පෘථිවියෙන් පිටත ජීවය තිබිය හැකි ‘යුරෝපා’

අතීතයේ පටන් පිටසක්වල ජීවීන් පිළිබඳ ව සඳහන් වන විවිධ සිදුවීම් ලොව පුරා වර්තා වී තිබෙනවා. කෙසේ නමුත් ඒ කිසිවක් තහවුරු කරන්නට කිසිවෙකුත් සමත් ව නැහැ. එමෙන්ම නවීන තාක්ෂණය ඔස්සේ සිදුකළ කිසිදු පර්යේෂණයකින් මේ වන තුරු පෘථිවියෙන් පිටත ජීවයක් සොයාගන්නට විද්‍යාඥයින් සමත් ව නැහැ. එවැන්නක් පැවතීමට අල්පමාත්‍ර වූ හැකියාවක් ඇතැ යි සැක කෙරෙන ස්ථානත් ඇත්තේ අතළොස්සක් පමණයි.

17 වන සියවසේ විද්‍යාඥ ගැලීලියෝ ගැලලි විසින් බ්‍රහස්පති ග්‍රහයා හඳුනාගන්න විට ඒත් සමග ම වාගේ ඒ වටා භ්‍රමණය වන චන්ද්‍රයින් සිව්දෙනෙකුත් හඳුනාගත්තා. ඒවා ආයෝ, කැලිස්ටෝ, ගැනිමීඩ්, හා යුරෝපා ලෙසත් හැඳින්වුණු අතර තාක්ෂණ‍යේ දියුණුවත් සමග විද්‍යාඥයින් බ්‍රහස්පතිට අමතර ව මේ චන්ද්‍රයිනුත් අධ්‍යයනය කරන්නට පටන්ගත්තා.

බ්‍රහස්පතිගේ ගැලලීය චන්ද්‍රයින්- homepages.uc.edu

පසුකාලීන ව බ්‍රහස්පති සතු ව තිබෙන තවත් චන්ද්‍රයින් රාශියක් හඳුනාගත්ත ද ඒ අතරින් වඩාත් ම විද්‍යාඥයින්ගේ සිත්ගත්තේ ‘යුරෝපා’ යි. එහි දීප්තිමත් සුදු පැහැයට හේතුව මිදුණු ජලය බවට මුල සිට ම ඔවුන් සැක කළ අතර පසුකාලීන ව බ්‍රහස්පති වෙත යැවූ යානා මඟින් එය එසේ ම බැව් තහවුරු වුණා.

යුරෝපා පිළිබඳ මූලික තතු

බ්‍රහස්පතිගේ සිට කි. මී. 670,900ක සාමාන්‍ය දුරකින් කක්ෂගත වී ඇති යුරෝපා, බ්‍රහස්පති වටා එක් වටයක් යන්නට පෘථිවි දින තුනහමාරක් ගත වෙනවා. එහි එක් පැත්තක් සෑමවිට ම බ්‍රහස්පතිට මුහුණලා තිබෙනවා.

යුරෝපාහි විෂ්කම්භය කි. මී. 3,100ක් පමණ වෙනවා. මෙය පෘථිවිය සතු චන්ද්‍රයාට වඩා මඳක් කුඩා අතර ප්ලූටෝට වඩා විශාල වෙනවා. සූර්යයාගේ සිට යුරෝපා ස්ථානගත වී ඇති සාමාන්‍ය දුර කිලෝමීටර මිලියන 780ක්.

සූර්යයාගෙන් ඉතා දුරින් පිහිටා තිබෙන නිසා එහි මතුපිට ඉතා ශීතල වෙනවා. එහි සමකාසන්න පෙදෙස්වල උෂ්ණත්වය කිසිවිටෙක සෙල්සියස් අංශක ඍණ 160 නොඉක්මවන අතර ධ්‍රැවයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 220 ඉක්මවන්නේ නැහැ. යුරෝපා සෞරග්‍රහමණ්ඩලයේ ඇති චන්ද්‍රයින් අතරින් දීප්තිමත් ම සඳ යි.

යුරෝපා හි ජීවයක් පැවතිය හැක්කේ මන්ද?

විද්‍යාඥයින් විසින් බ්‍රහස්පති ‘වායු පිරුණු බැලුනයක්’ වැනි ග්‍රහලොවක් බව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම එහි ජීවයට හිතකර සාධක කිසිවක් නැහැ. ඒත් සමග ම යුරෝපා හි දීප්තිමත්භාවයට හේතුව මිදුණු ‘අයිස්’ වන බැව් තහවුරු කරගන්නට විද්‍යාඥයින් සමත් වුණා. මේ නිසා බ්‍රහස්පති හි අනෙකුත් චන්ද්‍රයින් සියළුදෙනාට ම වඩා වැඩි අවධානයක් යුරෝපා වෙත හෙලන්නට ඔවුන් කටයුතු කළා.

යුරෝපා හි මතුපිට- NASA/JPL-Caltech

වැඩිදුර පර්යේෂණවලින් නිගමනය කෙරුණේ යුරෝපා හි මධ්‍යය, පෘථිවියේ මෙන්ම යකඩවලින් සෑදුණු එකක් බව යි. තව ද, සූර්යයාගෙන් ඈත් ව පිහිටීම නිසා මතුපිට උෂ්ණත්වය ජීවයට කිසිසේත් ම නොගැළපුණ ද බ්‍රහස්පතිගේ බලවත් චුම්භක ක්ෂේත්‍රයේ බලපෑම නිසා එහි මධ්‍යය ඊට වඩා උණුසුම් ව තිබිය හැකියැ යි අනුමාන කෙරුණා. එමෙන්ම එහි මධ්‍යය පෘථිවියේ මෙන්ම සක්‍රීය නම්, එහි මධ්‍යයෙන් විශාල තාපයක් ජනනය විය හැකියැ යි තර්කයක් ගොඩනැගුණා. මේ අනුව අවසානයේ යුරෝපා හි මතුපිට පෘෂ්ඨයේ සිට කි. මී. 15 සිට 25ක ගැඹුරකින් ද්‍රව ජලය සහිත සාගරයක් පිහිටීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැ යි තීරණය කෙරුණා.

යුරෝපාගේ කක්ෂය මඳක් ඉලිප්සීය එකක් වෙනවා. එම නිසා විටින් විට එය මඳ වශයෙන් බ්‍රහස්පතිට ආසන්න වීම හා දුරස් වීම සිදුවෙනවා. එම හේතුවත් නිතර ම එක් පැත්තක් බ්‍රහස්පතිට මුහුණලා පිහිටීමත් නිසා මොහොතින් මොහොතට, එය බ්‍රහස්පතිට මුහුණලා ඇති පැත්තට සාපේක්ෂ ව  විරුද්ධ පැත්තටත් බ්‍රහස්පතිගෙන් බලපාන ගුරුත්වය වෙනස් වෙනවා.  යුරෝපා හි මතුපිට අයිස් ස්ථරයේ ඇති පැළුම් ලක්ෂණ මෙම ගුරුත්වයේ ඇති වන වෙනස්කම් නිසා සිදුවන බැව් සැලකෙනවා. සාමාන්‍යයෙන් පූර්ණ ඝණ වස්තුවක මේ ආකාරයෙන් පැළුම් ඇතිවීමේ අවකාශය අඩු අතර, ඝණ වූ මතුපිට කබොලට යටින් ‘තරලමය’ යමක් පවතියි නම් එහි පෘථිවි සාගරයේ මෙන් උදම් ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස මතුපිට පිපුරුම් ඇති වෙනවා.මෙලෙස ඇති වූ පැළුම්වලින් තව ම හඳුනා නොගත් රතු-දුඹුරු පැහැති සංඝටකයක් ඉවතට පැමිණ තිබීම නිසා එම මතය තවත් බලවත් වෙනවා. මීට අමතර ව යුරෝපා හි මධ්‍යයේ යමහල් ක්‍රියාකාරීත්වයක් ඇති බවට විද්‍යාඥයින් අනුමාන කරනවා. මෙය පෘථිවියේ ඇති භූගත යමහල්වල ක්‍රියාකාරීත්වයට ම සමාන වන්නේ නම් මේ හේතුවෙන් තාපය ජනනය වීම මෙන්ම ජීවයට හිතකර විවිධ පෝෂකත් සාගරය වෙත මුදාහැරීම සිදුවිය හැකියි.

යුරෝපා හි සැකැස්ම ගැන අනුමාන කොට තනන ලද ආකෘතියක්- NASA

තර්කානුකූල ව සිතුවහොත් විද්‍යාඥයින් පවසන ආකාරයට ඇත්තෙන්ම යුරෝපාහී මධ්‍යය පෘථිවියේ මෙන්ම ක්‍රියාකාරි, තාපය ජනනය කරන එකක් නම් අනිවාර්යයෙන් ම එහි මතුපිට යටින් යම් ස්ථානයක ද්‍රව ජලය පැවතිය යුතු වන්නේ එහි මතුපිට ඇත්තේ මිදුණු ජලය බැව් සොයාගෙන ඇති නිසා යි. මධ්‍යයේ ඇති සෙල්සියස් අංශක දහස් ගණනක් උණුසුම් ලාවාවල සිට මතුපිට ඇති ඝණ අයිස් ස්ථරය කරා එන ගමනේ දී යම් තැනක පෘථිවි සාගරවල උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක් සහිත පෙදෙසක් සෛද්ධාන්තික ව පසුවිය යුතු යි. ගැටලුව ඇත්තේ මෙහි ජීවය පවතිනවා ද? නැද්ද? යන්නෙහි යි.

යුරෝපා සම්බන්ධයෙන් මෑතක දී සිදුකර ඇති පර්යේෂණ

බ්‍රහස්පති ගවේෂණය කිරීම සඳහා නාසා ආයතනය විසින් ඒ වෙත යවන ලද ගැලීලියෝ යානය මඟින් 1995 සිට 2003 වසර දක්වා යුරෝපා පිළිබඳ ව තොරතුරු රාශියක් අනාවරණය කර දුන්නා. මෙහි දී අනාවරණය වූයේ යුරෝපා මතුපිට ඇති අයිස් තට්ටුවේ තැනින් තැන යම් ගිලාබැසීම් හා ‘අයිස් කැටිති’ එක්කාසු වූ ස්ථාන වැනි ලක්ෂණ දක්නට ඇති බව යි. විද්‍යාඥයින් අනුමාන කරන්නේ එහි මධ්‍යයෙන් ජනනය වන උෂ්ණත්වය නිසා කෙමෙන් කෙමෙන් යුරෝපා හි අයිස් තට්ටුව දියවන බව යි. මේවා අධ්‍යයනය කළ නාසා ආයතනය ප්‍රකාශ කළේ මෙලෙස ගිලාබැස ඇති ස්ථානවලට පහළින් විශාල ජල තටාක සෑදී තිබෙන්නට වැඩි සම්භාවිතාවක් ඇති බව යි.

යුරෝපා මතුපිට සලකුණු- NASA/JPL/University of Arizona

2013 දී නාසා ආයතනය යුරෝපා සම්බන්ධයෙන් තවත් වැදගත් නිරීක්ෂණයක් කරනවා. යුරෝපා හි සමහර ස්ථානවලින් අවකාශයට ‘ජලය වැනි යමක්’ විදින සෙයක් හබල් දුරේක්ෂයට හසු වී තිබුණා. අනාගතයේ දී මෙවන් ස්ථාන නිසියාකාර ව අධ්‍යයනය කළහොත් යුරෝපා වසාගත් රහස් රාශියක් අනාවරණය කරගන්නට හැකි වෙනු ඇති. 2016 දී කළ අධ්‍යයනයකින් පසු ව යුරෝපා හයිඩ්‍රජන් මෙන් 10 ගුණයක් ඔක්සිජන් නිකුත් කරන බවට මතයකුත් යෝජනා වුණා. මෙය සත්‍ය නම් යම් හෙයකින් එහි භූගත සාගර තිබේ නම් එය ජීවීන්ට හිතකර ඔක්සිජන් වායුව යහමින් දිය වූ එකක් වීමේ විශාල සම්භාවිතාවක් තිබෙනවා.

නාසා ආයතනය මඟින් යුරෝපා අරබයා අනාවරණය කරගත් විශේෂ ම කාරණයක් වන්නේ එය ආසන්නයේ දී බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රය යම් ආකාරයකින් ‘බාධාවකට’ ලක් වීම යි. මෙය මෙසේ සිදුවන්නේ යුරෝපා තුළින් ගොඩනැගෙන තවත් චුම්භක ක්ෂේත්‍රයක් නිසා බව අනුමාන කෙරෙන අතර, එවැන්නක් ඇති වන්නට නම් එහි යම් ස්ථරයක විද්‍යුත් සන්නායකතාව සහිත තරළයක් තිබිය යුතුයැ යි ඔවුන් පවසනවා.

යුරෝපා හා අනාගත අධ්‍යයන කටයුතු

යුරෝපා ක්ලිපර් යානයේ කොටස් -NASA

නාසා ආයතනය යුරෝපා අධ්‍යයනය කිරීම සඳහා ම විශේෂිත වැඩසටහනක් සූදානම් කරමින් සිටිනවා. ‘යුරෝපා ක්ලිපර්’ මෙහෙයුම යනුවෙන් නම් කර ඇති එය 2020 දී ඇරඹීමට නියමිත යි. මෙහි දී යුරෝපා වෙත පිටත් කෙරෙන කැමරා ඇතුළු තවත් බොහෝ දියුණු තාක්ෂණික උපාංග සහිත යානය මඟින් එහි නව තොරතුරු රාශියක් පෘථිවි වාසීන්ට අනාවරණය කර දීමට නියමිත යි. පෘථිවියෙන් පිට ජීවය හමුවන මුල්ම ස්ථානය යුරෝපා වේ දැයි යන පැනයට නුදුරු අනාගතයේ දී ම නිසි පිළිතුරක් ලැබෙනු ඇති.

කවරයේ පින්තූරය: wallpaperstudio10.com

Related Articles