Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞරග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා- අඟහරු

අඟහරු ග්‍රහයා මත ජීවය පවතිනවා ද නැද්ද යන්න පිළිබඳ ව අනාදිමත් කාලයක සිට ම විද්‍යාඥයින් අතර විවාද ගොඩනැඟුණා. පෘථිවිය හැරුණු කොට අප සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පැවතීමට වැඩි සම්භාවිතාවක් ඇති ස්ථාන කිහිපයෙන් එකක් ලෙස අඟහරු සැලකෙනවා. මේ නිසා තාක්ෂණයේ දියුණුවත් සමග අඟහරු වෙත මිනිසුන් රහිත යානා පවා ගොඩබස්වා එහි තොරතුරු පිරික්සීමට ඔවුන් උනන්දු වුණා. නුදුරු අනාගතයේ දී අඟහරු මතට මිනිසෙක් ගොඩබැස්වීමේ අදහස ද නාසා ආයතනය තවමත් අත්හැර නැහැ.

පසුගිය දා අඟහරු වෙත ළඟා වූ ඉන්සයිට් මාස් ලෑන්ඩර් නම් යානය පෘථිවිය වෙත එහි පැහැදිලි ඡායාරූප රාශියක් එවීමත් සමග තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවෙන් පසුවන බොහෝ දෙනාගේ අවධානය නැවතත් අඟහරු වෙත යොමු වුණා. ඔවුන්ගේ වැඩිදුර අධ්‍යයනය සඳහා හා අනෙකුත් අයගේ සාමාන්‍ය දැනුම පුළුල් කරන අටියෙන් අඟහරු ග්‍රහයා පිළිබඳ ව මෙතරම් අවධානයක් ඇති වී ඇත්තේ ඇයි ද යන කාරණය ගැන සවිස්තර තොරතුරු ඔබත් සමග බෙදා ගන්නට අපි අදහස් කළා.

ඉන්සයිට් මාස් ලෑන්ඩර් යානය- theverge.com

අඟහරු පිළිබඳ මූලික කරුණු

සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ සිට ඇති දුර සලකන විට සිව්වැනියට ස්ථානගත වී ඇති අඟහරු, සූර්යයාගේ සිට දළ වශයෙන් කි. මී. 228,000,000ක් හෙවත් අභ්‍යාවකාශ ඒකක 1.38ක දුරකින් පිහිටා තිබෙනවා. පෘථිවියට වඩා තරමක් කුඩා මේ ග්‍රහලොව පෘථිවිය මෙන් 10%ක පමණ බරකින් යුක්ත යි. ධ්‍රැව දෙක ඔස්සේ කි. මී. 6,755ක විෂ්කම්භයක් දරන මෙහි සමකය ඔස්සේ පරිධිය කි. මී. 21,297ක් වෙනවා.

අඟහරු සිය අක්ෂය වටා එක් වරක් භ්‍රමණය වන්නට පැය 24කුත් මිනිත්තු 37ක් ගන්නවා. එය පෘථිවි දිනකට ඉතා ආසන්න අගයක්. සිය කක්ෂය ඔස්සේ සූර්යයා වටා එක් වරක් පරිභ්‍රමණය වන්නට අඟහරුට දින 687ක් ගත වෙනවා. අඟහරු ෆොබොස් හා ඩයිමොස් යනුවෙන් හඳුන්වන චන්ද්‍රයින් දෙදෙනෙකුට ද හිමිකම් කියන අතර, එහි මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 87 සිට ඍණ 5 අතර අගයක් ගන්නවා.

astronomy.com

අඟහරු සුවිශේෂී වන්නේ ඇයි?

අඟහරුට සිය නාමය ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දේවතාවාගේ නාමය අනුව යි. මෙයට හේතුව, එය ආකාශයේ රතු පැහැයෙන් දිස්වීම යි. විද්‍යාඥයින් අඟහරු ග්‍රහයා පිළිබඳ ව මේ තරම උනන්දු වන්නට කරුණු රාශියක් බලපා තිබෙනවා. මින් සමහරක් කරුණු තෘප්ත කරන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලයෙන් ම අඟහරු ග්‍රහයා පමණයි.

අඟහරුගේ භූමි වපසරිය පෘථිව්යේ වපසරිය මෙන් 15%ක පමණ වූවත්, එහි සැකැස්ම පෘථිවියට බොහෝ සමාන වෙනවා. අඟහරුගේ ගුරුත්වය පෘථිවියේ මෙන් 37%ක් පමණ වෙනවා. මීට අමතර ව අඟහරු නිරන්තර ව දූවිලි කුණාටුවලට භාජනය වෙනවා. මෙය සිදුවන්නේ සූර්යයා වටා පිහිටා ඇති අඟහරුගේ කක්ෂය ඉතා ඉලිප්සීය වීම යි. මේ හේතුවෙන් ඇති වන පාරිසරික වෙනස්කම් මෙම දූවිලි කුණාටුවලට හේතු වෙනවා.

අඟහරු ග්‍රහලොව මත පිහිටන ඔලිම්පස් මොන්ස් නම් ගිණිකන්ද සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලොවකින් හමු වී ඇති උසම කන්ද වෙනවා. එහි උස කි. මී. 21ක් වන අතර, කි. මී. 600ක විෂ්කම්භයක් දරන ප්‍රදේශයක් පුරා විහිදී තිබෙනවා.

පෘථිවියට වඩා 1.38 ගුණයක් සූර්යයාගෙන් ඈත් ව පැවතීම නිසා අඟහරු මතට සූර්යයා දර්ශනය වන්නේ සාපේක්ෂ ව කුඩාවට යි. මෙහි පෘථිවියේ මෙන්ම ඍතු භේදය යම්තාක් දුරකට ඇති වෙනවා. පෘථිවිය හැරුණු කොට ධ්‍රැවීය අයිස් වැස්ම දරන සෞරග්‍රහ මණ්ඩලයේ එකම ග්‍රහලොව අඟහරු යි. එමෙන්ම එය වර්තමානයේ දී කිසිදු චුම්භක ක්ෂේත්‍රයක් දරන්නේ නැහැ. අඟහරු පෘථිවිය සේ ම යකඩවලින් සුසැදි හරයක් දරන බවට විශ්වාස කෙරෙනවා.

ඔලිම්පස් මොන්ස්- the-martian.wikia.com

අඟහරුගේ වායුගෝලය සෑහෙන දුරකට සිකුරුට සමාන වෙනවා. අඟහරුගේ ජීවය පැවතීමට බාධා වන ප්‍රධානතම කාරණයක් ලෙස සැලකෙන්නේ මේ වායුගෝලය යි. මෙහි ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් අන්තර්ගත බැව් හඳුනාගෙන ඇති අතර, එය වායුගෝලයේ බරෙන් 95%කට පමණ උරුමකම් කියනවා. සිකුරුගේ මෙය 97%ක්. කෙසේ නමුත්, සාපේක්ෂ ව ඉතා ඝණ වායුගෝලයකට හිමිකම් කියන නිසා සිකුරු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 480ක් පමණ වන විට, අඟහරු මත උෂ්ණත්වය උපරිම වශයෙන් සෙල්සියස් අංශක 20ක් පමණ වෙනවා. මෙම උෂ්ණත්වය නම් ජීවීන්ගේ පැවැත්මට ඉතා හිතකර වෙනවා.

අඟහරු මත ජලය පැවතියා ද?

විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට මීට වසර බිලියන 3.5කට පෙර අඟහරු මත විශාල වශයෙන් ජලය පැවතී තිබෙනවා. ඔවුන් විශ්වාස කරන අන්දමට එම කාලයේ දී අඟහරු මත විශාල ගංවතුර තත්ත්ව පවා ඇති වී තිබෙනවා. එසේ නම් වර්තමානය වන විට එම ජලයට සිදුවූයේ කුමක්ද?

වර්තමානය වන විට අඟහරු මතුපිට උෂ්ණත්වය ද්‍රව ජලය පැවතීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම එහි තුනී වායුගෝලයත් ද්‍රව ජලය රඳවා තබාගැනීමට සමත් නැහැ. කෙසේ නමුත් වර්තමානය වන විටත් ධ්‍රැවීය අයිස් වැස්ම ආසන්න ව ද්‍රව ජලය සුළුවෙන් හෝ පැවතීමේ සම්භාවිතාවක් ඇති බව විද්‍යාඥයින් පවසනවා. අනෙක් අතට අඟහරු මත සලකුණු වී ඇති සමහර ‘කඩතොළු’, ජලය ගලායාම නිසා ඇති වූ ඒවා බවට ඔවුනට විශ්වාසයක් තිබෙනවා.

අඟහරු මත ඇති සලකුණු -NASA

දැනට පවතින ප්‍රමුඛතම මතයක් වන්නේ අඟහරුගේ මතුපිටට යටින් උල්පත් ලෙස සමහර විටෙක ද්‍රව ජලය අදටත් පැවතිය හැකි බව යි. මේ කරුණු කාරණා ශපථ කර ගැනීමට අඟහරුගේ මතුපිට දැඩි ලෙස පරීක්ෂා කළ යුතු නිසා අඟහරු අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් දිනෙන් දින උනන්දු වෙනවා.

පෘථිවියෙන් පිටත ජනාවාස තැනීමට අඟහරු තෝරාගෙන ඇත්තේ ඇයි?

වර්තමානය වන විට පෘථිවියේ ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. එම හේතුවත්, තවත් හේතු ගණනාවකුත් නිසා අනාගතය වන විට පෘථිවියෙන් පිට ජනාවාස තැනීමට සුදුසු ස්ථාන සොයා ගැනීමට මිනිසුන්ට සිදුවනු ඇති බවට දැනටමත් මත පළ වී තිබෙනවා. මෙලෙස ස්ථාන සොයා යාමේ දී විද්‍යාඥයින්ගේ අවධානය වැඩිමනක් ම යොමු වී ඇත්තේ අඟහරු වෙතට යි.

ඇත්තෙන් ම, අඟහරු මත මිනිස් ජනාවාස තැනිය හැකි ද? පිළිතුර වන්නේ ඉතා ඉහළ තාක්ෂණයක් භාවිතා කළහොත් එය සිදුකළ ‘නොහැකි නොවේ’ යන්න යි. මෙයට හේතු කිහිපයක් හුවා දැක්විය හැකියි.

අඟහරු සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා තිබෙන්නේ ජීවය පැවතිය හැකි කලාපය හෙවත් ගෝල්ඩිලොක් කලාපය තුළයි. මීට අමතරව එය වඩා කුඩා හෝ විශාල නොවීමත්, එක් වරක් භ්‍රමණය වීමට ගන්නා කාලය පෘථිවි දිනකට ආසන්න වීමත්, ශක්තිමත් කබොලක් පිහිටීමත් ජනාවාස ස්ථාපිත කිරීමට වාසිදායක කරුණු ලෙස දැක්විය හැකියි.

වාසිදායක කරුණු මෙන්ම අඟහරු තුළ ජනාවාස ඇති කිරීමට ප්‍රධාන බාධා කිහිපයකුත් තිබෙනවා. ඔක්සිජන්, ද්‍රව ජලය, හා ජනාවාසවලට අවශ්‍ය අනෙකුත් සම්පත් අඛණ්ඩ ව සපයා ගැනීම ඉන් ප්‍රධානතම කිහිපයක් වෙනවා. කෙසේ නමුත් වඩා ඉහළ තක්ෂණයක් යොදාගෙන වාතයෙන් හා ධ්‍රැවීය අයිස් තට්ටුවලින් ද්‍රව ජලය නිපදවා ගැනීමටත් ඔක්සිජන් එම ජනාවාසවලට කෘත්‍රිම ව නිපදවා සැපයීමටත් අනාගතයේ දිනයක හැකියාව ලැබෙනු ඇතැ යි පර්යේෂකයින් පවසනවා.

අනාගතයේ අඟහරු මත මිනිස් ජනාවාස ඇති වීමට ඉඩ තිබෙනවා- Bryan Versteeg/Spacehabs.com

ජනාවාසවලට අවශ්‍ය ද්විතියික සම්පත් සැලකීමේ දී කාබන් ඩයොක්සයිඩ් යොදා ගෙන මීතේන් වායුව නිපදවා ගැනීමටත්, තවත් එවැනි සම්පත් වටපිටාවෙන් උකහා ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

අඟහරු මත සිටින්නෙකු විකිරණවලට භාජනය වීමේ හැකියාව පෘථිවියට වඩා වැඩි වෙනවා. ඒ එහි තුනී වායුගෝලය හා චුම්භක ක්ෂේත්‍රයක් නැති වීම නිසාවෙන්. එමෙන්ම එහි මතුපිට පසෙහි මිනිසුන්ට ඉතා විෂදායක පර්ක්ලෝරේට විශාල වශයෙන් අන්තර්ගත වෙනවා. අඟහරු මත ජනාවාස ඉදිකිරීමට එරෙහිව පවතින විශාලතම අභියෝග දෙක ලෙස වර්තමානයේ විද්‍යාඥයින් එම කරුණු දෙක සලකනවා. කෙසේ නමුත්, යම් දිනයක වඩා ඉහළ තාක්ෂණයක් යටතේ එම අභියෝග ජයගෙන අඟහරු මත ජනාවාස ඉදි නොවේයැ යි කිසිවෙකුට කිව නොහැකි යි.

කවරයේ පින්තූරය: roadtovr.com/ NASA

Related Articles