Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල් සීයාට ලියුමක්

නත්තල් උත්සව සමය වයස් භේදයකින් තොරව කාටත් විනෝදජනක වකවානුවක් වුව ද, එය සුරංගනා කථාන්තර ප්‍රිය කරන සිඟිති දරු දැරියන්ට වඩාත් ආශ්වාදජනක කාල පරිච්ඡේදයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. එයට හේතුව නත්තල් දිනයට පෙර දින රාත්‍රියේ දී විසිතුරු සෙල්ලම් භාණ්ඩ, ලොව පුරා වාසය කරන ‘හොඳ සහ කීකරු’ දරු දැරියන් අතරේ බෙදා දෙමින් පිනි මුවන් බැඳි කරත්තයකින් සිදුකරන නත්තල් සීයාගේ ලෝක සංචාරය බවට සැකයක් නැහැ. මේ හේතුවෙන් සෑම වර්ෂයක දී ම තමන් වඩාත් ප්‍රිය කරන සෙල්ලම් භාණ්ඩ පිළිබඳ ව තොරතුරු ඇතුළත් කරමින් උත්තර ධ්‍රැවයේ වාසය කරන නත්තල් සීයාට ලිපියක් යැවීමට පොඩිත්තන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රචලිත සාම්ප්‍රදායයක් නොවන, නත්තල් සීයාට ලිපියක් යැවීමේ චාරිත්‍රය ඇති වූ ආකාරය ගැන ඔබ දන්නවා ද?

© Petawawa Post

නත්තල් සීයාගෙන් ලියුමක්

වර්තමානයේ දී සිදුවන්නේ නත්තල් සීයාට ලිපියක් යොමු කිරීම වුව ද, 19 වැනි සියවසේ දී පමණ එය ආරම්භ වී ඇත්තේ නත්තල් සීයාගෙන් ලැබෙන ලිපියක් ලෙස යි. අදින් සියවස් කිහිපයකට පෙර නත්තල් සීයා ව සලකන ලද්දේ විනයානුකූල පුද්ගලයෙකු ලෙස වන අතර, කුඩා දරු දැරියන්ට ශාන්ත නිකලස් පිළිබඳ කථාන්තර කියා දෙන්නට ඇත්තේ ඔවුන්ට හොඳ පුරුදු පුහුණු කිරීමේ උපක්‍රමයක් ලෙස බවට සැකයක් නැහැ. එසේ ම ඇතැම් දෙමව්පියන් විසින් නත්තල් සීයා ලියන අයුරින් උපදෙස් සහ අවවාද ඇතුළත් ලිපි සම්පාදනය කර තමන්ගේ දරුවන් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

(© Pinterest) අකීකරු දරු දැරියන්ට දඬුවම් කර නිසි විනය පවත්වා ගැනීමට කටයුතු කළ පූජකයෙකු ලෙස දැක්වෙන ශාන්ත නිකලස්ගේ මුල්කාලීන සිතුවමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කළ තියඩෝර් ලෙඩ්යාර්ඩ් කයිලර් නම් ප්‍රකට ප්‍රෙස්බිටීරියන් දේවගැතිතුමා වරක් සඳහන් කර ඇත්තේ, 1820 දශකයේ දී ඔහුට ද නත්තල් සීයාගෙන් දැනමුතුකම් සපිරි ලිපියක් ලද බව යි. එයට අමතර ව 1850 දශකයේ දී ඇමෙරිකානු කවියෙකු වූ හෙන්රි වෝඩ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝගේ බිරිඳ වූ ෆැනී විසින් ඇගේ දරුවන් තිදෙනාට ඔවුන් විසින් එම වර්ෂය තුළ දී සිදුකරන ලද වැරදි සහ ඒවා සකස් කර ගත හැකි ආකාරය පිළිබඳ ව උපදෙස් ඇතුළත් කරන ලද ලිපි සම්පාදනය කර ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. 19 වැනි සියවසේ දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ශාන්ත නිකලස් හෙවත් නත්තල් සීයා ජනප්‍රියව සිටියේ අකීකරු දරු දැරියන්ට දඬුවම් කර නිසි විනය පවත්වා ගැනීමට කටයුතු කළ පූජකයෙකු ලෙස බැවින් එවැනි ලිපි සත්‍ය වශයෙන් ම නත්තල් සීයාගෙන් ලැබුණු බව පොඩිත්තන්ට ඒත්තු ගැන්වීම එතරම් අපහසු නොවන්නට ඇත.

(© Gamma-Keystone / Getty Images) 1932 දී නත්තල් සීයා වෙත ලිපියක් ලබාදෙන දරුවෙක්

සිතුවමක් හේතුවෙන් ජනප්‍රිය වූ සාම්ප්‍රදායයක්

ඇමෙරිකානු සිවිල් යුද්ධය දරුණු ලෙස ඇවිළී ගිය කාල සීමාවේ දී තැපෑලෙන් ලිපියක් ලැබීම සලකන ලද්දේ ප්‍රසන්න සිදුවීමක් ලෙස යි. යුද සංග්‍රාම හේතුවෙන් පීඩාවට පත් වී සිටි ඇමෙරිකානුවන් අතර සතුට දනවන ලිපි බෙදාහැරීම සඳහා තැපැල් සේවකයින් රාශියක් සේවයේ යොදවන ලද අතර, ඔවුන් විසින් ‘නත්තල් සීයා විසින් එවන ලද ලිපි’ බෙදාහැරීම ද සිදුකර තිබෙනවා. මේ හේතුවෙන් 1860 දශකය වන විට ඇමෙරිකානු දරුවන් සෑම දෙනාට ම පාහේ නත්තල් සීයාගේ උපදෙස් ඇතුළත් ලිපි ලැබීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව පැවසීමේ වරදක් නැහැ.

(© Lanmas / Alamy Stock Photo) 1879 දී තෝමස් නාස්ට් විසින් අඳින ලද සිතුවම

1871 දී ‘ඇමෙරිකානු කාටූන් කලාවේ පියා’ ලෙස සැලකෙන තෝමස් නාස්ට් විසින් ‘Harper’s Weekly’ සඟරාවට යොමු කරන ලද සිතුවම, නත්තල් සීයාගෙන් ලිපි ලැබීමේ සාම්ප්‍රදාය ඇමෙරිකානුවන් අතර වඩාත් ප්‍රචලිත වීමට හේතු වූ බව සැලකෙනවා. එයින් නිරූපණය වුණේ කීකරු දරුවන්ගේ දෙමව්පියන් සහ අකීකරු දරුවන්ගේ දෙමව්පියන් විසින් යොමු කරන ලද ලිපි පරීක්ෂා කරන නත්තල් සීයා යි. එයින් වසර කිහිපයකට පසුව 1879 දී තෝමස් නාස්ට් විසින් තවත් සිතුවමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හිම වැටෙන සවස් යාමයක දී ‘උත්තර ධ්‍රැවයේ ශාන්ත ක්ලෝස්ට’ යොමු කරන ලද ලිපියක් තැපැල් පෙට්ටියකට ඇතුළත් කරන දරුවෙකුගේ රුව රැගත් එය, නත්තල් සීයාට ලිපි ලිවීම කෙරෙහි කුඩා දරු දැරියන් ව පොලඹවන්නට ඇති බවට යි සැලකෙන්නේ.

ආදරණීය නත්තල් සීයා වෙත

නත්තල් සීයාගෙන් ලද උපදෙස් ලිපි සඳහා ස්තූති කරමින් ඔහුට පිළිතුරු ලිපි යොමු කිරීම 1870 දශකයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ජනප්‍රිය වූ අතර, සෑම වර්ෂයක දී ම නත්තල් සීයා වෙත යොමු කරන ලද ලිපි දහස් ගණනක් තැපැල් කාර්යාල තුළ ගොඩගැසී තිබෙනවා. ‘බෙදා හැරිය නොහැකි ලිපි’ ලෙස සලකන ලද ඒවා මුල් කාලයේ දී ඇමෙරිකානු තැපැල් සේවය විසින් යවන්නා වෙත ආපසු ලබා දීමට හෝ විනාශ කිරීම සඳහා Dead Letter Office වෙත යොමු කිරීමට කටයුතු කළ ද, එවැනි ලිපි සඳහා පිළිතුරු ලිපි යැවීමට දානපතියන් සහ පුණ්‍ය ආයතන එකඟ වීම මත 1912 දී තැපැල් ස්ථානාධිපතියේ අධීක්ෂණය යටතේ අදාළ ලිපි සඳහා පිළිතුරු යැවීම අරඹන ලද බව යි වාර්තා වන්නේ.

(© United States Postal Service) ඇමෙරිකානු තැපැල් සේවය විසින් පවත්වාගෙන යන ‘Operation Santa’ වැඩසටහන

වර්තමානයේ දී නත්තල් සීයා වෙත යොමු කරන ලිපි සඳහා පිළිතුරු සැපයීමට ඇමෙරිකානු තැපැල් සේවය විසින් ‘Operation Santa’ නම් වැඩසටහන් පවත්වාගෙන යන අතර, නත්තල් සීයාට ලිපි යැවීම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් නොව ලෝකයේ බොහෝ රාජ්‍යයන් හි ජනප්‍රිය යි. එයට අමතර ව දානපතියන් සහ පුණ්‍ය ආයතන රැසක් නත්තල් සීයා වෙත යොමු කරන ලිපි සඳහා පිළිතුරු සපයන අතර, නත්තල් සීයාට විද්‍යුත් තැපැල් ලිපිනයක් පවා පවතින බව යි වාර්තා වන්නේ.

කවරයේ පින්තූරය: © ElisaGH / iStock

Related Articles