ධයක් කරා යොමු නොවන බව අනාවරණය කරගන්නට බුද්ධි අංශයන් සමත් වුණා.

1949 මැයි මාසයේ දී ස්ටාලින් බර්ලින් අවහිරතාව අතැර දැමුවා. එය ස්ටාලින් ලද විශාල පරාජයක් වුණා. නමුත් කොමියුනිස්ට්වාදය පරාජය වී තිබුණේ නැහැ. 1949 දෙවන භාගයේ දී සෝවියට් දේශය තම පළමු පරමාණු බෝම්බය අත්හදා බැළුවා. ඊට අමතරව චීන සිවිල් යුද්ධය ද අවසන් වුණේ කොමියුනිස්ට්වාදීන්ට ජයග්‍රහණය ලබා දෙමින්.

එමෙන්ම බුද්ධි සේවා කටයුතු අතින් ගත්තත් බටහිර රටවල් ලබා තිබූ අත්දැකීම් ප්‍රමාණය සාපේක්ෂව සෝවියට් දේශයට වඩා අඩු වුණා. ඇමරිකාව CIA සංවිධානය පිහිටවූයේ ද 1940 ගණන්වලයි. සෝවියට් චෙකා සංවිධානය 1917 පිහිටුවන ලද්දක්.

උමඟක කතාව

බර්ලිනයේ සෝවියට් රහස් සොයාගැනීමේ අදහස ඇතිව සංවිධානය සැලැස්මක් සකස් කළා. මේ අනුව ඔවුන් නැගෙනහිර ජර්මනිය වෙත උමඟක් කපා සෝවියට් දුරකථන කේබල් “ටැප්” කළා. මේ අනුව එම කතාබහට ඔවුන් ඇහුම්කන් දෙන්නට වුණා.

එහෙත් CIA සංවිධානයට ඉන් වැදගත් යමක් ලබාගන්න නොහැකි වුණා. මාස එකොළහක් තිස්සේ සිදු කරන ලද මෙහෙයුම අවසාන වුණේ සෝවියට් ඒජන්තයින් විසින් මෙම උමඟ සොයා ගැනීමත් සමග යි. සෝවියට් දේශය මෙම සිද්ධියෙන් උපරිම දේශපාලන වාසි ලබාගත්තා.

බටහිර රටවල් මෙම උමඟ පිළිබඳව සත්‍යය දැනගත්තේ වසර කිහිපයකට පසුව යි. සෝවියට් ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියකු වූ ජෝර්ජ් බ්ලේක් මෙම උමඟ පිළිබඳව තොරතුරු සෝවියට් ඔත්තු සේවයට ලබා දී තිබුණා.

බ්ලේක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ පසු ඔහුට එරෙහිව 1961 දී බ්‍රිතාන්‍යයේ නඩු විභාගයක් පැවැත්වූවා. ඔහු වසර 42ක කාලයකට සිර දඬුවමකට යටත් කරනු ලැබුණා. කෙසේ නමුත් 1966 දී බ්ලේක් සිරෙන් පළා ගියා.

ටෝෆෙල්ස්බෙයර්ග් (Wikimedia Commons)

මෙම මුල් පරාජයෙන් සංවිධානය පසුබට වූයේ නැහැ. බටහිර බර්ලිනය නැගෙනහිර ජර්මනිය මධ්‍යයේ පිහිටි හෙයින් එහි මුහුදු මට්ටමෙන් මීටර 150ක් උස ස්ථානයක සවන් දීමේ මධ්‍යස්ථානයක් ඉදි කෙරුණා. ටෝෆෙල්ස්බෙයර්ග් (Teufelsberg) හෙවත් යක්ෂයාගේ කන්ද නම් ස්ථානයේ ඉදි වූ මෙම මධ්‍යස්ථානය භාවිතා කර සෝවියට් සන්නිවේදනයන්ට ඇහුම්කන් දීමේ ව්‍යාපෘතියක් සංවිධානය දියත් කළා. එම ක්‍රියාවලිය නිරවි යුද්ධය අවසානය දක්වාම කෙරීගෙන ගියා.

චාන්සලර්වරයකු බිම දැමූ ඔත්තුකරු

1961 දී බර්ලින් නගරය දෙකඩ කරමින් බර්ලින් තාප්පය ඉදි කෙරුණා. ඉන්පසුව බර්ලිනය හරහා ගමනාගමනය ද අසීරු වුණා. දෙපාර්ශවයටම එකිනෙකා පිළිබඳ ඔත්තු බැලීම ද අසීරු වුණා.

කෙසේ වෙතත් සෝවියට් දේශය සහ නැගෙනහිර ජර්මන් පාලනය බටහිර ජර්මනිය පිළිබඳ ඔත්තු බැලීම සඳහා ඉතා පුළුල් සැලසුම් ක්‍රියාත්මක කළා. මේ සඳහා සෝවියට් KGBයට නැගෙනහිර ජර්මනියේ ස්ටාසි ඔත්තු සේවයේ ද සහය ලැබුණා. ස්ටාසි ඔත්තු සේවයෙහි විදෙස් ක්‍රියාකාරකම් භාරව සිටි එම ඔත්තු සේවයේ දෙවැනියා වූ මාර්කස් වුල්ෆ් මෙම කටයුතුවල පෙරමුණ ගත්තා.

මාර්කස් වුල්ෆ් (DPA)

මෙයින් එක් වැඩපිළිවෙලක් වූයේ බටහිර ජර්මනියේ අගනුවර වූ බොන් නගරයේ වැදගත් ආයතනවල ලේකම්වරියන්ගේ ආදරවන්තයින් වීමට ඔත්තුකරුවන් එවීම යි. අප ඒ පිළිබඳව වෙනත් ලිපියක වැඩිදුර විස්තර කළා.

මේ අතර බටහිර ජර්මන් රජයෙහි උසස් ස්ථානයන්හි සෝවියට් ඔත්තුකරුවන් රැඳවීම ඔවුන් කළ තවත් උත්සාහයක් වුණා. මෙය අතිසාර්ථක වූයේ ස්ටාසිහි අණ පරිදි බටහිරට පැමිණ එහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් වූ ඔත්තුකරුවකු හරහා යි. ඔහු ගුන්තර් ගියෝම් (Gunter Guillaume).

ගුන්තර් ගියෝම් (දකුණේ) සහ බ්‍රාන්ට් (German Federal Archive)

ගියෝම් බටහිර ජර්මනියට පැමිණියේ 1956 දී යි. එවිට ඔහුට වයස අවුරුදු 29ක් වුණා. කෙමෙන් කෙමෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි ඉහළට ගිය ඔහු විලී බ්‍රාන්ඩ්ට්ගේ මිත්‍රයෙකු බවට පත් වුණා. කලක් බටහිර බර්ලින් නගරාධිපති වූ බ්‍රාන්ඩ්ට් 1969 දී බටහිර ජර්මනියේ චාන්සලර් බවට පත් වුණා. එවිට ගියෝම්ට රටේ ඉහළම මට්ටමේ රහස් හෙළි කරගැනීමට හැකි වුණා.

ගියෝම් ඔත්තුකරුවකු බවට හෙළි වූයේ 1974 දී යි. ඔහුත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණ අතර විලී බ්‍රාන්ට්ට චාන්සලර් ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා.

අවසාන කාලය​

KGB සහ විශේෂයෙන්ම ස්ටාසි සංවිධානයට ජර්මනියේ විවිධ ඉහළ ස්ථානවල වැදගත් ඔත්තුකරුවන් සිටියා. නේටෝ සංවිධානයේ ද මූලස්ථානයේ ස්ටාසි ඔත්තුකරුවකු 1980 දශකයෙහි සිටි අතර 1983 දී නේටෝ යුධ අභ්‍යාසයන් පැවැත්වීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වයේදී එය ඉතා වැදගත් වුණා. එම අවස්ථාවේ යුද්ධයක් ඇති වේ ය යන බිය සෝවියට් සහ නැගෙනහිර ජර්මන් නායකත්වය තුළ මතුව තිබූ නමුත් එය අනියත බියක් බව හෙළි කිරීමට ඔත්තුකරුවාට හැකි වුණා.

ඉන් ස්වල්ප කලකට පසු නිරවි යුද්ධය සමහන් වන්නට පටන් ගත්තා. KGBය හෝ ස්ටාසි සංවිධානය මෙම නව ප්‍රවණතා එතරම් පිළිගත්තේ නැහැ. නමුත් 1989 දී නැගෙනහිර ජර්මනියේ මතුවූ ජනතා විරෝධයත් සමග එරට කොමියුනිස්ට් ක්‍රමය බිඳ වැටීම නිසා බර්ලින් තාප්පය ද බිඳ වැටුණා. ඒ සමගම ඔත්තු සේවා අතර බර්ලින් සටන ද නිම වුණා.

Related Articles