Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බයිබලයේ සඳහන් ඊශ්‍රායලයේ ඉසුරුමත් රජු: සොලමන්

බයිබලයේ සඳහන් රජවරුන් අතරින් ඩේවිඩ් රජුගෙන් පසු ව ඊශ්‍රායලයේ සිහසුන හිමි කර ගත් සොලමන් රජු තරම් කථාන්තරයන්ට මාතෘකාව වූ පාලකයෙකු නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. පැරණි තෙස්තමේන්තුවේ (හීබෘෘ බයිබලය) 2 වැනි වංශාවලියේ (2 Chronicles) සඳහන් වන අන්දමට සිහිනයක් අතරතුර දී දෙවියන් වහන්සේ විසින් ඔහුට වඩාත් ම වුවමනා මොනවාදැ යි සොලමන් රජුගෙන් විමසා ඇති අතර, හොඳ සහ නරක අතර වෙනස මිනිසුන්ට වටහා දෙමින් ඔවුන් ව පාලනය කිරීම සඳහා අවැසි ප්‍රඥාව සහ දැනුම ලබා දෙන ලෙස ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දේව ත්‍යාගය හේතුවෙන් ඉතිහාසයේ වාසය කළ ප්‍රඥාවන්ත ම මිනිසා බවට පත් වූ සොලමන් රජු, පෙර නොවූ විරූ සෞභාග්‍යයක් ඊශ්‍රායලයට ළඟා කර දුන් බව යි සඳහන් වන්නේ.

(© Luca Giordano / Web Gallery of Art) සොලමන් රජුගේ සිහිනය

‘සොලමන්ගේ දෙවොල’ හෙවත් ‘ජෙරූසලමේ පළමු දෙවොල’ (the First Temple of Jerusalem) නිර්මාණය කළ ඔහු පිළිබඳ ව තොරතුරු ඇතුළත් වන්නේ හීබෘෘ බයිබලයේ පමණක් නොවෙයි. ශුද්ධ වූ කුරාණය සහ හදීත් ග්‍රන්ථ වැනි ඉස්ලාම් මූලාශ්‍රයන් හි සොලමන් රජු ව ‘සුලෙයිමාන්’ නම් ඍෂිවරයා ලෙස ද ප්‍රධාන යුදෙව් මූලාශ්‍රයක් වන ටැල්මුද් හි ඔහු, යුදෙව් දහමේ සඳහන් ඍෂිවරුන් 48 දෙනා අතරින් එක් අයෙක් ලෙස ද දක්වා තිබෙනවා. ‘සාමකාමී’ යන අරුතින් ‘සොලමන්’ ලෙස නම් තබන ලද ඔහු ඇතැම් විටෙක ‘ජුඩෙඩියා’ ලෙස ද හඳුන්වනු ලබන අතර, එහි අර්ථය වන්නේ ‘දෙවියන් වහන්සේට ප්‍රිය’ යන්න යි.

මවගේ සහාය ඇති ව සිහසුන හිමි කර ගත් සොලමන් රජු

(© Cornelis de Vos / Kunsthistorisches Museum) සොලමන් රජුගේ රාජාභිෂේකය

සොලමන් රජුගේ ජීවිතය සහ රාජ සමය පිළිබඳ ව තොරතුරු ඇතුළත් ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හීබෘෘ බයිබලය [විශේෂයෙන් ම 1 වැනි රාජාවලියේ (1 Kings) මුල් පරිච්ඡේද 11 සහ 2 වැනි රාජාවලියේ (2 Kings) මුල් පරිච්ඡේද 9] යි. ඊශ්‍රායලයේ සියලුම ගෝත්‍රයන් එක්සේසත් කර ජූඩියන් රාජ වංශය පිහිට වූ ඩේවිඩ් රජු, සොලමන් රජුගේ පියා බව යි එහි දැක්වෙන්නේ. ඔහුගේ මව, ඩේවිඩ් රජුගේ හිටයිට් ජාතික සේනාධිපතියා වූ යුරායාගේ වැන්දඹු බිරිඳ වූ බත්ශීබා යි. කුමන්ත්‍රණයක් මඟින් ඩේවිඩ් රජුගේ රාජ සභාවේ සහාය ලබා ගත් ඇය, නේතන් නම් ඍෂිවරයා සමග එක් ව ඩේවිඩ් රජු ජීවත් ව සිටිය දී ම සොලමන් රජුගේ රාජාභිෂේකය පවත්වා ඇත්තේ රජකමට උරුමකම් කියන වැඩිමල් සහෝදරයින් ඔහුට සිටින බව නොසලකමින්.

සොලමන් රජුගේ රාජ සමය පිළිබඳ ව හීබෘෘ බයිබලයේ වැදගත් සාක්ෂ්‍ය ඇතුළත් වන්නේ ස්වල්පයක් පමණ යි. ක්‍රි. පූ. 10 වැනි සියවසේ දී ඊශ්‍රායලය පාලනය කළ ඔහුගේ රාජ සමය සම්බන්ධයෙන් හීබෘෘ බයිබලයේ ඇති තොරතුරු තහවුරු කරන නටඹුන් සොයා ගත් බව ඇතැම් විද්වතුන් ප්‍රකාශ කළ ද, ජෙරුසලමේ පළමු දෙවොල සහ ඒ ආශ්‍රිත නටඹුන් නගරයන්, එයින් සියවසකට පමණ පසු ව ගොඩනංවන ලද ඒවා බව යි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් පෙනී යන්නේ. නමුත් ක්‍රි. පූ. 1 වැනි සියවසේ දී වාසය කළ ජොසීෆස් නම් රෝම-යුදෙව් ඉතිහාසඥයාගේ සටහන් හි සඳහන් වන්නේ සොලමන් රජු විසින් නිර්මාණය කරන ලද ‘යාවේ’ දෙවිඳුන් වෙනුවෙන් කැප කරන ලද ජෙරුසලමේ පළමු දෙවොල තුළ රනින් ආවරණය කරන ලද ගිවිසුම් පෙට්ටගම (Ark of the Covenant) තැන්පත් කර පැවති බව යි.

(© Israel Truths) ‘සොලමන්ගේ දෙවොල’ හෙවත් ‘ජෙරූසලමේ පළමු දෙවොල’

ප්‍රඥාව මෙහෙයවා ඊශ්‍රායලයට සෞභාග්‍ය රැගෙන ආ පාලකයා

සිහසුනට පත් වී කෙටි කලකින් ම තමන්ගේ බලය වඩාත් තහවුරු කර ගැනීම සඳහා විරුද්ධවාදීන් ම ක්‍රෑර ලෙස මරණයට පත් කිරීමට සොලමන් රජු කටයුතු කළ බව යි හීබෘෘ බයිබලයේ සඳහන් වන්නේ. ඒ සඳහා ඔහු, සමීප මිතුරන් ව හමුදා, රාජ්‍ය, සහ ආගමික ආයතනයන් හි ඉහළ තනතුරු සඳහා පත් කර තිබෙනවා. සොලමන් රජු සතු ව ශක්තිමත් පාබල හමුදාවක් පමණක් නොව රිය හමුදාවක් සහ තුරඟ සේනාවක් පැවති බව යි වාර්තා වන්නේ. වාණිජ කටයුතු මෙහෙයවීම සඳහා වෙළඳ මාර්ගයන් පාලනය කිරීමේ අරමුණෙන් සොලමන් රජු සාර්ථක ව සිරියාව ආක්‍රමණය කර ඇති අතර රාජ්‍යයන් අතර ඔහු, ඊජිප්තුවේ පාරාවෝ රජුගේ දියණිය සමග විවාහ වී ඇත්තේ රාජ්‍යයන් අතර සාමය පවත්වා ගැනීමට යි.

(© Wikimedia Commons) සොලමන් රජු සහ පාරාවෝ රජුගේ දියණිය

ගොඩබිම් ආසියාවට සහ අප්‍රිකාවට සම්බන්ධ වී අත්ලාන්තික්-මධ්‍යධරණී, රතු මුහුද සහ ඉන්දියානු සාගරයේ වරායන් සහිත ව සොලමන් රජුගේ රාජධානිය පිහිටා තිබුණේ වාණිජමය වශයෙන් වාසි සහගත ස්ථානයක බව පැවසීමේ වරදක් නැහැ. අසල්වැසි රාජ්‍යයන් ඊශ්‍රායලය හරහා ගමන් ගත් වෙළඳ මාර්ගයන් භාවිතයට ගත්තේ සොලමන් රජුට වාණිජමය වාසි අත්කර දෙමින් බව යි වාර්තා වන්නේ. වත්මන් යේමනයේ ආශ්‍රිත ප්‍රදේශයේ පැවති ධනවත් දකුණුදිග අරාබි රාජධානියක පාලකයා වූ ශීබා හි රැජින පවා ඇගේ දේශීය නිෂ්පාදිත අලෙවි කිරීම සඳහා සොලමන් රජුගේ සහාය ලබාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට හීබෘෘ බයිබලය ඉඟි කරනවා. ශිබා හි රැජිනගේ සියලු ම ආශාවන් සොලමන් රජු විසින් ප්‍රදානය කරන ලද බව 1 වැනි රාජාවලියේ සඳහන් වන්නේ ඔහුට දාව ඇයට දරුවෙකු උපන් බව ද අඟවමින්.

(© Giovanni Demin) සොලමන් රජු සහ ශීබා හි රැජින

රාගය හේතුවෙන් අහිමි වූ ප්‍රඥාව

බිසෝවරුන් 700ක් සහ උප-භාර්යාවන් 300ක් සිටි සොලමන් රජු, රාගාධික පාලකයෙකු බව මූලාශ්‍රයන් හි දැක්වෙනවා. ඔහුගේ බිසෝවරුන් බොහෝදෙනෙකු විදේශීය කුමාරිකාවන් බව යි සඳහන් වන්නේ. හීබෘෘ බයිබලයේ සඳහන් වන අන්දමට ඔහුට පරිහානිය රැගෙන විත් ඇත්තේ රාගය සහ මිථ්‍යා දෘෂ්ටිය යි. ඔහුගේ බිසව වූ පාරාවෝ රජුගේ දියණිය ප්‍රතිමා වන්දනය සඳහා ඔහු ව යොමු කර ඇති අතර, ඔහුගේ අනෙක් බිසෝවරුන් වෙනත් දෙවිවරුන් වන්දනා කිරීම සඳහා ඔහු ව පොළඹවන ලද බව 1 වැනි රාජාවලියේ සඳහන් වෙනවා. එහි තවදුරටත් දැක්වෙන්නේ ප්‍රතිමා වන්දනය, අන් දෙවිවරුන් කරා යොමු වීම, සහ විදේශ කාන්තාවන් සමග විවාහ වීම යන පාපයන් සඳහා දඬුවමක් ලෙස දෙවියන් වහන්සේ විසින් සොලමන් රජු විසින් එක්සේසත් කරන ලද ඊශ්‍රායලය නැවත විසුරුවන ලද බව යි.

(© Willem de Poorter) ප්‍රතිමා වන්දනයේ යෙදෙන සොලමන් රජු

කෙසේ වුව ද, දශක 4කට ආසන්න කාලයක් ඊශ්‍රායලය පාලනය කළ සොලමන් රජු, 60 හැවිරිදි වියේ දී මියගොස් ඇත්තේ ස්වභාවික කරුණු හේතුවෙනුයි. ඔහුගෙන් පසු ව ඔහුට දාව නාමා නම් බිසවට උපන් රියබෝවෙම් කුමරු, ඊශ්‍රායලයේ රජු ලෙස අභිෂේක ලබා තිබෙනවා.

කවරයේ පින්තූරය: © storage.googleapis.com

Related Articles