ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ පදක්කම(PWV) පිළිබඳව කෙටි හැදින්වීමක් හා පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ සොල්දාදුවන් දෙදෙනෙක් පිළිබඳව “මව්බිම වෙනුවෙන් දිවි දී පරම විභූෂණයෙන් පිදුම් ලැබූ වීර සොල්දාදුවෝ” නමින් ලිපියක් ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. මෙම ලිපිය ලියැවෙන්නේ එහි දිගුවක් ලෙසයි.

සතුරා හමුවේ නිර්භීත ලෙස සටන් කර මව්බිම වෙනුවෙන් දිවි පුද කල විරුවන් උදෙසා පිදෙන පරම වීර විභූෂණයෙන් දැනට පිදුම් ලබා ඇති අභීත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සොල්දාදුවන් 29 දෙනා අතරින් තවත් වීර සොල්දාදුවන් කිහිප දෙනෙක්ගේ වීර වික්‍රමාන්විත පිළිබඳව සටහනක් තමයි මේ ලිපිය තුලින් අද ඉදිරිපත් කරන්නට යන්නේ.

රිවිරැස මෙහෙයුම උදෙසා තම දිවිය අත්හළ බළලත් නිලධාරී පසන් ගුණසේකර

බළලත් නිලධාරී පසන් ගුණසේකර (Wikipedia)

1964 සැප්තැම්බර් 04 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපත ලැබූ පසන් ගුණසේකර නම් වීර සොල්දාදුවා 1985 වසරේදී යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට බැදී උතුරු නැගෙනහිර මෙහෙයුම් වලට සක්‍රීයව සහභාගී වෙනවා.

1995 වසරේ යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද රිවිරැස මෙහෙයුමේ සටන් පෙරමුණේ සිටි සෙබළෙක් වන පසන් ගුණසේකර චිරතිව් දුපත මුදාගැනීම සඳහා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වූ සෙබළුන් 16 දෙනා අතරින් එක් සෙබළෙක්.

රිවිරැස මෙහෙයුමේදී යාපනයේ සිටින කොටි කාඩර්වරුන්ට අවශ්‍ය ආහාර හා උණ්ඩ ප්‍රවාහනය කරන ලද්දේ මුහුද ඔස්සේ බෝට්ටු මඟින්. එම බෝට්ටු සියල්ල සඟවා තබන ලද්දේ චිරතිව් දුපත තුලයි. නාවික හමුදා සහය නොමැතිව පසන් ගුණසේකර ඇතුළු කුඩා කණ්ඩායම චිරතිව් දූපත තුළ බලය තහවුරු කරගෙන ආධාරක වෙඩි මධ්‍යස්ථානයක් පිහිටවීමේ අරමුණින් LTTE සංවිධානය හා දරුණු ගැටුමකට මැදි වෙනවා.

මෙහිදී වැදුණු වෙඩි කිහිපයක් හේතුවෙන් තුවාල ලබා සිටි බලලත් නිලධාරී පසන් ගුණසේකරට තම ජීවිත ආරක්ෂාව උදෙසා පසු බැසීමට අවකාශය තිබුණත් ඒ පිළිබඳව නොසිතන ඔහු තම සගයන් සමඟ චිරතිව් දුපතේ බලය ගජබා රෙජිමේන්තුව සතු කරගන්නේ “සමගිය ශක්තියයි” යන තම රෙජිමේන්තු පාඨය මැනවින් පසක් කරමින්.  එම සටන අවසන් වීමට ප්‍රථමව තවත් වෙඩි ප්‍රහාරයකට ලක්වෙන පසන් ගුණසේකර නම් විරුවා 1995 නොවැම්බර් 30දා සදහටම නිහඩ වෙනවා.

ඔහු මෙම සටනේ දැක්වූ නිර්භීතකම හේතුවෙන් 1998 ඔක්තෝබර්  10 වනදින වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබනවා. මෙම දූපත අල්ලා ගැනීම හේතුවෙන් LTTE සංවිධානයේ සැපයුම් මාර්ගය බිද වැටුණු අතර යුද්ධ හමුදාවට යාපනය නගරය අත්පත් කරගන්නට බොහෝ සෙයින් එය ඉවහල් විය.

තම සෙබළුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බෝම්බ පුපුරවාගත් විරුවා – ලුතිනන් නිශ්ශංක

ලුතිනන් නිශ්ශංක (Sri Lanka Army)

1971 ඔක්තෝබර් 21 වන දින ගම්පහ ප්‍රදේශයේදී උපත ලබන මෙම විරුවා අධිකාරිය ලබා ගජබා රෙජිමේන්තුවේ තුන් වන බල ඇණියට එක් වන්නේ දෙවන ලුතිනන් වරයෙක් ලෙසයි. 1993 වසරේ කොටින්ගෙන් වැඩිම තර්ජන එල්ල වූ සංග්‍රාමික වශයෙන් වැදගත් පුනරීන් කදවුරේ ඉදිරි ආරක්ෂක වළල්ලේ භට කණ්ඩායම මෙහෙයවීම ඔහුට භාර දෙනු ලබනවා.

1993 වසරේ නොවැම්බර් 11 වැනිදා සන්ගුපිඩි කලපුව හරහා පැමිණෙන ත්‍රස්තයන් දැවැන්ත ප්‍රහාරයක් ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරනවා. දැවැන්ත පළමු ප්‍රහාරය වලක්වන්නට නිශ්ශංක ඇතුළු භට පිරිස සමත් වුවත් බිහිසුණු දෙවන ප්‍රහාරයේදී ඔහුගේ පාදයක් බරපතල ලෙස තුවාල වෙනවා.

එදා මෙදාතුර ඉතිහාසයේ LTTEය විසින් එල්ල කළ අති බිහිසුණු ප්‍රහාරයක් වන පුනරීන් කදවුර අල්ලා ගැනීමේ ප්‍රහාරයේදී මිය ගිය හමුදා සාමාජිකයන් ගණන 400කට අධිකයි. අතුරුදහන් වූ ප්‍රමාණය 200ක් පමණ වෙනවා. මෙවැනි බරපතල තත්වයක් හමුවේ තම තුවාල වූ පාදයේ වේදනාව අමතක කර දමා බංකරයෙන් බංකරයට ගොස් සෙබළුන් දිරිමත් කල නිලධාරියෙක් වූ ලුතිනන් නිශ්ශංක ආධාරක භට කණ්ඩායම් ඉල්ලා සිටියත් කිසිම හමුදා ඛණ්ඩයකට පුනරීන් ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි වන සේ කොටි ප්‍රහාර එල්ල වෙනවා.

අලුයම 5 පමණ වන විට තුවාල ලැබූ සියලු සෙබළුන් රැගෙන පසු බසින ලෙස අණකළ මෙම විරුවා ඒ සඳහා සෙබළුන්ට මාර්ගය විවර කර දීමට අත් බෝම්බ දෙකක් රැගෙන ත්‍රස්තයන් වෙත කඩා පැන එය පුපුරවා ගන්නවා.  ඒ හේතුවෙන් විශාල ගණනක් වූ තුවාල ලැබූ සෙබළුන් පිරිසක් ජීවිතය බේරා ගනු ලබනවා. තම නිර්භීතබව පෙන්වමින් ස්වෙච්ජාවෙන්ම තම භට ඛණ්ඩය ආරක්ෂා කිරීමට මොහු තම දිවිය කැප කරන විට යාන්තම් අවුරුදු 22ක් සම්පුර්ණ වී තිබුනා. සතුරා හමුවේ මෙලෙස පෑ වීරත්වය හේතුවෙන් 1996 වසරේ පෙබරවාරි 4 වනදා ලුතිනන් නිශ්ශංක නම් විරුවාට පරම වීර විභූෂණය හිමි වෙනවා.

මෙසේ එදා යුද්ධ හමුදාවට අහිමි වූ පුනරීන් කදවුර වසර ගණනාවකට පසුව 2008 වසරේ 58 වන සේනාංකය විසින් නැවත අත්පත් කර ගන්නවා.

පලායාම වෙනුවට මරණය තෝරා ගත් කපිතාන් සාලිය අලදෙණිය

කපිතාන් සාලිය අලදෙණිය අධිකාරිය ලැබූ දා තම මව හා පියා සමඟ (Sunday Observer Online)

1963 මැයි 01වනදා මහනුවර ප්‍රදේශයේ උපත ලබන සාලිය උපුල් අලදෙණිය ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් වරයෙක් ලෙස යුධ හමුදාවට එක් වෙනවා.

උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල සේවය කරන ඔහු 1989 වසරේ කොකාවිල් රූපවාහිනී සංඥා කුළුණේ ආරක්ෂාව සදහා යොදා තිබූ කදවුරක කුඩා අනු ඛණ්ඩයක අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනවා.

1990 වසරේ ජූලි මාසයේදී කොකාවිල් කදවුර වටකරන LTTE ත්‍රස්තවාදීන් මෙම භට කණ්ඩායමට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. දින කිහිපයක් තිස්සේ ඇවිලී ගිය සටනේදී උණ්ඩ හා ආහාර ද්‍රවය හිඟව කපිතාන් සාලිය ඇතුළු භට පිරිස කොටු වී සිටිනවා. උණ්ඩ, ආහාර හා අමතර භට පිරිස් සැපයීම අපහසු බැවින් කදවුර අතහැර පසුබසින ලෙස ඉහළින් නියෝග ලැබුනත් කපිතාන් සාලිය අලදෙණිය පසු බැස නොයන්නේ තුවාල වූ සෙබළ පිරිසක් අත්හැර පණ බේරා ගැනීමට පසු බැසීම නිවට කමක් යැයි ප්‍රකාශ කරමින්.

දෙවන වරටත් පසු බසින ලෙස ඉහළින් නියෝග ලැබුනත් ඔහු තුවාල ලැබූ තම සෙබළුන් සමඟ සිටිමින් අවසන් උණ්ඩය දක්වා සටන් කිරීමට තීරණය කරනවා.  අවසානයේදී ත්‍රස්තයන් විසින් කදවුර වටකළ අතර කොටි කාඩර්වරුන් පස් දෙනෙකුට එක් හමුදා සෙබලෙක් විය. මරණය පෙනි පෙනී තම සගයන් දමා යා නොහැකි බැවින් අභීතව සටන් කළ කපිතාන් අලදෙණිය ඇතුළු ඉතිරි වූ සෙබල පිරිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් කදවුරේ වූ ඉන්ධන ටැංකියක් පුපුරා යෑමෙන් ජූලි 11 වනදා මරණයට පත්වෙනවා.

ඔහුගේ අභීත ක්‍රියාන්විතයට ගරු කිරීමක් ලෙස කපිතාන් අලදෙණිය 1991 ඔක්තෝම්බර් 10 වෙනිදා පරම වීර විභූෂණයෙන් පිදුම් ලබනවා.

සතුරා හමුවේ එඩිතරව මරණය පිළිබඳව මොහොතක් හෝ නොසිතා මාතෘ භූමිය වෙනුවෙන් දිවි දුන් මෙවන් සැබෑ සිංහයන් හේතුවෙන් දශක ගණනාවක යුද්ධය නිමා වූ අතර නිදහස් දේශයක සුවය විදින අප ඔවුන්ව සදා සිහිපත් කළ යුතු වේ.

කවරයේ ජායාරූපය – දිවිදුන් තම පියාගේ පරම වීර විභූෂණ පදක්කම ලබා ගන්නා දියණියක් (reporter.lk)

මුලාශ්‍ර –  Army.lk, Wikipedia, Sunday times