ජූරි සභාව යන වචනය ලංකාවේ අපිට ඉතාම හුරු පුරුදු වචනයකි. රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත් පත් ජූරි සභාවක් තුලින් නඩු තීන්දු ලබා දීම පිළිබඳව නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරනු දැකිය හැකි වේ. බොහෝ දෙනාට මෙම වචනය හුරු පුරුදු වුණත් මේ ජූරි සභා ක්‍රමය පිළිබඳව වැඩි දැනුමක් නැත. එසේම බොහෝ පුද්ගලයන් විශ්වාස කරනුයේ ජූරි සභිකයන් යනුවෙන් අදහස් වන්නේ අධිකරණ විනිසුරුවරුන් කියායි.

එසේ ජූරි සභාව සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී මත ඉවත් කරමින් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය රුකුලක් වනු ඇත.

මොකක්ද මේ ජූරි සභා ක්‍රමය?

1805 දී බ්‍රිතාන්‍යයේ ලංකා අාණ්ඩුකාරවරයා වූ තෝමස් මේට්ලන්ඩ් විසින් 1810 දී මෙරටට ජූරි සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී.

මෙහිදී, යම් පුද්ගලයෙක්ට විරුද්ධව ඇති අපරාධ නඩුවක් දෙයාකාරයකට මහාධිකරණයේ දී විමර්ශනය කළ හැකිය. එනම්,

  1. ජූරි සභාවක් මගින් තීන්දුවක් ලබා දීම.
  2. විනිසුරුවරයෙක් මගින් තීන්දුවක් ලබා දීම යන ක්‍රම දෙකයි.

මෙය  චූදිතයාගේ නීතිමය අයිතියක් වේ. නඩුව ආරම්භයේදීම චෝදනාවට භාජනය වී සිටින  චූදිතයාගෙන් තම නඩුව විමර්ශනය කළ යුත්තේ මින් කුමන ආකාරයටද යන්න විමසා සිටින අතර, එහිදී ඔහු හෝ ඇය ජූරි සභාවක් මගින් යැයි ප්‍රකාශ කරනු ලැබුවේ නම් ජූරි සභිකයන් 7 දෙනෙක් මගින් තම නඩුව විමර්ශනය කොට තීන්දුවක් ලබා දිය යුතුය. නමුත් මෙහිදී විනිසුරුවරයා නීතිමය කරුණු සම්බන්ධයෙන් ජූරි සභාවට මග පෙන්විය යුතු වේ. එහෙත් විනිසුරුවරයාට තීන්දුවක් ලබා දිය නොහැක.

wisegeek.org

චූදිතයා මහාධිකරණ විනිසුරු වරයා ඉදිරියේ තම නඩුව විභාග කළ යුතු යැයි ප්‍රකාශ කළේ නම් මහාධිකරණ විනිසුරු වරයා විසින් නඩුව විභාග කොට තීන්දුව ලබා දෙනු ඇත.

ජූරි සභිකයන් තෝරා ගැනීම.

the-barristers-toolbox.com

ශ්‍රී ලංකාවේ ජූරි සභාව සම්බන්ධයෙන් මුලික වශයෙන් පනත් 2ක් ක්‍රියාත්මක වේ. එනම්,

  1. 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත (Judicature Act)
  2. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන පනත.

අපරාධ නඩු විධාන පනතට අනුව ජූරි සභාවක සාමාජිකයෙකු වීමට නම් පහත සඳහන් මූලික සුදුසුකම් තිබිය යුතු වේ.

  1. අවු. 21 ට නොඅඩු විය යුතුය
  2. සිංහල හෝ දෙමළ භාෂාව සමග විෂයයන් 6කින් අ. පො. ස( සා. පෙළ) සමත් විය යුතුය.
  3. ආදායම රු. 300 කට නොඅඩු විය යුතුය.

ඉහත සුදුසුකම් සම්පුර්ණ කිරීමට සමත් වන්නේ නම් ජූරි සභාවේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ හැකිය.

ජූරි සභාවේ සේවයට නුසුදුසු පුද්ලගයන් සම්බන්ධයෙන්ද මෙම පනත තුළ කරුණු දක්වා ඇත. ඒ අනුව,

  1. ජනාධිපතිවරයා,
  2. විනිසුරුවන්,
  3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,
  4. විදේශීය ආණ්ඩුවල නියෝජිතයන්,
  5. පාර්ලිමේන්තුවේ, උසාවියේ හා අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් හා සේවකයන්,
  6. මරණ පරීක්ෂකවරු (අපරාධ නඩු විධාන පනතින් පත් කරන ලද පරීක්ෂකවරු),
  7. නීතීඥවරුන්,
  8. පොලිසියේ හා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,
  9. පුජ්‍ය පක්ෂය,
  10. නීතිපති දෙපාර්තමේන්තුවට, බන්ධනාගාර කොමසාරිස් කාර්යාලයට හා පුනරුත්තාපන හා ළමා කොමසාරිස් සුභ සාධක කාර්යාලයට අයත් පුද්ගලයන්,
  11. මාසයකට හෝ ඊට වැඩි කාලයකට සිර දඬුවමකට ලක්වූ පුද්ගලයන්,
  12. ශාරීරික හෝ මානසික දුබලතාවයන්ට පත් පුද්ගලයෙක් හෝ ආගමික ඇදහීම් නිසා ජූරි සභාවේ කටයුතු කිරීමට යෝග්‍ය නොවන පුද්ගලයන් හට ජූරියේ කටයුතු කළ නොහැකිය.

එමෙන්ම මුලික සුදුසුකම් තිබුණද පහත සඳහන් පුද්ගලයන් ජූරි සභාවේ කටයුතු කිරීමට නම් ඊට ඔවුන්ගේ කැමැත්ත තිබිය යුතුය.

  1. යුධ හමුදාවේ, නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ යෙදෙන පුද්ගලයන්.
  2. වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි විය හැකි පුද්ගලයන්.
  3. ඖෂධවේදීන් ලෙස ලියපදිංචි වී ඇති පුද්ගලයන්.
  4. උපත් හා මරණ රෙජිස්ට්‍රාර් හා නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරුන්.
  5. අවුරුදු 60කට වැඩි පුද්ගලයන්.

ජූරි සභාවක් මගින් තීන්දුවක් ලබා දෙන්නේ කොහොමද?

සංකීර්ණ සිද්ධිමය කරුණු හෝ විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක නඩුවලදී විශේෂ ජූරි සභාවක් ඉල්ලීමේ හැකියාවක් පවතී. මෙවැනි නඩු කටයුත්තකදී මූලික සුදුසුකම්වලට අමතරව පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ පිළිගත් වෘත්තිමය සුදුසුකමක් තිබිය යුතු බව දැක්වේ.

ජූරි සභාවක් සහිත නඩුවකදී මුලින්ම සිදු කරන්නේ විනිසුරු ජූරි සභාවේ කාර්ය භාර්ය පැහැදිලි කර දීමයි. මෙහිදී විනිසුරු මුලිකවම ප්‍රකාශ කරනුයේ සිද්ධිමය කරුණු පිළිබඳව පරම විනිසුරන් ජූරි සභිකයන් බවත්, සාක්ෂි කරුවන්ගේ සාක්ෂි පමණක් සලකා බලා තීන්දුව ලබා දිය යුතු බවත්ය. මෙහිදී පෙර සඳහන් කළ ආකාරයට නීතිමය කරුණු සම්බන්ධයෙන් විනිසුරු වරයා විසින් ජූරිය නිරන්තරයෙන් දැනුවත් කරනු ලැබේ.

විනිසුරුවරයාගේ ආරම්භක දේශනයෙන් අනතුරුව පැමිණිල්ල නැතිනම් නඩුව ගොනු කළ පාර්ශවයේ නීතීඥතුමා හෝ තුමිය ආරම්භක දේශනය සිදු කරයි. අනවශ්‍ය ලෙස හැගීම් උපදවන ලෙස නැතිනම් ජූරිය හැඟීම් මත තීන්දුව ලබා දීමට පොළඹවන ආකාරයේ දේශන ලබා දීම සිදු නොකළ යුතු වේ.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 220(1) වගන්තිය යටතේ ජූරි සභාවක් ඉදිරියේ ඇති නඩුවකදී පැමිණිල්ලේ නඩුව අවසන් වූ විට චෝදනාව ලබා සිටින තැනැත්තා එම වරද සිදු කළ බවට සාක්ෂි නොමැති යැයි විනිසුරුවරයා සිතන්නේ නම් විත්තිකරු වරදකරු නොවේ යයි තීරණයක් ගෙන එන ලෙසට ජූරි සභාව මෙහෙය විය යුතු බව දැක්වේ.

විත්තියේ දේශනයේදී නීතීඥ තුමා හෝ තුමිය පෙන්විය යුත්තේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සත්‍ය වීමටත්, එසේ නොවීමටත් ඉඩ කඩ පවතින බවය. එනම් සාධාරණ සැකයක් මතු කිරීම අවශ්‍ය වේ.

අවසානයේදී විනිසුරු තුමා සාක්ෂි සම්පිණ්ඩන දේශනයක් ලබා දේ. එහිදී විනිසුරු තුමා ලබා දෙන නීතිමය සිද්ධාන්ත පිළිපැදීමට ජූරි සභිකයන් බැඳී සිටින බවත්, ඔවුන් සිද්ධියට අදාළ කරුණු පමණක් සලකා බලා තීන්දු ලබා දිය යුතු බවත් දක්වා ඇත. එමෙන්ම මෙහිදී පැමිණිල්ලට වාසි සහගත කරුණු පමණක් නොව විත්තියට පක්ෂ කරුණුද ප්‍රකාශ කළ යුතු වේ.

තීන්දුවේ ස්වභාවය.

wisegeek.org

ජූරි සභිකයන් 7ක් සිටින ජූරි සභාවක තීරණයක්,

  1. ඒකමතික තීරණයක්
  2. 6:1 අනුපාතයට බෙදුණු තීන්දුවක් හෝ
  3. 5:2 අනුපාතයා බෙදුණු තීන්දුවක් විය හැකිය.

විනිසුරුවරයා විසින් මේ සම්බන්ධයෙන් ජූරිය දැනුවත් කළ යුතු වේ. එමෙන්ම නීතිමය වචන හා ලිපි ලේඛන සම්බන්ධයෙන් දැනුවත් කිරීම යම් සාක්ෂියක් අවසන් කිරීමට පෙර ඒ සදහා අවශ්‍ය කරුණු සම්පුර්ණ කර ඇතිද යන්න ආදිය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු වේ.

ජූරි සභාවක් විසුරුවා හැරීම.

troianovegaslaw.com

සාමාන්‍ය ආකාරයට ජූරි සභාවක් විසුරුවනුයේ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගයි. නමුත් එය විසුරුවා හැරෙන වෙනත් අවස්ථා වන්නේ,

  1. ජූරි සභාවට සාධාරණ කාලයක් ඇතුළතදී තීන්දුවකට එළඹීමට නොහැකි වීම,
  2. 4:3 අනුපාතයක තීන්දුවකට දිගටම එල්බගෙන සිටීම,
  3. ජූරි සභිකයෙකුට කටයුතු කිරීමට අපහසු වුවහොත්. (මිය යාම, අසනීප වීම අාදිය) එවැනි අවස්ථාවකදී නව ජූරි සභිකයෙකු ආදේශ කිරීමට ඉඩ සලසා ඇති නමුත් මෙම ආකාරය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපාදන දක්වා නොමැති නිසා එවිට මුළු ජූරියම විසුරුවා හැරීමටද ඉඩ ඇත,
  4. විත්තිකරුට අධිකරණයේ රැඳී සිටීමට නොහැකි නම්,

යනාදියයි.

ශ්‍රී ලංකාවේ ජූරි සභා ක්‍රමය උපයෝගී කර ගනිමින් විසඳන ලද ඉතා ප්‍රසිද්ධ නඩු තීන්දු කිහිපයක්ම වාර්තා වේ. යුක්තිය පසිඳලීමට ඉතා යෝග්‍ය ක්‍රමයක් වන ජූරි සභා ක්‍රමය මගින් ඉතා ඉක්මනින් තීන්දුව ලබා ගැනීමේ හැකියාවක්ද උදාවේ. නිසි දැනුවත්වීම සාධාරණ ලෙස යුක්තිය උදා කර ගැනීමට හේතු වනවා පමණක් නොව සිද්ධිය පිළිබඳව පරම විනිසුරු වරයෙකු ලෙස කටයුතු කොට යුක්තිය ඉෂ්ට කිරීමටද භාග්‍ය උදා කරයි.

කවරයේ පින්තුරය : (keywordsuggests.com)

මුලාශ්‍ර:

  1. “The Jury System.” The Law Teacher. Law teacher, Web. 01 June 2016.
  2. lawpage.lk/category/introduction-to-sri-lankan-law/page/24
  3. C. G Weeramantry, “An Invitation to the Law. ” Colombo: Stamford Lake, 1982
  4. L. S. Bandara, “Etchings on the Sandscape of Time. ” Dehiwala: Thathsara Enterprises, 2015.
  5. G. L. Peris, “Criminal Procedure in Sri Lanka. ” 4th Ed. Colombo: Stamford Lake, 2009.
  6. “Report and Recommendations relating to juries. ” New Jersey Law revision Commission, Web. 07 May 2017. (http://www.lawrev.state.nj.us/rpts/jury.pdf)