1980 දශකය වන විට සෝවියට් දේශය සැලකිය යුතු වෙනස්කම්වලට භාජනය වෙමින් තිබුණා. යම් තාක් දුරකට මෙම ක්‍රියාවලිය අරඹන්න දායක වුණේ හිටපු KGB ප්‍රධානියෙකු වීමත් විශේෂ සිද්ධියක්. නමුත් මෙම ක්‍රියාවලිය ඉදිරියට යද්දී KGB ය සෝවියට් සමාජය මත බලපැවැත්වූ පාලනය ගිලිහෙන තත්ත්වයක් උදා වුණා. එය පාලනය කිරීමට ඔවුන් අවසන් උත්සාහයක් ගත් නමුත් එය පරාජයට පත් වුණා. ඒ සමගම සෝවියට් දේශයේ අවසානය ද සනිටුහන් වුණා.

1964 සිට 1982 දක්වා ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් පාලන සමයේ දී සෝවියට් ආර්ථිකය අයහපත් තත්ත්වයක පැවතුණා. වඩා නිවැරදිව කිවහොත් ආර්ථිකය එකතැන රැඳී තිබුණා කිව හැකියි. බ්‍රෙෂ්නෙෆ් පාලනයට එය වෙනස් කිරීමේ හැකියාවක් වූයේ නැහැ.

බ්‍රෙෂ්නෙෆ් පාලනය යටතේ වැඩිම කලක් KGBයේ ප්‍රධානියා වූයේ යූරි අන්ද්‍රපොෆ්. මොහු කලක් තිස්සේ දැඩි මතධාරියෙකු ලෙස ප්‍රකටව සිටියා. 1956 හන්ගේරියානු විප්ලවය මර්ධනය කිරීමේදිත් ඔහු ඉදිරියෙන්ම සිටියා. 1967 සිට 1982 දක්වා KGBයෙහි ප්‍රධානියා වුණේ අන්ද්‍රපොෆ්.

නමුත් සෝවියට් ක්‍රමය වෙනස් කිරීමට තරුණ නායකත්වයක් අවශ්‍යය යන කරුණ​ පිළිගෙන ඒ අනුව කටයුතු කළේ ද අන්ද්‍රපොෆ්ම යි. මිහායිල් ගොර්බචොෆ්ට සෝවියට් පාලන තන්ත්‍රයේ ඉහළට එන්නට අවස්ථාව ලැබෙන්නේ ඒ අනුව යි.

බ්‍රෙෂ්නෙෆ්ගෙ මරණින් පසු අන්ද්‍රපොෆ් වසර එකහමාරක පමණ කාලයක් සෝවියට් නායකයා වුණා. ඉන්පසු කෙටි කලකට​ කොන්ස්තන්තීන් චර්නෙන්කෝ එම ස්ථානය දැරූ අතර ගොර්බචොෆ් සෝවියට් නායකත්වයට පැමිණියේ 1985 දී යි.

ගොර්බචොෆ් (RIA Novosti)

ඔහු විසින් ක්‍රියාවට නැගුණු පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් යන ප්‍රතිපත්ති අනුව සෝවියට් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගැනුණා. මේ අනුව ජනතාවට වඩා නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලැබුණා. මේ සමගම KGBට සෝවියට් දේශයෙහි අභ්‍යන්තරයෙහි තමන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නය පැනනැගුණා.

ගොර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳ නැගෙනහිර යුරෝපයේ රටවල කොමියුනිස්ට් පාලකයින් සමහරක් දෙනා එතරම් කැමැත්තෙන් පසු වුණේ නැහැ. විශේෂයෙන්ම නැගෙනහිර ජර්මනියේ මේ තත්ත්වය දකින්න තිබුණා. ඒ හේතුව නිසා එවැනි ඇතැම් රටවල දේශීය බුද්ධි අංශ සහ ඔවුන්ට සහාය වූ අය සාමාන්‍ය ලෙස කටයුතු කරගෙන ගියා.

1989 දී කොමියුනිස්ට් කඳවුරේ බිඳවැටීමත් සමග​ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුණා. ඉන්පසු KGB නායකත්වය ඇතුළු දැඩිමතධාරී කොමියුනිස්ට්වාදීන් බියට පත් වුණා. දැන් ඔවුනට ඉතිරි ව තිබුණේ සෝවියට් දේශය තුළ බලය රැක ගැනීමේ බලාපොරොත්තුව පමණ යි.

බර්ලින් තාප්පය බිඳ වැටෙයි (AP)

නමුත් 1990 මුල වන විට සෝවියට් දේශයේ ද කොමියුනිස්ට් ක්‍රමය බිඳ වැටෙමින් තිබුණා. විශේෂයෙන්ම නිදහස් මැතිවරණයක් පැවැත්වීම සහ එයින් සෝවියට් කොමියුනිස්ට් පක්ෂය පසුබැසීම සමග එම පක්ෂයෙහි පාලනය ද අවිනිශ්චිත වුණා.

නව ඒකාබද්ධතා ගිවිසුම​

කඩා වැටෙන සෝවියට් දේශය ආරක්ෂා කරගැනීමත්, ඒ සමගම සමූහාණ්ඩුවල අයිතීන් ආරක්ෂා කිරීමත් අරමුණු කරගෙන නව ඒකාබද්ධතා ගිවිසුම නම් වූ ලියවිල්ලක් පිළියෙල කරනු ලැබුණේ මේ අතර යි. මෙම ගිවිසුම පිළියෙල කිරීමේ කටයුත්ත සඳහා සමූහාණ්ඩු පහළොවෙන් නවයක් දායක වුණා. බෝල්ටික් සමූහාණ්ඩු තුන වූ ලිතුවේනියාව​, ලැත්වියාව සහ එස්තෝනියාවත්, මොල්ඩෝවාව​, ආර්මේනියාව, සහ ජෝර්ජියාවත් මීට දායක වූයේ නැහැ. මෙම ගිවිසුම මඟින් මධ්‍යගත පාලනය ලිහිල් කර​, වඩා සන්ධීය ක්‍රමවේදයක් වෙත එළඹීම බලාපොරොත්තු වුණා.

ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු 20 වන දා යි. ඊට පෙර ගොර්බචොෆ් නිවාඩුවක් ගත කිරීම සඳහා ක්‍රිමියාවේ ෆොරොස් වෙත ගියා. කුමන්ත්‍රණය ක්‍රියාවට නැගුණේ මේ අවස්ථාවේ යි.

“නව ඒකාබද්ධතා ගිවිසුමෙන් පසු පරණ සෝවියට් නිලධාරී යාන්ත්‍රණය​, කැබිනට් මණ්ඩලය ආදී සියල්ලම අනවශ්‍ය වන තැනට කටයුතු සැකසෙන්නට නියමිතව තිබුණා. කුමන්ත්‍රණකරුවන් ඒ සඳහා යොමු වූයේ මෙම බිය නිසාය” යි කුමන්ත්‍රණයෙන් ටික දිනකට පසු බොරිස් යෙල්ට්සින් කියා සිටියා. යෙල්ට්සින් එවකට රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී ජනරජයේ ජනාධිපතිව සිටි අතර, කුමන්ත්‍රණය පරාජය කිරීමේ දී ඔහු තීරණාත්මක වුණා.

අට දෙනාගේ කල්ලිය​​

අගෝස්තු කුමන්ත්‍රණය හදිසියේ සිදු වූවක් නොවේ. එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අට දෙනෙකු වූ අතර ඔවුන් අට දෙනාගේ කල්ලිය ලෙස හැඳින්වෙනවා. කුමන්ත්‍රණය​ සැලසුම් කිරීමේ ප්‍රධානත්වය ගන්නා ලද්දේ KGB ප්‍රධානී ව්ලැදිමීර් කෘච්කෝෆ්. KGBය මෙම කුමන්ත්‍රණයේ දී ප්‍රධාන කාර්යයභාරයක් සිදුකළ යුතු වුණා. මීට අමතරව සෝවියට් උප ජනාධිපති ගෙනඩි යනායෙෆ් ද මෙම කුමන්ත්‍රණයේ වැදගත් පුද්ගලයකු වුණා.

එවකට 67 හැවිරිදි වූ කෘච්කෝෆ් දිගු කලක් තිස්සේ අන්ද්‍රපොෆ්ගේ සමීපතමයකු වුණා. KGBය තුළ ඉහළට පැමිණීමට එය ඔහුට හේතුවක් ද වුණා. නමුත් කෘච්කෝෆ් දිගටම කොමියුනිස්ට් පක්ෂයේ වඩා දැඩි මතධාරී කඳවුරට අයත් වුණා. 1988 දී ඔහුව KGB යේ ප්‍රධානියා ලෙස පත් කෙරුණා.

ගෙනඩි යනායෙෆ් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය තුළින් කොමියුනිස්ට් පක්ෂයේ ඉහළට පැමිණි අයකු වුණා. ගොර්බචොෆ් විසින් සෝවියට් දේශයේ ජනාධිපති ධුරයක් ස්ථාපිත කරන අවස්ථාවේ උප ජනාධිපති ධුරයක් ද නිර්මාණය කළ අතර ඊට පත් වූයේ යනායෙෆ්. නමුත් ගොර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ ගමන් ගන්නා අත පිළිබඳ ඔහු තුළ පැහැදීමක් වූයේ නැහැ. එහෙයින් ඔහු ද කුමන්ත්‍රණකාරී කල්ලිය වෙත ඇදී ගියා.

සෝවියට් අගමැති වැලන්තින් පැව්ලොෆ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බොරිස් පූගෝ, ආරක්ෂක අමාත්‍ය දිමිත්‍රි යසොෆ්, සෝවියට් ආරක්ෂක කවුන්සිලයේ පළමු උප සභාපති ඔලෙග් බක්ලානොෆ්, සෝවියට් ගොවිජන එකමුතුවේ ප්‍රධානී වසීලි ස්තරොදුබ්ත්සෙෆ්, සහ රාජ්‍ය ව්‍යවසායකත්ව සංගමයේ ප්‍රධානී අලෙක්සන්දර් ටිස්යකෝෆ් යන අය මෙහි අන් සාමාජිකයන් වුණා.

ගොර්බචොෆ් විරුද්ධ වෙයි

අගෝස්තු 18 වන දා, ෆොරොස්හි ගොර්බචොෆ් රැඳී සිටි බංගලාවේ සියළු දුරකථන මාර්ගයන් කපා දැමුණා. සෝවියට් න්‍යෂ්ටික අවි ගබඩා සමග තිබුණ සබඳතාව පවා බිඳ දමනු ලැබුණා. මේ අතර බංගලාව KGB නිලධාරීන් විසින් වටලනු ලැබුණා.

මින් ස්වල්ප වෙලාවකට පසු කුමන්ත්‍රණකරුවන් පිරිසක් ගොර්බචොෆ් හමුවට ගොස් ඔහුට ලියවිලි කිහිපයක් දුන්නා. ඒ ඔහුගේ අත්සන සඳහා යි. එක් ලියවිල්ලක වූයේ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන බවට වූ නියෝගයක්. අනෙක් ලියවිල්ල වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත තමා බලය අතහරින බවත්, තම බලතල උප ජනාධිපති යනායේෆ් වෙත පවරන බවටත් වූ නිවේදනයක්.

ගොර්බචොෆ් මේවාට අත්සන් කරනු ඇතැ යි කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වුණා. එය අත්සන් නොකරනු ඇතැ යි ඔවුන් අනුමාන කළේ හෝ එවන් තත්ත්වයකට සූදානම් වූයේ හෝ නැති බවයි පෙනී යන්නේ. ගොර්බචොෆ් එම ලියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා. එපමණක් නොව කුමන්ත්‍රණකරුවන් අවස්ථාවාදීන් ලෙස නම් කරමින් ඔවුන්ට බැණ වැදුණා.

ගොර්බචොෆ්ට ජීවිත හානියක් කර බලය ලබා ගැනීමට උත්සාහ කිරීම විශාල කැළඹීමක් ඇති කළ හැකි සිද්ධියක් බව කුමන්ත්‍රණකරුවන් දැන සිටියා. ඔහු සාමකාමීව බලය පවරනු ඇතැ යි ඔවුන් විශ්වාස කළා. නමුත් එය සිදු නොවූ තැන​, කුමන්ත්‍රණකරුවන්ට අත්සන් නොකළ ලියවිලි ද සමග මොස්කව් වෙත පැමිණීමට සිදු වුණා. ගොර්බචොෆ්ගේ බංගලාව දිගටම KGB රැකවල් මත තබනු ලැබුණා.

කවුද නායකයා?

මොස්කව් නුවර දී රැස්වුණ අටදෙනාගේ කල්ලිය සිටියේ දැඩි අපහසුතාවකින්. කුමන්ත්‍රණයේ නායකයා ලෙස පෙනී සිටීමට කිසිවකු කැමැත්තක් දැක්වූයේ නැහැ. KGB ප්‍රධානියා ලෙස කෘච්කෝෆ් මෙහි වැඩිම වැඩ කොටස සිදු කර තිබුණ ද​, ඔහුත් කුමන්ත්‍රණයේ නායකයා ලෙස ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළා. මේ අනුව යනායේෆ් එහි නායකයා ලෙස නිගමනය කෙරුණා.

මේ කණ්ඩායම හදිසි තත්ත්වය පිළිබඳ රාජ්‍ය කමිටුව ලෙස තමන්ව හඳුන්වා ගනිමින් නිවේදන නිකුත් කිරීමට පටන් ගත්තා. මොස්කව් වෙත අගෝස්තු 19 වන දා යුධ ටැංකි ගෙන්වනු ලැබුණා. එමෙන්ම සියළු රූපවාහිනී නාලිකාවල සාමාන්‍ය වැඩසටහන් නැවතී චයිකොව්ස්කිගේ හංස විල (Swan Lake) විකාශය වන්නට පටන් ගැනුණා.

යෙල්ට්සින්ගේ "යුධ ටැංකිය මත කළ කතාව​"

මේ අවස්ථාව වෙද්දී යෙල්ට්සින් සිටියේ මොස්කව් නගරයෙන් පිටත සිය ගම්බද විවේක නිවස හෙවත් ඩචාවේ යි. කසක්ස්ථානයේ නායකයා හමුවීමට එහි ගොස් පැමිණ සිටි ඔහු රූපවාහිනී නාලිකාවන්හි පෙරළිය සිදු වෙද්දී සිටියේ නින්දේ යි. ඔහුගේ දියණිය මෙම සිදුවීම දැක, යෙල්ට්සින් අමතා, කිනම් හෝ අමුතු දෙයක් සිදුවන බව දන්වා සිටියා. වහා සිය වාහනයට නැගුණ යෙල්ට්සින් සිදු වන්නේ කුමක්දැයි සොයාබලන අදහසින් මොස්කව් දෙසට ගමන් කළා. ඒ වෙද්දීත් ඔහුගේ ඩචාව විශේෂ භටයින් විසින් වටකර තිබුණ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හෝ වෙඩි තැබීමට හෝ ඔවුනට අවසර ලැබී තිබුණේ නැහැ.

යෙල්ට්සින්ගේ කතාව (AP)

යෙල්ට්සින්ගේ ආධාරකරුවන් ටික දෙනෙක් ක්‍රෙම්ලීනයේ පවුර අසල එකතු වුණා. පසුව ඔවුන් රුසියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට ගියා. එහිදී රජයේ හමුදා වෙතින් අල්ලාගත් යුධ ටැංකියක නැගී යෙල්ට්සින් කතාවක් පැවැත්වූවා. එය "යුධ ටැංකිය මත කළ කතාව​" ලෙස ඉතිහාසයට එක් වුණා.

මෙය සමස්ථ ක්‍රියාවලියේම තීරණාත්මක අවස්ථාවක් වුණා. ජනතාව රුසියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් ධවල මන්දිරය වෙත ගමන් ගත්තා. ඇතැම් ඇස්තමේන්තු අනුව එහි එක්වූ ජන සංඛ්‍යාව 70,000 ඉක්මවූවා.

ජුන්ටාව වෙව්ලයි

අටදෙනාගේ කල්ලිය මේ අවස්ථාවේ කළේ මාධ්‍ය හමුවක් කැඳවීම යි. ඔවුන් බලාපොරොත්තු වූයේ ශක්තිමත් ප්‍රතිරූපයක් පෙන්වා, එමඟින් තමන් තත්ත්වය පාලනය කළ හැකි ස්ථාවරයක සිටින බව හුවා දැක්වීම යි. අවාසනාවකට මෙන් මෙම සැලැස්ම ඉටු කරගැනීමට ඔවුන් සමත් වූයේ නැහැ.

අට දෙනාගේ කල්ලියේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර​. මෙහි මැද සිටින්නේ යනායේෆ් ය (TASS)

දිග මේසයක් පිටිපස එක පෙළට හිඳගෙන මාධ්‍යවේදීනට මුහුණ දුන් මෙම පිරිසෙහි ජුන්ටාවක ලක්ෂණ වෙනුවට වූයේ බියෙන් තැති ගත් ආකාරයක්. බරපතල අවිනිශ්චිතභාවයක්. ජුන්ටාවේ නාමමාත්‍ර නායකයා වූ යනායේව්ගේ දෑත් වෙවුලන බව මාධ්‍යවේදීන් පැහැදිලිව දුටුවා. කුමන්ත්‍රණය එතැනින්ම කාබාසිනියා වූයේයැ යි කිව හැකියි.

අවසන් උත්සාහය

නමුත් කුමන්ත්‍රණය පරාජය වීමට බලපෑ වැදගත්ම හේතුව වූයේ සෝවියට් ක්‍රමයේ ප්‍රබලතම ආරක්ෂකයින් ලෙස සැලකූ යුධ හමුදාව සහ KGBය තුළ ද ඊට එරෙහි කණ්ඩායම් මතුවීම යි​. කුමන්ත්‍රණය දිනවල ඇතැම් KGB නිලධාරීන් තමාට ලැබුණු අණ පිළිපැදීම මඟ ඇරියා. ඇතැමුන් රාජකාරි වෙලාවේ මත්පැන් පානය කළේ නියෝග පැහැර හරින ක්‍රමයක් ලෙස යි. කුමන්ත්‍රණය අවස්ථාවේ එක් පක්ෂයක් ගෙන එම පක්ෂය පරාජය වී නම් ඔවුන් රාජ්‍ය විරෝධීන් ලෙස දඬුවම් ලැබීමට වුව ද හේතු තිබුණා. රාජකාරි වේලාවේ මත් වී සිටීම විවිධ දඬුවම් ලැබීමට​ හේතු විය හැකි කරුණක් වුව ද මරණ දඬුවම ලැබෙන වරදක් නොවේ.

අගෝස්තු 20 වන දා ජුන්ටාව විසින් ඇල්ෆා විශේෂ බලකායට අණ කළේ උද්ඝෝෂකයන්ට පහර දෙන ලෙස යි. නමුත් එම බලකාය එය ප්‍රතික්ෂේප කළා​. එහි ප්‍රතිඵලය ලෙස කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගනු ලැබුණ අතර බොරිස් පූගෝ ඊට පළමුව දිවි නසාගත්තා.

මෙම කුමන්ත්‍රණයෙහි ප්‍රතිඵලය ලෙස එක් අතකින් කොමියුනිස්ට් පක්ෂයේ සහ KGBයේ බලය කඩා වැටුණා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය මීළඟ දිනවල දී තහනම් කෙරුණා. මේ අතර​, අනෙක් අතින් ගොර්බචොෆ් ද බලයෙන් දුර්වල වුණා.

KGBයෙහි ප්‍රධානියා ලෙස වදීම් බකතින් පත් කෙරුණා. ඔහුගේ වගකීම වූයේ KGBය ක්‍රමානුකූලව විසිරුවා හැරීම යි. එය කෙතෙක් සාර්ථකව සිදු වූයේ ද යන්න විවාදාත්මක කරුණක්. කෙසේ වෙතත් සෝවියට් KGBය සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග විසුරුවා හැරුණා.

Cover Image: රතු චතුරශ්‍රයට රැස් වූ යුධ ටැංකි සහ ජනයා (TASS)