ඉන්දියාවේ අප්‍රකට ලෝක උරුමයන්

අසල්වැසි ඉන්දියානු ජනරජය, සහස්‍ර ගණනක් ඈතට දිව යන පෞඪ ඉතිහාසයකින් පමණක් නොව සිතුවම් පරදන මනස්කාන්ත භූ දර්ශනයන්ගෙන්, ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන සංස්කෘතීන්, කලාවන්, රස මසවුළු, භාෂාවන්ගෙන් පමණක් නොව යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් ද ආඪ්‍ය විචිත්‍රවත් රාජ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ.

(© Jan Wlodarczyk/Getty Image)
ආග්‍රා බලකොටුවේ ප්‍රේක්ෂක ගෘහය

නමුත් ඉන්දියාව සතු ගණනින් 35 ක් වන සංස්කෘතික සහ ස්වභාවික ලෝක උරුමයන් අතරින් නිරන්තර සංචාරක ආකර්ෂණය හිමි වන්නේ දුසිමක් වැනි කුඩා ප්‍රමාණයකට යි. නොදැනුවත්කම නිසාවෙන් හෝ ළඟා වීමට ඇති දුෂ්කරතාවය හේතුවෙන් භාරතය සතු සොඳුරු ම පුදුමයන් කිහිපයක් සංචාරකයින් බොහෝ දෙනෙක්ට මග හැරෙනවා. මේ ඉන්දියාවේ අප්‍රකට ලෝක උරුමයන් කිහිපයක් ගැන තොරතුරු යි.

කන්චෙන්සොන්ගා ජාතික උද්‍යානය

හිමාලයේ හදවත බඳු උතුරු ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ පිහිටා ඇති කන්චෙන්සොන්ගා ජාතික උද්‍යානය 2016 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ එය සතු ස්වභාවික සහ සංස්කෘතික වැදගත්කම සැලකිල්ලට ගෙන යි. ඒ මැදින් ගලා බසින රාටොන් චූ නදිය සහ නිම්නය, ස්වදේශික ලෙප්චා වැසියන් විසින් පමණක් නොව තිබ්බත බුදු දහමේ පවා පාරිශුද්ධ වස්තුවක් ලෙස සලකනවා. උද්‍යානය සතු වසර පුරා හිමෙන් වැසී ගිය කන්චෙන්සොන්ගා කන්ද, ලොව තෙවැනියට උසින් වැඩි ම කඳු ශිඛරය ලෙස සැලකෙන අතර ඒ හා බැඳි මිථ්‍යා කථාන්තර ද බොහෝම යි.

(© Kai Y Wong)
කන්චෙන්සොන්ගා කන්ද

කන්චෙන්සොන්ගා ජාතික උද්‍යානය සතු ව කන්චෙන්සොන්ගා කන්ද ඇතුළු ව අඩි 19,000 ඉක්ම වන කඳු ශිඛර 19 ක් පවතිනවා. එසේ ම සුවිසල් භූ විවිධත්වයක් සතු එහි දී මහරත්මල් ගසින් යුතු වන අඩවි, බෑවුම් බහුල ගලින් සැදි කඳු වැටි මෙන් ම සුදෝසුදු ග්ලැසියර ද දැක ගැනීමට හැකි යි. එසේ ම කන්චෙන්සොන්ගා හි ඝන වනාන්තර මධ්‍යයේ දුර්ලභ රතු පැන්ඩා සතුන් වාසය කරන අතර උස් කඳු මුදුන් අතරේ හිම දිවියන් සැඟ වී සිටිනවා. පක්ෂීන් නිරීක්ෂණය කරන්නන්ගේ පාරාදීසයක් වන එහි දී දෙස් විදෙස් පක්ෂි විශේෂ 500 ක් පමණ දැක ගත හැකි යි.

ආග්‍රා බලකොටුව

ටාජ් මහල් හි සුන්දරත්වය සිත් සේ රස විඳින සංචාරකයින් බොහෝ දෙනෙක්ට මග හැරෙන ආග්‍රා හි රතු බලකොටුව පිහිටා ඇත්තේ ටාජ් මහල් මැදුරේ සිට මිනිත්තු කිහිපයකට දුරින්. 17 වැනි සියවසේ මැද භාගයේ දී මූගල් අගනුවර දිල්ලියට රැගෙන යන තෙක් ම සියවසකට අධික කාලයක් මූගල් අගරජුන්ට සෙවණ දුන් එය අක්බර් අධිරාජ්‍යයා විසින් යුද බලකොටුවක් ලෙස භාවිතා කිරීම සඳහා සැලසුම් කර රතු පැහැ වැලිගලින් නිම වන ලද්දක්.

© JMMF/Getty Images

ආග්‍රා බලකොටුවේ දී සුරංගනා කතා හා සම රජ මැදුරු මෙන් ම මූගල් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් මැනවින් විදහා දක්වන අලංකාර පල්ලි ද්විත්වයක් දැක ගැනීමට ලැබෙනවා. බලලෝභී ඖරංසෙබ් කුමරු විසින් පුරා අට වසරක කාලයක් ෂා ජහන් රජු ව සිර කර තබන ලද්දේ ද ආග්‍රා බලකොටුවේ යි. එසේ ම ටාජ් මහල් මැදුර නැරඹීමට වඩාත් සුදුසු ස්ථානයන්ගෙන් එකක් ලෙස ද එය සැලකෙනවා.

ගෝවේ පෘතුගීසි දෙව් මැදුරු සහ කන්‍යාරාම

පෘතුගීසි ඉන්දියානු වෙළඳ සමාගමේ පෙරදිග අගනුවර වූ ගෝවේ පිහිටි ආසියාවේ ක්‍රිස්තු ධර්මය පැතිර වීමේ මධ්‍යස්ථාන ලෙස කටයුතු කළ දෙව් මැදුරු සහ කන්‍යාරාම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1986 වර්ෂයේ දී යි. දකුණු ඉන්දියාවේ සොඳුරු වෙරළ තීරයන් හි සැරිසරන සංචාරකයින් ගෝවේ පෘතුගීසි දෙව් මැදුරු කරා ඇදෙන්නේ ඉතාමත් කලාතුරකින් බව සඳහන්.

(© Joegoauk Goa)
රෝසරි අප ස්වාමි දියණියගේ පල්ලිය

‘ඉන්දියාවේ ධර්ම දූතයා’ ලෙස නම් ලද ශාන්ත ෆ්‍රාන්සිස් සේවියර්ගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති බොම් ජීසස්ගේ බැසිලිකාව, ගෝවේ ඇති ජනප්‍රිය ම දෙව් මැදුර යි. අර්ධ වශයෙන් නටඹුන් ව ගොස් තිබුණ ද එය ඉන්දියානු බැරොක් ගෘහ නිර්මාණ ශිල්පයට කදිම නිදසුනක්. පෘතුගීසින් ගෝව යටත් කර ගැනීමෙන් කෙටි කලකට පසු ව ගොඩ නංවන ලද ‘රෝසරි අප ස්වාමි දියණියගේ පල්ලිය’ දැනට ගෝවේ දී දැක ගත හැකි පැරණි ම දේවස්ථානය යි.

බටහිර ඝාට්ස්

වඳ වී යාමේ තර්ජනයක් ලක් වූ ශාක සහ සත්ත්ව විශේෂ 325 ක අධික ප්‍රමාණයකට සෙවණ සලසන බටහිර ඝාට්ස්, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ දී යි. හිමාල කඳුවැටියට වඩා පැරණි බටහිර ඝාට්ස් කඳු පන්තිය‍ මෝසම් වැසි රටා අධ්‍යයනය සඳහා කදිම ස්ථානයක්. එසේ ම එය ලොව ඉහළ ම ජෛව විවිධත්වයක් හිමි ස්ථානය ලැයිස්තුවේ අට වැනි තැන හිමි කර ගැනීමට සමත් ව සිටිනවා. එසේ ම නිරන්තරයෙන් ම අලුත් සත්ත්ව විශේෂ ලොවට හඳුන්වා දෙන බටහිර ඝාට්ස් කඳුවැටියෙන් මෑතක දී සොයා ගන්නා ලද Eriovixia gryffindori නම් කුඩා මකුළු විශේෂය ලොව පුරා ජනප්‍රිය වුණේ එම සත්ත්වයා රුවෙන් හැරී පොටර් කතා මාලාවේ එන නිවාසවලට තෝරන තොප්පියට සමාන වූ නිසා යි.

© Divya Pillai

ප්‍රාන්ත 6 ක් පුරාවට සැතපුම් 1,000 ක පමණ භූමි ප්‍රදේශයක් මුළුල්ලේ පැතිරී ඇති බටහිර ඝාට්ස් හි දී ඝන වනාන්තරයන් හි නිදහසේ සැරිසන ආසියානු අලි රංචු, ලොව දුර්ලභ ම ප්‍රයිමේටාවෙක් වන සිංහ වලිගයක් සහිත මකා වඳුරන් මෙන් ම විශේෂ 1,500 ක අධික ප්‍රමාණයකට අයත් වර්ණවත් මලින් සැදි නිම්න භූමි වසා පැතුරුණු මල් ඇතිරිලි ද දැක ගැනීමට ලැබෙනවා.

රාණී-කි-වාව් හෙවත් රැජිනගේ පියගැට ළිඳ

මිය ගිය රජෙකු වෙනුවෙන් ඔහුගේ රැජින 11 වැනි සියවසේ දී ගුජරාට් ප්‍රාන්තයේ සරස්වතී ගං ඉවුරේ ගොඩ නංවන ලද ‘රාණී-කි-වාව්’ සතු සොඳුරු කැටයමින් යුතු පියගැට කාලයක් තිස්සේ සරස්වතී නදියෙන් පැමිණි රොන්මඩ විසින් ගිල ගත්ත ද 1980 දශකයේ දී ඉන්දියානු පුරාවිද්‍යාඥයින් විසින්  මාරු-ගුර්ජා ගෘහි නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නංවන ලද මහල් කිහිපයකින් යුතු රැජිනගේ පියගැට ළිඳ යළිත් අනාවරණය කර ගැනීමට සමත් වුණා.

© Hemis/Alamy Stock Photo

500 ක ආසන්න විශාල ප්‍රතිමා සහ 1000 කට අධික කුඩා ප්‍රතිමාවලින් අලංකාර කරන ලද රැජිනගේ පියගැට ළිඳ මීටර් 23 ක් පමණ ගැඹුරු බව සඳහන්. එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 2014 වර්ෂයේ දී යි.

භිම්බෙට්කා හි ශෛලමය ආවරණ

2003 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද භිම්බෙට්කා හි ශෛලමය ආවරණ, පුරාණ සිතුවම් මැදිරියක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. මධ්‍යම ඉන්දියානු සානුවේ දකුණු මායිමේ පිහිටා ඇති වින්ධ්‍යා කඳුවැටිය පාමුල ඇති හිම්බෙට්කා හි ශෛලමය බිත්ති මත අඳුරු රතු පැහැයෙන් සිතුවම් කරන ලද දුනු-ඊතල ඔසවාගෙන අං සහිත සතුන් රංචුවක් පසුපස හඹා යන මිනිසුන් මෙන් ම මුවන්, අලියන් සහ මී ගවයින් වැනි සතුන්ගේ රූප ද දැක ගැනීමට ලැබෙනවා.

© Dinodia Photos/Alamy Stock Photo

මෙහි දී දැක ගැනීමට ලැබෙන ඇතැම් සිතුවම්, ශිලා යුගයට වඩා පැරණි වන අතර පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ භිම්බෙට්කා හි ශෛලමය ආවරණ සහ ගුහා පද්ධතිය හෝමෝ ඉරෙක්ටස් මානවයන්ට පවා සෙවණ සපයන්නට ඇති බ යි.

කවරයේ පින්තූරය : © Tim Ngo

මිහිදුම් සළු අතර සැඟවුණු බටහිර ඝාට්ස් හි කඳුවැටි

Related Articles