Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාවේ ලොකු ම නිල් මැණික්

අනුරාධපුර  යුගයේ පටන් ම ශ්‍රී ලංකාව මැණික්වලට ලෝක ප්‍රකට රටක්. ඒ අතරිනුත් ලොව අලංකාර ම සහ විශාලත ම නිල් මැණික් ලැබී ඇත්තේ අපේ රටෙන්. කලකට පෙර ලොව විශාලත ම නිල් මැණික ලෙස තබා තිබූ වාර්තා නැවත් අලුත් කරමින් පසුගියදා බරින් කිලෝ ග්‍රෑම් 310ක් වන විශාලත ම තනි නිල් මැණික බලංගොඩ ප්‍රදේශයෙන් හමු වී තිබුණා.

මැණික් පුරාණයේ පටන් ම ලංකාවට විශාල ආදායමක් ලබාදෙන අපනයන භාණ්ඩයක්ව පැවතියා. මැණික්, කැපූ දියමන්ති සහ ස්වර්ණාභරණ මගින් 2020  වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන පන්සියයකට වැඩි මුදලක්  උපයාගෙන තිබෙනවා. ඒ අතරින් නිල් මැණික් පිටරට යැවීමෙන් පමණක් ලබා ගන්නා ආදායම වාර්ෂිකව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 103 ක් පමණ වෙනවා.

කපා ඔය දැමූ ශ්‍රී ලංකාවේ නිල් මැණික් – ceylonbluesapphires.com

 නිල් මැණික්

නිල් මැණික්’ යනු ‘කොරන්ඩම්’ (Corundum) පවුලට අයත් මැණික් විශේෂයක්. ස්ඵටික ගුණය අතින් ඉතා ඉහළ එයට, නිල් වර්ණය ලැබී ඇත්තේ යකඩ හා ටයිටේනියම් යන මූල ද්‍රව්‍ය දෙක අපද්‍රව්‍ය (ඔක්සයිඩ්) ලෙස එක්වීම නිස යි.  ළා වර්ණයේ සිට ඉතාමත් තද පැහැති ‘කාක නිල්’ දක්වා වෙනස් වර්ණ පරාසයන් සහිත නිල් කැට ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා. මේවායේ නිල් වර්ණයත්, දුලබ බවත්, ඉහළ දැඩියාවත් නිසා වටිනාකමින් අධිකයි. ඉල්ලුමත් වැඩියි.

නිල් මැණිකකට, රිදී පාට නූල් හයක් පිහිටියා ම  එයට ‘ආරුනූල් මැණික්’ (Star Sapphire) යයි කියනවා. එය ඉතා අලංකාර මැණිකක්. සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ (කැරට් 10 හෝ 15 සහ ඊට වැඩි) නිල් මැණික් වැඩි වශයෙන් ම හමු වී තිබෙන්නේ  ශ්‍රී ලංකාවෙන්. රත්නපුර, පැල්මඩුල්ල, ඇළහැර, ඔක්කම්පිටිය, නිවිතිගල ආදී ප්‍රදේශ නිල් මැණික්වලට ප්‍රසිද්ධ යි.  ලොව පුරා රටවල කෞතුකාගාරවල ශ්‍රී ලංකාවේ නිල් මැණික් ප්‍රදර්ශනය කරනවා . මහා බ්‍රිතාන්‍ය යේ රාජකීය කෞතුකාගාරය තුළ ලංකාවේ මැණික් රාශියක් දැකගත හැකි යි.

 පසුගිය දා හමුවූ ලොව ලොකුම නිල් මැණික – Ft.lk

ලොව ලොකු ම තනි නිල් මැණික

ලොව විශාලත ම ස්වභාවික තනි නිල් මැණික බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පසුගියදා නිවේදනය කළා. අඩි දෙකකට වඩා උසින් සහ  පළලින් ද අඩි දෙකකට වඩා විශාල මෙම මැණික තව ම පවතින්නේ රළු මැණික ගලක් ලෙස යි. මේ වන විට එම මැණික හොරණ ප්‍රදේශයේ එහි හිමිකරුගේ නිවසක තැන්පත් කර තිබෙන බව පැවසෙනවා. එය ආසියාවේ රැජන (Queen of Asia) ලෙස නම් කර තිබෙනවා.

එහි බර කැරට් 1,550,000 ක් හෙවත් කිලෝ 310 ක්. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම නිසා එහි අගය වැඩි යි. මැණිකේ හිමිකරු වන චමිල සුරංග රත්නපුර ප්‍රදේශයේ මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයක අධ්‍යක්ෂවරයෙක්.  ඔහුට මෙම මැණික හමු වී ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයෙන්.

නිල් මැණික හිමිකරු සමඟ -lankadeepa.lk

 

එම මැණික කොරන්ඩම් පවුලට අයත් නිල් ගෙවුඩවලින් තනි ගලක් ලෙස නිර්මාණය වූවක්. මෙම මැණික් ගල මිල දී ගැනීමට මේ වන විට  අමෙරිකාවෙන් සහ ඩුබායිවලින් ඉල්ලීම් ලැබී තිබෙන බව වාර්තා වෙනවා. හිමිකරු පවසන්නේ කෞතුකාගාරයක තැන්පත් කරන රටකට මැණික විකුණන්න තීරණය කර ඇති බව යි.  මේ අතර මැණික් සහ ස්වර්ණාභරණ රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ ඩුබායි මූලික කරගත් සමාගමක් සමඟ මැණිකේ අලෙවිය ගැන සාකච්ඡා කරන බවත් එයට ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

නිල් ආරුනූල් පොකුර –  Bbc.com

 ගිනස් පොතට ගිය නිල් ආරුනූල් පොකුර

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් පසුගිය වසරේ හමු වූ ආරුනූල් පොකුර බරින් කිලෝග්‍රෑම් 510ක් (කැරට් මිලියන 2.5 ක් )වන අතර එය ලොව විශාලත ම ආරුනූල් පොකුර ලෙස වාර්තා වුණා . එම මැණික් පොකුරේ වටිනාකම ඩොලර් මිලියන 200ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වුණත්  පසුව එහි වටිනාකම සම්බන්ධයෙන් විවිධ පරස්පර අදහස් ඉදිරිපත්වනු මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එය තනි ගලක් ලෙස නොවෙයි තිබෙන්නේ. කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුරක් විදිහට යි.

 ආරනූල් පොකුරේ ප්‍රමාණය මනිමින් – lankadeepa.lk

 

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් තමයි මෙය හමුවී තිබුණේ. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ  ප්‍රදේශයේ පිහිටි  නිවසක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් පිරිසකට මෙම ගල හමු වූ බව යි.  එය සෙරන්ඩිපිටි සැෆයාර් (Serendipity Sapphire) ලෙස නම් කර තිබෙනවා. මෙම ආරුනූල් නිල් මැණික් පොකුර ලොව විශාලත ම ආරුනුල් නිල් මැණික් පොකුර ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කර තිබෙනවා.  

දැනට ස්විට්සර්ලන්තයේ තිබෙන මැණික් පොකුර ක්‍රිස්ටීස් වෙන්දේසියේ දී වෙන්දේසි කර ඒ සඳහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට එක්සත් රාජධානියට ගෙන යන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ආයතනය මගින් මෙය ආරුනූල් නිල් මැණික් පොකුරක් ලෙස සහතික කිරීමෙන් පසු මෙම පොකුර ගිනස් පොතේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා.

 කපා ඔප දැමූ ආදම්ගේ තාරකාව- Ft.lk

2016 දී හමු වූ දෙවන විශාලත ම නිල් මැණික

වර්ෂ 2015 වර්ෂය අග දී ඒ වනවිට හමු වූ ලොව විශාලත ම නිල් ආරුනූල් මැණික ලෙස  රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැණික් පතලකින් හමු වූ මැණික් ගලක් නම් කළා.  කැරට් 1404.49ක් බර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100 ද ඉක්මවන බව එය පරීක්ෂා කළ විදේශීය මැණික් විශේෂඥයන් ප්‍රකාශ කර ඇති අතර හිමිකරුවන් එය නම් කර ඇත්තේ  ‘ආදම් ගේ තාරකාව’ යනුවෙන්.

 එය දැනටත් කපා ඔප දැමූ ලොව විශාලතම නිල් මැණික ලෙස වාර්තා තබා තිබෙනවා (පසුගියදා හමුවූ නිල් මැණික තවම කපා ඔප දමා නැහැ) බ්‍රිතාන්‍යයේ, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඛනිජ විද්‍යාඥයකු වන  Simon Redfern  ද මැණික ගැන අදහස් පළ කර තිබෙනවා. ජාත්‍යන්තර මැණික් විද්‍යාඥයන් එවකට පැවසුවේ  එය ලොව මෙතෙක් හමුවූ විශාලත ම නිල් ආරුනූල් මැණික බව යි.

 ඉන්දියාවේ තාරකාව-lifie.lk

 

ඉන්දියාවේ තාරකාව

ලෝකයේ ලොකු ම කපා ඔප දැමූ නිල් මැණික යන  වාර්තාවට දිගු කලක් තිස්සේ හිමිකම් කිව්වේ   ‘ඉන්දියාවේ තාරකාව  Star of India  නම්, කැරට් 563ක් බරැති මැණික් ගලයි. එය  අදින් වසර 300කට පමණ ඉහත ශ්‍රී ලංකාවෙන් හමු වූ බව සඳහන් වෙනවා.  ඉන්දීය ව්‍යාපාරිකයකු මිලදී ගෙන විදේශයකට අලෙවි කළ නිසා එය  එය ‘ඉන්දීය තාරකාව’ යනුවෙන් නම් කර තිබෙනවා.

එම මැණික හමුවන විට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල පැවතියේ ලන්දේසි පාලනය යි.  ඉන්දියාවේ තාරකාව ශ්‍රී ලංකා මැණික දැනට අමෙරිකාවේ නිව්යෝක් නුවර, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ (American Museum of  Natural History) ජේ. පී. මෝගන් ශාලාවේ සුරක්‍ෂිතව ප්‍රදර්ශනයට තැන්පත් කර තිබෙනවා.   2016 දී ‘ආදම්ගේ තාරකාව’ (Star of Adam)  මැණික හෙළිදරව් වීමත් සමඟ ම, එය ලොව දෙවැනි විශාලත ම නිල් ආරුනූල බවට පත් වුණා.

  ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක ශ්‍රී ලංකාවේ මැණික්-blog.uvm.edu

ලංකාවේ තාරකාව

මාතලේ ඇළහැර හත්තොට අමුණෙන් වර්ෂ 1973 දී  හමුවුණු නිල් ආරුනූල් මැණිකක් බරින් කැරට් 392.92ක් වුණා. එවකට දෙවැනි විශාලත ම නිල් ආරුනූල් මැණික ලෙස සැලකුණේ එය යි.  ඒ නිසා එම ආරුනූලට ‘ලංකාවේ තාරකාව’ (Star of Lanka)  යන ලබා දී තිබෙනවා. මැණිකෙහි වත්මන් හිමිකරුවා, ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යි. රළු මැණිකක් ලෙස මිල දී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේ දී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබෙනවා.

 රාජ්‍ය මැණික් සංස්ථාව එකල මැණික මිලයට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 15කට යි. එය, කපා ඔප දැමූ ලොව තුන් වැනි විශාලත ම නිල් ආර්නූල් මැණික ලෙස අදත් සැලකෙනවා. තද නිල් පැහැයෙන් යුත් මෙහි හොඳින් දර්ශනය වන රිදීවන් රේඛා 06ක් දක්නට පුළුවන්.  මෙම නිල් ආරුනූල පසුගිය කාලයේ  ජපානයේ සහ ස්වීඩනයේ පැවැත්වූ ජාත්‍යන්තර ප්‍රදර්ශන දෙකකදී විදේශිකයන්ගේ විශේෂ ආකර්ශනයට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මැණික් ප්‍රදර්ශනවලටත් විශේෂ ආරක්ෂාව යටතේ එය ඉදිරිපත් කෙරෙනවා.

ලෝගන් මැණිකේ අලංකාරය- geogallery.si.edu

 ලෝගන් නිල් මැණික

අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන ලෝගන් නිල් මැණික බරින් කැරට් 423ක්. එය ඉංග්‍රීසි යටත්විජිත සමයේ 1800 ගණන්වල රත්නපුරයෙන් හමු වූ මැණිකක්. එය ලොව තෙවන විශාලත ම නිල් මැණික ලෙස සැලකෙනවා. ස්මිත්සෝනියන් කෞතුකාගාරයට 1960 දී එය පරිත්‍යාග කර ඇත්තේ රෙබෙකා පොලාඩ් ( පසුව ලෝගන්) මහත්මිය විසින් නිසා එම මැණික ඇගේ නමින් හඳුන්වනවා. එය ඇයට නත්තල් තෑග්ගක් ලෙස ලබාදී ඇත්තේ ඇගේ  පළමු සැමියා වූ Col. M. Robert Guggenheim විසින් 1952 හෝ 1953 දී ලෙස සැලකෙනවා. ඔහු එම මැණික මිලදී ගැනීමට පෙර  ඉන්දියාවේ මහාරාජාවරයකු සතුව එය පැවති බව පැවසෙනවා. රෙබෙකා ලෝගන් සමඟ  පසුව විවාහ වූ නිසා ඇයටත් ලෝගන් නම ලැබී තිබෙනවා. එය එම ආයතනයේ ඇති බරින් වැඩිම නිල් මැණික යි.

මේවාට අමතර ව බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරියගේ මංගල මුදුවට යොදා ඇත්තේ ද ශ්‍රී ලංකාවෙන් හමුවූ නිල් මැණිකක්. ලෝක ප්‍රකට එම මැණික ඩයනාගෙන් පසු ඇගේ පුත් විලියම් කුමරු තම බිරිය වූ කේට් කුමරියට තිළිණ කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- ආදම්ගේ තාරකාව සහ මැණික් ගරන අයුරු - the gossip.lk 

මූලාශ්‍ර:

Dinamina.lk

Dailymirror.lk

Bbc.com

walaspathi.blogspot.com

ngja.gov.lk

geogallery.si.edu

Related Articles