Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාලමය නෛතික තත්වය

තාක්ෂණික දියුණුවත් සමඟ සන්නිවේදනයට එක්වූ වේගවත් මාධ්‍යක් ලෙස අන්තර්ජාල ප්‍රකාශන හඳුනාගන්න පුළුවන්. වර්තමානය වන විට අන්තර්ජාල පුවත්පත්, වෙබ් අඩවි රාශියක් සයිබර් අවකාශයේ තියනවා. මුල් කාලීනව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් තිබූ අන්තර්ජාල පුවත්පත් සහ වෙබ් අඩවි ඇතුළත් අන්තර්ජාල ප්‍රකාශන වර්තමානය වන විට සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා.

ඒ සිංහල හා දෙමළ භාෂාවෙන්ද පළ වෙන නිසාත්, ඉතා ඉක්මණින් ප්‍රවේශ වීමට හැකි නිසාත්, යාවත්කාලීන කිරීමට, ක්ෂණිකව ප්‍රතිචාර හා අදහස් (comments) දැක්වීමටත් හැකි නිසාත්ය. භූගෝලීය වශයෙන් නිශ්චිත සීමාවක් නැති බැවින් තාක්ෂණය ආක්‍රමණය කිරීමට අන්තර්ජාලයට සුවිශේෂිවූ හැකියාවක් තියෙනවා. නෛතිකමය වශයෙන් අන්තර්ජාලය පාලනය කිරීමට නොහැකි තත්වයක් උදා වී අැති යුගයක අවශ්‍ය වන්නේ ස්වයං වාරණයයි. විවිධ අායතන සිය වෙබ් අඩවි පවත්වාගෙන යාමේදි මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරයි. ඒ අන්තජාලය භාවිත කරනන්ගේ ද යහපත පිණිසයි.

(gizmodo.com)

(gizmodo.com)

ජනමාධ්‍ය නීති සහ ආචාරධර්ම පිළිබඳ විමසූ විට ජනමාධ්‍ය ආචාරධර්ම පැවතියත් ක්‍රියාත්මක වීම හා නොවීම සම්බන්ධයෙන් නම් ගැටළු පවතිනවා. නීතියෙන් දඬුවම් කරනවාට වඩා හාත්පසින්ම වෙනස් වු මෙම ක්‍රියා පටිපාටියේදී ආචාරධර්ම කඩ කළාට දඬුවම් කරන්න ඕනමයි කියලා නෑ. නමුත් සදාචාරාත්මක පදනමක හිඳ බැලූ විට නැවතත් ආචාරධර්ම කඩ කිරීමක් සිදුවීමට පෙර ඒ පිළිබඳ අවධානයෙන් පසු වීම වැදගත්.

මෙවැනි අවස්ථා වලදී තමයි ස්වයං වාරණය හෝ ස්වයංව පාලනය කර ගැනීමක අවශ්‍යතාවය මතු වන්නේ. පුවත්පතට හා රූපවාහිනියට ආචාරධර්ම පද්ධතීන් පවතින්නාක් මෙන් නව මාධ්‍යට අදාළ අන්තර්ජාලයටත් ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාවය මතු වෙලා තියනවා. තොරතුරු වල බහුලත්වය වර්තමාන තොරතුරු යුගයේදී දැකිය හැකි මූලික ලක්ෂණයක්. නිරන්තරයෙන් තොරතුරු අවශ්‍යතාවයේ සිටින්නවුන් හේතුවෙන් අන්තර්ජාලයේ පරිශීලකයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියනවා. මෙවන් තත්වයක් යටතේ අන්තර්ජාල ප්‍රකාශනයන්ගේ බහුලත්වය හේතුවෙන් ඒවායේ ගුණාත්මක බව හෝ නිරවද්‍යතාවය පිළිබඳ ගැටළු මතු වීම සිදුවේ.

වෙබ්, බ්ලොග්, ට්විටර් හෝ ෆේස්බුක් යන සමාජ මාධ්‍ය ආකාරයෙන් සයිබර් අවකාශය තුළ තොරතුරු බෙදා හැරීම හා අදහස් දැක්වීම සිදු කරයි. අන්තර්ජාල ප්‍රකාශනයන් වලට අදාල ලාංකීය අන්තර්ජාල නීතිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ හා සම්බන්ධ මූලික පනත් හතරක් පිළිබඳ හඳුනාගත හැකිය.

1- 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත

මෙම පරිගණක අපරාධ පනත මඟින් මූලික වශයෙන් පරිගණක සම්බන්ධ අපරාධ හා පරිගණකයක් තුළට අනවසරයෙන් ඇතුල්වීම හෝ එහි අන්තර්ගත තොරතුරු ලබා ගැනීම අපරාධයක් සේ සලකනවා.

2 – 2006 අංක 16 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත

මෙහිදී අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම විශේෂයෙන් පරිගණක සේවා සපයන පුද්ගලයන් අදාල සේවාව ළමා ලිංගික අපයෝජනයන්ට සම්බන්ධ අපරාධ සිදු නොවන ආකාරයට  ක්‍රියාත්මක කළ යුතු බව දක්වනවා.

3 –  2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත

4 – 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත (2008 අංක 33 පනතින් සංශෝධිත)

අන්තර්ජාල ප්‍රකාශනයන්හි-

අසභ්‍ය ප්‍රකාශන වාර්තාකරණය, සියදිවි නසා ගැනීම් වාර්තාකරණය, පුද්ගල කීර්තියට හානිකර තොරතුරු වාර්තාකරණය, ප්‍රකාශන අයිතිය පිළිබඳ තොරතුරු, අසත්‍ය, අර්ධ සත්‍ය සහ එවැනි සැඟවුණු අරුත් දනවන කරුණු, ප්‍රචණ්ඩත්වය දිරි ගන්වන සුළු කරුණු, සංවේදි පුවත් වාර්තාකරණය, දරුවන් හා කාන්තාවන් සම්බන්ධ කරුණු ආදී වාර්තාකරණයන් වලදී ජනමාධ්‍ය ආචාරධර්ම හා නෛතික තත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය වැදගත් වෙනවා.

සියදිවි නසාගැනීම්

සියදිවි නසා ගැනීමේ සිදුවීමක් පමණට වඩා සවිස්තරාත්මතව විස්තර කිරීම ජනමාධ්‍ය ආචාරධර්ම වලට පටහැනියි. තරුණයකු දුම්රියකට බෙල්ල තබා සියදිවි නසාගත් මෑතකාලීනව මතකයේ ඇති සිදුවීම සමඟ රජය විසින් මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ප්‍රීතිදායකයි. අදාල තරුණයා සියදිවි නසා ගන්නා සම්පූර්ණ දර්ශනය ම අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබීමත් සමඟ එම වීඩියෝව අන්තර්ජාලයේ සංසරණය වූයේ සීඝ්‍රයෙන්.

මේ සිදුවීම පමණට වඩා විස්තර කිරීම ආචාරධර්මීය විරෝධී බැවින් එසේ නොකිරීම මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට කරන යුතුකමක් බවටද පත්වන බව කිවයුතුයි. අතිශය සංවේදී කාරණා වාර්තාකරණයද එසේමය. කුඩා දරුවන් ක්ෂණිකව ප්‍රචණ්ඩත්වය කරා යොමු වන අතර මාධ්‍ය වාර්තාකරණයේ කාර්යභාරය විය යුත්තේ ග්‍රාහක මනස විඩාපත් නොකිරීමයි.

එක්තරා වෙබ් අඩවියක පල වූ මිය ගිය පුද්ගලයාගේ ඡායාරූපයක්

එක්තරා වෙබ් අඩවියක පල වූ මිය ගිය පුද්ගලයාගේ ඡායාරූපයක්

රහස්‍ය මූලාශ්‍ර හෙළි කිරීම්

රහස්‍ය මූලාශ්‍ර හෙළි නොකිරීමට මාධ්‍ය වාර්තාකරුවන් වගබලා ගත යුතු අතර නමුත් අන්තර්ජාලයේදී රහස්‍ය මූලාශ්‍රයන් තවදුරටත්  සඟවා තබා ගත නොහැකි තත්වයක් උදා වී ඇත. පැනමා පත්‍රිකා සිදුවීම මීට නිදසුනකි. සයිබර් අවකාශය තුළ තව දුරටත් රහස්, රහස් නොවන බව මෙහිදී පැහැදිලි වේ. එක්තරා නීති සමාගමක් අයථා ක්‍රම වලින් රැස් කරගත් මුදල් වත්කම් ශුද්ධ කිරීමට ලක් කළ මූල්‍ය ගණුදෙනු රැසක් මෙහිදී හෙළිදරව් විය. පුවත්පතකින් ප්‍රථම වරට මෙය හෙළිදරව් කරන ලදි. පසුව එම තොරතුරු ඛිට් සංවිධානය මඟින් ලොව පුරා රටවල් 76ක, මාධ්‍ය සංවිධාන 100ක බෙදා හැරිණ.

විකිලික්ස් සිදුවීම යනු ඇමරිකානු රහස්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා  ප්‍රසිද්ධියට පත් වූ තවත් සිදුවීමකි. ජුලියන් ඇසෙන්ජේගේ විකිලික්ස් වෙබ් අඩවිය හරහා ඇමරිකා රජය සහ ඇමරිකානු හමුදා රහස් හෙළි වීමෙන් අනතුරු වෙබ් අඩවිය හා ජුලියන් ඇසෙන්ජේව රාජ්‍ය උදහසට ලක් විය.

(molonlabemedia.com)

(molonlabemedia.com)

අසභ්‍ය ප්‍රකාශන

අසභ්‍ය යන්නෙහි සීමාව සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. යම් ප්‍රකාශයක් කියවන හෝ බලන පුද්ගලයාගේ මනස දූෂණය හෝ කෙලෙසීමට ලක් වන්නේ නම් එය අසභ්‍ය යැයි හඳුනාගත හැකියි. එසේ නැතිනම් එක් අයෙකුට අසභ්‍ය වන දේ තවත් අයෙකුට අසභ්‍ය නොවිය හැකියි.

කෙසේ වුවත් කාමුකත්වය හෝ ලිංගික හැඟීම් උද්දීපනය වන ඡායාරූපයක්, ලිපියක්, වීඩියෝවක් හෝ කුමන ආකාරයේ ප්‍රකාශනයක් සයිබර් අවකාශයේ පල කළත් එය ආචාරධර්මීය විය යුතුය. නමුත් අසභ්‍ය ප්‍රකාශන කලාවක් ඇත.  මෙයද කලාවක් වශයෙන් පැවතිය යුතුය. ග්‍රාහක පිරිස පොදු බැවින් සීමා කිරීම කළ යුතු වුවත් එසේ සිදු කිරීමේ නොහැකියාවක් ඇති බවද පිළිගත යුතු කරුණකි. මෙම ගැටළුව අන්තර්ජාලයේ නෛතික තත්වයේ ක්‍රියාකාරිත්වයටද බලපෑම් කරන තත්වයකි.

ප්‍රකාශන අයිතිය

(0pixabay.com)

(0pixabay.com)

2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ, වෙනත් තැනැත්තෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන පරිගණක වැඩසටහනක් තමා සන්තකයේ තබා ගැනීම හෝ වෙනත් අයකුගේ පරිගණක වැඩසටහනක් හිතාමතාම වාණිජ ප්‍රතිලාභයක් සඳහා භාවිත කරන්නේ නම් එය වරදක් බව දැක්වේ. වෙනත් අයකුගේ සටහනක්, කියමනක්, ඡායාරූපයක්, රූප සටහනක් ආදී ඕනෑම ආකාරයේ පල කිරීමක් අන්තර්ජාල ප්‍රකාශනයකට යොදා ගන්නේ නම් අදාල උපුටා ගැනීමට සම්බන්ධ ගෞරවය ආදී කතෘට ලබා දෙන්නේ නම් එය ආචාරධර්මීය.

මිනිසා ජීවත් වන්නේ තොරතුරු යුගයක වේ. අන්තර්ජාලය තොරතුරු ලබා ගැනීමේ ප්‍රධානතම මාධ්‍ය බවට පත්ව ඇති යුගයක නිවැරදිම තොරතුර ලබා ගැනීමට නම් නිශ්චිතවු නෛතිකමය තත්වයක් යටතේ අන්තර්ජාලය පැවතිය යුතුය. අන්තර්ජාලමය ප්‍රකාශන පාලනය කිරීම හෝ හැසිරවීම අපහසු වන්නේ තොරතුරු වල ප්‍රමාණය වැඩි වීම සහ වේගයෙන් තොරතුරු ප්‍රචාරය වීම නිසාය. සයිබර් අපරාධ වැඩි වන්නේද මේ නිසාය. අපරාධකරුවන් පමණක් නොව අන්තර්ජාලය භාවිත කරන්නන්ටද මේ පිළිබඳ වගකීමක් ඇත. ස්වයං වාරණයේ වැදගත්කම මතු වන්නේ මෙවැනි අවස්ථාවකදීය. තොරතුරු යුගයේ ජීවත් වන අපට නිවරදි වගකීමක් සහිත තොරතුරක් ලබා ගැනීමේ ප්‍රයෝගය වන්නේ නෛතික තත්වය වගේම ආචාරධර්මීය ස්වභාවය ද සංවර්ධනය කිරීම බව පැහැදිලි වන්නේ ඒ නිසාය.

කවරයේ පින්තුරය: (clickrain.com)

Related Articles