Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන් බලා ගන්නා අමෙරිකාවේ අපූරු පුස්තකාල

බාර්බරා වීඩ්මන් අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ ජීවත් වන එක්දරු මවකි. ඇයට සිය දරුවා සමඟ පොදු ස්ථානවලට ගිය අවස්ථාවල විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය. සැමියා ද නොමැති කාන්තාවක් වන ඇයට තමන් යන සෑම ස්ථානයකට ම දරුවා ද රැගෙන යාමට සිදු වූ බැවින් ඇය නිරන්තරයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑවා ය.

තමන් මුහුණ දුන් ගැටලුවට විසඳුමක් සෙවීමට කැප වූ ඇය ඉතා කෙටි කලක් සොයා ගත් විසඳුමක් හා ක්‍රියාත්මක කළ සංකල්පයක් මේ වන විට ලොව පුරා අවධානයට ලක් වී ඇත. ඒ පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

මව්වරුන්ට අභියෝගයක්

“මං දන්නවා කුඩා දරුවන් සිටින මව්වරුන්ට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහිත ස්ථාන, විශේෂයෙන් ම පොදු ස්ථාන, සොයාගැනීම කොතරම් අභියෝගාත්මක ද කියලා. බොහෝ විට මේ ගැටලුව පිළිබඳව ප්‍රමාණවත් අවදානයක් යොමු වෙන්නේ නැහැ. එය සිතාමතා කරන දෙයක් නොවෙන්න පුළුවන්, නමුත්, එය බොහෝ ගැටලුවලට හේතු වෙනවා.” ඇය මෑතකදී සඳහන් කළා ය.

බාර්බරා වීඩ්මන් – www.legacy.com

වර්ජීනියා ප්‍රාන්තයේ ‘හෙන්රිකෝ කන්ට්‍රි’ ප්‍රදේශයේ පිහිටි මහජන පුස්තකාලයක අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරන බාර්බරා, එම පුස්තකාලයට කුඩා දරුවන් සමඟ පැමිණෙන මව්වරුන් ද ඇය මෙන් ම විවිධ දුෂ්කරතාවලට මුහුණපාන බව දුටුවා ය. පුස්තකාලයට පැමිණෙන බොහෝ මව්වරුන්ට සිය දරුවා උකුල මත තබා ගනිමින් පොත් හෝ පරිගණකය පරිශීලනය අපහසුවෙන් කිරීමට සිදු විය.

සංකල්පයේ ආරම්භය

2017 දී මෙම පුස්තකාලය වෙනත් ස්ථානයක් වෙත ගෙන යාමේ මූලික කටයුතු ආරම්භ විය. එම කටයුතු සිදු වෙමින් පවතින අතරතුර පොත් සහ පරිගණකය පරිශීලනය කිරීමට එහි පැමිණෙන මව්වරුන්ට සිය දරුවන් ආරක්ෂිතව තැබිය හැකි ස්ථාන සකස් කිරීම පිළිබඳව බාර්බරා ගේ අවධානය යොමු විය. ඒ සඳහා ඇය පුස්තකාලයට පැමිණෙන ප්‍රජාවගේ සහ නිර්මාණාත්මක කටයුතුවල නියැළෙන තරුණ කණ්ඩායමක සහය ලබා ගත්තා ය.

පුස්තකාලය ඇතුළත – www.americanlibrariesmagazine.org

“පුස්තකාලය 2019 දී වෙනත් ස්ථානයක විවෘත කළ දිනයේ කුඩා දරුවෙක් අතැතිව පැමිණි කාන්තාවක් කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙක්ගේ මඟපෙන්වීමකින් තොරව දරුවන් ආරක්ෂිතව තැබීමට සකස් කළ ස්ථානයක ඇගේ දරුවා ස්ථානගත කළා. මෙම වැඩසටහන එතරම් ඉක්මනින් ජනතාව අතරට ගෙන යාමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.” ඇය සඳහන් කළා ය.

පැසසුම්

ප්‍රදේශයේ ජීවත් වන වයස අවුරුදු දෙකක දියණියකගේ පියෙක් පැවැසුවේ සති කිහිපයකට වරක් විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම වැනි විවිධ කටයුතු සඳහා ඔහු සිය දියණිය ද සමඟ පරිගණක පහසුකම් සහිත පුස්තකාලයට පැමිණෙන බව යි. පරිගණකය භාවිත කරන අතරතුර නිරන්තරයෙන් සිය දියණිය පිළිබඳ ව අවධානය යොමු කිරීමට සිදු වන බැවින් කුඩා ළමයින් සඳහා විශේෂිත ස්ථාන සකස් කර තිබීම ඔහුගේ පැසසුමට ලක් විය.

රැකියාවක් ලෙස කුඩා ළමයින් රැක බලා ගන්නා කාන්තාවන්ට ද පුස්තකාලය භාවිත කිරීමට අවස්ථාව ලැබේ -www.comprisetechnologies.com

මව්වරුන්ට අමතර ව රැකියාවක් ලෙස කුඩා ළමයින් රැක බලා ගන්නා කාන්තාවන්ට ද දරුවන් අදාළ ස්ථානයේ තබා පුස්තකාලයේ ඇති පොත් පරිශීලනය කිරීමට සහ පරිගණක පහසුකම් භාවිත කිරීමට අවස්ථාව ලැබේ. එය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන ගැටලුවකට ඉතා ප්‍රයෝගික විසඳුමක් බව බොහෝ දෙනෙක් සඳහන් කරති.

සංකල්පයෙන් ප්‍රයෝජන ලබන පාර්ශව

“බොහෝ කුඩා ළමයින් රැක බලා ගන්නා කාන්තාවන්ට ඔවුන් සේවය කරන නිවෙස්වල අන්තර්ජාල පහසුකම් භාවිත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊට හැකියාව ලැබුණත් ඔවුන්ට තරමක් නිදහසක් සහිත පරිසරයක් එම නිවෙස්වල නොමැති විය හැකි යි. එය බොහෝ දෙනකුගේ අවධානයෙන් ගිලිහී යන තත්ත්වයක්. ඒ නිසා මේ සංකල්පය ඔවුන්ටත් විශාල වාසියක් වනු ඇති බව මගේ විශ්වාසය යි.”

පුස්තකාලයේ පරිගණක පහසුකම් භාවිත කර විද්‍යුත් පණිවිඩ සඳහා පිළිතුරු යැවීම, භාණ්ඩ ඇණවුම් කිරීම, රැකියා අවස්ථා සෙවීම, මුදල් ගනුදෙනු කිරීම සහ අන්තර්ජාලය අවශ්‍ය වන වෙනත් බොහෝ සේවා අත්විඳීමට එහි පැමිණෙන්නන්ට හැකියාව ලැබේ. 2022 ජනවාරි මස වර්ජීනියා ප්‍රාන්තයේ රාජ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක් මෙම පුස්තකාලයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පළ කිරීමත් සමඟ ඒ පිළිබඳ ව විශාල මාධ්‍ය අවධානයක් යොමු විය.

එය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන ගැටලුවකට ඉතා ප්‍රයෝගික විසඳුමක් බව බොහෝ දෙනෙක් සඳහන් කරති – insider.com

ලොව පුරා හුවමාරු වූ ඡායාරූප

“ඒ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වීම පිළිබඳ ව අපි පළමුවෙන්ම මවිතයට පත් වුණා. ඒ වගේ ම අපිට අවබෝධ වුණා කුඩා දරුවන් සමඟ මෙවැනි ස්ථානයකට පැමිණෙන පුද්ගලයන් ඔවුන්ගේ පහසුව තකා මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොතෙක් දුරට සතුටු වෙනවා ද කියලා. එය අපිට විශාල ශක්තියක්.”

කුඩා ළමයින් සඳහා වෙන් වූ ස්ථානය – www.richmond.com

පුස්තකාල, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික සමාගම් ගණනාවක් මෙම සංකල්පය ඔවුන්ගේ ආයතනවල ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව අවධානය යොමු කර ඇත. ඊට අදාළ මූලික කටයුතු පිළිබඳ ව බොහෝ එවැනි ආයතන බාර්බරාගෙන් උපදෙස් ඉල්ලා තිබේ. ඇය සඳහන් කළේ සිය සංකල්පය මේ අයුරින් ව්‍යාප්ත වීම පිළිබඳ ව අතිශයින් සතුටු වන බව යි. එය ව්‍යාප්ත කිරීම සඳහා හැකි උපරිමයෙන් සිය දායකත්වය සපයන බව ඇය පැවැසුවා ය.

පහසුකම අවභාවිතා කරන්නෝ

කුඩා දරුවන් සඳහා වෙන් වූ ස්ථාන භාවිත කිරීම සඳහා යම්කිසි නිශ්චිත කාලසීමාවක් හඳුන්වා දිය යුතු බව සමහරුන් යෝජනා කර තිබේ. ඊට හේතුව සමහර මව්වරුන් සහ කුඩා දරුවන් රැක බලාගන්නා කාන්තාවන් දිගු වෙලාවක් තිස්සේ සිය දරුවන් එම ස්ථානවල රඳවා තිබීම හේතුවෙන් අනිකුත් පුද්ගලයන්ට ඒවා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබීම යි.

පුස්තකාලයේ බාහිර පෙනුම – www.quinnevans.com

පැමිණෙන්නන්ට පරිශීලනය කිරීම සඳහා ඇති පොත්පත් සහ වෙනත් තොරතුරු පිළිබඳ ව පමණක් අවධානය යොමු නොකොට ඔවුන්ගේ පහසුව පිළිබඳ ව ද අවධානය යොමු කරන මෙවැනි ව්‍යාපෘති සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ලැබීය යුතු බව මෙම පුස්තකාලයට පැමිණෙන බොහෝ දෙනෙක් පවසා ඇත. පුස්තකාලය පිහිටි ප්‍රදේශයේ මව්වරුන් පිරිසක් මෙවැනි ව්‍යාපෘති අනිකුත් පුස්තකාලවලට ද හඳුන්වා දෙන ලෙස ඉල්ලා අදාළ ප්‍රාදේශීය පරිපාලන ඒකකය වෙත යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ.

නව යෝජනා

මෙම ව්‍යාපෘතිය හෝ ඊට සමාන වෙනත් ව්‍යාපෘතියක් අනිකුත් පුස්තකාල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ද සමාගම් කිහිපයක් කැමැත්ත පළ කර ඇත. කුඩා දරුවන් හේතුවෙන් කියවීමෙන් ඈත්ව සිටින මව්පියන්ට සහ වෘත්තීයමය දරුවන් රැක බලා ගන්නන්ට මෙම ව්‍යාපෘතිය හරහා සිදු වන සේවය අතිමහත් වීම සැලකිල්ලට ගනිමින් ඊට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට කැමැත්ත පළ කළ බව එක් සමාගමක අධ්‍යක්ෂවරයෙක් පසුගිය දා සඳහන් කර තිබිණි.

නවීන පහසුකම් රැසකින් පුස්තකාලය සමන්විත වේ – www.quinnevans.com

කවරයේ ඡායාරූපය - කුඩා ළමයින් සඳහා විශේෂිත ස්ථාන සකස් කර තිබීම බොහෝ දෙනාගේ පැසසුමට ලක් වේ - www.quinnevans.com

මූලාශ්‍ර :
www.henricolibrary.org
www.libcal.com
www.insider.com

Related Articles