Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මියන්මාර් රොහින්ජා අර්බුදයේ නවතම මුහුණුවර

මේ වන විට මියන්මාරයේ රොහින්ජා අර්බුදය උඩු දුවා ඇති අතර, ඇමෙරිකාව හා යුරෝපීය රටවල්වලින් මියන්මාර රජයේ ක්‍රියාපිළිවෙත දැඩි ලෙස විවේචනය කරනවා. වර්තමානය වන විට බොහෝ රටවල් ප්‍රමාණයක් මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටිනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය තුළින් මියන්මාර් රජයට එරෙහිව ලෝකය පුරා මතයක් නිර්මාණය වී තිබෙනවා.

මියන්මාර නායිකා අවුන් සාන් සුකී (SBS)

ජගත් සංවිධානය හා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් විසින් රොහින්ජා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මක ව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැලසුම් කළ බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ල කරනවා. මේ පිළිබඳ ව අදහස් දක්වන සුකී සැප්තැම්බර් මාසයෙන් පසු ඔවුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් සිදුකර නොමැති බව ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය විසින් එල්ල කරන චෝදනා ද ප්‍රතික්ෂේප කරන සුකී මාධ්‍ය වාර්තාකරණය සඳහා තම රටේ නිදහස ඇති බව ද ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ලෝක බලවතුන්, ජගත් සංවිධානය, හා මියන්මාර් රජය මේ සම්බන්ධයෙන් පියවර නොගෙන සිටී නම් ඉතා විශාල ඛේදවාචයක් ඉදිරියේ දී සිදුවීමට නියමිත ව ඇති බව ද මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

රොහින්ජාවරුන් හා මියන්මාර් බෞද්ධයන් අතර විශාල කාලයක් තිස්සේ පැවති විරසකය පසුගිය වසරේ මැද භාගයේ දී උත්සන්න වුණා.  මියන්මාරයේ රඛින් ප්‍රාන්තයේ ගැටුම ආරම්භයේ දී ම ඒ පිළිබඳ ව ලිපියක් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ “මියන්මාරය ගිනියම් කරන රොහින්ජා අර්බුදය” නමින්. අද ලිපිය එම අර්බුදයේ වර්තමාන තත්ත්වය පිළිබඳ ව සොයා බැලීමක්.

සුකීගේ කැනේඩියානු ගෞරවණීය පුරවැසිභාවය ඉවතට

සරණාගතයන් (UNHCR)

කැනේඩියානු රජය විසින් සුකී ට පිරිනමා තිබූ කැනේඩියානු ගෞරවණීය  පුරවැසිභාවය ඉවත් කිරීමට එරට පාර්ලිමේන්තුව සැරසෙනවා. දැනටමත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා හිමි වී අවසන්. ඒ රෝහින්ජාවරුන්ට එරෙහිව සිදුකරන හමුදා මෙහෙයුම් නවත්වා අර්බුදය මැඩ පැවැත්වීමට සුකී විසින් කටයුතු නොකිරීම යන චෝදනාව එල්ල කරමින්.

සාමය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ සුකීගේ ප්‍රතිරූපයට මේ තුළින් විශාල කැළලක් ඇති වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මානව හිමිකම් දිනාගැනීමට සටන් කළ කාන්තාවක් එරට නායකත්වයට පත් වූ පසු ව ඇයගේ නායකත්වයෙන් සිදුකෙරන මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ ව කැනඩාවට අමතර ව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, හා ඔස්ට්‍රේලියාවේ විවේචන මියන්මාරයට එල්ල වී තිබෙනවා.

රොයිටර් වාර්තාකරුවන් දෙදෙනෙක් සිරගෙට

සිරගත කළ මාධ්‍යවේදීන් දෙදෙනා (Business Insider)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී රොහින්ජා අර්බුදය වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට එරෙහි නඩු විභාගයකින් අනතුරුව පසුගිය මාසයේ දී වසර හතක සිර දඬුවමක් නියම කිරීමට මියන්මාර් අධිකරණය තීරණය කරනවා. ඒ රාජ්‍ය රහස් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ වරදට යි.

මේ පිළිබඳ ව අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ ඔවුන් සිරගත කිරීමට භාවිතා කරන ලද නෛතික ක්‍රියාවලියේ කිසිඳු විනිවිදභාවයක් නොමැති බව යි. මෙම මාධ්‍යවේදීන්ට අමතර ව තවත් විශාල මාධ්‍යවේදීන් පිරිසක් නොයෙකුත් චෝදනා මත සිරගත කිරීම හෙලා දකින රොයිටර් පුවත් සේවය මියන්මාරයේ මාධ්‍ය නිදහස පිළිබඳ ව අතිශය කම්පාවට පත් වෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන හා විවිධ රටවල තානාපති කාර්යාල ප්‍රකාශ කරන්නේ බොරු චෝදනා මත සිරගත කළ මාධ්‍යවේදීන් නිදහස් කර, මියන්මාර් මාධ්‍ය නිදහස වහා ස්ථාපිත කරන ලෙස යි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තාව

බංගලාදේශ සහන කඳවුරුවල සිටින රොහින්ජා දරුවන් (The Wall Street Journal)

පසුගිය වසරේ ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ වන විට බොහෝ රෝහින්ජාවරුන්  ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, හා ශ්‍රී ලංකාවට පලා ගොස් තිබෙන අතර වැඩි ම පිරිසක් සරණාගතයන් ලෙස පලා ගොස් ඇත්තේ අසල්වැසි බංගලාදේශයට යි. එම ගණන ලක්ෂ හතකට අධික යි.

බංගලාදේශයේ සිටින සරණාගතයන් ආශ්‍රයෙන් අර්බුදය පිළිබඳ ව වාර්තාවක් එළිදැක්වීමට කටයුතු කරන ඇමෙරිකානු රජය රොහින්ජා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මක ව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැලසුම් කළ බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ල කරන්නේ එහි සඳහන් සාක්ෂ්‍ය පදනම් කර ගනිමින්. මේ සඳහා ඔවුන් විසින් සරණාගතයන් 1000කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ වාර්තාව තවදුරටත් අධ්‍යනය කිරීමෙන් පසු ව මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකානු රජය කටයුතු කරනු ඇති.

චෝදනාවලට පිළිතුරු දෙන සුකී

සුකී විරෝධත්වය (Rappler)

ලෝකයේ හතරවටින් අවුන් සාන් සුකී ප්‍රමුඛ මියන්මාර් රජයට බරපතල චෝදනා එල්ල වෙන මේ සමයේ සුකී ඊට ප්‍රතිචාර ද දක්වා තිබෙනවා.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරන ඇය රොහින්ජා ප්‍රශ්නය පිළිබඳ සත්‍ය, අර්ධ සත්‍ය මෙන්ම, සම්පූර්ණ අසත්‍යයෙන් ද බටහිර මාධ්‍ය පිරී ඇති බවට චෝදනා කරනවා.

රඛින් ප්‍රාන්තයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ව ජගත් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා තමන් සුදානම් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ 72 වෙනි මහා මණ්ඩල සැසිවාරය තුළ ද මේ සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම පිළිබඳ ව යම් යම් අදහස් මතු වී තිබෙනවා.

එම ප්‍රදේශය තුළ මේ වන විට කිසිඳු හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කරන ඇය, ඔවුන්ගේ අයිතීන් හා ආරක්ෂාව සුරක්ෂිත කර ඇති බවට ප්‍රකාශ කරනවා. මාධ්‍ය නිදහසට ද ඉඩ ලබා දී ඇති බවට ප්‍රකාශ කරන ඇය, බංගලාදේශයෙන් පලා ගිය සියලුම රෝහින්ජාවරුන්ට නැවතත් තම මාතෘ භූමිය වෙත පැමිණෙන ලෙස ආරාධනා කරනවා.

රටේ සිටින විදේශ තානාපතිවරුන්ට පවා ගැටුම් ඇතැ යි බටහිර මාධ්‍ය විසින් වාර්තාකරණ ප්‍රදේශවලට ගොස් සැබෑ තත්ත්වය දැක බලා ගන්න ලෙසට ඇය ආරාධනා කරනවා.

කවරයේ පින්තූරය: UNICEF Australia

මූලාශ්‍රයයන්:

roar.media/sinhala/main/reports/rohingya-crisis/

aljazeera.com

independent.co.uk/topic/rohingya

bbc.com/news/world-asia

 

Related Articles