ඊජිප්තුවට පිරමීඩ වගේ, චෛත්‍යය කියන්නේ ශ්‍රී ලංකාවට ලෝක අවධානය යොමු කළ අපූර්ව සැකැස්මක්. ලාංකිකයන්ගේ ආගමික අවශ්‍යතා සපිරීමට, පූජනීය දෑ නිධන් කිරීමට, දර්ශනීය සංකේතයක් ලෙස මෙන්ම, අකුණුවලින් ආරක්ෂාවට රවුම් හැඩයෙන් ඉහළට නැගී තුඩගක් බවට පත්වන මෙම නිර්මාණය බටහිර π (Pi) සලකු‍ණටත් පෙර සිටම අපේ දේශීය ඉංජිනේරුවන් සතුවූ දක්ෂතාවයක්.

ගමයි-පන්සලයි-වැවයි-දාගැබ යි යන කියුමේ ගම සමග චෛත්‍යය කෙතරම් සමීප වූවා ද යන්න, සහ වැව් නිර්මාණයේ දී ලැබුණු පස් අපතේ නොයවා ප්‍රයෝජනයක් ගත් හැටි නිරූපණය කරනවා. මෙලෙසින් අපේ ඉතිහාසය ගොඩ නැගූ, ගෘහ නිර්මාණයෙහි නූතන අත්පොත් බඳු නිර්මාණ කිහිපයක් වෙත දැන් යොමුවෙමු.

ලංකාවේ ප්‍රථම දළදා මාලිගාව වූ ථූපාරාමය

වටදාගෙයහි ගල්කණු තවමත් ඉදිරිව පවතිනවා (allceylon.lk)

මහමෙව්නා උයන් භූමියේ පිහිටා ඇති ථූපාරාමය ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ පමණක් නොව, බුදුන්ගේ දකුණු අකු ධාතුව නිධන කළ හෙයින් ප්‍රථම ‘දළදා මාලිගාව’ ලෙස ද සැලකෙනවා. ලක්දිවට ථේරවාද බුදු දහම දායාද කළ මහින්ද රහතන් වහන්සේගේ ආරාධනයෙන් දේවානම්පියතිස්ස රජු ථූපාරාමය ඉදි කරනු ලැබුවා. ථූප+ආරාමය යන නමින් ද සපථ වන පරිදි මෙය ස්වාමීන් වහන්සේලාට වසස්ථාන සැපයූ ආරාමයක් ද වූවා.

දෙවන අග්බෝ රජ සමය වැනි වරින් වර ආක්‍රමණයන්ට මුහුණදුන් මෙම ධාන්‍යාගාර දාගැබ නූතන ප්‍රතිසංස්කරණ නිසා ඝණ්ඨාකාරව මීටර් 18ක විෂ්කම්භයෙන් යුතුවෙනවා. දාගැබ වටා වූ විවිධ උසින් යුත් ගල් කණු ථූපය වට‍ා තබූ වටදාගෙය හි පියස්ස දරා සිට තිබෙනවා. මෙම අටපට්ටම් හැඩැති ගල්කණු ඇතුලත සිට පිටතට යන විට උසින් අඩු වන අතර මුල් පේළි දෙකෙහි ටැම් හිසෙහි ඇති කැටයම් ඝණ රූපවලිනුත්, තෙවන පෙළ පක්ෂි රූපවලිනුත් සිව්වන පෙළ මල් ලියකම්වලිනුම් සකසා තිබෙනවා. මෙම වටදාගෙය රත්‍රං සහ රිදීවලින් සකසා තිබූ බවත් පාණ්ඩ්‍ය ආක්‍රමණයක දී ඔවුන් ඒවා සොරකම් කරගත් බවත් සඳහන් වෙනවා.

ඉහළින් ගත් දර්ශනයක් (ytimg.com)

සෑයක් ඉදිකිරලීම සඳහා ධාතු වැඩමවූ හස්තියා එය ලබා ගන්නට ඉඩ නොදුන් නිසා හස්තියකුගේ උසට මෙම වටදාගෙය නංවන ලද බවත්, එහි සිට ධාතු ලබාගත් බවත් කියැවෙනවා. දාගැබට පිවිසීමට පියගැටපෙළක්, මුරගල් සහ සඳකඩපහණ අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ පොදු ලක්ෂණ ලෙස විද්‍යාමාන වෙනවා.

රිදී ආකාරයක් මත නැගුණු රිදී විහාර ස්ථූපය

විශාල පර්වතය සමග චෛත්‍යයත් එය අළලා විහාරගෙයත් නිර්මාණය කර ඇති ආකාරය (lanka-excursions-holidays.com)

කුරුණෑගල සිට කි.මී. 18ක් ඊසානදිගින් පිහිටා ඇති රිදී විහාරය එහි නම ලබා ඇත්තේ ද එම ස්ථානයේ පිහිටා ඇති රිදී ආකරය නිසාම යි. සුවිසල් ස්ථූපයක් නොමැති නමුත්, ශ්‍රේෂ්ඨ ස්ථූපයකට මංපෙත් තැනූවක් ලෙස සහ බටහිර සංස්කෘතීන් ද මුසු කර ගනිමින් අභ්‍යන්තර අලංකරණය සිදු කොට ඇති නිසා මෙය අප ලැයිස්තුවෙන් අතහැරිය නොහැකියි.

දුටුගැමුණු රජතුමා එළාර රජුව පරාජය කිරීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය සැකසීම ආරම්භ කළා. ‍එහි පාදම සැකසීමට රිදී අවශ්‍ය වූවත් සොයා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැහැ. මේ අතරතුරේ උඩරට වෙළඳ කටයුතුවල නිරතව සිට පැමිණෙමින් සිටි පිරිසක් රිදීගම ප්‍රදේශයේදී වරකා ආහාරයට ගන්නට සූදානම් වූ නමුත් හෙළ සිරිත අනුව මුලින් එය ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමට අවශ්‍ය වුණා. මෙම දානය පිළිගැනීමට රහත් හිමිවරු සිව් නමක් වැඩම කළ අතර අවසානයට වැඩි ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ රිදී ආකරය පිළිබඳ ඔවුන්ට දන්වා වදාළා.

වරකා වැළඳූ විහාරය (Nishan Weerasooriya / amazinglanka.com)

පසුව, දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයට අවශ්‍ය රිදී ලබාගැනීමෙන් පසුව මෙම ආකරය මත විහාර සංකීර්ණයක් ඉදිකළෙන් එය ‘රිදී විහාරය’ යන නම් ලැබුවා. මෙහි ඉදිකිරීම් කටයුතුවල මූලිකත්වය ගත්තේ ‘විශ්වකර්ම පතිරාජ’ ශිල්පියා යි. රහතන් වහන්සේ වරකා පිළිගත් ස්ථාන‍ය වෙනම ‘වරකා වැළඳූ විහාරය’ නමින් සකසා තිබෙනවා. ගලින් සැකසූ එහි අභ්‍යන්තරය මහනුවර යුගයේ චිත්‍රවලින් සරසා තිබෙනවා.

කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ දී ලන්දේසි දූතයෙකුගෙන් ලද ක්‍රිස්තියානි දහමෙහි අවස්ථාවන් ඇතුලත් පිඟන් ගඩොල් පෙළක් විවිධ පැතිවලට (ඇතැම්වා උඩ-යට මාරුකර) පිළිවෙල ද වෙනස්කොට මහා විහාරයෙහි අතුරා තිබෙන අතර, උඩ විහාරය සහ රිදී විහාර ස්ථූපය ද එසමයෙහි ඉදිකොට තිබෙනවා.

රුවන්වැලි මහා සෑය

දුටුගැමුණු පිළිරුව පසෙකින් ඇති රුවන්වැලි සෑය (Thambaru Wijesekara)

බුබ්බුලාකාර ආකෘතියෙන් යුත් ස්වර්ණමාලි චෛත්‍යය බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතු ප්‍රමාණය එනම්, ද්‍රෝණයක ධාතුවලින් සමන්විත යි. බුද්ධ වර්ෂ 140 දී දුටුගැමුණු රජතුමා විසින් ඉදිකළ මෙහි උස මිටර් 55ක් වූ අතර පසුකාලීන ප්‍රතිසංස්කරණවලින් පසුව නූතන උස මීටර් 103ක් වන අතර වට ප්‍රමාණය මීටර් 290ක් වෙනවා.

නැගෙනහිර පිවිසුම් දොරටුවෙහි පුන් කලස් සහ සිංහයන් කැටයම් කොට තිබෙන අතර දාගැබ වටා ඇතුන් 338 දෙනෙක්ගෙන් යුත් ඇත් පවුරක් තිබෙනවා. ජලය බැස යාම පහසු වන පරිදි අක්කර 5ක් පුරාවට සුමට ගල් අතුරා තිබෙනවා. සතර දිගින් ඇති පරිවාර දාගැබ් මහා සෑයට ගෞරව කරන්නාක් මෙන් පසෙකින් වැජඹෙනවා. සිව්දිග වාහල්කඩ සිංහ, ඇත්, අස්, ගව, නෙළුම්, සහ කල්ප වෘක්ෂයෙන් කැටයම් කොට තිබෙන අතර බටහිර වාහල්කඩ අතීතයේ තිබූ ආකාරයට ම ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.

ගුවන් දසුනක් (synotrip.com)

ගෘහ නිර්මාණ ශිල්පිණී ශෙරීන් අමේන්ද්‍රා රචිත ‘Beyond the Seeing Eye; The Mahathupa of Lanka’ ග්‍රන්ථයේ ඇය මහාථුපයේ ඇති ඡත්‍රයෙහි භාවිතය පිළිබඳව ප්‍රශ්න කරමින් දක්වන්නේ එය අකුණු සන්නයනය කරමින් පයිසො-ඉලෙක්ට්‍රික දෝලන හරහා ඉතා ඈතට දිස්වන තරම් එළියක් විහිදුවන්නට සකසන ලද බව යි.

මෙය නිර්මාණයට තෝරාගත් භූමියේ තෙළඹු ගසක වැඩ සිටි ‘ස්වර්ණමාලී’ වෘක්ෂ දේවතාවියගෙන් දුටුගැමුණු රජු වෙනත් භවනක් තෝරාගෙන ඉවත්වන ලෙස දැන්වූ බව සඳහන් වන අතර ඒ අළලා අමරදේවයන්ගේ “ස්වර්ණමාලියේ” ගීතය ද ලියැවී තිබෙනවා.

ලොව විශාලතම ගඩොල්මය ඉදිකිරීම වන ජේතවනාරාමය

ගල්කණු අතරින් පෙනෙන ගඩොල්මය චෛත්‍යය (themiracleisland.com)

ලොව උසම ස්ථූපය සහ ලොව විශාලතම ගඩොල්මය ඉදිකිරීම වන ජේතවනාරාමය මීටර් 122ක උසින් යුතු වූවා. මහා විහාරය ඉවත් කිරීමෙන් පසු මහසෙන් රජු විසින් මෙය තැනවීම අරඹන ලද අතර ඔහුගේ පුත් පළමු මේඝවර්ණ රජු එය සම්පූර්ණ කරනු ලැබුවා. බුදුන් වහන්සේගේ ඉණ බැඳි පටිය මෙහි නිධන් කළ බවට විශ්වාස කෙරෙනවා.

අනුරපුර යුගයේ අවසානයත් සමග මෙම පෙදෙසවල් වැදුණු අතර පරාක්‍රමභාහු රජු ප්‍රතිසංස්කරණය කර දැනට ඇති උස වන මීටර් 71ක් බවට පත් කළා. දාගැබ වර්ග මීටර් 233,000ක් බව මුණිදාස පී. රණවීර මහතාගේ "Ancient Stupas in Sri Lanka – Largest Brick Structures in the World" ග්‍රන්ථය දක්වනවා.

අතීත පෙනුම පිළිබඳ උපකල්පිත ඡායාරූපයක් (archaeology.lk)

මෙහි විශාලත්වය අතීත ශ්‍රී ලාංකික ඉංජිනේරු ශිල්පයන්හි බල මහිමය විදහා පානවා. ස්ථූපයේ පාදම මීටර් 8.5ක් දක්වා ගැඹුරට විහිදෙන අතර ඉලිප්සාභ හැඩය සමග කිලෝ ග්‍රෑම් 166ක පමණ බරක් දරාගන්නට එය සමත්කම් දක්වනවා. මහාවංශය අනුව අලින්ගේ පාද හම් වරපටවලින් වසා පොළොව සැකසීමට යොදාගෙන තිබෙනවා. 

දැනට ඉතිරිව ඇති කොතෙහි කොටස (Instagram/vidulajw)

ගඩොල්වල සංයුතිය වී ඇත්තේ 60%ක් සියුම් වැලි සහ 35%ක් මැටි යි. සිමෙන්තිය ලෙස කුඩු කළ ‍ඩොලමයිට්, හුණුගල්, හලාගත් වැලි සහ මැටි යොදාගෙන තිබෙනවා. බෙලි කටු, සීනි, බිත්තර සාරු, පොල් වතුර, ලාටු, තෙල්, වැලි, මැටි, සහ ගල් කැබලි මඟින් ජලය කාන්දු නොවන ආලේපනයකුත්, තල තෙල්වල ආසනික් පොඟවා තඹ පත් සමග යොදා ශාක හා සතුන්ගෙන් විය හැකි හානි වැළැක්වීමට කටයුතු යොදා තිබෙනවා.

දාගැබ වටා සිංහ හිස සහ නෙළුම් මල් සහිත කැටයම් තිබෙන අතර ගල්වල සිංහ මුහුණු, මල් ලියකම් ආදිය දැකගත හැකියි.

මධ්‍යය කුහරයක් වූ කළුතර චෛත්‍යය

කළු ගං පාලම දකුණු කෙළවර ඇති චෛත්‍යය (srilankafinder.com)

නූතනයේ ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයෙහි සන්ධිස්ථානයක් බඳු කළුතර චෛත්‍යය කළු ගඟ පසු කරමින් මෝටර් රියකින් හෝ කෝච්චියෙන් යන කෙනෙක්ට මඟ නොහැරෙන ස්ථානයක්. මඟ දෙපස ඇති මෙම විහාරයේ එක් පසෙක කළුතර බෝධියත්, අනෙක් පස කළුතර චෛත්‍යයත් ඇති නිසා වැඳීම සම්පූර්ණ කරන්න නම් අනිවාර්යයනේ පාර පනින්නම සිද්ධ වෙනවා. ඒ, බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකෙරුණු ගාළු පාර නිසායි. මීටර් 30.5ක් උස, මී‍ටර් 100ක විෂ්කම්භයක් ඇති මෙම ස්ථූපය වසර 10ක් අවසානයේ 1974 දී වැඩ නිම කෙරුණු අතර ජේ. ආර්. ජයවර්ධන ජනපතිතුමා අතින් 1980 දී විවෘත කෙරුණා.

ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් වන ජස්ටින් අමරසේකර මහතා සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අපූර්ව හැඩය දායාද කළ සහ ලංකාවේ ප්‍රථම පරිගණකය ඉසිලූ ඒ. එන්. එස්. කුලසිංහ මහතා මෙහි නිර්මාණය වෙනුවෙන් දායක වුණා. නිර්මාණය සඳහා අවශ්‍ය ගණනය කිරීම් ද කුලසිංහ මහතාගේ පරිගණකයෙන් සිදු කෙරුණා. මෙම චෛත්‍යයේ අභ්‍යන්තරය හිස්ව තිබෙන නිසා ඕනෑම කෙනෙක්ට ඇතුලතට පිවිස එහි අභ්‍යන්තරය නැරඹිය හැකියි. චෛත්‍ය ගර්භයේ තවත් කුඩා චෛත්‍ය 4ක් ඇති අතර බිත්ති ජාතක කතාවලින් සරසා තිබෙනවා.

අභ්‍යන්තර දසුනක් (pinimg.com)

ගඟ අසබඩ බව, අඩු ඉඩකින් සැකසූ චෛත්‍යය, ඉන් ඇහිරෙන ඉඩ බැතිමතුන්ට සෙවණ සහිතව වැඳුම් පිදුම් කළ හැකි පරිදි යොදා ගනිමින් චෛත්‍ය ගර්භයට පිවිසීමේ හැකියාව ලබාදීම, අඟල් 51.5ක් තරම් ඝනකමැති බිත්තියකින් සමස්ත චෛත්‍යය ආවරණය වීම, මාර්ගය සහ අනෙක් පස දර්ශනය වන පරිදි හා ආලෝකය ලැබෙන පරිදි වීදුරු තීරයක් යොදා තිබීම ඇතුළු මෙහි සැකැස්ම හා සැලසුම අතීතයෙන් අප ලත් ආභාෂයන් නූතනයේ භාවිතයට ගත් ආකාරය පිළිබඳ සාක්ෂ්‍ය සපයන දැවැන්ත සංකේතයක්.