Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අකුණු අනතුරකින් වැළකෙන්නේ කොහොමද?

අකුණු ගැසීම එහෙමත් නැත්නම් විදුලි කෙටීම කියන්නේ ගිගුරුම් සහිත වැසි, අකුණු කුණාටු අවස්ථාවන්හි දී ඇතිවන ක්ෂණික ස්ථිති විද්‍යුත් විසර්ජනය වීමක්. මෙම විසර්ජනය වීම් එක ම වළාකුළේ ආරෝපිත ස්ථාන දෙකක් හරහා, ආරෝපිත වළාකුළු දෙකක් අතර සහ වළාකුළත්-පොළොවත් අතර සිදු වෙනවා. මින් අපිට වැඩිපුර ම අනතුරු ගෙන දෙන්නේ පොළොවත් සමඟ ආරෝපණ හුවමාරු කරගැනීමේදී යි. තරහා ගියපු වෙලාවට “හෙණ ගහපං” කියලා කිව්වාට අකුණු ගහන වෙලාවකදී අකුණු සැරය හෙමින් සැරේ ඔළුව උඩට ඇවිත් ටොක්කක් ඇණලා “ඔන්න මං වදින්නයි යන්නේ” කියලා කලින් කිය කියා ඉන්නේ නැති නිසා එයින් ආරක්ෂා වෙන හැටි දැනගෙන ඉන්න එක බොහොම වැදගත්.

කෝකටත් සූදානම් ශරීරය

නිවර්තන කලාපීය රටක් වශයෙන් නිතර අකුණු සැරවල අවධානමක් අපට තිබෙන නිසා හැමවිටම එවන් දේකට පෙර සූදානමක් තබාගත යුතු වෙනවා. අපේ මුතුන් මිත්තන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් නොතිබුණාට මේ දේවල් ගැන ඉතා හොඳ ඉවක් තිබුණා. ඉතින් තාක්ෂණය ඉතා දියුණු අද කාලයේත් අකුණු අනතුරු වැඩියි කියන්නේ ඒ ගැන අපි වැඩිපුර හිතන්නට අවශ්‍ය කාරණාවක්.

කාලගුණ අනාවැකි සඳහා භාවිතා වන සලකුණු කිහිපයක් (newdesignfile.com)

කාලගුණ අනාවැකි අනුව සැලසුම් කරන්න

ඔබ සිටිනා ප්‍රදේශයේ අකුණු අනතුරු නැතත් අනතුරු සහිත ප්‍රදේශයකට ගමනක් හෝ විනෝද චාරිකාවක් සැලසුම් කරනවා නම් එම කාලය තුළ කාලගුණ අනාවැකි පිළිබඳව සොයා බැලිය හැකියි. රූපවාහිනී, රේඩියෝ පමණක් නොව අන්තර්ජාලය හරහා ද දේශීය හා විදේශීය සේවා හරහා ඉතා නිරවද්‍යව එම තොරතුරු අතේ ඇති ස්මාර්ට් දුරකථනයෙන් ම බලාගත හැකි නිසා එය එතරම් අපහසු කාරණයක් නෙවෙයි. අනතුරක් වළක්වා ගන්නට හැකි හොඳම ක්‍රමය එය මඟහැරීමයි.

ආවරණ ඇති ස්ථාන පිළිබඳව දැනුවත් වෙන්න

ඔබ යන ප්‍රදේශය තැනිතලා සහිත නමුත් අකුණු අනතුරු බහුල නම් හදිසි අවස්ථාවකදී එවැන්නකට මුහුණ දෙන්නට සිදු වුවහොත් ආවරණය වීම සඳහා යා හැකි ස්ථාන පිළිබඳ දැනුවත් වීමත්, ඔබේ කණ්ඩායමේ අනෙක් අයට ඒ ගැන දන්වා තිබීමත් කළ හැකි වෙනවා.

තත්පර 30 නීතිය

ගිගුරුම් සහිත වැසි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදු වුණොත් එහිදී ඇතිවන ආලෝක ධාරා සහ ගිගුරුම අතර කාලය මැන ගැනීමෙන් ඔබට ඇතිවිය හැකි අවධානම පිළිබඳ පුරෝකථන කිරීමේ හැකියාව තිබෙනවා. අකුණු ඉතා දුරින් ඇති වුවත් ආලෝකයේ වේගය වැඩි නිසා ශබ්දයට පෙර අපිට ආලෝක දහරාව පෙනෙනවා. මෙසේ පෙනුණු විටකදී තත්පර 30කට අඩු කාලයක් තුළ ඔබට ඒ අකුණෙහි ම ගිගුරුමත් ඇසුණොත් ඉන් කියැවෙන්නේ අකුණු පිපුරුම කි.මී. 10කට අඩු දුරක සිදුවූ බවයි. මෙවන් විටකදී හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ යුතුයි.

අකුණු ගසන අවස්ථාවකදී

(wallpaperup.com)

සැලසුමකින් තොරව හදිසියේ අකුණු සහිත අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු උපාය මාර්ග පිළිබඳව දැන් සොයා බලමු.

ඔබ එළිමහන් ස්ථානයක සිටිනවා නම් අකුණු සැරය ඔබේ ආසන්න ස්ථානයකට වදිනතුරු බලා නොසිට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයකට යා යුතුයි. විදුලි රැහැන් බහුල ස්ථාන සහ තනිව පිහිටා ඇති කුඩා හෝ විශාල ගස් වලින් බැහැර විය යුතු අතර කණ්ඩායමක් වශයෙන් එළිමහනේ සිටිනවා නම් එකිනෙකා අතර දුර මීටර් 15-30ක් අතර ප්‍රමාණයේ පවත්වා ගැනීමෙන් සියල්ලන්ට ම එකවර අනතුරක් වීම වළක්වා ගත හැකි වෙනවා.

ආරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමේදී කුඩා තනි ගොඩනැගිලි හැර, අතහැර නොදැමූ, හොඳින් රැහැන් ඇද භූගත කර ඇති සහ ජල කාන්දුවලින් තොර ස්ථානයක් වීමත්, හොඳින් අාවරණය වූ ස්ථානයක් වීමත් වැදගත්. එසේ නැතිනම් හොඳින් ලෝහ වලින් ආවරණිත මෝටර් රථයක් එනම්, කාර් හෝ වෑන් රථයක් වැන්නකට පිවිස දොරවල් සහ කවුළු වසාගෙන, කවුළුවෙන් ඉවත්ව සිටිය යුතුයි. රථයේ බාහිර ලෝහ තහඩුවෙහි නොගෑවෙන සේ සිටිය යුතු අතර රේඩියෝව භාවිතා කිරීමෙන් ද වැළකිය යුතුයි.

මෙසේ රථයකදී ආරක්ෂාව සැලසෙන්නේ එහි ටයර් නිසා නොව, ෆැරඩේ කුටීරයක් එනම්, ඝන ලෝහවලින් ආවරණිත කුටීරයක මතුපිටට අකුණු පහරක් වැදුණු විට එය ඇතුලත ස්ථරයට නොයා පිටත ඇති පරමාණු අතර ආරෝපණය හුවමාරු වීමෙන් අභ්‍යන්තරය ආරක්ෂා කරන නිසා යි. මේ නිසා ගුවන් යානයක සිටියදී ඊට අකුණු පහරක් වැදුණත් ඇතුලත මගීන්ට ඉන් හානියක් සිදුවන්නේ නැහැ.

2008දී උරුගුවේහි ගවයන් 52ක් අකුණු සැරවැදී මිය ගිය අයුරු (lightningsafety.noaa.gov)

ඔබට සුරතල් සතුන් සිටිනවා නම් අකුණු අවස්ථාවකදී ඔවුන් ගැනත් සිතිය යුතු වෙනවා. එළිමහනේ සිටින ගවයන් වැනි සතුන් නිරන්තරයෙන් අකුණු සැර වැදී මිය යන අතර නිවසින් පිටත කණුවක ගැටගසන ලද සතුන් ද අකුණු අනතුරු සිදු වීමේ වැඩි අවදානමක් දරනවා.

නිවසක් තුළ රැඳීමේදී ජනෙල් වලින් ඈත්ව සිටීම, විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම සහ රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වැළකීම මෙන් ම ජලයට විදුලි කාන්දුවීමක් තිබුණහොත් ඉන් ඇතිවිය හැකි අවදානම වළක්වාලීමට නාන තටාක, ෂවර් ආදිය භාවිත නොකර සිටිය යුතුයි. එසේ ම කොන්ක්‍රීට්වලින් තැනූ තාප්ප, බිත්ති ආදියට හේත්තු නොවිය යුතුයි. මන්ද, ඒවායේ සැකැස්ම තුළ කම්බි තිබෙන නිසා ඒවාට ලැබෙන විද්‍යුත් පහර ඔබට ළඟා විය හැකි යි. වැවක හෝ ගඟක දිය නාමින් සිටිනවා නම් වහ වහා ගොඩට ආ යුතුයි.

වැස්ස අඩු වුණත් එළියට බහින්න හදිස්සි වෙන්න එපා. ආරක්ෂිත ස්ථානයෙන් පිටවීමේදී අවසන් අකුණට පසු විනාඩි 30ක් වත් ගෙවෙන්නට ඉඩ හැරීම ඔබට වැඩි ආක්ෂාවක් ගෙන දෙනවා.

(dailymail.co.uk)

ඔබ දුරකථන කුළුණු, අධිබල විදුලි රැහැන් ආදිය ආශ්‍රිතව වෙසෙනවා නම් නිවසේ විදුලි උපකරණ සහ ජීවිත අවදානම් අවම කර ගැනීම සඳහා අකුණු සන්නායකයක් සවිකර ගැනීම වැදගත් වෙනවා. එය සිදුකිරීමේදී ද පළපුරුදු කෙනෙක් ලවා නිසි ආකාරව ස්ථාපනය කරවා ගත යුතු වෙනවා.

අකුණු සැර වැදුණහොත්

CPR ආදර්ශනය (san-marcos.net)

විදුලි කාන්දුවක් නිසා විදුලි සැර වැදුණු කෙනෙක් නොඅල්ලන ලෙස උපදෙස් දුන්නත් අකුණු සැරවලදී එලෙස ආරෝපණය ශරීරය තුළ රැඳෙන්නේ නැහැ. මේ නිසා අනතුරට මුහුණ දුන් මොහොතේ ම ඔවුන්ව ඇල්ලුවාට ඔබට කිසි කරදරයක් සිදු වන්නේ නැහැ. “එක තැනකට දෙවරක් අකුණු ගහන්නේ නැහැ” කියා කථාවට කිව්වත් එසේ සිදු වීමේ අවස්ථාව බොහොම වැඩියි. අනතුරකට මුහුණ දුන් කෙනෙක් බේරගන්නට ඔබ එම ස්ථානයට යනවා නම් ඔබේ ජීවිතයක් අනතුරේ දමා අනිත් අයට වැඩ වැඩි නොකර, අවදානම පසුවන තුරු මඳක් රැඳෙන්න.

යමෙක් අකුණු සැරයකට මුහුණ දුන් වහා හැකි ඉක්මණින් ප්‍රතිකාර වෙත යොමු කළ යුතු වෙනවා. අකුණු සැර වැදුණු කෙනෙක්ට ප්‍රථමාධාර දීමේදී හෘත්පුප්ඵුශීය ප්‍රබෝධකරණය (CPR) භාවිත කරනු ලබන අතර අත්‍යාවශ්‍ය නොවන්නේ නම් හැඳ සිටින පිළිස්සුණු ඇඳුම් ඉවත් නොකළ යුතුයි. වෛද්‍ය උපකාර ලැබෙන තෙක් සිටින කාලය අතරතුර රෝගියාගේ නළල මත අත තබා නිකටට ඇඟිල් දෙකක් තබා හිස මඳක් උස් කිරීමෙන් ශ්වසන අපහසුතා වළක්වාලිය හැකියි.

ඔබටත් මෙවන් අනතුරුවලට මුහුණ දීමෙන් ලැබුණු අත්දැකීම් තිබෙනවාද? Comment එකකින් ඒ ගැන අපිත් එක්කත් බෙදාහදා ගන්න.

කවරයේ පින්තූරය:wallpapercave.com

මූලාශ්‍ර:

  1. rpi.edu
  2. wikipedia
  3. redcross.org
  4. weather.gov

Related Articles