නිල්වලා ගඟේ මිනී මරන කිඹුල් කතා

මාතරින් මුහුදට වැටෙන නිල්වලා නදිය පුරාණ මූලාශ්‍රවල නිතර සඳහන් ගංගාවක්. මාතර නගරය අලංකාර කරනා මේ ජල ප්‍රවාහය කර්මාන්ත රැසකට උදව් වෙනවා. ඒ අතර ම මාතර ගඟේ කිඹුලන් නිසා වැනසෙන මිනිස් ජීවිත සංඛ්‍යාවත් මෑතක සිට ඉහළ ගිහින්.

නිල්වලා ගඟේ ජල පෝෂක පෙදෙසේ වපසරිය වර්ග කිලෝ මීටර් 971ක් වෙන්වා. මීටර් 1300ක උසකින් තමයි ගංගාවේ මුල් දියතු පටන් ගන්නේ. මාතර දිස්ත්‍රික්කයේ උතුරු කලාපයේ දෙනියායට නුදුරු ගොන්ගල කඳුවැටියේ අනිල් කන්ද හා පනිල් කන්ද මුල්කරගත් සබරගමු කඳු පන්තියෙන් ගංගාවේ ආරම්භය සිදු වෙනවා. එහි දිග කිලෝ මීටර් 81ක්. එය මාතර කොටුවට නුදුරින් පිහිටා ඇති තොටමුණින් තමයි මහ මුහුද සිප ගන්නේ. ජලධාරා ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 3000ක් වෙනවා.

 නිල්වලා ගඟේ ආරම්භය සිදුවන දෙනියායේ කඳු – soloei.com

නිල්වලා ගංගාවේ අවසන් කිලෝ මීටර් 34 ආරම්භ වන්නේ අකුරැස්ස බෝපගොඩින්. එම ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 12ක් පමණයි. ඉන් පසුව පහළ නිම්නයේ ජලය ගලා යාම සිදුවන්නේ පුළුල් සමතලා බිමක යි. මේ නිසා අවුරුද්දේ  බොහෝ අවස්ථාවලදී නිල්වලා ගංගාව පිටාර ගලා ගම්බිම් හා වගාබිම් යටවීම සිදුවෙනවා. තෙත්බිම් රාශියක් ද ගංගා පිටාර තැන්නේ දැකගත හැකි යි. මාතරට නුදුරු කිරළකැලේ එවැනි තෙත්බිමක්.

 නිල්වලාවේ ගංවතුරක්-runews.lk

 

දිගිලි ඔය, සියඹලාගොඩ ඔය, කිරම ඔය, කඩවැද්දුව ඔය යන අතු ගංගා තුන ම අකුරැස්සේ දී නිල්වලා ගංගාව පෝෂණය කරනවා. අකුරැස්සේ සිට ගං මෝය දක්වා ගලා බසින්නේ  මුහුදු මට්ටමට වඩා මීටර සෘණ 0.2ක් පහළින් වීම විශේෂත්වයක්. කත්දූව ආශ්‍රිත මීටර සෘණ 1.9ක් පහළින් ද කිරම ආශ්‍රිත පෙදෙස මීටර 4.4ක් පහළින් ද ගඟේ බැස්ම සිදු වෙනවා. මේ නිසා නිතර ගංවතුර උවදුරට මේ පෙදෙස් ලක් වෙනවා. පිටාර තැන්නට යාබද කලාපය නිතර ගං වතුරට කුඹුරු යටවීම නිසා වී වගාව වෙනුවට වතුරට ඔරොත්තු දෙන  මාවී වගා කිරීමට පැරණි ගොවීන් පුරුදු වී සිටියා.

 මාතරට ආසන්න නිල්වලා ගඟ – mihithuru.lk

ඓතිහාසික වාර්තා

තිසර, පරෙවි, කෝකිල යන සංදේශවල නිල්වලා ගඟ ගැන මහත් ඇල්මෙන් ලියූ වර්ණනා හමු වෙනවා. පුරාණයේ නිල්වලා ගඟ මුහුදට වැටෙන තොට කතරගම හා දෙවිනුවර වන්දනාමාන කරන බැතිමතුන්ගේ සිත් ගත් තැනක් බවට ද පත්ව තිබූ බව පේනවා. ඔවුන් එහි නවාතැන් ගෙන විවේක ගත් බවයි පැවසෙන්නේ.

දෙවිනුවර සිට දැතිගම්පුරයට යන තිසරා නිල්වලා ගඟින් එතෙර වන ආකාරය තිසර සංදේශ කතුවරයා මෙසේ වර්ණනා කරනවා:

පු ල් වලා කුසුම මෙන් කොක වැල නිසල

ලො ල් වලා දියැර ගැනුමට බිමට බැස

නි ල් වලා රැඳි සෙ සැදි මාරුකු දෙපස

නි ල් වලා ගඟිනෙතර යා ගන් සතොස

පරෙවි සංදේශයේ නිල්වලා ගංගාව සඳහන් කර ඇත්තේ මෙලෙසයි:

දෙ තෙ ර මුහුළු ‍සල් දොඹ පුල්වලා අ ගින්

නි තොර සිපිරි සිහිලඹ නිල්වලා ර ගින්

වැ ති ර කෙළින මත් ගජ නිල්වලා ගඟින්

එ ත ර පියාසර කර නිල්වලා ම ගින්

නිල්වලා ගඟ මහානාම පාලම යටින් මාතරට පිවිසෙමින් -wikimapia.org

 

නිල්වලා ගඟබඩ නාවිමන අතීතයේ පටන් ප්‍රසිද්ධ නාන තොටුපොළක් ලෙස පැවතියා.  නාවිමන සිට වෙහෙරගම්පිටටත්, වෙහෙරගම්පිට සිට නාවිමනටත් විශාල පිරිසක් එගොඩ මෙගොඩ වුණේ මේ තොටුපොළේ අඟුලෙන්.  නිල්වලාවේ  විවිධ පෙදෙස්වල සිට මාතරට පැමිණෙන ඔරු පාරුකරුවන් එකල නාවිමන තොටුපොළේ සිට විවේකය ගත කිරීම පුරුද්දක් කරගෙන සිටියා.  මේ ඔවුන් මුවින් පැවසුණු ජන කවියක්:

“නිල්වලා ගඟට පරසිදු          ඒ දණ්ඩ

මුල්වෙලා කෙරෙව් මහතුන් බුදු වෙන්ඩ

ලොල් වඩවනා ගං කඳු දෙක සරිලන්ඩ

ඇත් ද කොදෙව්ව කද්දූව     ඒ දණ්ඩ”

 මෝය කටට නුදුරු කලපු දියේ ධීවර කර්මාන්තය- Kusumsiri Wijayawardhana

මෝය කට

නිල්වලා ගංගාව මුහුද හා එක් වන්නේ මේ ස්ථානයේදී යි.  මාතර කොටුවේ සිට ඈතින් දිස්වන මෝය කට වෙත මාතර නගරය හරහා ගමන් කළ හැකි යි.   මිරිදිය, කරදිය හා එක්වන ඉසව්වේ ඉතා අලංකාර දසුනක් දැකගත හැකි යි. ධීවර කර්මාන්තය ද මේ ඉසව්වේ සරුවට කෙරෙනවා. මේ නිසා මාළු ඔරු බහුල ව දැක ගැනීමට ලැබෙනවා.  මෝය කට අවට පවා කිඹුලන් සරන අයුරුත් බොහෝ විට දැකගත හැකි යි.  

පසුගිය සුනාමි ව්‍යසනයේ දී මෝට අවට නිවාස සහ ධීවර වාඩිවලට විශාල හානියක් සිදුවුණා.  ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත  ඉපැරැණි ගොඩනැඟිලි රාශියක් මේ අවට තිබෙනවා. නිල්වලාවට එක් පසෙකින් මායිම් වූ මාතර ඕලන්ද කොටුවේ දීත් ඒ ආකාරයේ ගොඩනැගිලි අදත් දැකගත හැකි යි.මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල සීමාවට අයත් මෝය කට අවට පෙදෙස ඉතා අලංකාර දසුනක් මවා පායි. ගංගා මුවදොරේ පිහිටි  කඩොලන පද්ධතියකින් ද මේ අවට අලංකාරය වැඩි කරනවා.

 මෝයට ආසන්නව අව්ව තපින කිඹුලෙක්-facerbook

නිල්වලා නදියේ දූෂණය        

ලක්ෂ 04කට අධික  ජනතාවක් සිය පානීය ජලයට භාවිත කරන්නේ නිල්වලා ගංගා ජලය යි. ගංගාවේ ඉහළ පෙදෙස්වල පිරිසුදු ජලය පැවතියත් මාතරට ආසන්න වන විට විවිධ කර්මාන්තවලින් අපද්‍රව්‍ය එක්කිරීමත්, මිනිස් ක්‍රියාකාරකම් අධික වීමත් නිසා  ගඟේ ජලය මෑත අතීතයේ සිට අධික දූෂණයකට ලක්වන බව වාර්තා වෙනවා.  ගංගා ජලයේ බැක්ටිරියා බහුල ව අඩංගු වන බව හෙළි වී තිබෙනවා.. නිල්වලා ගඟ වැඩියෙන් අපවිත්‍ර වෙන්නේ අකුරැස්ස ප්‍රදේශයෙන් බවයි වාර්තා වන්නේ.

නිල්වලා ගඟේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් විවිධ අවස්ථාවලදී  ගංඉවුර දෙපස  රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු අසන්නට ලැබුණා. මේ සඳහා කුඹුක් පැළ සිටුවීම තමයි සිදුවන්නේ.

 ගොඩබිමට පැමිණි කිඹුලෙක් අල්ලාගත් අවස්ථාවක්- newsfirst.lk

මාතර ගඟේ ඉන්නා කිඹුල්ලු

ගඟේ මතුපිට සුන්දර බවට යටින් සැගවුණු භයානකත්වය නම් ගංගාවේ බහුල ව සරනා කිඹුලන්. මෑත අතීතයේ සිට මේ දක්වා කිඹුලන් ඩැහැගත් මිනිස් ජීවිත ප්‍රමාණය සියයකට අධික බව පැවසෙනවා.  නිල්වලා ගඟේ කිඹුල් ගහණය වර්ධනය වීම හේතුවෙන් ගඟ දෙපස ජනතාවට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි  පසුගිය 2021 වර්ෂයේ ද අසන්නට ලැබුණා. ජනතාව චෝදනා කරන්නේ විවිධ ප්‍රදේශවලින් අල්ලා ගන්නා කිඹුලන් නිල්වලා ගඟට මුදාහරින බව යි. මේ වනවිට කිඹුලන් ගොඩබිම ද ආක්‍රමණය කරමින් සිටින බව ගඟ දෙපස ජනතාව පවසන  කරුණක්.  

නිල්වලා ගඟේ කිඹුලන් පැරැණි ජනකවීන් ගේ නිර්මාණවලට පවා හසු වී තිබෙනවා. මිනී නො කන කිඹුලන් ගැන ජනකවියා කියුවේ මෙසේයි:

මාතර ගඟේ ඉන්නා කිඹුලි ගෙ   පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර    කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා
මිනී නො කයි මාතර කිඹුලි ගෙ පැටියා

 කිඹුල් කොටුවක ස්නානය කරමින්-dinamina.lk

විටින්විට කිඹුල් ගැටලුවට විසඳුම් ලෙස විවිධ විකල්ප හඳුන්වා දීමට බලධාරීන් පියවර ගෙන තිබුණත් මේ වනවිට ඒවායින් එතරම් ප්‍රයෝජනයක් අත් ව නොමැති බව පැවසෙනවා. නිල්වලා ගඟේ කිඹුල් තර්ජනය උග්‍ර වූ දිනවල මිනිසුන්ට ආරක්‍ෂිතව ගඟ පරිහරණය කිරීම සඳහා ගඟ දිගේ නාන තොටුපළවල් කිඹුල් කොටු 30ක්‌ ඉදි කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පියවර ගෙන තිබුණා.  මේ කිඹුල් කොටු ප්‍රමාණවත් නො වන බැවින් ගඟබඩ වැසියෝ පෞද්ගලික මට්‌ටමෙන් ද ලීවලින් කිඹුල් කොටු ඉදි කර ගත්තා.

කිඹුලන් විශේෂ කිහිපයක්‌ සිටින අතර නිල්වලා ගඟේ සිටින ගැට කිඹුලන්  විශේෂය මිනිසුන් ඩැහැගෙන යන බව පැවසෙනවා. ගැට කිඹුලා වැඩිපුර ප්‍රිය කරන්නේ ලවණ මිශ්‍ර ජලයට යි. ගඟේ අධික වැලි ගොඩ දැමීම නිසා ගං පතුල මුහුදු මට්‌ටමට වඩා පහත් වීම නිසා මුහුදු ජලය ගඟ දිගේ ඉහළට ගැලීමෙන් මොවුන්ට නිල්වලා ගඟේ ජීවත් වීමට සුදුසු පරිසරයක්‌ නිර්මාණය වී පවතිනවා. ගඟ අවට නගරවල ඇති ගව ඝාතකාගාර, මස්‌ කඩ, මාළු කඩවලින් ඉවත් කරන අපද්‍රව්‍යත් ගංගාවට බැහැර කිරීම නිසා එම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට කිඹුලන් පුරුදු වී තිබෙනවා. ඒ අතර ම ගඟට බසින් මිනිසුන් ඩැහැගෙන ගොස්‌ ආහාරයට ගැනීමටත් උන් පුරුදු වෙලා.  

 ගැටකිඹුලා – සොබා සටහන්- facebook page

 

නිල්වලා නිම්නයේ කිඹුල් පහ­ර­දීම් බහුල වශ­යෙන් සිදුව ඇත්තේ 2000 වර්ෂ­යෙන් පසු­ව යි. 2003 වසරේ සිට 2020 දක්වා කිඹුල් පහ­ර­දීම් නිසා 19 දෙනෙක් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබෙනවා. 2007 වසරේ දී පමණක් නිල්වලා ගඟේ දී කිඹුලන්ට මිනිසුන් හත් දෙනකු බිලි වී තිබුණා.  ඉන්පසුව වසර කීපයක්‌ කිඹුලන්ගේ අවදානමක් ගැන අසන්නට නොලැබුණු අතර පසුගිය වසර කිහිපයක කාලයේ දීකිඹුල් තර්ජනය යළිත් අධිකවූ බවට වාර්තා වෙනවා.  කිඹු­ලන්ගේ එල්ල වන්නේ මාරා­න්තික ප්‍රහාර පම­ණක්ම නොවේ අත් පා කාදැ­මීම්, තුවාල සිදු­කි­රීම් ද සිදුව තිබෙනවා. මිනී­මරු කිඹු­ලන්ගේ ප්‍රහාරවලින් වන ජීවී බලධාරින් පවසන්නේ නදියේ කිඹුලන් 75-100 අතර ප්‍රමාණයක්‌ සිටිය හැකි බවයි. නමුත් මේ සංඛ්‍යාව ඊට වඩා කිහිප ගුණයක් වැඩි බවයි ගඟ අවට වැසියන් පවසන්නේ.

කවරයේ ඡායාරූපය- නිල්වලාව ඉර බැස යන අතර-southernsrilanka.lk

මූලාශ්‍ර:

නිල්වලාව හැඩ කළ මාවී- තිහගොඩ කැලුම් බෝධිමාන

Vidusara.com

Dinamina.lk

Kimbuk kotu- sciencedirect.com

Related Articles