Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින අභාවයට යන ලංකාවේ කිතුල් කර්මාන්තය

කිතුල් හකුරු කෑල්ලක් හපමින් උණුසුම් බෙලිමල් කෝප්පයක් බොන්න අපි කවුරුත් කැමතියි. නමුත් හොඳ තත්ත්වයේ කිතුල් හකුරු අද වන විට වෙළඳපොලේ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. අතීතයේ ලංකාව තුළ හොඳින්ම ක්‍රියාත්මක වුණු කිතුල් කර්මාන්තය ක්‍රමයෙන් අභාවයට යමින් පැවතීම වෙළඳපොල තුළ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුව යි. බොහෝ විට විවිධ සමාගම් විසින් කිතුල් පැණි, කිතුල් හකුරු වැනි දේ කෘතිම රසායනික ද්‍රව්‍යය යොදාගෙන නිෂ්පාදනය කරනවා. නමුත් දේශීය කිතුල් කර්මාන්තයේ යෙදෙන්නන් ස්වභාවිකව නිපදවන කිතුල් පැණි සහ කිතුල් හකුරු තරම් රසයක් කෘතිමව නිපදවන ඒවායේ දක්නට ලැබෙන්නේ නැහැ.

කිතුල් ශාකය බහුලව දක්නට ලැබෙන ප්‍රදේශ 

ආසියානු මහද්වීපයට ආවේණික කිතුල් ශාකය මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, බස්නාහිර, සහ දකුණ යන පළාත්වල දී දක්නට ලැබෙනවා. නමුත් ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස කිතුල් ශාකය ප්‍රයෝජනයට ගනු ලබන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණ යන පළාත්වලට අයත් දිස්ත්‍රික්ක කිහිපයක පමණ යි. කිතුල් කර්මාන්තය මහා පරිමාණයෙන් සිදුකරන දිස්ත්‍රික්ක කිහිපය අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ රත්නපුර, මාතර, මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 4යි. 

කිතුල් වර්ග 

දේශීය කිතුල් සහ කුරු කිතුල් වශයෙන් කිතුල් ප්‍රභේද 2ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙනවා. දේශීය කිතුල් ප්‍රභේදයට අයත් කිතුල් ශාකයක් විශාලත්වයෙන් වැඩි වන විට කුරු කිතුල් ප්‍රභේදයට අයත් කිතුල් ශාකයක උස මීටර් 4-5ක් පමණක් වනවා. සාමාන්‍යයෙන් වසර 20-25 අතර ආයු කාලයක් ඇති දේශීය කිතුල් ශාකයකින් දිනකට තෙලිදිය බෝතල් 10ක් පමණ ලබාගත හැකියි. නමුත් කුරු කිතුල් ශාකයේ හටගන්නා මල් ප්‍රමාණයෙන් කුඩා නිසා දිනකට ලබාගත හැකිවන්නේ තෙලිදිය බෝතල් ප්‍රමාණය 2ක් පමණ යි. ආර්ථිකමය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දේශීය කිතුල් ප්‍රභේදයට අයත් ශාක වගා කළත් බොහෝ දෙනෙකු කුරු කිතුල් ප්‍රභේදයට අයත් ශාක ගෙවත්ත අලංකාර කරගැනීම සඳහා වගා කරනවා.

දේශීය වර්ගයේ කිතුල් ශාකයක් (Sri Lankan Mirror)

කිතුල් මල් මැදීම  

කිතුල් ශාකයෙන් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීම සඳහා කිතුල් මල් මැදීම සිදුකළ යුතු යි. සාමාන්‍යයෙන් කිතුල් මලක් මැදීම සඳහා සුදුසු තත්ත්වයකට පත්කර ගැනීමට එය පදම් කරනු ලබනවා. කිතුල් මල පදම් කිරීමෙන් පසුව මල මේරීම ප්‍රමාද වීම, මල මැදීමට පහසුවන ලෙස මොළොක් බව වැඩිවීම වැනි ලක්ෂණ නිරීක්ෂණය කළ හැකියි. මල පදම් කිරීම සඳහා ක්‍රම කිහිපයක් භාවිතා කරනවා. පහත දක්වා ඇත්තේ මල් පදම් කිරීම සඳහා භාවිතා කරන ක්‍රම කිහිපය යි.

1) මලට අත්බෙහෙත් තැබීම 

2) මලට උල් ගැසීම 

3) මලේ වෘන්තය තැලීම 

4) මලෙහි වෘන්තය අග පිළිස්සීම හා දුම්ගැස්වීම 

ඉහත මල් පදම් කිරීමේ ක්‍රම අතුරින් එක් ක්‍රමයක් තෝරා ගැනීමේ දී පහත සඳහන් සාධක කිහිපය සලකා බලනු ලබනවා. එම සාධක සලකා බැලීමෙන් පසුව වඩාත් සුදුසු මල් පදම් කිරීමේ ක්‍රමය භාවිතා කළ හැකියි.

1) පවතින කාළගුණික තත්ත්වය

2) ගසේ නිෂ්පාදන තත්ත්වය

3) මලේ විශාලත්වය 

4) මල මෝරා ඇති ප්‍රමාණය 

5) මල් මදින්නාගේ දක්ෂතාවය 

ඉහත සඳහා කළ මල් පදම් කිරීමේ ක්‍රම අතුරින් බහුලවම භාවිතා කරන්නේ මලට අත්බෙහෙත් තැබීමේ ක්‍රමය යි. එම ක්‍රමයට මල් පදම් කිරීමේ දී ස්වභාවික මල් බෙහෙත් සහ කෘතිම මල් බෙහෙත් භාවිතා කරනවා. කිතුල් මල් පදම් කිරීම සඳහා භාවිතා කරන නවීනතම ක්‍රමය වන්නේ කැස්පර් ක්‍රමය යි. එහි දී නියමිත කැස්පර් ද්‍රාවණ ප්‍රමාණය සිරින්ජයක් භාවිතා කරමින් මලට ඇතුල් කරනවා.

කිතුල් මදින්නෙක් (sith mal yaya)

කිතුල් ශාකය ආශ්‍රිතව සිදුකරන නිෂ්පාදන 

කිතුල් ශාකය ආශ්‍රිතව සිදුකරන නිෂ්පාදන අතරට කිතුල් පැණි, කිතුල් හකුරු, විනාකිරි, කිතුල් තෙලිදිය වැනි ඒවා අයත් වනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලේ තල්, සහ පොල් භාවිතයෙන් නිපදවන පැණි සහ හකුරු දක්නට ලැබුණත් රසයෙන් සහ ගුණයෙන් ඉහළ වන්නේ කිතුල් ශාකයෙන් නිපදවන පැණි සහ හකුරු යි. එසේම වෙළඳපොල තුළ වැඩිම ඉල්ලුම තිබෙන්නේ කිතුල් හකුරු සහ කිතුල් පැණිවලට යි. 

කිතුල් තෙලිදිය පානය ශක්තිජනක මෙන්ම ප්‍රනීත පානයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා. පැරැන්නන් කිතුල් රා නිතරම පානය කිරීමට පුරුදුව සිටි බව කියවෙනවා. සාමාන්‍යයෙන් කිතුල් රා වල අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය 5-5.5% අතර අගයක් ගන්නවා. ඊට අමතරව කිතුල් පිටි භාවිතා කරමින් සාදනු ලබන කිතුල් තලප රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් වනවා.

කිතුල් හකුරු (Dinamina) 

වෙනත් ප්‍රයෝජන 

කිතුල් ශාකයේ දැවය යොදාගෙන පාරම්පරික ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. කිතුල් දැවයේ ඇති ශක්තිමත් බව සහ කල්පවත්නා බව යන ගුණාංග නිසා එලෙස භාණ්ඩ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරනවා. කිතුල් කෙන්ද ආශ්‍රිතව ද විවිධ නිෂ්පාදන කරනු ලබනවා. කෙඳි බුරුසු වැනි උපකරණ ඊට උදාහරණ ලෙසින් දැක්විය හැකියි. එසේම කිතුල් පත්‍ර අලංකරණය සඳහා යොදාගන්නවා. ඊට අමතරව කිතුල් පත්‍ර සහ කිතුල් බොඩය අලින්ගේ ප්‍රධාන ආහාරයක් වනවා. අලි අනාථාගාරවල සහ නිවෙස්වල සිටින අලින්ට ආහාර ලබාදීම සඳහා දිනකට විශාල කිතුල් බොඩ සහ පත්‍ර ප්‍රමාණයක් අවශ්‍ය වනවා.

දේශීය කිතුල් කර්මාන්තය අභාවයට යාමට හේතු 

පසුගිය දශක කිහිපය තුළ සංවර්ධනය ව්‍යාපෘති සඳහා කැලෑ ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සුලභවම සිදුවුණු දෙයක්. එමගින් කැලෑ ප්‍රදේශ ආශ්‍රිතව වැවෙන කිතුල් ශාක වැඩි වශයෙන් විනාශයට පත් වුණා. අතීතයේ දී ගම්මාන ආශ්‍රිතව කිතුල් මදින්නන් සුලභව දක්නට ලැබුණත් වර්තමානය වන විට එවැනි රැකියා තෝරාගන්නා පිරිසෙහි විශාල අඩුවීමක් දක්නට ලැබෙනවා. එසේම කිතුල් කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදන කටයුතු කරන බොහෝ දෙනෙකුට මහන්සියට සරිලන ආර්ථිකමය ලාභයක් හිමිවන්නේ නැහැ. එම නිසා බොහෝ පිරිස් කිතුල් කර්මාන්තය අතහැර වෙනත් රැකියා තොරාගැනීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා.

කිතුල් කර්මාන්තය දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ

කිතුල් ශාකය ආශ්‍රිතව සිදුකරන කිතුල් පැණි, කිතුල් හකුරු වැනි නිෂ්පාදනවලට දෙස්  සහ විදෙස් වෙළඳපොල තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා. එම නිසා ලංකාවේ කිතුල් කර්මාන්තය දියුණු කළොත් දේශිය නිෂ්පාදන අපනයනය කිරීම මඟින් රටට විදේශ විනිමය ලැබෙනවා. එසේම සැලකිය යුතු පිරිසකට හොඳ ආදායමක් ලබා ගැනීමට මඟ විවර වනවා. වර්තමාන රජය අමාත්‍යාංශ වෙන් කිරීමේ දී කිතුල් වගාව දියුණු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකුපත්කර තිබෙනවා. එය කිතුල් වගාකරුවන්ට සුභදායී ආරංචියක් වනු ඇති. 

කවරයේ ඡායාරූපය- A Pair Of Travel Plants

මූලාශ්‍රයයන්- කිතුල් කප් රුකකි 

Related Articles