Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් සම ගැන බොහෝ දෙනා නොදත් කරුණු

මිනිසාගේ සම සොබාදහමේ පුදුමාකාර නිර්මාණයක්. එය මිනිසා ගේ විවිධ අභ්‍යන්තර අවයව වසාගෙන ඊට ආරක්ෂාව සපයනවා පමණක් නොව තවත් ජීව ක්‍රියා රාශියකටම දායක වෙනවා. සමෙහි තැන්පත් මෙලනින් වර්ණකය අනුව එහි වර්ණය තීරණය වන අතර අපේ සිරුර අවයව හා මාංශ එල්ලී ගත් සැකිල්ලක් ලෙසට ලෙස නොපැවතී ප්‍රසන්න ස්වභාවයකින් පිටතට දිස්වන්නේද මේ සම නිසායි.

මිනිස් සම ආකාර කිහිපයකින්ම ඔහුට හෝ ඇයට ඉතා වැදගත් වෙනවා. ශරීරයේ අභ්‍යන්තර අවයවවලට සම මඟින් යාන්ත්‍රික ආරක්ෂාව පමණක් නොව උෂ්ණත්වය හා තරල යාමනය කිරීමෙහිලා ද මහඟු කාර්යභාරයක් ඉටු කරනවා. මිනිසාගේ සම පිළිබඳව අප බොහෝ දෙනා දන්නා කරුණු මෙන්ම නොදන්නා කරුණුද බොහෝමයි. ඉතින් එ් පිළිබඳ පහත සඳහන් කරුණු ගැන ඔබ දැනුවත්දැයි බලන්න.

professionalbeauty.com.au

සමෙහි විශාලත්වය

සම මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්‍රියයි. යම් පුද්ගලයෙකුගේ සිරුරෙහි සම්පූර්ණ බරින් 12-15% ක් අතර ප්‍රමාණයක් සමෙහි බර වෙනවා. සාමාන්‍ය තරමේ මිනිසෙකුගේ සමෙහි සම්පූර්ණ බර රාත්තල් 8-9 ක් පමණ වෙනවා. මීට අමතරව හොඳින් වැඩුණු පුද්ගලයෙකුගේ සමෙහි සම්පූර්ණ වර්ගඵලය වර්ග අඩි 21ක් පමණ වෙනවා. මිනිස් සමෙහි අන්තර්ගත රුධිර නාලිකා වල දිගෙහි එකතුව සැතපුම් 10ක් පමණ වෙනවා.

ජල පරිවාරක සම

Westend61 / Getty Images

මිනිසෙකුගේ සම ජල පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. මේ නිසා අප සිරුර තුළට සම ඔස්සේ කිසිදු ආකාරයක ජල කාන්දුවක් සිදු නොවී පිහිනුම් තටාකයක පමණක් නොව ගංගාවක මුහුදක පවා පිහිනීමේ හා කිමිදීමේ හැකියාව තිබෙනවා. සමෙහි සෛල වට කොට ජල පරිවාරක ලිපිඩ තැන්පත් වී තිබෙනවා. කොලෙස්ටරෝල්, මේද අම්ල වැනි දේ ද මෙසේ තැන්පත් වී තිබිය හැකියි. මෙමඟින් ජලය කාන්දු වීම වැළැක්වෙනවා. රෝම කූප වැනි සිදුරු සහිත ස්ථාන හැර සාමාන්‍ය ලෙස පවතින සමෙහි මෙලෙස දෙදිශාවටම ජල පරිවරණය වී තිබෙනවා.

පීඩනය හඳුනා ගැනීම හා සම

සමෙහි පිහිටන පීඩන ප්‍රතිග්‍රාහක (forum.daffodilvarsity.edu.bd)

පීඩනය හඳුනා ගැනීම සඳහා සමෙහි ප්‍රතිග්‍රාහක වර්ග 4ක් පිහිටනවා. එ් අතරින් මිස්නර් දේහාණු මඟින් සාමාන්‍ය පහස පිළිබඳව සංවේදනද, මර්කල් මඬල මඟින් පීඩනය හා පෘෂ්ඨීය ස්වභාවය පිළිබඳ සංවේදනද, රුෆිනි දේහාණු මඟින් ඇදීම් පිළිබඳ වූ සංවේදනද පැසීනියන් දේහාණු මඟින් තදබල පීඩනය හා කම්පන පිළිබඳ සංවේදනද ප්‍රතිග්‍රහණය කරනවා. මීට අමතරව සමෙහි ඇති ස්නායු අග්‍ර රාශියක් මඟින් වේදනාව හා උෂ්ණත්වය පිළිබඳ සංවේදන ප්‍රතිග්‍රහණය කරනවා.

දහඩිය දැමීම හා සම

එක් දිනයක් තුළදී මිනිසෙකුගේ ශරීරයෙන් දහඩිය සැලකිය යුතු ප්‍රමාණයක් පිට වෙනවා. උණුසුම් දිනයක සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයකින් යුතු මිනිසෙකුගේ සම ඔස්සේ දහඩිය ගැලුම් 2-3 පමණ ප්‍රමාණයක් දක්වා බැහැර විය හැකියි. මේ හේතුව නිසාම වෛද්‍යවරුන් නිතරම වැඩි ප්‍රමාණයක් ජලය පානය කිරීමට උපදෙස් දෙනවා.

වියපත් වීම

අප කිසිවෙකුට සදාකාලික තාරුණ්‍යය රැකගන්නට බැහැ. අප වියපත් වන විට සමේ ස්වභාවයත් වෙනස් වී රැළි වැටෙන්නට පටන් ගන්නවා. මෙලෙස සම වියපත් වීම ක්‍රම දෙකකට සිදු වෙනවා. අභ්‍යන්තර වියපත් වීම වැඩිමනක්ම සිදුවන්නේ ජාන නිසායි. එය වළක්වා ලීම තරමක් අපහසු අතර වෘද්ධිතාවය ඇති වත්ම සමෙහි ඝණත්වය අඩු වී වියළි ස්වභාවයක් ගැනීමට පටන් ගන්නවා.

තරුණ හා වියපත් සම (changesplasticsurgery.com)

සමෙහි බාහිර වියපත් වීම සිදුවන්නේ බොහෝ කොටම වැරදි එදිනෙදා හැසිරීම් රටා නිසායි. සෞඛ්‍යමත් ජීවන රටාවකට හුරු වීමෙන් මේ ආකාරයෙන් සම වියපත් වීමේ වේගය ඉතා අවම කරගන්නට පුළුවන්.

සම හා උෂ්ණත්ව යාමනය

ශරීර උෂ්ණත්වය යාමනයෙහි ලා සම ක්‍රියාත්මක වෙන්නේ ඉතාම විශේෂිත ආකාරයකටයි. ශරීර උෂ්ණත්වය උවමනා ප්‍රමාණයට වඩා වැඩි වන විට ශ්වේද ග්‍රන්ථි ක්‍රියාත්මක වී දහඩිය නිපදවා එය සාමාන්‍ය තත්ත්වයට පත් කරනවා. ශරීර උෂ්ණත්වය සාමාන්‍ය පමණට වඩා අඩු වූ විට රුධිර නාල හා සමෙහි සෛල සංකෝචනය වී ශරීරයෙන් තව දුරටත් තාපය හානි වීම අවම කරන අතර උණුසුම් රුධිරය සමෙහි පිටත ස්ථරවලට ගමන් කිරීම අවහිර කිරීමෙන් එය සිදු කරනු ලබනවා. සමෙහි සිදුරුද තාප හානිය අවම කිරීම සඳහා සංකෝචනය වෙනවා.

සමෙහි සෛල ප්‍රමාණය

මිනිසෙකුගේ සමෙහි සෑම වර්ග අඟලකම සෛල මිලියන 18ක් පමණ තිබෙනවා. මේවායින් දිනකට සෛල 35,000ක් පමණ හානි වන අතර ඒ වෙනුවට නව සෛල ජනනය යුහුසුළුව සිදු වෙනවා.

රෝමෝද්ගමනය

zmescience.com

ශරීරයට ශීතලක් දැනුණු විට හෝ භීතිය හැඟුණු විට රෝමෝද්ගමනය සිදුවී හිරිගඩු පිපෙන බව ඔබ අත්විඳ තිබේද? එසේ සිදුවන්නේ එම හැඟීම දැනුණු විට මොළය මඟින් සමෙහි ඇති ස්නායු අග්‍ර වෙත පණිවුඩ යවා රෝම කූප තදාසන්නව ඇති සෛල උත්තේජනයට ලක් කිරීම නිසායි. මෙය මිනිසාගේ ආදි මුතුන්මිත්තන් පමණක් නොව අනෙක් ප්‍රයිමේටාවන් පවා සතුව තිබෙන ආරක්ෂාකාරී උපක්‍රම වලින් එකක්.

සමෙහි වර්ණය

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි සමෙහි වර්ණය තීරණය වන්නේ මෙලනින් නම් වර්ණකය නිසායි. එය සමෙහි අපිචර්මයේ නිපදවෙනවා. සෑම පුද්ගලයෙකුගේම ආසන්න වශයෙන් මෙලනින් නිපදවන සෛල ප්‍රමාණය සමාන වුවත් ජාන අනුව මෙන්ම හිරු එළියට නිරාවරණය වන ප්‍රමාණය අනුවත් මෙලනින් නිපදවන ප්‍රමාණය එකිනෙකාට වෙනස් වනවා. නිපදවෙන මෙලනින් ප්‍රමාණය වැඩි වන්නට වන්නට, ඔහු හෝ ඇය අඳුරු පැහැ ඡවි වර්ණයක් දරනවා.

mojidelano.com

දහඩිය දුගඳ

අප ශරීරයේ සෑම තැනකින්ම පිටවෙන දහඩියෙන් තදබල දුගඳක් ඇති වන්නේ නැහැ. කෙසේ නමුත් කිහිළි, ලිංගික අවයව හා ගුදයෙහි පිහිටා ඇති විශේෂිත ශ්වේද ග්‍රන්ථිවලින් නිපදවෙන දහඩිය, දහඩිය දුගඳ ඇති වීමට හේතු වෙනවා. ඒ ඒවායේ නිපදවෙන දහඩිය තදාසන්නව ජීවත් වන බැක්ටීරියා මඟින් ජීර්ණයට ලක් කිරීම නිසායි.

කැසීම හා සම

සමෙහි කැසීමක් ඇති වූ විට අපත් නොදැනීම ඇඟිලි තුඩුවලින් අපි එම කැසීම ඇති ස්ථානය සෙමින් සීරීම සිදු කරනවා. මේ නිසා ඇති වන සියුම් වේදනාවේ සංවේදනය මොළය වෙත ගමන් කරනවා. මොළය මඟින් එම වේදනා සංවේදනය ප්‍රතිග්‍රහණය කරගන්නා නිසා කැසීම පිළිබඳ සංවේදනය තාවකාලිකව යටපත් වීම සිදු වෙනවා.

කුරුලෑ

Shutterstock

බොහෝ දෙනෙක් සිතා සිටින්නේ කුරුලෑ ඇති වන්නේ දූවිලි හා කුණු අංශු සමෙහි තැන්පත් වීම නිසා කියායි. එසේත් නැතිනම් ආහාරයේ වෙනස්කම් නිසා කියායි. කෙසේ නමුත් කුරුලෑ ඇති වීමට හේතු ගණනාවක් තිබෙනවා. දහඩිය එකතු වීමෙන්, හෝමෝනමය වෙනස්කම්වලින්, ඖෂධ, ආර්ද්‍රතාව, රූපලාවන්‍ය ද්‍රව්‍ය වැනි දේ නිසාත් කුරුලෑ ඇති වෙන්නට පුළුවන්.

සියුම් සම ඇති ස්ථාන

Yenwen Lu/ iStock/ Getty images

පුද්ගලයෙකුගේ දෙතොලෙහි ඇති සම ඇඟිලි තුඩුවල ඇති සම මෙන් 200 වාරයක් සංවේදී වෙනවා. මිනිස් ශරීරයේ සියුම්ම සම ඇත්තේ ඇසිපියවලයි.

කවරයේ පින්තූරය (pinterest.com)

Related Articles