Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේ වසරේ සාර්ථක හා අසාර්ථක සඳ තරණයන්

2019 වසරේ චන්ද්‍ර තරණය සඳහා උත්සාහ කළ රටවල් දෙකක එම උත්සාහයන් අසාර්ථක වෙනවා. මේ වසරේ අප්‍රේල් මාසයේ දී සඳ වෙත යානාවක් යවමින් තම ප්‍රථම සඳ තරණය සඳහා ඊශ්‍රායලය කටයුතු කළත්, යානය සඳ මතට ගොඩබැසීමේ දී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වෙනවා.

ඉන්දියානු රජය විසින් ජූලි මාසයේ සඳ තරණ මෙහෙයුමක් සිදුකරන අතර, එය ද චන්ද්‍රයා මත ගොඩබෑමේ දී ආසාර්ථක වෙනවා. මේ හේතුවෙන් සාර්ථක චන්ද්‍ර තරණය කළ සිව්වන රට බවට පත් වීමට නියමිතව තිබූ ඉන්දියාවට එම අවස්ථාව ගිලිහී යනවා.

2019 වසරේ සිදු වූ මුල්ම සඳ තරණය සාර්ථක වේ 

චැන්ග් ඊ-4 (universetoday.com)

මේ වසරේ මුල්ම වතාවට සඳ වෙතට යානාවක් යවනු ලබන්නේ චීනය යි. ඔවුන් එය සාර්ථකව චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට සමත් වෙනවා. පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් චැන්ග් ඊ-4 යානය සඳ මත ගොඩබස්වන්නේ ජනවාරි මස 3 වන දා ය.

ඒ අනුව රුසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව සඳ වෙත සාර්ථකව යානයක් ගොඩබස්සවන්නේ චීනය යි. මෙය පෘථිවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩබැස්වූ පළමු අභ්‍යවකාශ යානය ලෙස ද වාර්තා තබනවා.

මිනිසා විසින් සඳ මත දී පළමු ශාකය ප්‍රරෝහණය සිදුකරන්නෙත් මෙම ව්‍යාපෘතිය හරහා යි. ඒ ඔස්සේ යානාව මඟින් චන්ද්‍රයා මතට කපු හා අර්තාපල් බීජ මෙන්ම යීස්ට් හා ගෙමැස් බිත්තර අඩංගු පස් සාම්පල ගෙන යනවා. ඔවුන් රැගෙන ගිය කපු බිජ සඳ මත දී ප්‍රරෝහණය වූ බව චීනය විසින් ප්‍රකාශ කරන අතර, තවත් දින දෙකකින් පමණ ඔවුන් ප්‍රකාශ කරන්නේ කපු බීජ මියගොස් ඇති බව යි.

චැන්ග් ඊ1 හා 2 යානා පිළිවෙලින් 2007 වසරේ දී හා 2010 වසරවල දී චන්ද්‍රයා වටා කක්ෂගත කරන චීනය, ඉන් අනතුරුව 2013 වසරේ දී චැන්ග් ඊ3 යානාව චන්ද්‍රයාගේ ආසන්න අර්ධයට හෙවත් පෘථිවියට පෙනෙන පැත්තට සාර්ථකව ගොඩබස්වන්නට සමත් වෙනවා. සාර්ථක චැන්ග් ඊ4 මෙහෙයුමෙන් පසුව ඔවුන්ගේ බලාපොරොත්තුව 2019 වසර තුළ දී ම චැන්ග් ඊ 5 මෙහෙයුමත් දියත් කිරීම යි.

පෞද්ගලික මුදල් යොදවා කළ පළමු සඳ තරණ මෙහෙයුම 

බෙරේෂීට් (npr.org)

සඳ මතුපිට ඡායාරූප ලබාගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකිරීම අරමුණු කර ගනිමින් මෙම යානය සඳ වෙත යවන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී යි. මෙම සඳ තරණයේ විශේෂත්වය වන්නේ පෞද්ගලික අරමුදල් මත ප්‍රථම වරට දියත් කළ සඳ තරණය කිරීමේ අභ්‍යවකාශ මෙහෙයුම වීම යි. ඊශ්‍රායල් සමාගමක් විසින් දියත් කළ මෙම යානය බෙරේෂීට් (Beresheet) ලෙස නම් කර තිබුණු අතර, එය සඳ මතුපිට ගොඩබෑමට උත්සාහ කිරීමේ දී ඇති වූ තාක්ෂණික දෝෂයක හේතුවෙන් විනාශයට පත් වෙනවා.

සඳ මතට පතිත වන තුරු ඊශ්‍රායලයේ පාලක මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවය නොකැඩි පැවති අතර, අධික වේගයෙන් යානය සඳ මත පතිත වීම හේතුවෙන් යානය සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බව යි ඊශ්‍රායලය පසුව සඳහන් කරන්නේ. එය පැයට කිලෝමීටර් 500ක පමණ වේගයකින් සඳ මත ගැටුණු බවට වාර්තා වෙනවා.

ඊශ්‍රායලයේ Yehud හි අභ්‍යවකාශ පාලක මධ්‍යස්ථානයේ ඊශ්‍රායල් ඉංජිනේරුවන් විසින් මෙම යානය පාලනය කළ අතර, අවසානයේ දී සඳ මතට යානය ගොඩබෑමට සුදානම් වන අවස්ථාවේ ඔවුන් සමග ඊශ්‍රායල් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු ද එකතු වී සිටිනවා.

අසාර්ථක වූ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වූ බව සඳහන්. මේ සඳහා ඊශ්‍රායලයේ කෝටිපති ව්‍යාපාරිකයන් රැසකගේ ආධාරය ලැබී ඇති අතර, මෙහෙයුම අසාර්ථක වූ බැවින් නැවත වරක් උත්සාහ කිරීම සිදුකරන බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.

අසාර්ථක වූ ඉන්දියානු සඳ තරණය- චන්ද්‍රයාන් 2 

චන්ද්‍රයාන් 2 (theprint.in)

අභ්‍යවකාශ බලවතෙක් ලෙස නමක් දිනා සිටින ඉන්දියාව ද පසුගිය මාසයේ දී කළ සඳ තරණය මෙහෙයුමෙන් අසාර්ථක වූ බව ඔබ හොඳින් දන්නවා ඇති. 

ජූලි 22 වන දින සිය සඳ තරණ මෙහෙයුම ආරම්භ කරන ඉන්දියාව ඒ ඔස්සේ සඳේ හරිහැටි ගවේෂණය නොකෙරුණු දක්ෂිණ ධ්‍රැවයට තම යානය ගොඩබැස්වීමට උත්සාහ දරනවා. යානය, සඳේ කක්ෂයට සාර්ථකව ඇතුළු වීමට සමත් වෙනවා. නමුත්, සඳ මතුපිටට ගොඩබැස්සවීමට ස්වල්ප වෙලාවකට ප්‍රථම අවාසනාවන්ත ලෙස යානය හා ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය අතර තිබූ සම්බන්ධතාවය බිඳී යනවා. 

යානය සඳ වෙත ගොඩබැසීම සිදුවීම නිරීක්ෂණය කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදී ද ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණෙනවා. නමුත්, තම උත්සාහය අසාර්ථක වූ බව මෙහෙයුමේ විද්‍යාඥයන් අගමැතිවරයාට ප්‍රකාශ කිරීමෙන් පසු අගමැතිවරයා විසින් විද්‍යාඥයින්ව අස්වැසූ ආකාරය පිළිබඳ පුවත් ලෝකය පුරාම වේගයෙන් පැතිරී යනවා. මේ උත්සාහය තමන් විසින් අගය කරන බවත්, මෙය ඉන්දියානුවන්ගේ දැවැන්ත පිම්මක් බවත්, උත්සාහය අත් නොහැර තවත් වරක් මේ සඳහා උත්සාහ කළ යුතු බවත් මෝදී ප්‍රකාශ කරනවා.

2008 වසරේ දී මුදා හළ, ඉන්දියාවේ පළමු සඳ තරණ යානය වූ චන්ද්‍රයාන් 1, සඳ මතට ගොඩබැස්වීමට නොහැකි වූ අතර 2019 වසරේ දී මේ ආකාරයට ඔවුන්ගේ චන්ද්‍රයාන් 2 මෙහෙයුම ද අසාර්ථක වෙනවා. ඉතාමත් ප්‍රාථමික මට්ටමින් අභ්‍යවකාශ පර්යේෂණ ආරම්භ කරන ලද ඉන්දියාව “ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය” ද පිහිටුවාගෙන ආසියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සම්බන්ධයෙන් දැවැන්තයෙක් බවට පත් වුවා මෙන්ම නුදුරු දිනක දී ම සාර්ථකව සඳ තරණය කරනු ඇති බවට අපට විශවාස කළ හැකියි.

කවරයේ පින්තූරය- origami

මූලාශ්‍රයයන්:

bbc.com

dw.com

isro.gov

Related Articles