Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හර්කියුලීස්ගේ වැඩ දොළස – අවසන් වැඩ හත

හෙ‍රැක්ලීස් වැඩ දොළහක් සිදුකරන්නට මුල් වුණු නිධාන කතාවත්, ඒ වැඩ දොළහෙන් මුල් වැඩ 5ත් ගැන තොරතුරු අප මින් පෙර ලිපියකින් ගෙන ආවා. මේ, එහිම දෙවන සහ අවසන් දිගහැරුම. මෙයින් ඔහුගේ අවසන් වැඩ හතත්, ඉන්පසු සිදු වූ දෙයත් විස්තර කෙරෙනවා.

ස්ටැම්ෆීලියානු කුරුළු රෑන පරාජය කිරීම

ස්ටැම්ෆීලියානු කුරුල්ලන් මැරීම  (theoi.com)

යුද්ධයට අධිපති ඒරිස් දෙවිඳුන්ගේ සුරතලුන් වූ ස්ටැම්ෆීලියානු කුරුල්ලන් ලෝකඩ හොටයන්, ලෝහමය පිහා‍ටු, සහ විෂ සහිත වූ වසුරු ද හෙලන මිනීකන කුරුළු රෑනක්. ස්ටැම්ෆීලියානු විල් ප්‍රදේශයෙන් ආකේඩියාවට සංක්‍රමණය වූ මොවුන් එහි වාසීන්ගේ වගා පාළු කරමින්, මිනිසුන් මරමින් මහත් භීෂණයක් ඇති කළා.

හෙ‍රැක්ලීස්ට බාර වුණේ මොවුන් එලවා දැමීම වුණත්, එය කළ හැකි අයුරක් ඔහු දැන සිටියේ නැහැ. මෙය දු‍ටු ඇතීනා දෙවඟන ඔහුගේ පිහිටට එමින් දිව්‍යමය ලෝකුරුවා වූ හෙෆීස්ටස් විසින් එම කාර්යය සඳහාම තනන ලද, මහත් ශබ්ද නඟන කටකටායනයක් ඔහුට ලබාදෙනවා. එය සෙලවීමෙන් කුරුළු රෑන කලබල කර අහසට එලවන හෙ‍රැක්ලීස් සිය කැටපෝලයෙන් විද, ඔවුන්ගෙන් පිරිසක් මරා දමනවා. ඉන් බියට පත්වන ඉතිරි කුරුල්ලන් ප්‍රදේශයෙන් පලායන්නේ නැවත නොඑන්නට යි.

ක්‍රීට ගවයා අල්ලාගැනීම

හෙ‍රැක්ලීස් ක්‍රීට ගවයා හා පොරබැදීම – ෆ්‍රැන්සිස්කෝ ඩි සූර්බැරන්ගෙ චිත්‍රයකි. (1598 – 1664)  (Wikimedia)

සාගර දෙවියා ක්‍රීට දූපත් වැසියන් බියපත් කිරීමට මහා ගවයෙකු එවා තිබුණා. මේ ගවයා කෙත්වතු විනාශ කරමින්, පළතුරු වතු සමතලා කරමින් දිවයිනේ හැසිරුණු, අල්ලාගැනීමට නොහැකි සත්ත්වයෙක්. හෙ‍රැක්ලීස් ද ඌ අල්ලාගැනීමට අසමත් වනු ඇතැ යි සිතා, එම කාර්යය ඔහුට පැවරුණා.

ක්‍රීටයට ගොස් එහි රජුගෙන් ගවයා ඇල්ලීමට අවසර ලබාගන්නා හෙ‍රැක්ලීස්, ඌට නොපෙනෙන සේ උගේ පසුපසින් ගොස්, ගෙල සිරකර අල්ලා ගවයා මෙල්ල කරගන්නවා. ඉන්පසු ගවයා පණපිටින්ම යුරිස්තියස් වෙත ගෙනගියත් ඔහු නැවතත් පි‍තෝස් බුජමේ සැඟ වී, ගවයා හීරාට බිලිදීමට යෝජනා කරනවා. හෙ‍රැක්ලීස් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් සිටිනා හීරා බිල්ල පිළිගන්නේ නැහැ. එනිසා එම ගවයා මැරතොන් වෙත මුදාහැරෙනවා. 

ඩයමිඩීස්ගේ වෙළඹුන් අල්ලාගැනීම

ඩයමිඩීස්ව වෙළඹුන් විසින් ආහාරයට ගනීයි  (The Getty)

ඩයමිඩීස් වනචාරී රජෙක්. ඔහු ඔහුගේ වෙළඹුන්ට මිනීමස් කෑමට හුරුකර තිබුණා. හෙ‍රැක්ලීස්ව මෙවර යැවුණේ මේ වෙළඹුන් ගෙන ඒම සඳහා යි.

ත්‍රේස් වෙත ගොස් වියරු වෙළඹුන් අල්ලා සිය අතවැසි ගැටවරයා වෙත පවරන ඔහු ඩයමිඩීස් රජු හා සටනට යනවා. නමුත් ආපසු එද්දී වෙළඹුන් විසින් ගැටවරයාව අනුභව කර තිබුණා. ශෝකයෙන් උමතු වන හෙ‍රැක්ලීස්, ඩයමිඩීස් මරා ඔහුගේ සිරුර වෙළඹුන්ට කෑමට දී, ඔවුන්ව සන්සුන් කළ බව යි ජනප්‍රවාදය.

වෙළඹුන්ගේ මුඛයන් බැඳ, ඔවුන් යුරිස්තියස් වෙත ගෙනයෑමෙන් අනතුරුව ආර්ගොස්හි නිදහසේ සැරීමට අත්හරින ලද බව කියැවෙනවා.

හිපොලිතේ ‍රැජිණගේ බඳපටිය ගෙන ඒම

හිපොලිතේ හා සටන (shmoop.com)

යුරිස්තියස් රජ සිය දියණියන් සතු‍ටු කිරීම උදෙසා, ඇමසෝනියානුවන්ගේ ‍රැජිණ වූ හිපොලිතේගේ බඳ පටිය ගෙන එන ලෙස හෙ‍රැක්ලීස්ට නියම කරන්නේ ඔහුගේ නව වන කාර්යය ලෙස යි. මෙම කාර්යය හීරා දෙවඟන නොවන්නට වඩා සාර්ථකව නිමවන්නට තිබුණා යි කිවහැකියි.

මුල දී, හෙ‍රැක්ලීස් ගැන පැහැදුණු හිපොලිතේ සිය බඳ පටිය ඔහුට දීමට කැමැත්තෙන් පසුවුණු බව කියැවෙනවා. නමුත් වෙස්වලාගත් හීරා හෙ‍රැක්ලීස් ගැන දූෂ්‍යමාන ආරංචි ඇමසන්වරියන් අතරේ පැතිරවීම නිසා ඔවුන් ඔහු හා සටනට සූදානම් වෙනවා. තමාට බඳ පටිය ලබාදෙන බවට කළ පොරොන්දුව කඩ කර, තමාව මරන්නට පැමිණෙන ඇමසන් රණශූරීන් හා සටන් කරන හෙ‍රැක්ලීස්, හිපොලිතේ මරා, ඇගේ බඳ පටිය යුරිස්තියස් වෙත ‍රැගෙන යනවා.

ගෙරියොන්ගේ ගව පට්ටිය

ගෙරියොන්ගේ ගවයින් සොරාගෙන යන හෙ‍රැක්ලීස් (pixels.com)

ගෙරියොන්, සිරුරු තුනක් සහ පියාපත් හතරක් තිබූ දැවැන්තයෙක්. හිරුගේ ආලෝකයෙන් සමෙහි රතු පැහැ ලප වැ‍ටුණු අනර්ඝ ගොනුන් පට්ටියක් ඔහු සතු වුණා. යුරිතියන් නම් ගොපල්ලෙක්, හිස් දෙකක් සහිත ඔර්තොස් නම් ගොපලු සුනඛයෙකුගේ සහායෙන් පට්ටිය ආරක්ෂා කළා.

හිරු දෙවි හීලියස් විසින් ප්‍රදානය කෙරුණු ඔරුවක නැඟී ගොස්, යුරිතියන් හා ඔර්තොස් මරා ගව පට්ටිය තමා යටතට ගන්න හෙ‍රැක්ලීස්, එයට විරෝධය පාමින් ආ ගෙරියොන් මරා දමන්නේ ලර්නියානු දිය රකුසාගෙන් එකතු කරගත් විෂ සහිත ලෙයින් පෙඟවූ හීයකින් විදීමෙන්. එයින් පසු ගව පට්ටිය ඔරුවේ දමාගන්නා හෙ‍රැක්ලීස් ඔවුන් යුරිස්තියස් වෙත ගෙනයන්නේ මඟ දිගට හීරාගෙන් ගැහැට විඳිමිනුයි.

මුලින් හෙ‍රැක්ලීස්ට කරන්නට පැවරුණේ කාර්යයන් 10ක් පමණක් බව අප කිව්වා ඔබට මතක ඇති. මේ වන විට ඒ දහයම සම්පූර්ණ කර තිබුණා වුණත්, ලර්නියානු දිය රකුසා මැරීමත්, ඕගියානු ඉස්තාල පිරිසිදු කිරීමත් හෙ‍රැක්ලීස් විසින් තනිවම සිදු නොකළ බව කියූ යුරිස්තියස්, වැඩ 10 සම්පූර්ණ වීමට නම් තවත් වැඩ දෙකක් සිදු කළ යුතු බව කියනවා. ඒවායින් පළමු කාර්යය වුණේ හෙස්පිරිඩීස් උද්‍යානයෙන් රන් ඇපල් සොරකම් කිරීම යි.

හෙස්පිරිඩීස් උද්‍යානයේ රන් ඇපල්

හෙස්පිරිඩීස් අප්සරාවන් රන් ඇපල් ගසක් අසල (theoi.com)

මහා සාගරයේ නොදන්නා තැනක පිහිටි කුඩා දූපතක, හීරා දෙවඟනගේ රන් ඇපල් උද්‍යානය පිහිටා තිබුණා. එය ආරක්ෂා කළේ හෙස්පිරිඩීස් නම් අප්සරාවන් පිරිසක් සහ මහ මකරෙක්. ඒවා කෑමට ගන්නා අයෙක් අමරණීයත්වයට පත්කරන මේ ඇපල් කීපයක් සොරාගෙන ඒම හෙ‍රැක්ලීස්ට පැවරුණා.

පළමුවෙන්ම මේ දිවයින් සොයාගත යුතු වුණා. හෙ‍රැක්ලීස් සාගර දේවතාවෙකු අල්වාගෙන, දිවයින තිබෙන තැන ඔහුගෙන් අසාගත්තා. දිවයිනට ගිය ඔහුට, දෙව්ලොව තම කරපිටින් ඔසවා සිටින ඇට්ලස් යෝධයා හමුවුණා. හෙස්පිරිඩීස් අප්සරාවුන්ගේ පියා ඔහු යි. තමා වෙනුවෙන් ඇපල් කීපයක් සොරකම් කළ හැකි නම්, තමා ඔහු උසුලා සිටින බර ස්වල්ප වේලාවකට දරාසිටින්නට සූදානම් වග හෙ‍රැක්ලීස් ඇට්ලස්ට කියනවා. කෙසේ නමුත්, ඇපල් සොරා ගෙන එන ඇට්ලස් පවසන්නේ තමාට නැවතත් දෙව්ලොව ඔසවාගෙන සිටීමට අවශ්‍ය නැති බව යි. එනිසා ඇට්ලස් රවටා නැවතත් දෙව්ලොව ඔහු පිටට දීමට හෙ‍රැක්ලීස්ට සිදුවෙනවා.

ඒ සියල්ලෙන් පසු රන් ඇපල් ද ‍රැගෙන ආපසු පැමිණි හෙ‍රැක්ලීස් දකින යුරිස්තියස් වියරු වැටෙන්නේ ඔහු නැවත පැමිණෙනු ඇතැ යි කිසිදු විශ්වාසයක් යුරිස්තියස්ට නොතිබූ නිසා යි.

සර්බරස් අල්ලාගැනීම

හෙ‍රැක්ලීස් සහ සර්බරස් (Museo Del Prado)

හෙ‍රැක්ලීස් මැරීම සඳහා කළ කිසිදු ප්‍රයත්නයක් සාර්ථක නොවූ නිසා, යුරිස්තියස් සිය අවසන් සැලැස්ම ක්‍රියාත්මක කරනවා. හෙ‍රැක්ලීස්ට පැවරෙන අවසන් කාර්යය වන්නේ පරලොව ද්වාරයන් මුර කරන හිස් තුනේ සුනඛයා වූ සර්බරස් අල්ලාගෙන ඒම යි.

හර්මීස් සහ ඇතීනා දෙවිවරුන්ගේ සහාය ද ඇතිව පරලොවට යන හෙ‍රැක්ලීස්, එහි අධිපති දෙවියා වූ හේඩීස් හමුවෙනවා. සර්බරස්ට හානියක් නොකර අල්ලාගත හැකි නම් සුනඛයාව මිනිස් ලොවට ගෙන යා හැකි බවට හේඩීස් හෙ‍රැක්ලීස්ට අවසර ලබාදෙනවා. ඒ අවසරයත් සමග සර්බරස් හා පොර වදින හෙ‍රැක්ලීස් ඌ මෙල්ලකොට, කරපිට තබාගෙන යුරිස්තියස් හමුවට ගෙන යනවා. සර්බරස් දැකීමෙන් බියපත් වන යුරිස්තියස් නැවත වරක් පලාගොස් සිය බුජමේ සැඟවෙන්නේ, සර්බරස්ව නැවතත් පරලොවට හැරලා පැමිණියහොත් හෙ‍රැක්ලීස්ට යළි කිසිදු කාර්යයක් නොපවරා නිදහස් කරන බවට පොරොන්දු වෙමින්.

පුරාවෘත්තයන් පවසන්නේ නම් යුරිස්තියස්ගෙන් නිදහස් වූ හෙ‍රැක්ලීස් ආර්ගෝ නැවේ වීර යාත්‍රිකයන් හා එක්ව රන් බැටළු සම සොයාගෙන ගිය බව යි. තවත් පුරාවෘත්තයන් මීට වෙනස් අවසානයන් ගැන පවසනවා.

මූලාශ්‍රයයන්:

Britannica

perseus.tufts.edu

greekmythology.com

mythologian.net

theoi.com

tribunesandtriumphs.org

Related Articles