සෞරග්‍රහ මණ්ඩලයේ මතුවෙන ජීවයේ බලාපොරොත්තු

  “මිනිසා ඇතුළු පෘථිවියේ ජීවින් යනු තවමත් විශ්වය තුළ හුදෙකලා ව සිටින කොටසක් ද?” යන පැනයට මානව ඉතිහාසයේ අදටත් පැහැදිලි සාක්ෂි මත පදනම් වූ විසඳුමක් ලැබුණේ නැති තරම්. විද්‍යාවේ දියුණුවත් සමඟ විශ්වය තුළ අපගේ නිරීක්ෂණ පරාසය පෙරට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙනවා. ඒත් එක්ක ම පෘථිවියෙන් එපිට ජීවයක් ගැන තිබෙන බලාපොරොත්තුවත් එන්න එන්න ම වැඩි වුණා.

      දියුණු තාක්ෂණයක් සහිත පිටසක්වළ ජීවින් යනු ඇතැම් විට අප පමණට වඩා බලාපොරොත්තු වන්නක් විය හැකි යි. එවැනි දියුණු ශිෂ්ටාචාරයන් විශ්වයේ නොපවතින බව එයින් අදහස් වන්නේ නැහැ. ශිෂ්ටාචාරයක තාක්ෂණික දියුණුව, එම ශිෂ්ටාචාරය සතු ශක්තිය පරිභෝජනය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාවත් සමඟ සමාන්තර ව යන බව විද්‍යාව විශ්වාස කරනවා. ඒ සඳහා ගොඩනඟා ඇති “කාර්ඩෂෙව් පරිමාණය”  සම්බන්ධ රෝර් අපේ ලිපිය කියවීමෙන් ඔබට යම් අදහසක් ලබාගත හැකි යි.

 පිටස්තර ග්‍රහලොවකින් ක්ෂුද්‍ර ජීවි ගණයක් හෝ සොයා ගතහොත්, අවම වශයෙන් අප තවදුරටත් විශ්වය තුළ හුදෙකලා නොවන බව තහවුරු වෙනවා. එවන් ප්‍රාථමික ගණයේ ජීවයක් තිබිය හැකි ග්‍රහලෝකයක් පෘථිවිය අසල ම පැවතිය හැකි නම් එය විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක් වනු ඇති. සෞරග්‍රහ මණ්ඩලයේ අයිස් ස්ථරයකින් වැසී ඇති සමහරක් ග්‍රහ වස්තු මේ අදහස තවත් තීව්‍ර කරනවා.

අඟහරු ග්‍රහයාගේ උත්තර ධ්‍රැව‍යේ හිමාවරණය. – nasa.gov

අඟහරුගේ භූගත ජලාශ

 එක්තරා කාලයක දී, එනම්, මීට වසර බිලියන 3.5 කට පමණ පෙර අඟහරු ග්‍රහයාගේ දේශගුණය පෘථිවියට වඩාත් සමාන ව පවතින්නට ඇති බව විශ්වාස කරනවා. ජීවයක් ඇති වීමට වඩාත් උපකාරී වන “ද්‍රව ජලය” අඟහරු මතුපිට අතීතයේදී තිබෙන්නෙට ඇතැයි සැක කරනවා. කාලයත් සමඟ සූර්ය කුණාටු සහ විකිරණවල බලපෑමෙන් අඟහරු වායුගෝලය හීන වී, මළ ග්‍රහයකු බවට පත්වූ බව විද්‍යාඥයන් අනුමාන කරනවා. අවම ක්‍රියාකාරීත්වයකින් යුතු හරය නිසා ආරක්ෂිත චුම්භක ක්ෂේත්‍රයක් ජනනය කිරීමේ හැකියාවක් අඟහරුට නැහැ. අද අඟහරු යනු ඉතා වියළි සහ විකිරණ ප්‍රහාරවලට නොමඳ ව ලක් වන ග්‍රහයෙක්.

 ජීවය සම්බන්ධයෙන් අතීත ප්‍රෞඪත්වයක් තිබිය හැකි නමුත්, වර්තමානයේදී පැහැදිලිව ම අඟහරු, ජීවයට කිසිදු සහායක් නොදෙන බව මෙයින් පෙනී යනවා. අඟහරු ගැන තිබෙන බලාපොරොත්තුව සම්පූර්ණයෙන් ම අතහරින්න පර්යේෂකයන් සූදානම් නැහැ. අඟහරුගේ ධ්‍රැවාසන්නව තිබෙන හිමාවරණ ප්‍රදේශ තුළ ජීවය පැවතීමේ හැකියාව මෙන් ම, භූගත ව ජීවය පැවතීමට ඇති හැකියාව ගැන පර්යේෂණ පැවැත්වීමට විද්‍යාඥයන් සූදානමින් සිටිනවා. දැනටමත් අඟහරු මතුපිට සිට කිලෝමීටර් කිහිපයක් ගැඹුරින් භූගත ජලාශ පැවතීමේ හැකියාව ගැන සොයා බැලීම් සිදු වෙනවා.

  භූගත ජලාශ සහ වෙනත් ආන්තික පරිසර තත්ත්ව යටතේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවින් විශේෂ පෘථිවියේ සිටින අතර, එවැනි ආන්තික පරිසරයක ජීවත් විය හැකි ක්ෂුද්‍ර ජීවි කොට්ටාසයක් අඟහරු වෙතින් බලාපොරොත්තු වීම ප්‍රායෝගික බව සිතිය හැකි යි. තවත් අවස්ථාවක අඟහරුගේ තුනී වායුගෝලයෙන් මීතේන් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. පෘථිවිය මත නම් මීතේන් වායුව නිපදවෙන්නේ ජීවි ආකාරවල පරිවෘත්තීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස යි. අඟහරුටත් ඒ සිද්ධාන්තය ම යෙදවිය හැකි ද යන්න වග විද්වතුන් ගැටලු මතු කරනවා. භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් හරහාත් මීතේන් නිපදවීමේ හැකියාව තිබෙන නිසා මෙම නිරීක්ෂණ තරමක් විවාදාත්මක යි. අඟහරු ගැන මිනිසාට තිබෙන අධික කුතුහලය අනාගතයේ දවසක මේ සියලු ගැටලු විසඳා දේවි.

පාරභෞමික ජීවයක් ගැන සමීප බලාපොරොත්තුවක් ගෙන එන යුරෝපා උප ග්‍රහයා. – nasa.gov

යුරෝපා චන්ද්‍රයාගෙන් එන බලාපොරොත්තුව

 “යුරෝපා හැර මේ සියළලු ග්‍රහලෝක ඔබේ ය. එහි ගොඩබැසීමට උත්සහ නොකරන්න”

 ආතර් සී. ක්ලාක් මහතාගේ අභ්‍යවකාශ වීර චාරිකා පොත් පෙළ කියවා ඇත්නම්, ඉහත වැකියත් ඔබට මතක ඇති. ප්‍රබන්ධයක් වුවත්, බ්‍රහස්පතිගේ උප ග්‍රහයකු වූ යුරෝපා ගැන ආතර් සී ක්ලාක් මහතා එතරම්ම  අවධානයක් යොමු කිරීම පිටුපස යම් වැදගත්කමක් තිබෙනවා.

 යුරෝපා මත සැතපුම් 10 ත් 15 ත් අතර ඝනකමකින් යුතු අයිස්වලින් සුසැදි ස්ථරයක් පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා. එම ශීත ස්ථරයට යටින් ද්‍රව ජලය සහිත විශාල සාගරයක් පවතින බවටත් සාක්ෂි ලැබී තිබෙනවා. උදම් බලවේග මඟින් නිපදවන තාපය නිසා අයිස් ස්ථරයට යටින් මෙලෙස ද්‍රව ජලය සහිත සාගරයක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙන අතර, එම උණුසුම අභ්‍යන්තර සංසරණ පද්ධතියක් නිර්මාණය කිරීමටත් උපකාරී වෙනවා. එමඟින් සාගර පතුල සහ මතුපිට අතර ඉතා හොඳ අන්තර්ක්‍රියාවක් ඇති වෙනවා. ජීවය සඳහා එය මනා පිටුවහලක් විය හැකි යි. අනෙක් අතට, යුරෝපා හි ද්‍රව ජලය සහ පාෂාණමය අභ්‍යන්තරය අතර හොඳ සබඳතාවක් පවතින බව පර්යේෂකයන් අනුමාන කරනවා. යුරෝපා සාගර තුළ ජීවින් සිටිනවා නම්, මේ සහසම්බන්ධතාව නිසා රසායනික ව ජනනය කළ හැකි ශක්තිය ජීවින්ට ප්‍රයෝජනයට ගතහැකි බව ඔවුන් පවසනවා.

යුරෝපා පෘෂ්ඨය, අභ්‍යන්තර සාගරය සහ පාෂාණමය අභ්‍යන්තර අතර අන්තර්ක්‍රියාව ජීවයකට ඉඩකඩ සලසා දිය හැකි යි. – universetoday.com

යුරෝපා හි කාබනික ද්‍රව්‍ය හා සම්බන්ධ මැටි වැනි ඛනිජ තැන්පත් වී ඇති බව ගවේශකයන් සොයා ගෙන තිබෙනවා. යුරෝපාගේ අයිස් සහිත පෘෂ්ඨය මත ගැටෙන විකිරණ මඟින් ඔක්සිජන් නිපද වී ඒවා අභ්‍යන්තර සාගර තුළට ඇතුළු වීමේ හැකියාව ගැනත් ඔවුන් සැක පහළ කරනවා.

 ජීවය සඳහා අවශ්‍ය සාධක එකින් එක ගොඩ නැඟෙන වාතාවරණය මැද අනාගතයේ දී අඟහරු තරමට ම යුරෝපා ද ඉතා වැදගත් ගවේශනයක් වනු ඇති. නමුත්, මේ ගවේශන සඳහා අවශ්‍ය පිරිවැය සහ තාක්ෂණික අභියෝග එමට යි. මානව සංහතිය වරින් වර මුහුණ දෙන ආර්ථික හා සමාජීය අවපාත නොවන්නට, මෙවැනි ග්‍රහ වස්තු සඟවා සිටින රහස් මීට කලින් හෙළි කර ගන්නට තිබුණා.

ටයිටන්ගේ හයිඩ්‍රෝකාබන මුහුදු

 සෙනසුරුගේ විශාලත ම චන්ද්‍රයා වූ ටයිටන් සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ වස්තුවලට වඩා බොහෝ වෙනස්කම් පවතින තැනක්. ටයිටන් කියන්නේ පාෂාණමය මතුපිටක් සමඟ ශක්තිමත් වායුගෝලයක් සහිත උපග්‍රහයෙක්. මෙවන් ලක්ෂණයක් සහිත අනෙකුත් ග්‍රහ වස්තු වන්නේ පෘථිවිය සහ සිකුරු ග්‍රහලෝකය යි. බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන් වැනි ග්‍රහලෝක වායු යෝධයන් ලෙස සැලකුවත්, ඒවායේ ඝන මතුපිටක් නොමැති තරම්. 

ටයිටන්ගේ හයිඩ්‍රොකාබන මුහුදු නිර්මාණකරුවෙකුගේ ඇසින්. – nasa.gov 

ටයිටන් මත අපේ පෘථිවිය මෙන් මුහුදු, කුඩා විල් පවතිනවා. ඒවා පිරී ඇත්තේ මීතෙන් වැනි වෙනත් ද්‍රව තත්ත්වයේ පවතින හයිඩ්‍රෝකාබනවලින්. ටයිටන්, කාබනික ද්‍රව්‍යවලින් ඉතා පොහොසත් බැවින් ජීව‍ය ඇතිවීම සඳහා අවශ්‍ය මූලික සාධකත් එය තුළ පවතිනවා. කෙසේ නමුත්, මෙම කරුණ තවත් සත්‍යාපනය කළ යුතු යි. ටයිටන්ගේ හයිඩ්‍රෝකාබන සයුරු සහ ඉදිරි ගවේෂණ ගැන තොරතුරු මීට වඩා සවිස්තරාත්මකව ඔබට මෙතැනින් කියවිය හැකි යි.

 පෘථිවියේ ජල චක්‍රය මෙන් හයිඩ්‍රෝකාබන මුල් වූ චක්‍රයක් ටයිටන් මත ක්‍රියාත්මක වෙනවා. මෙවැනි ලක්ෂණයක් සෞරග්‍රහ මණ්ඩලය තුළ නිරීක්ෂණය කිරීම ඉතාමත් දුර්ලභ යි. ඒ නිසා විද්‍යාඥයන්ගේ කුතුහලය උපරිමයෙන් අවුළුවාලන කෙනකු බවට ටයිටන් පත් ව තිබෙනවා. අධික ශීතලක් පවතින උපග්‍රහයකු නිසා ගලා යන ජලය ටයිටන් වෙතින් බලාපොරොත්තු විය නොහැකි අතර, ටයිටන් අභ්‍යන්තරය තුළ ජලාශයක් (භූගත ජලාශ) පැවතීමේ හැකියාව ගැන පර්යේෂකයන් සොයමින් සිටිනවා. ජීවය බිහි වන අන්දම සහ ජීවයක් ඇතිවීම කෙරෙහි බලපාන සංරචක ගැන විද්‍යාවට තිබෙන අදහස සම්පූර්ණයෙන් ම වෙනස් කරන අන්දමේ පද්ධතියක් ටයිටන් මත තිබෙන්න පුළුවන්. ටයිටන් ඉලක්ක කර ගෙන අනාගතයේ දී සිදුකරන මෙහෙයුම් මත ඒවායේ සත්‍ය අසත්‍ය බව රඳා පවතීවි.

සෙනසුරුගේ උපග්‍රහයෙක් වන එන්සෙලඩස් මතින් වාෂ්ප වැනි යමක් නික්ෂේපණය වන අයුරු.- smithsonianmag.com

සෙනසුරුගේ අනෙක් බලාපොරොත්තුව, එන්සෙලඩස්

 සෙනසුරුගේ හයවන විශාලත ම චන්ද්‍රයා, එන්සෙලඩස්, සම්පූර්ණයෙන් ම පිරිසුදු අයිස්වලින් වැසී ඇති අතර, එය සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ම පරාවර්තක වස්තුවලින් එකක් ලෙස සැලකෙනවා. එන්සෙලඩස් පෘෂ්ඨය අධික ශීතලකින් යුත් අයිස් ස්ථරයකින් යුක්ත වුවත්, එය මත අමුතු ම ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු වෙනවා. ලවණ ජලය, ඇමෝනියා, මෙතේන් සහ ප්‍රොපේන් වැනි කාබනික අණු සහිත වාෂ්ප එන්සෙලඩස් මතුපිටින් නික්ෂේපණය වෙනවා. මේ හේතුවෙන් එන්සෙලඩස් යනු ගෝලීය වශයෙන් ලවණ සහිත සාගරයක් ඇති ස්ථානයක් ලෙස විද්‍යාඥයන් අනුමාන කරනවා. නාසා ආයතනය මෙම උපග්‍රහයාගේ අභ්‍යන්තරයේ ජලතාප ක්‍රියාකාරීත්වයක සාක්ෂි සොයා ගෙන තිබෙනවා. ජීවයට පරිණාමය වීමට සහ සමෘද්ධිමත් වීමට තාප ප්‍රභවයක අවශ්‍යතාවක් පැවතීම ඉතා වැදගත් බැවින්, මෙම සොයා ගැනීම ඉතා වටිනවා. ටයිටන් තරමට ම එන්සෙලඩස් ගැනත් විද්‍යාඥයන් දැන් අවධානයෙන් සිටිනවා.

ෆොස්ෆින් වායුව නිසා සිකුරු මත වායුගෝලීය ජීවයක් ගැන සැක පහළ වී තිබෙනවා. – theatlantic.com 

ඊයම් උණු කිරීමට සමත් සිකුරු!

 සිකුරු ගැන ඔබට යම් දැනුමක් ඇත්නම් මෙම ලැයිස්තුවට සිකුරු ඇතුළත් කිරීම ගැන ඔබ පුදුමයට පත් වෙන්නත් පුළුවන්. සිකුරු කියන්නේ ඊයම් පවා උණු කිරීමට සමත් උණුසුමක් පවතින ග්‍රහලොවක්. එහි පෘෂ්ඨය මත බලපවත්නා පීඩනයත් සුළු පටු නැහැ. අප පෘථිවියේදී දරා ගන්නා වායුගෝලීය පීඩනය මෙන් 80 ගුණයක පීඩනයක් සිකුරු මත දැරීමට සිදු වෙනවා. එතරම් කටුක පරිසරයක ජීවය පවතින බව කිසිසේත් ම අපේක්ෂා කළ නොහැකි යි.  සිකුරුගේ වායුගෝලය තුළින් ද කිසියම් අමුතු දෙයක් විද්‍යාඥයන්ට අනාවරණය කර ගැනීමට හැකි වුණා.

 ඔවුන් සිකුරු පෘෂ්ඨයට කිලෝ මීටර් 50ක් පමණ ඉහළින් ෆොස්ෆින් නම් වායුව අඩංගු බව සො යාගත්තා. පෘථිවියේදී නම් එම වායුව නිපදවෙන්නේ ඇතැම් සතුන්ගේ ආන්ත්‍රික බැක්ටීරියා වෙතින් හෝ ඔක්සිජන් අඩු ගොහොරු වැනි පරිසර පද්ධතීන් තුළ යි. එසේ නම් ෆොස්ෆින් වායුව කිලෝමීටර් 50ක් තරම් ඉහළින් නිපදවීමට හේතුවූ ප්‍රභවය කුමක්ද යන්න වග පර්යේෂකයන් ප්‍රශ්න කරමින් සිටිනවා.

 සිකුරු පිළිබඳ ව මෙතෙක් දන්නා සියලු කරුණු සහ එහි ස්වභාවය සැලකිල්ලට ගත් විට, ෆොස්ෆින් නිපදවෙන අජීවි ක්‍රියාවලියක් ගැන පැහැදිලි කිරීමත් අපහසු යි. ඒ අනුව වායුගෝලය මත පදනම් වූ ජීවයක් සිකුරු මත පැවතීමේ හැකියාව ගැන සැක පහළ වීම ආරම්භ වුණා. ඔවුන් බොහෝ විට ඉතා ආන්තික පරිසරයකට හැඩ ගැසුණු ක්ෂුද්‍ර ජීවින් විය හැකි බවත් සැලකෙනවා.

වෙනස්ම ජෛව රසායනයක් ද?

  සිකුරුගේ වලාවන් ඉතා ඝන වන අතර, ඒවා ප්‍රධාන වශයෙන් සල්ෆියුරික් අම්ලයෙන් සෑදී තිබෙනවා. එය පෘථිවියේ සප්‍රාණික ජීවින් ගොඩ නඟන සෛලීය ව්‍යුහවලට ඉතාම හානිකර යි. සිකුරු වායුගෝලය මූලික කර ගත් ජීවයක් පවතී නම්, එය බොහෝ දුරට සල්ෆියුරික් අම්ලය තුළ නොනැසී පැවතිය හැකි වෙනස් ම ජෛව රසායනයක් සහිත ජීවින් විය යුතු බව මත පළ වෙනවා.

 කරුණු කාරණා එසේ වුවත්, සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පැවතිය හැකි ස්ථාන අතර සිකුරු සිටින්නේ ඉතා ම පහළින්. නමුත්, සිකුරු වායුගෝලයේ ෆොස්ෆින් ගැටලුව විද්‍යාඥයන් සුළු කොට තකන්නේ නැහැ. මෑතක සිට සිකුරු සම්බන්ධ ගවේෂණ තීව්‍ර කළ යුතු බව පර්යේෂකයන් පවසනවා. සිකුරු තුළ පවතින අති දරුණු පරිසරය නිසා චන්ද්‍රිකාවක් මඟින් දත්ත එකතු කිරීම පහසු කටයුත්තක් නොවෙයි. මේ අභියෝග ජයගෙන සිකුරුගේ වායුගෝලීය ජීවය සත්‍යාපනය කළ හැකි නම්, විශ්වයට ජීවය ඇති කිරීම සඳහා පෘථිවිය වැනි හැම අතින් ම සුදුසුකම් සැපිරූ ග්‍රහලෝක අවශ්‍ය නොවන බව තහවුරු වේවි.

 විද්‍යාවට අනුව අපි තවමත් ඉන්නේ විශ්වය තුළ තනි වෙලා. හැබැයි ඒ තනිකම ඉක්මනින් ම ඉවර කරන්න විද්‍යාව හැකි සෑම උත්සාහයක් ම ගන්නවා.

කවරයේ ඡායාරූපය: සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණාත්මක ඡායාරූපයක් - wallpapermemory.com 

මූලාශ්‍ර :

thathu.com

archive.org

nasa.gov

technologyreview.com

exoplanets.nasa.gov

bbc.com

Related Articles