වයිට්චැපල් අනුක්‍රමික ඝාතකයා නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’

2016 වසරේ ගොඩනැගුණු මෙම Jack the Ripper නම් ත්‍රාසජනක චිත්‍රපටය, ජැක් ද රිපර් නම් කුප්‍රකට අනුක්‍රමික ඝාතකයා පදනම් කොටගත් ප්‍රබන්ධයක්. ඡායාරූප ශිල්පියකු වීමට සිහින දකින, ඒ සඳහා ලන්ඩනයට යන තරුණියක මූලික කරගනිමිනුයි මෙය තිරගත වන්නේ. ඇය ලන්ඩනයේ පවතින ආකර්ෂණීය බව වෙනුවට, අවුල් සහගත මිනීමැරුම් සොයා යාමට යි පෙලැඹෙන්නේ. තම සොහොයුරා වෙත එල්ල වූ ව්‍යාජ ඝාතන චෝදනා හේතුවෙන් සැබෑ ඝාතකයා කවුරුන් ද යන්න සොයා බැලීමට මෙහි දී ඇය සිය ගමන යොදා ගන්නවා. සත්‍ය කතාව ඒ අයුරින් ම ප්‍රදර්ශනය නොකළ ද, මෙහි මූලික හරය එක සමාන යි. මෙම චිත්‍රපටය ඉතා සුවිශේෂී බවත්, එය ජර්මානු භාෂාවෙන් ඇති බැවින් උපසිරැසි භාවිතය වටින බවත් ප්‍රේක්ෂක මතය යි.

 කවුද මේ, ජැක් ද රිපර්?

ජැක් ද රිපර් කියන්නෙ 1888 දී ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ හා ඒ අවට පිහිටි දුගී දුප්පත් ප්‍රදේශවල ක්‍රියාකාරී වූ නාඳුනන අනුක්‍රමික ඝාතකයෙක්. අපරාධ ලිපිගොනු නඩු සහ සමකාලීන පුවත්පත් වාර්තා යන දෙකෙහි ම ඝාතකයා හැඳින්වූවේ, ‘වයිට්චැපල් මිනීමරුවා’ නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’ ලෙස යි.

ජැක් ද රිපර් ඔහුගේ වින්දිතයන් දෙදෙනෙකු ඝාතනය කළ ස්ථානයට ආසන්නයේ වයිට්චැපල් පොදු නවාතැන්පලක් ඉදිරිපිට කාන්තාවන් සහ ළමයින් එකතුවී සිටින ආකාරය
ජැක් ද රිපර් දෙදෙනකු ඝාතනය කළ ස්ථානයට ආසන්න වයිට්චැපල් පොදු නවාතැන්පළක් ඉදිරිපිට කාන්තාවන් සහ ළමයින් එකතුවී සිටින ආකාරය  – commons.wikimedia.org 

පසුබිම

19 වන සියවස මැද භාගයේ දී අයර්ලන්ත සංක්‍රමණිකයන්ගේ පැමිණීමත් සමඟ බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර නැගෙනහිර කෙළවර ඇතුළු ප්‍රධාන නගරවල ජනගහනය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. 1882 සිට සාර්වාදී රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ සිදු වූ ජන සංහාරවලින් අසරණ ව පලා ගිය යුදෙව් සරණාගතයන් ද, පසුව මෙම ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. 1888 වන විට ජනගහනයේ වැඩි වීමත් සමඟ ලන්ඩනයේ නැගෙනහිර අන්තයේ, වයිට්චැපල් ද වැඩි වශයෙන් ජනාකීර්ණ වුණා. උද්ගත වූ තත්ත්වය හමුවේ රැකියා හා නිවාසවල ස්වභාවය වඩාත් නරක අතට හැරුණු අතර, අඩු ආදායම්ලාභීන්ගේ ප්‍රමාණය වර්ධනය වුණා. නැගෙනහිර කෙළවරේ උපත ලැබූ දරුවන්ගෙන් සියයට පනස් පහක් ම වයස අවුරුදු පහට පෙර මිය ගියා. එවකට මංකොල්ලකෑම්, ප්‍රචණ්ඩත්වය සහ මත්පැන් සමාජය තුළ මුල් බැස ගත් ප්‍රධාන අංග වුණා. වයිට්චැපල් හි ආර්ථික ගැටලු සමඟ සමාජ ආතතීන් අඛණ්ඩ ව ඉහළ යාමෙන් හට ගත් ආවේණික දරිද්‍රතාව, බොහෝ කාන්තාවන් ගණිකා වෘත්තියට දිනපතා යොමු කළා. 1888 ඔක්තෝබර් මාසයේ දී ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිස් සේවය ඇස්තමේන්තු කර තිබූ ආකාරයට, වයිට්චැපල් හි ගණිකා නිවාස 62ක් පමණ පැවතුණු අතර කාන්තාවන් 1200ක් පමණ ඒ වන විටත් එහි සේවයේ නියුතු ව සිටියා. වයිට්චැපල් යනු දුරාචාරයේ කුප්‍රකට ගුහාව බවට එවකට ජනතා මතය යි.

ඝාතනයට ලක් වූ මේරි ඈන් නිකල්ස්,එලිසබෙත් ස්ට්‍රයිඩ්, ඇනී චැප්මන්, කැතරින් එඩ්ඩෝව්ස් –  jacktherippervictims.com 

ඝාතනයට ලක් වූ ප්‍රධාන වින්දිතයෝ (Canonical five)

ලන්ඩනයේ නැගෙනහිර කෙළවර මුඩුක්කුවල ජීවත් වූ හා වැඩ කළ වීදි ගණිකාවන්, ජැක් ද රිපර්ගේ මූලික ඝාතන ඉලක්කය වුණා. එසේ සිදුකළ ඝාතන අසාමාන්‍ය වූ අතර, උදරය හා ලිංගේන්ද්‍රියන් විකෘති ලෙස කපා කොටා දැමීමට පෙර ඔවුන්ගේ ගෙල සිඳ දමා තිබුණා. අවම වශයෙන් ඝාතනයට ලක් වූ වින්දිතයින් තිදෙනකුගේ ම අභ්‍යන්තර අවයව ඉවත් කොට තිබූ අතර, එයින් ඝාතකයාට යම් කායික හෝ ශල්‍ය වෛද්‍ය දැනුමක් ඇති බවට අනුමාන කෙරුණා. මෙම ඝාතනවලට තුඩු දුන් ප්‍රධාන කාන්තා වින්දිතයන් පස්දෙනා වූයේ මේරි ඈන් නිකල්ස්, ඇනී චැප්මන්, එලිසබෙත් ස්ට්‍රයිඩ්, කැතරින් එඩ්ඩෝව්ස් සහ මේරි ජේන් කෙලී යන අය යි.

 අනුක්‍රමික ඝාතකයාගේ පූර්ව සාහසිකත්වය

වයිට්චැපල් ඝාතන සමූහයේ අඩංගු පළමු නඩු ද්විත්වය වන එමා එලිසබෙත් ස්මිත් සහ මාර්තා ටාබ්‍රම්ගේ නඩු, ප්‍රධාන ඝාතන පහට ඇතුළත් නොවීම සුවිශේෂී යි. සාහසික ක්‍රියාවල පළමුවැන්න 1888 අප්‍රේල් 3 වැනිදා අලුයම 1.30ට පමණ වාර්තා වුණා. වයිට්චැපල් හි ඔස්බර්න් වීදියේ දී එලිසබෙත් ස්මිත් නම් ගණිකාව පැහැරගෙන ගොස් තදින් පහර දී, බරපතල ලිංගික අඩත්තේට්ටම් සිදුකොට අත්හැර දමා තිබිය දී සොයා ගැනුණා. පෙරිටෝනිටිස් රෝගයට ගොදුරු වූ ඇය, පසුදා ලන්ඩන් රෝහලේ දී මිය ගියා. ස්මිත්ගේ ප්‍රකාශය අනුව ඇයට පුරුෂයන් දෙදෙනකු හෝ තිදෙනකු පහර දී ලිංගික අඩත්තේට්ටම් කර තිබූ අතර, ඉන් එක් අයකු යෞවනයකු බව යි ඈ ප්‍රකාශ කර තිබුණේ. මෙම ස්මිත් ඝාතනය, රිපර් නඩුව හා සම්බන්ධ නොවන ලන්ඩනයේ නැගෙනහිර කෙළවරේ සමූහ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඑලයක් බව යි පැවසෙන්නේ.

මේරි ජේන් කෙලීගේ සොහෙනේ කොත, පැට්‍රික් රෝමානු කතෝලික සුසාන භූමිය, ලේටන්ස්ටෝන් – topyaps.com 

නැවතත් 1888 අගෝස්තු 7 වනදා වයිට්චැපල්, ජෝර්ජ් යාර්ඩ් හි මාර්තා ටාබ්‍රම් ඝාතනය නව මුහුණුවරක් ගත්තා. එය සිදු ව ති⁣බුණේ, පිහි ඇණුම් තුවාල 39කින් ශරීරයට හානි පැමිණවීමෙනුයි. ඝාතනයේ පැවති ම්ලේච්ඡත්වය, පැහැදිලි චේතනාවක් හඳුනාගත නොහැකි වීම සහ පසුකාලීන ව සිදු වූ රිපර් ඝාතනයන් හි ස්ථානය හා දිනය අතර ඇති සමීපභාවය නිසා ටාබ්‍රම් ඝාතනය ද රිපර් ගිණුමට යි බැර වුණේ. කෙසේ වෙතත්, මෙම ඝාතනය පසුකාලීන ව සිදු වූ ප්‍රධාන වයිට්චැපල් ඝාතන පහට වඩා වෙනස් ස්වරූපයක් උසුලන්නේ; ටාබ්‍රම් ඝාතනය නැවත නැවත පිහි ඇනුම් මඟින් සිදු කර තිබුණ ද, ඇගේ උගුරට හෝ උදරයට කිසිදු තුවාලයක් සිදු ව නොතිබීම නිසා යි. බොහෝ විශේෂඥයන් ටාබ්‍රම් ඝාතනය පසුකාලීන වයිට්චැපල් ඝාතන සමඟ සම්බන්ධ නොකරන්නේ, මරණීය තුවාලවල පැවති මෙම වෙනස නිසාවෙන්.

ප්‍රධාන මිනීමැරුම් පහ ම රාත්‍රියේ දී

ඉහත සිදුවීම් ද්විත්වයට පසු ව වයිට්චැපල් හි සිදු වූ ප්‍රධාන මිනීමැරුම් පහ ම රාත්‍රියේ දී, සති අන්තයේ හෝ ඊට ආසන්න ව, මාසයක් හෝ සතියක් අවසානයේ (හෝ ඊට පසු ව) සිදු කර තිබුණා. එලිසබෙත් ස්ට්‍රයිඩ්ගේ ඝාතනය හැරුණුකොට සිදු වූ අනෙකුත් ඝාතන හතරේ ම ශරීරවල සිදුකළ විකෘති කිරීම් පිළිවෙළින් උග්‍ර ස්වභාවයක් පෙන්වූවා.

සමහර පර්යේෂකයන් කියා සිටියේ, මින් සමහරක් නිසැකව ම තනි ඝාතකයකුගේ ක්‍රියා බව යි. ස්වාධීන ව ක්‍රියාකරන, නම නොදන්නා වෙනත් ඝාතකයන්, සිදු වූ අනෙක් ඝාතනවලට වගකිව යුතු බව ඔවුන් තවදුරටත් හෙළි කළා. කතුවරුන් වන ස්ටුවර්ට් පී. එවාන්ස් සහ ඩොනල්ඩ් රම්බෙලෝ තර්ක කරනුයේ; වයිට්චැපල් ඝාතක රිපර් යනු මිථ්‍යාවක් බවත් ඉන් නඩු තුනක් (මේරි ඈන් නිකල්ස්, ඇනී චැප්මන්, කැතරින් එඩ්ඩෝව්ස්) එකම අපරාධකරුවකු සමඟ අනිවාර්යයෙන් ම සම්බන්ධ කළ හැකි වුව ද, ස්ට්‍රයිඩ් සහ කෙලී ඝාතන එම පුද්ගලයා ම සිදු කළේ දැයි පවතින සාධක සැක සහිත බව යි. මේරි ජේන් කෙලී යනු ඝාතක රිපර්ගේ අවසාන ගොදුර ලෙස යි සැලකෙන්නේ. ඝාතකයාගේ මරණය, සිරගත වීම හෝ වෙනත් පෙදෙසකට සංක්‍රමණය වීම හේතුවෙන් අදාළ අපරාධ දාමය අවසන් වූ බවට උපකල්පනය කෙරෙනවා.

පසුව සිදු වූ වයිට්චැපල් ඝාතන

ප්‍රධාන ඝාතන පහෙන් පසුව සිදු වූ තවත් ඝාතන හතරක් ගැන වයිට්චැපල් අපරාධ පරීක්ෂණ ලිපිගොනු විස්තර කරනවා. රෝස් මයිලට්, ඇලිස් මැකෙන්සි, ෆ්‍රැන්සිස් කෝල්ස් යන කාන්තාවන් සහ පින්චින් වීදියේ හිස රහිත කාන්තා කඳ ද ඒ අතර වෙනවා. මෙහි පළමු සිදුවීම වූ, 26 හැවිරිදි රෝස් මයිලට්ගේ ගෙල සිරකර මරණයට පත් කළ සිරුර 1888 දෙසැම්බර් 20 වනදා පොප්ලර් හි හයික් වීදියේ ක්ලාක් අංගනයේ දී හමු⁣ වුණා. මයිලට්ගේ මරණ පරීක්ෂණයේ දී ජූරි සභාව ඒ සඳහා මිනීමැරුම් තීන්දුවක් ලබා දුන්නා. මෙහි දෙවන සිදුවීම 1889 ජූලි 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු වූ අතර වයිට්චැපල් හි කාසල් ඇලී හි දී ඇලිස් මැකෙන්සි නම් කාන්තාව ඝාතනය කර තිබුණා. ඇයගේ ගෙල පෙදෙසෙහි පිහියෙන් ඇන සිදු කළ තුවාල දෙකක් දක්නට ලැබුණු අතර, තවදුරටත් ඇගේ වම් කැරොටයිඩ් ධමනියට හානිකර තිබුණා. ඇගේ සිරුරේ සුළු තුවාල හා කැපුම් කිහිපයක් දක්නට තිබූ අතර, අඟල් හතක් දිග මතුපිට තුවාලයක් වම් පියයුරේ සිට නාසය දක්වා විහිදී තිබුණා. මරණ පරීක්ෂණය සිදුකළ ව්‍යාධි විද්‍යාඥයකු වන තෝමස් බොන්ඩ්, මෙය රිපර්ගේ ඝාතනයක් යැයි විශ්වාස කළ නමුත් ඔහුගේ සගයා වූ ජෝර්ජ් බග්ස්ටර් ෆිලිප්ස් මීට පෙර වින්දිතයින් තිදෙනකුගේ සිරුරු පරීක්ෂා කර තිබූ නිසා ඊට එකඟ වුණේ නෑ. මැකෙන්සිගේ ඝාතකයා තමා වෙත එල්ල වන සැක සංකා දුරු කිරීම සඳහා ජැක් ද රිපර්ගේ ක්‍රියා පටිපාටිය පිටපත් කර ඇති බවට සමහරුන් විශ්වාස කළ අතර, තවත් සමහරුන් මෙය රිපර්ගේ ගිණුමට ම බැර කළා.

හිස රහිත කාන්තා කඳ

සිදුවීම් ද්විත්වයකට පසුව පින්චින් වීදියේ හිස රහිත කාන්තා කඳ 1889 සැප්තැම්බර් 10 වනදා එම වීදියේ ම දුම්රිය ආරුක්කුවක යටින් සොයා ගත්තා. එය වයස අවුරුදු 30ත් 40ත් අතර නාඳුනන කාන්තාවකගේ විය හැකි බව යි විශ්වාස කෙ⁣රුණේ. ඇයගේ කඳ සොයාගැනීමට දිනකට පමණ පෙර ඇය මරා දමා ඇති බව පෙනෙන්නට වුණා. සිරුරේ කැඩී බිඳී ගිය කොටස් දුම්රිය ආරුක්කුව වෙත පසුව ප්‍රවාහනය කර ඇති බවට විශ්වාස කෙරුණා. 1891 පෙබරවාරි 13 වන දින අලුයම 2.15ට පමණ මෙහි සිවු වන ඝාතනය වූ, 25 හැවිරිදි ෆ්‍රැන්සිස් කෝල්ස් නම් ගණිකාවක් වයිට්චැපල් ස්ලෝලෝ ගාඩ්න්ස් හි දුම්රිය ආරුක්කුව යට වැටී සිටිය දී සොයා ගත් අතර ඇගේ උගුරේ ගැඹුරු කැපුම් තුවාලයක් ද වූවා. ඇගේ සිරුර විකෘති නොවූ අතර, ඒ වන විටත් මරණය අබියස සිටි ඇය වෛද්‍ය උපකාර ලැබීමට පෙර මිය ගියා. එම සිදුවීමට පෙර ෆ්‍රැන්සිස් කෝල්ස් සමඟ මත්පැන් පානය කර තිබූ සැඩ්ලර් නම් පුද්ගලයකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඔහු, රිපර් යැයි මුල දී සිතූ නමුත් පසුව සාක්ෂ්‍ය නොමැති වීම හේතුවෙන් නිදහස් කෙරුණා.

 පරීක්ෂණ හා සැක කිරීම්

සති අන්තයේ, රජයේ නිවාඩු දිනවල මෙන්ම එකිනෙකාට කෙටි දුරක් ඇතුළත සිදු වූ ඝාතන නිසා රිපර් නිතිපතා රැකියාවක නිරත ව සිටින්නකු බවත්, එම ප්‍රදේශය ආශ්‍රිත ව ම ජීවත් වූ බවත් ය බොහෝ දෙනා සිතුවේ. තවත් සමහරුන් සිතුවේ, ඝාතකයා උගත් ඉහළ පාන්තික මිනිසකු (වෛද්‍යවරයකු හෝ වංශාධිපතියකු) විය හැකි බව යි. මෙවැනි න්‍යායන්වලට මූල බීජය වූයේ එකල වෛද්‍ය වෘත්තියට දැක් වූ බිය, නූතන විද්‍යාව කෙරෙහි ඇති අවිශ්වාසය හෝ ධනවතුන් දුප්පතුන් සූරාකෑම වැනි සංස්කෘතික හැඟීම්. ජැක් ද රිපර්ගේ අනන්‍යතාව සහ වෘත්තිය පිළිබඳ විවිධාකාර න්‍යායන් පැවති මුත්, බලධාරීන් ඒ කිසිවකට එකඟ නොවූ අතර නම් කළ සැකකරුවන්ගේ සංඛ්‍යාව සියයකට වඩා වැඩි වුණා. පෝලන්ත ජාතික සංක්‍රමණිකයකු සහ වික්ටෝරියා රැජිනගේ මුණුබුරා වන සුප්‍රසිද්ධ වික්ටෝරියානු චිත්‍ර ශිල්පී වෝල්ටර් සිකර්ට් හට ද මෙම ඝාතනවල චෝදනා එල්ල වුණා.

 ලිපි ලැබීම

1888 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී මෙම ඝාතන සම්බන්ධ ව කට කතා උත්සන්න වුණා. මිනීමරුවා තමන් යැයි කියාගන්නා පුද්ගලයන්ගෙන් මාධ්‍ය ආයතන සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය වෙත ලිපි රාශියක් ලැ⁣බෙන්නට වුණා. “ජැක් ද රිපර්” යන නාමය ආරම්භ වූයේ මිනීමරුවා යැයි කියාගන්නා පුද්ගලයකු විසින් ලියන ලද ලිපියකින්. එය ප්‍රෝඩාවකැ යි බොහෝ දෙනා විශ්වාස කළ අතර, එය ඝාතන කෙරෙහි ඇති උනන්දුව වැඩි කිරීමට සහ ඔවුන්ගේ පුවත්පත් සංසරණය වැඩි කිරීමට මාධ්‍යවේදීන් විසින් ලියන ලද්දක් බවට ද සැක පළ කෙරුණා. ඝාතන සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගොඩනැගුණු වයිට්චැපල් සුපරීක්ෂාකාරී කමිටුවේ ජෝර්ජ් ලූස්ක් වෙත ලැබුණු “නිරයේ සිට” නමින් හැඳින්වූ ලිපිය පැමිණියේ සංරක්ෂණය කරන ලද මිනිස් වකුගඩුවක අඩක් සමඟිනුයි. “ජැක් ද රිපර්” නමින් හැඳින්වෙන අනුක්‍රමික ඝාතකයා තනි පුද්ගලයකු බවට මහජනයා වැඩි වැඩියෙන් විශ්වාස කළා. මිනීමැරුම්වල තිබූ අසාමාන්‍ය ම්ලේච්ඡ ස්වභාවය සහ අපරාධ පිළිබඳ මාධ්‍ය ආවරණය යන දෙක ම මීට හේතු වුණා. පුළුල් පුවත්පත් ආවරණය මඟින් රිපර් පිළිබඳ ව හටගත්තේ විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක්. 1888 සිට 1891 දක්වා කාලය තුළ වයිට්චැපල් සහ ස්පිටල්ෆීල්ඩ්ස් හි සිදු වූ මෙම ම්ලේච්ඡ ඝාතන එකොළහ, 1888 ඝාතනවලට සම්බන්ධයක් පවතී දැයි තහවුරැ කිරීමට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට නොහැකි වුණා.

“නිරයේ සිට” නමින් හැදින් වූ ලිපිය – en.wikipedia.org 

 පුරාවෘත්තය

මෙම ඝාතන කිසිවකටත් අවසාන විසඳුමක් නොතිබූ අතර ඒවා ජනප්‍රවාද, ජනකතා සහ ව්‍යාජ ඉතිහාසයන්ගේ එකතුවක් බවට පසුව පත් වුණා. රිපර් සම්බන්ධ සිද්ධීන් හා වාර්තා අධ්‍යයනය කිරීම සහ විශ්ලේෂණය කිරීම “රිපර්රොලොජි” ලෙස නම් කළ අතර, ඝාතනවලට අවසානයේ බොහෝ ප්‍රබන්ධ කෘතිවල ආභාසය ලැබී තිබුණා. ‘ජැක් ද රිපර්’ වසර 120කට අධික කාලයක් ප්‍රවෘත්ති කථාවස්තූන්වල ප්‍රධාන මාතෘකාවක් වූ අතර, එය ඉදිරි දශක ගණනාව පුරා ද එලෙසම පවතීවි. ‘ජැක් ද රිපර්’ යනු එංගලන්තයේ එක් අයකු වුවත්, ලෝකයේ වඩාත් ම කුප්‍රකට අපරාධකරුවන්ගෙන් කෙනෙක්.

කවරයේ පින්තූරය- ජැක් ද රිපර්: ලන්ඩන් ස්ලැෂර් (filmdaily.co)

මූලාශ්‍ර;

Serial Killers: True Crime
 The Immigrant Community of Whitechapel at the Time of the Jack the Ripper Murders 
The Murders of the Black Museum
Life and Labour of the People in London
Novels and Social Writings
The Telegraph. 30 July 2015.
Evans and Skinner, Jack the Ripper: Letters from Hell
Jack the Ripper: The Complete Casebook.
Begg, Jack the Ripper: The Definitive History
3000 Facts about Historic Figures
Begg, Jack the Ripper: The Facts,
Whittington-Egan, The Murder Almanac
Old Wounds: Re-examining the Buck's Row Murder
Another Horrible Tragedy in Whitechapel
The Murders of the Black Museum: 1870–1970
Jack the Ripper – Through the Mists of Time
Begg, Jack the Ripper: The Facts
Begg, Jack the Ripper: The Definitive History,
Holmes, Profiling Violent Crimes: An Investigative
Naming Jack the Ripper: New Crime Scene Evidence

Related Articles