කෲර ලෙස මිනීමැරීමේ යෙදුනු ළමුන් 5 දෙනෙක්  

“පුංචි ළමයි මල් වගේ”

මේ ප්‍රසිද්ධ කියමනක්. ප්‍රසිද්ධ විශ්වාසයක්. සමාජයේ පොදු විශ්වාසය නම් කුඩා ළමුන් තරහා, වෛරය, ක්‍රෝධය ආදී ගුණයන්ගෙන් තොර, අහිංසක සිත් ඇත්තන් බවයි. මේ නිසාම සමාජයේ සිදුවන බොහොමයක් අපරාධ වල ගොදුරු බවට කුඩා දරුවන් පත්වෙනවා.

නමුත් කුඩා දරුවෙකු ගොදුර නොව, අපරාධකරු බවට පත්වුණොත්? නෑ, ඔබ මා කවුරුවත් ඒ බව නම් විශ්වාස කරන්නේ නැහැ. අපගේ විශ්වාසය කෙසේ වෙතත්, වාර්තා වූ ළමා අපරාධකරුවන් සැළකිය යුතු තරම් පිරිසක් සිටිනවා. මේ අපරාධ නම් අප විසින් කුඩා දරුවෙකු විසින් කළ හැකි යැයි සිතනා අන්දමේ රසකැවිලි වෙළඳසැලකින් රසකැවිල්ලක් සොරාගැනීම, පාසල් සඟයෙකුට හිරිහැර කිරීම ආදී සිදුවීම් නම් නොවෙයි. මිනී මැරුම්. මෙම ලිපියේ ඇතුළත් වන්නේ මෙතෙක් වාර්තා වූ ලොව ලබාලතම මිනීමරුවන්ගෙන් 5 දෙනෙකුගේ තොරතුරුයි.

අමර්දීප් සාදා

amarjeet-sada  අමර්දීප් සාදා (oldcatlady.com)

මේ, ඉන්දියාවේ පමණක් නොව, මුළු ලොවෙන්ම වාර්තා වූ ලබාලතම මිනීමරුවායි. 1998 දී බිහාරයේ මුසහරි ගමේ පවුලක උපන් අමර්දීප්, 2007 දී අසල්වැසි පවුලක සයමස් වියැති දැරියක් ඝාතනය කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වුණා. දැරිය නිදා සිටි තැනින් පැහැරගත් අමර්දීප්, ඈ අසල ඇති කුඹුරකට ගෙනගොස් ගලකින් ගසා පොඩිකර දමා ඝාතනය කරනු ලැබුවා. ගම්වාසීන් විසින් අල්ලාගැනීමෙන් අනතුරුව ඔහු විසින් තමා මරා දැමූ දරිය වළලා ඇති ස්ථානය පෙන්වා දී තිබුණා.

පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී තිබුණේ අමර්දීප් විසින් තම අටමස් වියැති සොයුරියත්, නවමස් වියැති ඥාති සොයුරෙකුත් මෙලෙස ඝාතනය කර ඇති බවයි. ඔහුගේ පවුලේ සමාජිකයින් විසින් මෙම සිදුවීම් රහසක් ලෙස තබාගෙන තිබුණා. පසුව සිදු කරන පරීක්ෂණ වලින් අනතුරුව අමර්දීප්ට මානසික ආබාධයක් ඇති බවට අනාවරණය වූ අතර, ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමට යොමු කළ බව කියැවෙනවා. මෙම සිදුවීම් සිදුවන විට අමර්දීප් අට අවුරුදු වයසේ පසුවුණා.

මේරි බෙල්

මේරි බෙල් කුඩා කල දී  Mary-bell.jpg (funnyandviral.net)

මේරි ෆ්ලෝරා බෙල්, තම එකොළොස්වැනි විය පසුකරමින් සිටිය දී අවුරුදු 3 සහ 4 වයස් වූ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු ගෙල සිරකර මරා දැමීම පිළිබඳව වැරදිකාරිය බවට පත්වුණා. ඒ 1968 වසරේ එංගලන්තයේ නිව්කාසල්හිදී යි. ගණිකා වෘත්තියේ නියැලුණු මවකට දාව උපන් මේරි බෙල්, ඉතා කුඩා කල පටන්ම තම මවගේ සේවාදායකයින් අතින් ලිංගික අඩත්තේට්ටම් වලට ලක්ව තිබුණා.

තම 11වන උපන්දිනය දාට ප්‍රථම දින අත්හැර දමන ලද පාළු නිවසකදී මේරි බෙල් විසින් සිව්වියැති මාර්ටින් බ්‍රව්න් නම් දරුවා ගෙල සිරකර මරා දමනු ලැබුවා. ඉන් මාස කීපයකට පසු තෙහැවිරිදි බ්‍රයන් හෝවි ගෙල සිරකර මරා දැමූ ඇය, බ්ලේඩ් තලයකින් ඔහුගේ උදරයේ ‘M’ අකුරක්ද සඳහන් කර තිබුණා.

මෙම මිනීමැරුම් වලට වැරදිකාරිය බවට පත්කර සිරගත කරන ලදුව, වසර 12ක දඬුවම් කාලයකින් අනතුරුව 1980 දී සිරෙන් නිදහස් වුණු මේරි බෙල්, අන්වර්ත නාමයක් යටතේ අදටත් නිදහසේ ජීවත් වනවා.

ජෝර්ඩන් බ්‍රව්න්

(Daily Mail)

2009 දී එකොළොස් හැවිරිදි වියේ පසු වූ බ්‍රවුන්, පතරොම් තුවක්කුවක් භාවිතා කර එකළ තම පියාගේ පෙම්වතිය වූ දෙදරු මවක් ද වන අටමස් ගැබිණියක ඝාතනය කරනු ලැබුවා.

පියාගේ පෙම්වතිය විසින් දරුවෙකු බිහිකළ පසු, එම දරුවාට තම නිදන කාමරය ලබාදීමට වේ යැයි ඊර්ෂ්‍යාවෙන් මෙම ඝාතනය සිදු කළ බව කියැවෙනවා.

මෙම ඝාතනයේ කෲර ස්වභාවය නිසා බ්‍රවුන්ව දරුවෙකු ලෙස සැලකීමට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන නමුත්, ඔහුගේ නීතීඥයන්ගේ දක්ෂතාවය නිසා බාල වයස්කාරයින් සඳහා වන අධිකරනයේ ඔහුගේ නඩුව විභාග කෙරෙනවා. මෙම මිනීමැරුමට අදාල සියළුම සාක්ෂි වලින් ඔප්පු වන්නේ බ්‍රවුන් විසින් මෙම ද්විත්ව ඝාතනය සිදුකරන ලද බව නමුත්, 2016 දී සිරෙන් නිදහස් වන විටත් ඔහු එම වරද පිළිගෙන තිබුණේ නැහැ.

ග්‍රැහැම් යං

1947 දී උතුරු ලන්ඩනයේ උපන් යං, එතරම් සමාජශීලී නොවූ, මිනීමැරුම්, රසායන විද්‍යාව, සහ විෂ විද්‍යාව පිළිබඳව උනන්දුවක් දැක්වූවෙකුයි. 13 වන වියේදී ඔහුගේ පියා විසින් තෑගි කරන ලද රසායන විද්‍යා උපකරණ කට්ටලයක් භාවිතයෙන් ඔහු නොයෙකුත් අත්හදාබැලීම් කිරීමට හුරුවුණා. රසායන විද්‍යාව පිළිබඳව වූ පුළුල් දැනුම උපයෝගී කරගනිමින්, එම ප්‍රදේශයේ වාසය කළ ඖෂධවේදීන් කීපදෙනෙකුට තමා වයසින් වැඩි බවක් ඒත්තු ගැන්වූ යං, ඔවුන්ගෙන් ඇන්ටිමනි, ඩිජිටැලිස්, ආසනික්, සහ තැලියම් ආදී විෂ රසායන මිළදී ගැනීමට සමත් වුණා.

ඉන්පසු තම පවුලේ සාමාජිකයින්ගේ තේ කෝප්ප වලට මෙම විෂ වර්ග කුඩා ප්‍රමාණ වලින් දමමින්, ඔවුන්ව සෙමින් මරණයට පත්කිරීම ඔහු විසින් ආරම්භ කළා. මින් පළමු ගොදුර ලෙස ඔහුගේ සුළු-මව තැලියම් සහ ඇන්ටිමනි යොදා මරණයට පත්කරනු ලැබුවා. ඔහුගේ රසායන විද්‍යා ගුරුවරයා විසින් ඔහු සතුව තිබී විෂ ද්‍රව්‍ය සොයාගැනීමෙන් අනතුරුව, ඔහු විසින් පොලිසිය දැනුවත් කර යං සිරභාරයට පත්කෙරුනා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 14ක් වුවා පමණයි.

ග්‍රැහැම් යං සිරබාරයේ සිටි සමයේ දී  (Minilogs)

සිරභාරයේ සිටියදීත් තවත් සිරකරුවෙකු සයනයිඩ් භාවිතයෙන් ඝාතනය කළ යං, 23 හැවිරිදි වියේදී සිරෙන් නිදහස් වුණා. ඉන්පසු ‍රැකියාවක නිරත වුණු ඔහු, තම ‍රැකියා ස්ථානයේ සඟයින්ගේ කෝපි පානයන්ට වස මිශ්‍ර කර ඔවුන් රෝගී බවට පත්කර, තවත් දෙදෙනෙකු ඝාතනය කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිරගෙයට නියමව, 42 හැවිරිදිව සිටිය දී එහිම මරණයට පත් වුණා.

ජොශුවා ‍ෆිලිප්ස්

1998 නොවැම්බර් මස දිනක තම 14 හැවිරිදි පුතු ජොශුවා ‍ෆිලිප්ස්ගේ කාමරය ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය මවට, ඔහුගේ ඇඳ යට තෙත් පැල්ලමක් දක්නට ලැබුණා. ජොශුවාගේ දිය මෙට්ටයෙහි කාන්දුවක් විය යුතු බවට සිතූ මව විදුලි පන්දමක් උපයෝගී කරගෙන ඇඳ යට සෝදිසි කිරීමේදී දක්නට ලැබුණේ, දින 7ක් පුරාවට අතුරුදන්ව සිටි මැඩී ක්ලිෆ්ටන් නම් 8 හැවිරිදි අසල්වැසි දැරියකගේ සිරුර ජෝශුවාගේ දිය මෙට්ටය තුළ ඇති බවයි. ඇසට බේස්බෝල් පිත්තකින් ගසා, පිහියකින් ඇන මරණයට පත්කර තිබුණා. දැරිය අතුරුදන් වූ දිනයේ පටන් ඈ සෙවීමට ඉදිරිපත් වූ අසල්වාසීන්ගෙන් කෙනෙකු වූ නිසා, ජොශුවාව කිසිවෙකු සැක කර තිබුණේ නැහැ.

ජොශුවා ‍ෆිලිප්ස් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටී  (Alchetron)

පොලිස් අත්අඩංගුවට පත් වූ පසු ද දැරිය ඝාතනය කිරීමට බලපෑ නිශ්චිත හේතුව ජොශුවා විසින් හෙළි කර තිබුණේ නැහැ. අත්වැරදීමකින් සිදු කළ පහරදීමකින් දැරිය ක්ලාන්ත වූ පසු තම කාමරය ‍‍රැගෙන විත් පිහියකින් ඇන මරණයට පත් කළ බවට ඔහු විසින් කළ ප්‍රකාශය ජූරිය විසින් පිළිගැනුනේ ද නැහැ.

බාලවයස්කාරයෙකු වීම නිසා මරණ දඬුවමින් ගැලවුණු ජොශුවා ‍ෆිලිප්ස්, අදටත් බන්ධනාගාරගතව සිටිනවා.

මෙතෙක් කල් ඔබ විසින් අපරාධකරුවන් විය හැකි යැයි සැක සිතින් බලන්නට ඇත්තේ වැඩිහිටි මිනිසුන් දෙස පමණයි. ඇතැම්විට මෙම ලිපිය ඔබේ ඒ අදහස වෙනස් කරන්නට ඇති.

කවරයේ පින්තුරය:  (youtube)

Related Articles