Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්පාඤ්ඤ වැසියන්ගේ තක්කාලි උත්සවය : ලා ටොමැටිනා

යුරෝපයේ අයිබේරියානු අර්ධද්වීපයේ පිහිටා ඇති ස්පාඤ්ඤ රාජධානිය, ප්‍රාග්-ඓතිහාසික යුගයේ පටන් ම ජනාවස වී පැවති බව යි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. සියවස් ගණනාවක් පසුපසට දිව යන අතීතයක් සහිත ස්පාඤ්ඤයට සංස්කෘතිකමය වශයෙන් සාරවත් අංගයන් රාශියක් පවතින බව පැවසීම වැරදි නැහැ. මෙවැනි ඇතැම් අංග දශක කිහිපයකට පෙර ස්පාඤ්ඤ සංස්කෘතියට එක් වූ ඒවා යි.

සෑම වර්ෂයක දී ම අගෝස්තු මාසයේ අවසන් බදාදා දින බුනොල් නුවර දී පැවැත්වෙන ‘ලා මොමැටිනා’ උත්සවය ද එවැන්නක්. දෙස් විදෙස් සංචාරකයින් අතර ලොව දැවැන්ත ම ආහාර සටන ලෙස ජනප්‍රිය එය ආරම්භ වී ඇත්තේ 1940 දශකයේ දී යි.

© Robert Harding

‘ලා ටොමැටිනා’ ඉතිහාස කතාවෙන් බිඳක්

ඉතිහාසයේ සඳහන් වන්නේ ‘ලා ටොමැටිනා’ උත්සවය ඇරඹුණේ 1945 අගෝස්තු මාසයේ අවසන් බදාදා දින ‘යෝධයෝ සහ ඔළුබක්කෝ’ නම් විසිතුරු ඇඳුම් උළෙලට සහභාගී වීම සඳහා නගර චතුරස්‍රයට එක් වූ තරුණයින් පිරිසක් හේතුවෙන් බව යි. මෙසේ නගර චතුරස්‍රයට එක් වූ තරුණයින්, සංගීතඥයින් සහ අනෙක් පිරිවර ජනයා සමග ‘යෝධයෝ සහ ඔළුබක්කෝ’ පෙරහැරට එක් වීමට තීරණය කර තිබෙනවා. පෙරහැර අතරතුර දී එක් තරුණයෙකු බිම​ ඇදගෙන​ වැටුණු අතර එයින් කෝපයට පත් ඔහු, අතට අසු වූ සෑම දෙයකින් ම අන් අයට දමා ගැසීමට පටන් ගෙන තිබෙනවා. පහර කෑමට ලක් වූ අය අසල පිහිටි එළවළු වෙළඳසැලකින් එළවළු ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුවා. අවසානයේ දී මෙම ‘එළවළු සටන’ අවසන් වුණේ පොලිසියේ මැදිහත් වීමෙන්.

© Chase Baltz

ඊළඟ වසරේ දී තරුණයින් යළිත් වරක් පැරණි ආරවුල ගොඩ ගත් අතර මෙවර තම ප්‍රතිවාදීන්ට පහර දීම සඳහා ඔවුන් නිවෙස්වලින් තක්කාලි රැගෙන විත් තිබුණා. කෙසේ හෝ සෑම වසරක දී ම මෙලෙස ‘තක්කාලි සටන’ පැවති අතර බොහෝ විට එය අවසන් වුණේ පොලිසිය මැදිහත් ව තරුණයින් කිහිප දෙනෙකු සිර භාරයට ගැනීමෙන් අනතුරුව යි. එසේ ම 1950 දශකයේ දී තරුණයින්ගේ ‘තක්කාලි සටන’ තහනමට පවා ලක් වුව ද නගර වැසියන් නිරතුරුව ම එය විනෝද ක්‍රීඩාවක් ලෙස සලකමින් ඒ පිළිබඳ ව කතාබස් කර ඇති අතර අවසානයේ දී බලධාරීන් විසින් යළිත් ‘තක්කාලි සටන’ සඳහා අවසර ලබා දී තිබෙනවා.

නමුත් යළිත් වරක් 1957 දී ‘තක්කාලි සටන’ තහනමට ලක් වූ අතර එයට නගර වැසියන්ගේ විරෝධය දැඩි ලෙස එල්ල වුණා. ඔවුන් මිනී පෙට්ටියක තැන්පත් කළ විශාල තක්කාලි ගෙඩියක් බුනොල් නුවර වීදි පුරා රැගෙන ගොස් භූමදාන කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම විරෝධතා පෙළපාලියේ දී අවමංගල ගීත පවා වාදනය කරන ලද බව සඳහන්.

© Tico Tomatina

මෙහි අවසන් ප්‍රතිඵලය වුණේ ‘තක්කාලි සටන’ හෙවත් ‘ලා ටොමැටිනා’ රාජ්‍ය උත්සවයක් ලෙස නම් කිරීම යි. ඒ අනුව ‘Informe Semanal’ නම් වූ ස්පාඤ්ඤ රූපවාහිනි වැඩසටහනේ දී ‘ලා ටොමැටිනා’ ගැන වාර්තා කරන ලද අතර බුනොල් නුවරින් ආරම්භ වූ අපූරු උත්සවය ගැන ස්පාඤ්ඤ වැසියන් සහ ලෝකය දැනගෙන ඇත්තේ ඒ ආකාරයෙන්.

එතැන් පටන් සෑම වර්ෂයක දී ම දෙස් විදෙස් සංචාරකයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සෑම වසරක ම අගෝස්තු මාසයේ අවසන් බදාදා දින ‘ලා ටොමැටිනා’ උත්සවය බුනොල් නුවර දී පැවැත්වෙනවා. මේ වසරේ උත්සවය පැවැත්වීමට නියමිත ව ඇත්තේ අගෝස්තු 29 වැනි දා යි.

පැයක දී සමරන ‘ලා ටොමැටිනා’

© Dee McEvoy

සාමාන්‍යයෙන් ‘ලා ටොමැටිනා’ උත්සවය ආරම්භ වන්නේ උදෑසන 11 ට පමණ යි. තක්කාලි පුරවන ලද ට්‍රක් රථ නියමිත වේලාව ආසන්න වන විට නගරය මධ්‍යයේ පිහිටා ඇති ‘ප්ලාසා ඩෙල් පෙබ්ලෝ’ නම් චතුරස්‍රයට ළඟා වෙනවා. බොහෝ විට තක්කාලි තොග රැගෙන එන්නේ පෘතුගාල දේශ සීමාවේ පිහිටා ඇති එක්ත්‍රමදුරා නම් ප්‍රදේශයෙන්. උත්සවයේ ආරම්භ සිදු වන්නේ නිර්භීත පුද්ගලයෙකු මහල් දෙකක් පමණ උසින් යුතු ග්‍රීස් ආලේප කරන ලද දැවමය කුලුන තරණය කර ඒ මත තැන්පත් කර ඇති හැම් කුට්ටිය ලබා ගැනීමෙන් පසු ව යි.

© Robert Harding

මෙසේ ඇරඹෙන ‘ලා ටොමැටිනා’ උත්සවය පැවැත්වෙන්නේ පැයක කාලයක් පමණ යි. එම කාල සීමාව අවසන් වූ පසු කිසිවෙකුටත් තක්කාලි විසි කිරීමේ හැකියාවක් නැහැ. උත්සවය අවසානයේ දී ගිනි නිවන රථ මගින් විදින ජලයෙන් සභභාගී වූ අය සහ නගරය පිරිසිදු කිරීම සිදු කරනවා. ඇතැම් සංචාරකයින් පිරිසිදු වීම සඳහා බුනොල් ගංගාව වෙත යන අයුරු ද දැක ගැනීමට හැකි යි. කෙසේ වුව ද ‘ලා ටොමැටිනා’ උළෙල අවසානයේ තක්කාලිවල අන්තර්ගත වන අම්ල ස්වභාවය හේතුවෙන් නගරයේ වීදි ද මැනවින් පිරිසිදු වන බව යි සඳහන් වන්නේ.

තරඟ නීතිරීති

‘ලා ටොමැටිනා’ උත්සවය වඩාත් විධිමත් කිරීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම සඳහා එයට සහභාගී වන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නීතිරීති මාලාවක් හඳුන්වා දීමට බුනොල් නුවර බලධාරීන් කටයුතු කර තිබෙනවා.

  • බෝතල්, ඝන ද්‍රව්‍ය සහ අනෙක් අයට හානි සිදු කළ හැකි ද්‍රව්‍ය විසි කිරීම තහනම් වේ.
  • අන් අයගේ හෝ තමන්ගේ ඇඳුම් පැලඳුම් ඉරා දැමීම හෝ විසි කිරීම තහනම් වේ.
  • එල්ල වන පහරේ දැඩි බව අවම කිරීම සඳහා විසි කිරීමට පෙර තක්කාලි ගෙඩි පොඩි කළ යුතු වේ.
  • සෑම විට ම තක්කාලි රැගෙන එන ලොරි රථ සහ තරඟකරුවන් අතර සැලකිය යුතු දුරක් තබා ගැනීමට අවශ්‍ය වේ.
  • තරඟය අවසන් වන බවට දෙවැනි සංඥාව නිකුත් වූ විට තක්කාලි විසි කිරීම නතර කළ යුතු වේ.
  • සෑම විට ම අසල සිටින ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස්වලට අවනත විය යුතු වේ.

කවරයේ පින්තූරය : © Tours For You Spain

Related Articles