Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉංග්‍රීසියෙන් පොත් ලියන ශ්‍රී ලාංකිකයෝ

දකුණු ආසියාවේ ඉහළ ම සාක්ෂරතාවය ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, දියුණු වෙමින් පවතින තෙවැනි ලෝකයේ රටක දී දැකිය නොහැකි ආකාරයේ ඉහළ සාක්ෂරතාවයක් පෙන්නුම් කරනවා පමණක් නොව ආසියාවේ ඉහළ ම සාක්ෂරතාවයන් හිමි රටවල් අතර ද ප්‍රමුඛ ස්ථානයක පසු වෙනවා. රටේ සංස්කෘතිය සහ ජීවන රටාවට මනා පිටුවහලක් සපයන ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ අතීතයේ ක්‍රිස්තු පූර්ව 543 තරම් දක්වා වූ කාලයකට දිව යනවා.

(solotablet.it)

මෙසේ කාලයත් සමග අධ්‍යාපන රටාව හා බැඳෙමින් දිනෙන් දින ම දියුණුවට පත් වූ ශ්‍රී ලාංකීය සාහිත්‍ය කලාව ඉපැරණි ජනප්‍රවාදයන්ගෙන් ද සිංහල, දෙමළ, සංස්කෘත, පෘතුගීසි, අරාබි වැනි භාෂාවන්ගෙන් පමණක් නොව ඉංග්‍රීසි බසින් ද මනා ව පෝෂණය වූවක්. ඒ නිසාවෙන් ම විවිධ භාෂාවන්ගෙන් පන්හිඳ හසුරුවමින් ලේඛනයේ යෙදී සම්මානයට පාත්‍ර වූ ලේඛකයන් බොහෝ දෙනෙක්ට ශ්‍රී ලංකාව මව්බිම වුණා. එසේ ජාත්‍යන්තර ඇගයීමට පවා පාත්‍ර වූ ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ රචනා කළ ශ්‍රී ලාංකික කතුවරුන් කිහිප දෙනෙකු ගැන තොරතුරු යි මේ.

මයිකල් ඔන්ඩාතියා

(en.wikipedia.org)

ඉංග්‍රීසි බසින් ලේඛනකරණයේ යෙදෙන ශ්‍රී ලාංකික ලේඛකයෙකුට පිරි නමන උසස් ම සම්මානය වන්නේ ග්‍රේෂියන් සම්මානය යි. බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘The English Patient’ ග්‍රන්ථයට සඳහා හිමි වූ ත්‍යාග මුදල යොදවමින් 1992 වසරේ දී මුල් ම වරට ග්‍රේෂියන් සම්මානය ආරම්භ කරන ලද්දේ මයිකල් ඔන්ඩාතියා නම් වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික කතුවරයා විසින්. එතුමාගේ මෑණියන් වූ ඩොරිස් ග්‍රේෂියන් වෙනුවෙන් නම් කරන ලද එම සම්මානය ලබා දීමේ අරමුණ වන්නේ ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ රචනයේ යෙදෙන ශ්‍රී ලාංකිකයන් උනන්දු කරවීම යි.

(amazon.co.uk)

1943 සැප්තැම්බර් 12 වැනි දින කොළඹ දී උපත ලැබූ මයිකල් ඔන්ඩාතියා, පෘතුගීසි, සිංහල සහ දෙමළ සම්භවයක් සහිත ලේඛකයෙක්. කුඩා වියේ දී ම ඔහුගේ දෙමව්පියන් වෙන් වූ අතර පසු කාලීන ව මවත් සමග එංගලන්තයේ පදිංචියට ගිය මයිකල් උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ කැනඩාවේ දී යි. ‘The English Patient’, ‘Running in the Family’, ‘Divisadero’, ‘In the Skin of a Lion’ සහ ‘Coming Through Slaughter’ ඔහු විසින් රචිත විශිෂ්ටතම ග්‍රන්ථ ලෙස සැලකෙනවා.

මයිකල් ඔන්ඩාතියා විසින් ශ්‍රී ලාංකේය සාහිත්‍යයට සිදු කරන ලද මෙහෙය අගය කිරීම සඳහා 2005 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් එතුමාට ‘ශ්‍රී ලංකා රත්න’ සම්මානය පිරි නමා තිබෙනවා.

නිහාල් ද සිල්වා

(wikivisually.com)

2003 වසරේ දී ග්‍රේෂියන් සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලද ‘The Road from Elephant Pass’ හි කතුවරයා වන්නේ නිහාල් ද සිල්වා මහතා යි. පසු කාලීනව සිනමා පටයක් ලෙස නිර්මාණය කරන ලද මෙය ඊ. එම්. ජී. එදිරිසිංහ විසින් 2007 වසරේ දී ‘අලිමංකඩ සිට’ යනුවෙන් විජිත යාපා ප්‍රකාශනයක් ලෙස සිංහලයට නගා තිබෙනවා.

කොළඹ ශාන්ත ජෝසෆ්ස් විදුහලේ ආදි සිසුවෙකු වන නිහාල් ද සිල්වා මහතා උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ එවකට ලංකා විශ්ව විද්‍යාලය (University of Ceylon) යන නමින් හඳුන්වන ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු සහ කොටි සෙබළියක් අතර ඇති වන ආදර කතාවක් පාදක කර ගනිමින් ලියන ලද  ‘The Road from Elephant Pass’ ග්‍රන්ථයට අමතර ව එතුමා විසින් රචිත තවත් ජනප්‍රිය කෘති ලෙස ‘The Far Spent Day’ සහ ‘The Ginirella Conspiracy’ හැඳින්විය හැකි යි.

(hashreview.com)

ත්‍රස්තවාදය, විශ්ව විද්‍යාලය නවක වදය, දේශපාලන පලි ගැනීම්, අල්ලස් හා දූෂණ වැනි සමාජ විෂමතාවයන් කථා වස්තූ ලෙස භාවිතා කරමින් ග්‍රන්ථකරණයේ යෙදුණු එතුමා 2006 මැයි 28 වැනි දින විල්පත්තු අභය භූමියේ සංචාරයක යෙදී සිටියදී බිම් බෝම්බයකට හසු වීමෙන් ජීවිතයෙන් සමු ගත්තා.

ආනන්ද ලියනගේ

(youtube.com)

ක්‍රිස්තු පූර්ව 140 දී දුටුගැමුණු මහ රජ විසින් ලක්දිව නියම උරුමකරුට අනාගතයේ මතු යම් දිනෙක සොයා ගැනීම පිණිස විශ්වාසවන්ත දූතයන් දෙදෙනෙකු අත ආරක්ෂා සහිතව සැඟවීම සඳහා මාගම්පුරයට යවන ලද බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු අඩංගුව තිබෙන බව පවසන එතුමාගේ කුන්තය සහ රජ කිරුළ සොයා යන ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යාඥවරියක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර්වරයෙකු වටා ගෙතුණු ‘The Legacy’ නම් ග්‍රන්ථයේ කතුවරයා වන ආනන්ද ලියනගේ මහතා වෘත්තියෙන් මූල්‍ය උපදේශකවරයෙක්.

එතුමා විසින් රචනා කර ඇති ‘The Legacy’, ‘The Deception’ සහ ‘The Vengeance’ යන ග්‍රන්ථ ත්‍රිත්වය අනුල ද සිල්වා මහත්මිය විසින් ‘රාජ උරුමය’, ‘මායාව’ සහ ‘වියරුව’ යනුවෙන් සිංහලයට නගා ඇති අතර ‘පෙරදැක්ම’ යනුවෙන් ‘The Prophecy’ නම් කෘතියට සිංහලයට පෙරළා ඇත්තේ ආනන්ද ලියනගේ මහතා විසින් ම යි. එතුමා විසින් 2016 වසරේ දී ‘Adventures of Rudra an Investigator’ යනුවෙන් රහස් පරීක්ෂක කෙටි කතා එකතුවක් ද එළි දක්වා තිබෙනවා.

(marymartin.com)

ඉතිහාසය සහ වර්තමානය ගලපමින් කුතුහලය පිරි අපූරු ග්‍රන්ථ රචනා කරන ආනන්ද ලියනගේ මහතා පවසන්නේ ඉතිහාසය සමග පරිකල්පනය මුසු කරමින් ග්‍රන්ථ රචනයේ යෙදීම තරම් වෙනත් තෘප්තියක් එතුමාට නොමැති බව යි.

ශ්‍යාම් සෙල්වදුරෙයි

1994 වසරේ දී Books in Canada First Novel Award සම්මානයෙන් පිදුම් ලද ‘Funny Boy’ නම් ග්‍රන්ථයේ කතුවරයා වන්නේ 1965 පෙබරවාරි 12 වැනි දින කොළඹ දී උපත ලැබූ ශ්‍යාම් සෙල්වදුරෙයි මහතා  යි. සිංහල මවකට සහ දමිළ පියෙකුට දාව උපන් ඔහු 1983 වසරේ දී ජාතිවාදී ගැටුම් හේතුවෙන් කැනඩාවට සංක්‍රමණය වූ අතර ඔහුගේ ග්‍රන්ථ බොහෝමයක් සඳහා පාදක වී ඇත්තේ ද එය යි.

(shyamselvadurai.com)

ටොරන්ටෝ හි යෝක් විශ්ව විද්‍යාලයෙන් නිර්මාණශීලි සහ වෘත්තීමය ලේඛන කලාව පිළිබඳව කලා උපාධියක් ලබා ගෙන ඇති ඔහු, නවකතා සහ කෙටි කතා කිහිපයක් ම පළ කර ඇති අතර 1983 ජාතිවාදී ගැටුම් දරුණුවට ම ඇවිලුණු සමයේ කොළඹ ධනවත් පවුලක සමලිංගික දමිළ තරුණයෙකු වටා ගෙතුණු ‘Funny Boy’ කෘතියට අමතරව ඔහුගේ අනෙක් විශිෂ්ටතම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ ‘Cinnamon Gardens’ කෘතිය යි.

සොනාලි දැරණියගල

(magazine.lankahelp.com)

2004 වසරේ දී නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සොනාලි දැරණියගල, ඇගේ සැමියා වූ ස්ටීවන් ලිසන්බර්ග්, දෙදරුවන් සහ දෙමව්පියන් සමග යාල වනෝද්‍යානයේ සංචාරය කරමින් සිටින විට දී  අනතුරු ඇඟවීමකින් තොර ව සුනාමි ඛේදවාචකය පැමිණියේ ඇය පමණක් මේ ලෝකයේ තනි කර ඇගේ ආදරණීයයන් සියලු දෙනා ම රුදුරු රළ පහරට බිලි ගනිමින්. කාත් කවුරුවත් නොමැති ව එංගලන්තයේ තනි වූ ඇයට ඇගේ කටුක අත්දැකීම් ‘Wave’ නමින් පොතකට නගන්නට උන්නදු කර ඇත්තේ මයිකල් ඔන්ඩාතියා විසින්.

(reviews.libraryjournal.com)

1964 දී උපන් සොනාලි කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධියක් ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබාගෙන තිබෙනවා. සුනාමිය ඇය ව දිවයිනෙන් පිටතට රැගෙන යද්දී පොල් අත්තක එල්ලී දිවි ගලවා ගත් ඇය විසින් රචිත ‘Wave’ ග්‍රන්ථය මාලිනි ගෝවින්නගේ විසින් ‘රළ’ නමින් සිංහලයට නගා ඇත්තේ 2015 වසරේ දී යි.

කවරයේ පින්තූරය: evene.lefigaro.fr

මූලාශ්‍ර :

  1. en.wikipedia.org
  2. desiblitz.com
  3. dailynews.lk

Related Articles