Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කම්කරුවන්ගේ හඬ හඳුනන ලංකා කම්කරු ව්‍යාපාරය

කම්කරුවන් යනුවෙන් රටේ වැඩකරන ජනතාව හැඳින්විය හැක. අතීතයේ ලංකාවේ පැවතියේ රජු කේන්ද්‍ර කරගත් සමාජ රටාවකි. මෙහිදී මිනිසුන් ගොවිතැන් ප්‍රධාන කරගත් ජිවන රටාවක් ගෙන ගියේය. මීට අමතරව රජුගේ අණසක අනුව තවත් පිරිසක් කුල ක්‍රමය යටතේ තමන්ගේ රාජකාරි ඉටු කරන ලදි. උදාහරණයක් ලෙස කුඹල් කර්මාන්තය කරගෙන යන ලද්දේ කුඹල් කරුවන් විසිනි, රජුට අවශ්‍ය රත්‍රන් නිපදවන ලද්දේ රන් කරුවන් නම් වූ කොටසක් විසිනි.

නමුත් යුරෝපීය ජාතිකයින්ගේ පැමිණීමත් සමඟ කුළුබඩු, කුරුඳු, තේ වැනි දෑ අපනයනය කිරීම ආරම්භ කෙරූ නිසා කම්කරුවන් අවශ්‍ය විය. ඔවුන් බොහෝ විට පවත්වාගෙන යන ලද්දේ වහල් කම්කරු සේවයයි. මීට අමතරව යුරෝපිකයන්ගේ පැමිණීමත් සමඟ ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය වර්ධනය විය. මේ නිසා කම්කරුවන්ගේ අවශ්‍යතාවය ඉහළ යන ලදී. මිට අමතරව වතු වගාව දියුණු වීමත් සමඟ යටිතල පහසුකම් වර්ධය කිරීමටද කම්කරු ශ්‍රමය අවශ්‍ය විය. මේ නිසා ලංකාවේ මෙන්ම විදේශ වලින්ද කම්කරුවන් මෙරටට ගෙන්වන ලදී. එලෙස රට තුළ නිර්මාණය වූ කම්කරුවන්ගේ ව්‍යාපාරය පිලිබඳ කරුණු ඔබට ගෙන ඒමට මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වේ.

කම්කරුවන්ගේ ඉතිහාසය

maydaylisboa.net

1840දී පනවන ලද මුඩුබිම් ආඥා පනත යටතේ ලාංකිකයන්ට අයත් ඉඩම් බ්‍රිතාන්‍යයන් විසින් බලෙන් අත්පත් කරගන්නා ලදි. මේ නිසා තමාගේ ඉඩම් අහිමි වූ බොහෝ දෙනෙක් කම්කරු රැකියා සොයා ගෙන නගර වලට සංක්‍රමණය විය. මේ හේතුවෙන් වැවිලි කර්මාන්තය තුළ සේවකයින් හිඟ විය.

වතු වගාවන්ගේ ඇති කම්කරු හිඟය නැති කිරීමට බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් දෙවරක්ම විදේශ රට වලින් (මුල් වතාවේ කම්කරුවන් 180ක් ද දෙවනි වර කම්කරුවන් 660ක්) දෛනික වැටුප් යටතේ කම්කරුවන් ගෙන්වන ලදී. පසු කාලයේදී පාරවල් තැනීමට හා අනෙකුත් වැවිලි කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් දෙමළ ජනයා ගෙන්වන ලදී. 1840 සිට 1870 දක්වා මෙරට කෝපි වගාව සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර මේවාගේ වැඩ කිරීමට 1843 සිට 1859 කාලය අතර ගෙන්වන ලද පිටරට කම්කරුවන්ගේ ප්‍රමාණය පමණක් 903557ක් විය. මින් 80%ක් පමණ ද්‍රවිඩයින් විය.

මෙයින් පෙනී යන්නේ ලංකා කම්කරු ඉතිහාසයේ මුල් අවධිය සංක්‍රමනිකයන්ගෙන් පිරී පැවති බවයි. මෙකල වන විට මුළුමණින්ම වහල් සේවය නොතිබුනත් කම්කරුවා අර්ධ වහලෙක් බවට පත් වී  තිබුණි. මුල් කාලයේදී කම්කරුවාගේ වැටුප ලබා දෙන ලද්දේ එම වත්තේ කන්කානි වෙතටයි. නමුත් 1927 දී පනවන ලද නීතියකට අනුව වැටුප කම්කරුවාගේ අතටම හිමිවිය.

කම්කරු ව්‍යාපාරයේ වර්ධනය

indiacelebrating.com

කම්කරු ව්‍යාපාරයේ වර්ධනය වන්නට පටන් ගත්තේ පළමුවන ලෝක යුද්ධයෙන් පසුවයි. ලෝක යුද්ධයෙන් පසු රටවල් ආර්ථික අවපාතයකට මුහුණ දුන් අතර මෙයින් වැඩිපුරම පිඩාවට පත් වූයේ කම්කරු ජනතාවයි. පසුව රුසියන් විප්ලවයේ දෝංකාරය රට පුරා පැතිර යාමත් සමඟ ලංකාවේ කම්කරුවන් තුළද නව පිබිදීමක් ඇති විය. තවද ලංකාවේ හොඳින් ඉගෙනගත් මධ්‍යම පන්තික සමාජ කොට්ටාශයක් සැකසීමද කම්කරුවන්ගේ නැගී ඒමට හේතු විය. ලංකා කම්කරු සුබසාධක සංගමය පිහිටුවීම තුලින් කම්කරුවන්ගේ හඬ මතුවන්නට විය. පසුව 1928දි ලංකා කම්කරු පක්ෂය පිහිටු වීමත් සමඟ කම්කරුවන්ට දේශපාලන ක්ෂේත්‍රයට බලපෑම් කිරීමට හැකි විය.

ප්‍රථම වෘත්තීය සමිතිය හා ප්‍රථම වැඩවර්ජනය

lenscratch.com

වැවිලි කම්කරුවන්ට කිසිඳු අවස්ථාවක වැඩවර්ජනයක් හෝ වෘත්තීය අරගලයක් කිරීමට සුදු ජාතිකයින් ඉඩ ලබා දුන්නේ නැත. මොවුන්ගේ පලනයට එරෙහිව ප්‍රථම වැඩ වර්ජනය පවත්වන ලද්දේ 1893 වසරේදීය. ඒ කොළඹ විශාල මුද්‍රණ සමාගමක් වූ එච්. ඩබ්ලිව් කෙව් සහ සමාගමේ සේවකයින් විසිනි. ඔවුන් මෙය දියත් කරන ලද්දේ තම වැටුප් ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙනි. වැඩ වර්ජනයේ දෙවන දිනයේදී ලංකාවේ ප්‍රථම වෘත්තීය සමිතිය පිහිටුවා ගන්නා ලදී. එය හැඳින්වුයේ මුද්‍රණ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය ලෙසයි. මෙහි සාමාජිකයන් ගණන 200ක් විය.

ලංකා කම්කරු පක්ෂය

ලංකා කම්කරු පක්ෂය පිහිටුවන ලද්දේ කම්කරු නායකයෙකු වූ ඒ.ඊ.ගුණසිංහ විසිනි. ඔහු මෙය පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ආදර්ශයට ගනිමිනි. 1947 පාර්ලිමේන්තු මැතිවරණයට කම්කරු පක්ෂයේ සාමාජිකයින් 9ක් ඉදිරිපත් වූ අතර ආසනයක් දිනා ගැනීමට හැකි වූයේ ඒ.ඊ.ගුණසිංහට පමණි. 1952 මහ මැතිවරණයේ කම්කරු පක්ෂය දිනාගත් එකම ආසනය වුයේ නාවලපිටිය පමණි. එහිදී මෙම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තෙරී පත් වූයේ රොබට් එඩ්වඩ් ජයතිලක නමැත්තායි. ඒ අනුව පැහැදිලි වන්නේ ලංකාවේ කම්කරු පක්ෂය ඒ.ඊ ගුණසිංහ නම් පුද්ගලයා වටා ගෙතී තිබුණු බවයි.

කම්කරු සටනේ පෙරටුගමියෝ

wionews.com

කම්කරුවන් වෙනුවන් ගෙන ගිය සටනේ පෙරටුගාමීන් කීප දෙනෙකු විය. ඒ.ඊ ගුණසිංහ, දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

ඒ.ඊ ගුණසිංහ

මොහු එකල සිටි ප්‍රබල කම්කරු නායකයෙක් ලෙස දැක්විය හැක. මහනුවර ධර්මරාජ විදුහලේ ශිෂ්‍යයෙක් වන ඔහු 1911දි කොළඹට පැමිණ සමාජ සේවා වල නිරත විය. මොහු සමාජ සුරාකෑම හා අසාධාරණය දැක කෝපයට පත් විය. ඔහු තමාගේ ක්‍රියාවන් බොහොමයක් සිදු කරනු ලැබුයේ ලංකා සේවක සමිතිය නමින් පිහිටවූ සංවිධානයක් තුළිනි. ඒ.ඊ ගුණසිංහ මහතාගේ මෙම ක්‍රියාවන් පාලකයින්ට හිසරදයක් වී පැවතුණි. මොහු 1928දි කම්කරු පක්ෂය පිහිටු වීමට දායක වූ  අතර 1922දි ලංකා කම්කරු සමිතිය ආරම්භ කරන ලදී.

එස්.ඒ.වික්‍රමසිංහ

youtube.com

1933 ආරම්භ වූ සූරිය මල් ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙකු වූ මොහු වමේ නායකයින් බොහෝ දෙනෙක් ඇසුරු කරන ලදී. 1926 දී තමාගේ පශ්චාත් වෛද්‍ය උපාධිය සඳහා පිටව ගිය මොහු 1929 දී නැවත ලංකාවට පැමිණෙන විට කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධතා පැවතුණි. 1935 ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයින් අතර මොහුද විය.

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා

ලංකාවේ ප්‍රබල මැයි දිනයක් වූ 1935 වසරේ පවත් වූ මැයි දිනය සංවිධානය කරන ලද්දේ මොහුයි. මෙම මැයි දිනයේදී මොහුගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිතියක්ද පිහිටුවන ලදී. ලංකාවේ සමසමාජ පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙක් වූ කොල්වින් මහතා එම පක්ෂයේ ප්‍රථම සභාපතිවරයාද විය.

කවරයේ පින්තුරය – maydaysa.com.au

Related Articles