Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් අවුරුද්ද කවදාවත් නොලැබෙන තනිවුණු හිත් එක්ක මේ අවුරුද්ද සමරමු

කොහාගේ හඬ, රතිඤ්ඤා සහ රබානේ හඬ අලුත් අවුරුද්ද අපේ හිත්වලට සමීප කළාට අපේ රටේ ඒ අවුරුදු අසිරිය නොලබන හිත් දහස් ගණනක් තිබෙනවා. හැමදාම වගේ ගෙදරට සීමා වෙලා අවුරුදු සමරනවා වෙනුවට ඒ අවුරුද්ද අරගෙන ගිහින් හැම හිතකටම බෙදා දෙන්න පුළුවන් නම් එය සාර්ථක අවුරුදු සැමරීමක් බවට පත් වෙනවා.

01 . වැඩිහිටි නිවාස

දත් නැති කට මට පෙන්වාලා ආච්චි සිනහවෙලා” (cinnamoncare.com)

අපේ දෙමව්පියන් ගමේ ඉඳගෙන දරු මුණුබුරන් එක්ක අපි අවුරුදු අරගෙන එනකම් බලාගෙන ඉන්නේ කොච්චර ආසාවෙන් ද කියලා දන්නවානේ. ගොඩාක් කාලෙකින් තමන්ගෙ දරු මුණුබුරන්ගේ මුහුණු දකිද්දී ඔවුන්ගේ මුහුණට වැටෙන එළිය! කැවුම්, කොකිස්, අතිරස වගේ පොඩි අය ආසම කෑම ජාති‍ ගොන්නක් හදාගෙන ඒවායේ රස ඒ පුංචි එවුන්ටත් කියා දෙන්න, උකුලට අරගෙන පරණ කතා වලින් පරම්පරාවේ උජාරුව කියන්න අපේ අම්මලාට, තාත්තලාට ලැබෙන්නේ අවුරුදු නිවාඩුවට තමයි. ඒ හිත්වලට අවුරුදු ලැබෙන්නේ මුළු පවුලම අවුරුද්දට එකතු වුණාම යි.

වැඩිහිටි හිත්වල ඒ හීන පිරුණාට තමන්ට ඉන්න සිද්ධ වෙලා තිබෙන්නේ වැඩිහිටි නිවාසයක නම් තමන්ගේ දරුවන්ගේ මුහුණු දකින්නට ඔවුන්ට එවන් අවස්ථාවක් ලැබෙන්නේ ම නැති තරම්. සවි ශක්තිය තිබෙන කාලය පුරාම දරුවන් උස් මහත් කරලා දැන් තමන්ගේ ශරීර අවශ්‍යතාවන් කුඩා දරුවෙක් වගේ පාලනය කරගන්න බැරිව, වයෝ වෘද්ධ වෙලා. තමන්ගේම අත් වලින් කැත කුණු අතගාලා හදපු වඩපු ඒ දරුවන් තමන් ගැන නොබලන බව සිහි වෙද්දි ඒ හිත් වලට කොයි තරම් නම් වේදනාවක් දැනෙනවා ඇති ද? ඉතින් මේ අවුරුද්දට, ගමේ යනවා වගේම වැඩිහිටි නිවාසයකටත් ගිහින් ඒ අම්මලා තාත්තලා එක්ක කාලය ගත කරන්න. ඔවුන්ගේ රස කතා අහන්න. ඒ දත් නැති හුරුබුහුටි මුහුණු වලට හිනා පොදක් ගෙන දෙමු.

2. ගෙවල් නැති මිනිස්සු

හිඟනකම බිස්නස් එකක් කරගත්තු අය අතරේ ඇත්තටම විඳවන මිනිස්සු (Flickr/Kah Zen Kam)

හොඳ රස්සාවක් කරලා, ලස්සන ගෙයක් හදාගෙන, ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගෙවන එක අපිට තියෙන ලොකුම හීනයක්. එහෙම වුණත්, අද ධනවතෙක් වෙලා ඉඳලා හෙට වෙද්දි ඒ හැම දෙයක්ම නැති වෙලා ගිහින් නෑ‍දෑ කෙනෙක්වත් උදව් නොකරන, අතේ කීයක්වත් නැති මට්ටමට ආවොත් කරන්න සිද්ධ වෙන එකම දේ ඇඳගෙන ඉන්නා ඇඳුම පිටින් පාරට බහින එකයි. කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැතිව, කොණ්ඩය කපාගන්නවත් සල්ලි නැතුව පාරේ දූවිලි වලින් පිරුණු බිමක නිදාගෙන, නිදැල්ලේ යන සත්තුන්ට සමාන ජීවිතයක් තමන්ට අත් වුණොත්? අපේ රටේ පාරවල්වල කොයිතරම් ඒ වගේ අසරණ ජීවිත තියෙනවාද!

අපිට ටීවී එකෙන්, අන්තර්ජාලයෙන් අවුරුදු අසිරිය හොඳටම ලැබෙනවා. ඒත් යන්න තැනක් නැතිව මහපාර නිවහන කරගත් කෙනෙක්ට තිබෙන එකම දේ පාරේ වාහනවල හෝන් සද්ද විතරයි.‍ අවුරුදු නැකැත් වලදි හතර වටෙන්ම රතිඤ්ඤා සද්ද ඇහෙද්දි, අපි ගෙවල්වලට වෙලා කිරිබත් කෑල්ලක් එක්ක හොඳට උම්බලකඩ, දෙහි ඇඹුල් දාපු සම්බෝලයක රස විඳිද්දි ඔවුන් සමහරවිට වේල් ගාණකින් කාලා නැතිව ඉන්නවා ඇති. හැබැයි අපිට පුළුවන් නම් අලුත් ඇඳුමක්, කන්න කිරිබත් කෑල්ලක් එක්ක ඒ අයගේ හිත් වලට හිනාවක් ගේන්න.. ඒක මේ අවුරුද්දට හොඳ ආරම්භයක් වේවි.

3. ළමා නිවාස

කවදාවත් අම්මා තාත්තා දකින්න ලැබෙන එකක් නැති බව ඔවුන් කොහොම දරාගන්නවා ඇතිද? (inmalanka-englishversion.over-blog.com)

හවස වැඩ ඇරිලා ආවාම “තාත්තා අවුරුද්දට මොනවද මට අරන් දෙන්නේ?” “අම්මී මට අවුරුද්දට තට්ටු ගවුමක් ඕනිමයි” කියලා උකුලට පැනලා පොඩි උන් කියද්දි ඒවා අරන් නොදී කොහොමද! අවුරුද්ද පුරාම හම්බ කරන්නේ මේ පොඩි එවුන්ගේ මූණුවල හිනාව දකින්න යි. කොච්චර සැර කරලා බැන්නත්, මේ ළමයි නම් යක්කු ටිකක් කියලා නොහිතාම කියවුණත් මේ හැමදේම කරන්නේ එයාලා වෙනුවෙන් ම තමයි. අපි පුංචි කාලෙදිත් අපේ අම්මලා, තාත්තලා පොඩ්ඩක් සැරවැර කරද්දි එයාලා ගැන කොච්චර අමනාපයක් දැනෙන්න ඇති ද? ඒත් හවස එද්දි ගේන පුංචි ටොපියකටත් වඩා, තාත්තාගේ මුහුණ දැක්කාම දැනෙන සතුට මෙතෙකැයි කියන්න බැහැ. ගොඩක් වෙලාවට අපි දඟ වැඩ කරන්නේ අම්මලාව අවුස්සලා එයාලාගේ අවධානය අරගන්න නේද? පුංචි කාලේ කරපු විකාර වැඩ හරිම රසවත්.

හැබැයි තමන්ව ගෙනත් දුන්නේ කවුරුන්ද කිය‍ා හෝ අඩු තරමේ උපන්දිනයවත් නොදන්නා නිසා උපන්දිනය කියන්නේ තමන්ව ළමා නිවාසයට ගෙනත් දීපු දවස කියලා හිතාගෙන ඉන්න දුක්ඛිත ජීවිත කොයි තරම් නම් මේ රටේ තියෙනවාද? හිතට දුකක් ආවාම බදාගෙන අඬන්න අම්මෙක්, හිතට ආසාවක් ආවාම බෙල්ල බදාගෙන හුරතල් වෙලා ඒක ඉල්ලගන්න තාත්තෙක් නැතිව තමන් වගේම පීඩනයෙන් ඉන්න දරුවන් ගොන්නක් ඉන්න පරිසරයකට කොටු වෙලා ඇතැම්විට පාලිකාවන්ගේ ඇණුම් බැණුම් වලට ලක් වෙමින් ඇස්වල කඳුළු හංගාගත්තු ඒ අහිංසක පුංචි හිත් වලට අවුරුදු අරගෙන යන්න ඉන්නේ කවුද? මේ සිංහල හින්දු අවුරුද්ද අපි එයාලා එක්කත් බෙදා ගමු.

4. අත කෙළවර මරණය තබාගෙන රෝහලක ගෙවෙන ජීවිත

”ආරෝග්‍යා පරමා ලාභා” කියන්නේ ලොව උතුම් ම ලාභය නීරෝගී බව කියන එක යි. පොඩි දූවිල්ලක් ගිහින් කතා කරගන්නවත් අමාරු තරම් උගුර හිරවෙලා, කැස්සත් එක්ක නාහෙ තදවෙලා, නිදාගන්නත් බැරි වුණු හැටි මතකයි නේ. බෝඩිමක තනියම ඉන්නවා නම් උණක් හැදුණු වෙලාවක තමන්ට බේත් පෙත්තක් දෙන්නවත් කෙනෙක් නැතුව විඳින්න වෙන දුක දන්නේ එහෙම වුණු කෙනෙක් ම විතරයි. හොඳට නීරෝගීව ඉඳිද්දි අතේ පුංචි තිතක් ඇවිත් තිබුණොත් අපි මුලින්ම ඒක ගූග්ල් කරනවා. ඒ වෙබ් අඩවි වලින් කියන විදියට මෙහෙම වෙන්නේ ඩෙංගු හැදුණාම ලු. ඩෙංගු රක්තපාතය ඇතිවෙලා, වකුගඩු අමාරුවක් හැදිලා, පපුවේ මේදය තැන්පත් වෙලා, රුධිර ගමනය නැවතිලා මොළය මරණයට පත් වෙනවා. අපි කී වතාවක් නම් මෙහෙම මරණය ගැන බය වෙලා ඇතිද? ඒත් හෙට ආයෙත් සුවයෙන් නැගිටිද්දි අපිට අලුත් බලාපොරොත්තු ගොන්නක් හිතේ පිරෙනවා.

ඒත්‍‍.. හැම හිතකට ම ඒ වාසනාව නැහැ. අපිට පිළිකාවක් ඇති බව වෛද්‍යවරයාගෙන් දැනගන්නට ලැබුණොත් ඒ මොහොතේ පටන්ම ඒක හොඳ කරගන්න අපේ පවුලේ අයට කොයි තරම් නම් දුකක් විඳින්න වේවි ද, අපි මැරුණාට පස්සේ ඒ අයට මොන දෙයක් වේවිද වගේ සිතිවිලි ගොඩක් හිතට එනවා. මරණ දණ්ඩනය දුන්නු කෙනෙක්ට කරන්න පුළුවන් නරකම දේ තමයි මැරෙන දවස නොකියා ඉන්නා එක. එතකොට උදේ නැගිටිද්දිම ඔවුන්‍ට මතක් වෙන්නේ අද මැරේවිද කියා යි. පිළිකාවත් ඒ වගේ. මහරගම පිළිකා රෝහල විතරක් නොවෙයි, අපේක්ෂා රෝහලේත් උපතින්ම මරණ බය අතින් අරගෙන ආපු පුංචි කිරිකැටියන් කොයි තරම් ඉන්නවාද! ඒ අයගේ දෙමව්පියන් තමන්ගේ දරුවාගේ මරණය  අත ළඟම බව දැනගෙන කොයි තරම් පිච්චෙනවා ඇතිද? අපි අලුත් අවුරුද්දට හොඳට කාලා බීලා ඇඳුම් ගත්තාට ඔවුන් හැම සතයම, හිනා පොදක්ම ඒ ජීවිත වෙනුවෙන් උකසට තියනවා. ඉතින්, මොහොතකට හරි ඒවා අමතක කරලා හිනාවෙන් හිත පුරවාගන්න මේ අවුරුද්ද එයාලටත් ගිහින් දෙමු.

05. යුද්ධෙ කාලෙදි අපිට අවුරුදු ගෙන ආ ආබාධිත රණවිරුවන්

විරුවන්ටත් අවුරුදු ගෙන යමු (@bundeljayse)

බස් එකකට නගිද්දි උඩ රැක් එකේ තියෙන ගමන් මළු දිහා බයෙන් බලාගෙන, ළඟ ඉන්න කෙනා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් වෙන්න පුළුවන් නේද කියලා හිතමින්, අනුරාධපුරයේ වන්දනා ගමනක් යන්න දෙවරක් හිතමින් ගත කරපු කාලයක් තිබුණු බව ටිකින් ටික අපිට අමතක වෙමින් තිබෙන්නේ දැන් ලබා තිබෙන අපරිමිත නිදහස නිසා යි. රෑ දිවා නොබලා, මඩ වගුරුවල, ගස් පඳුරු අස්සේ සැඟවී නොසෙල්වී පැය ගණන් හිඳිමින් යුද්ධ හමුදාව මෙන්ම ගුවන්, නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය ද අපිට නිදහසේ අවුරුදු සමරන්න ඒ කාලයේ අවස්ථාව ලබා දුන්නා. ජනතා‍වගේ දේශපාලන පිල් බෙදීම් නිසා විවිධ මති මතාන්තර පැතිරුණත් අපේ මව්බිම වෙනුවෙන් කෙනෙක්ට තමන්ගේ ජීවිතය කැප කරන්න පුළුවන් නම් ඒකට මිලක්, ඒ වෙනුවෙන් පිදිය හැකි ආදරයට සීමාවක් වෙන් කරන්න බැහැ.

තමන්ගේ අම්මාගෙන්, බිරිඳගෙන් වෙන්වෙලා ජීවිතේ ආසාවන් හැම දෙයක්ම පසෙක ලා ඔවුන් අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තැබුවා. යුද්ධය නිසා බොහෝ දෙනෙක් මිය ගියා. තවත් පිරිසක් අත්, කකුල් නැතිව ඉනෙන් පහළ පණ නැතිව රණවිරු සෙවණට වෙලා තමන්ගේ ජීවිතයේ ඉතිරිය ගැට ගහගන්නවා. ඉස්සර ඇසුණු බෝම්බ හඬ වෙනුවට දැන් රට පුරා රතිඤ්ඤා හඬ ඇහෙනවා. සයනයිඩ් වෙනුවට රටේ කිරිබත් ඉදෙනවා. ඉතින් එයින් කිරිබත් කටක් අරගෙන ගිහින් ඒ අසහාය විරුවන්ට කවන්න පුළුවන් නම් අවුරුද්දට ඊටත් වඩා වටිනාකම් දෙන්න පුළුවන්ද? රණවිරු සෙවණකට ගිහින් ඔවුන් එක්ක අවුරුදු දවස ගත කරලා ඔවුන්ගේ සේවයට හිස නමා ආචාර කරන්න මේ අවුරුද්ද අපි වෙන් කර ගමු.

Brought to you by Sampath Bank.

කවරය: Flickr/kayak360

Related Articles