Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු ලෝන්ග් අයිලන්ඩ් හි අභිරහස් දාම ඝාතක මිනිමැරුම්

1996 වසරේ පටන්, අමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් හි ගිල්ගෝ වෙරළ තීරයෙන් අව ම වශයෙන් මළසිරුරු 16 ක් හමු වී තිබෙනවා. මින් බහුතරය තරුණ කාන්තාවන්ගේ වන අතර, මෙම සිරුරු එම වෙරළ තීරයේ තැනින් තැන වැටී තිබියදී හමු වී තිබෙනවා. මේ සියල්ල ඝාතන ලෙස ඔප්පු වී ඇති අතර, බලධාරීන්ගේ මතය වන්නේ, මේ සෑම අයකු ම එකම ඝාතකයකුට ගොදුරු වන්නට ඇති බව යි. 

ඒ අනුව, එම ඝාතකයා  සොයා පර්යේෂණ ආරම්භ වී ඇති මුත්, තවමත් එම පුද්ගලයා පිළිබඳ ව සතුටුදායක හෝඩුවාවක් හමු වී නැත්තේ, මෙම ඝාතන සියල්ල විශාල අභිරහසක පුරුක් බවට පත් කරමිනු යි. මෙම හඳුනා නොගත් අභිරහස් ඝාතකයාට ‘ලෝන්ග් අයිලන්ඩ් හි අභිරහස් දාම ඝාතකයා’ ලෙස නමක් පටබැඳී තිබෙනවා.

ලෝන්ග් අයිලන්ඩ් හි දාම ඝාතකයා

අමෙරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර තදාසන්න ලෝන්ග් අයිලන්ඩ් හි දකුණු දිගට වන්නට පිහිටි ගිල්ගෝ වෙරළ තීරයෙන් මිනිස් සිරුරුවල අවශේෂ හමු වන්නට පටන් ගත්තේ 1996 වසරේ සිට යි. ඉන් පසු එළැඹුණු වසර කිහිපය තුළ මෙම සිරුරු වැඩි වශයෙන් හමුවන්නට වූව ද, බොහෝ දෙනා විශ්වාස කළේ මේවා දියේ ගිලීම වැනි හදිසි අනතුරු වලින් මිය ගිය අයගේ සිරුරුවල කොටස් බව යි. කෙසේ නමුත් 2010 වසරේ සිදු කළ පර්යේෂණයකට අනුව මෙම සියල්ල එක ම අයකු සිදු කළ ඝාතන බව පෙනී ගියා. මෙම ඝාතන සිදු කළ ඝාතකයා පිළිබඳ ව සොයා බැලූ මුත්, ඒ පිළිබඳව කිසිදු සාධනීය හෝඩුවාවක් හමුවූයේ නැහැ.

ඝාතනයට ලක් වූ කිහිප දෙනෙක්- Gilgo Case

වෙරළෙන් හමු වූ සිරුරු කොටස්

2010 වසරේ දෙසැම්බර් මස දිනක, සෆ්ලොක් හි ප්‍රදේශ භාර පොලිස් නිලධාරී ජෝන් මලියා සහ, මළසිරුරු සෙවීම සඳහා ම විශේෂයෙන් පුහුණු කළ ඔහුගේ සුනඛයා, ඊට මාස හතකට පෙර අතුරුදහන් වූ ෂැනන් ගිල්බට් නම් කාන්තාව පිළිබඳ ව සොයමින් ගිල්ගෝ වෙරළ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වී සිටියා. කෙසේ නමුත් ෂැනන් ගේ ඉව පසුපස ගිය සුනඛයා සොයා ගත් දේ ජෝන් බලාපොරොත්තු වූවක් නොවේ. එම සුනඛයා ගිල්ගෝ වෙරළ තීරයේ මීටර 500ක දුර පරාසයක ගොඩ ගසා තිබූ, මිනිස් සිරුරු 4 ක කොටස් සොයා ගෙන තිබුණා.

මෙම සිද්ධිය ඉතා අසාමාන්‍ය තත්ත්වයක් වූ හෙයින්, වහාම ඒ අරබයා විශේෂ පර්යේෂණයක් ඇරඹීමට ප්‍රදේශයේ පොලිස් බලධාරීන් තීරණය කළා. මේ අනුව 2011 වසර අවසන් වන විට, ඉහත ප්‍රදේශය තදාසන්න ව තවත් සය දෙනකුගේ සිරුරු කොටස් සොයා ගන්නට ඔවුන් සමත් වුණා. ඉන් සිව් දෙනකුගේ අනන්‍යතාව අද වන තුරුත් හෙළි කර ගන්නට ඔවුන් සමත් වී නැහැ. මේවා අධ්‍යයනය කිරීමෙන් පසුව, මෙම සිරුරු හය ද, ඊට පෙර හමු වූ සිරුරු මෙන් ම, එක ම ආකාරයට ඝාතනය වූ ඒවා බැව් හෙළි වූයේ, දාම ඝාතකයෙක් ප්‍රදේශයේ සැරිසරන බවට සාධාරණ සැකයක් පොලිස් බලධාරීන් අතර ජනිත කරමිනු යි.

ඉන් පසු එළඹි වසර කිහිපයේ දී විවිධාකාර හෝඩුවා ඔස්සේ පර්යේෂණ මෙහෙයවූව ද, ඒ කිසිවක් සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට අපොහොසත් වුණා. එම පර්යේෂණ මඟින් ලැබුණු සුළු සුළු සොයාගැනීම් පිළිබඳ ව මෙන් ම, අනන්‍යතාව හඳුනා ගත් අය පිළිබඳත් විස්තර ප්‍රසිද්ධ කළ ද, ඒ කිසිවක් මඟින් කිසිදු විශ්වාසනීය ‘පොටක් පාදාගැනීමට’ ඔවුනට හැකි වූයේ නැහැ. මේ නිසා අදට ද ගිල්ගෝ වෙරළතීරයේ ඝාතන විශාල අභිරහසක් ලෙස ඉතිරි ව පවතිනවා.

 ලෝන්ග් අයිලන්ඩ් හි දාම ඝාතකයාගේ ගොදුරු මුලින් ම හඳුනාගත් අයුරු

ලෝන්ග් අයිලන්ඩ් හි වෙරළබඩ පෙදෙස් ඉතා මනස්කාන්ත වන අතර, එහි නැඟෙනහිර සහ දකුණුදිග වෙරළතීර විශේෂයෙන් අතිශය සුන්දර දසුන් මවනවා. මෙම පෙදෙස්වල සාමාන්‍යයෙන් සාමකාමී ජනතාවක් වෙසෙන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා එතරම් වාර්තා වන්නේ ද නැහැ. මේ නිසා මෙම පෙදෙස්වල ජීවත් වීම බොහෝ දෙනෙක් වාසනාවක් ලෙස සලකනවා. නිවාඩු ගත කිරීම සඳහා මෙහි පැමිණෙන්නටත් බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන්නේ මේ පෙදෙස්වලට පැමිණීමෙන් සිය සිත නිවාගත හැකි බවට ඔවුන් විශ්වාස කරන නිසා යි. කෙසේ නමුත් 23 හැවිරිදි ෂැනන් ගිල්බට් හා තවත් දුසිමක පමණ පිරිසකට නම් මෙම පෙදෙස වාසනාව රැගෙන ආවේ නැහැ.

ගිල්ගෝ බීච් හි මළසිරුරු හමුවුණු ස්ථාන දැක්වෙන සිතියමක්- Suffolk County Police Department

ජෝන් මලියා නම් පොලිස් නිලධරයා ගිල්ගෝ බීච් හි තිබූ මිනිස් අවශේෂ සොයාගැනීමත් සමඟ වසර 20 ක් පමණ අතීතයකට දිව යන මිනිමැරුම් රාශියක් පිළිබඳ ව ලොවට හෙළි වන්නට පටන් ගත්තා. මෙලෙස ඝාතන සිදුකරන්නාට විවිධ අන්වර්ථ නාම පටබැඳුණු අතර, ගිල්ගෝ බීච් හි ඝාතකයා, ක්‍රෙග්සිල්ස්ට් හි මිනිමරුවා සහ මැනෝවිල් හි මස් මරන්නා ඉන් කිහිපයක් පමණ යි.

පසුකාලීන ව මෙම ඝාතකයා පිළිබඳ ව පොලිස් පොතෙහි නිල වශයෙන් ලියැවුණේ ‘ලෝන්ග් අයිලන්ඩ් හි දාම ඝාතකයා’ ලෙසිනු යි. එම පුද්ගලයා අතින් මියගිය ගණන 10ත් 16ත් අතර ප්‍රමාණයක් ලෙස සැලකෙන අතර, ඉන් එක් අයකු හැර අන් සියල්ල ම කාන්තාවන් වෙනවා.

පොලිසිය ගිල්ගෝ බීච් පෙදෙසෙන් මිනිස් මළ සිරුරු කොටස් සොයා ගැනීමෙන් පසු සෆ්ලොක් හි පොලිස් වසම භාර පොලිස් කොමසාරිස් රිචඩ් ඩෝමර් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම නිලධාරීන්ට එකම ස්ථානයක තිබී මළසිරුරු 4 ක් හමුවූ බව යි. මේ නිසා ගිල්ගෝ බීච් අවට දාම ඝාතකයෙක් සැරිසරන බවට තමන් විශ්වාස කරන බැව් ඔහු ඉන් පවසන්නට යෙදුණා.

මෙම පණිවිඩය නිකුත් වීමත් සමඟ මෙම පුවත ලෝන්ග් අයිලන්ඩ් හි වැසියන් අතර ලැව් ගින්නක් සේ පැතිරී ගියා. පොලිසිය ද මේ පිළිබඳ ව පුළුල් විමර්ෂණ ආරම්භ කළා. මේ අනුව ඔවුන් ඉක්මනින් ම හඳුනා ගත්තේ එලෙස හමු වූ මළසිරුරු 4  22 හැවිරිදි මෙගන් වෝටමෑන්, 25 හැවිරිදි මයුරීන් බ්‍රේනාඩ් බාන්ස්, 24 හැවිරිදි මෙලීසා බාතෙලමි සහ 27 හැවිරිදි ඇම්බර් ලින් කොස්ටෙලෝ යන කාන්තාවන්ගේ බව යි.

ඝාතකයා පිළිබඳව හෙළි වූ දේ

ගිල්ගෝ බීච් හි තිබී මුලින් ම හමුවූ සිරුරු හතර අයත් කාන්තාවන් සියලු දෙනාට පොදු සමානකම් රාශියක් පර්යේෂණ පැවැත්වීමේදී පොලිසිය නිරීක්ෂණය කළා.මොවුන් සියලු දෙනා ලිංගික ශ්‍රමික වෘත්තියෙහි යෙදුණු අය වූ අතර, ඔවුන් සියලු දෙනා තමන් පිළිබඳ ව ක්‍රේග්ස්ලිස්ට් නම් වෙබ් අඩවියේ දැන්වීම් පළ කර ගනුදෙනුකරුවන් තමන් වෙත ගෙන්වාගෙන තිබුණා. මේ සියලු සිරුරු වෙන් වෙන් වශයෙන් ගෝනිවල බහා දමා ගොස් තිබූ අතර, සියලු දෙනා මිය ගොස් තිබුණේ ගෙල සිර කිරීමෙනු යි.

ඉහත සිරුරු හතර හමු වීමෙන් අනතුරු ව, ඒවා මිනිමැරුම් බවට ස්ථිර වීම නිසා ගිල්ගෝ වෙරළ තීරය ඔස්සේ දිගින් දිගට ම සෝදිසි මෙහෙයුම් කරන්නට පොලිසිය තීරණය කළා. ඒ අනුව ඔවුන්ට තවත් කාන්තා මළසිරූ 4 ක් හමුවුණු අතර, ඊටත් මසකට පසු තවත් සිරුරු තුනක් ඔවුනට හමු වූයේ ගිල්ගෝ වෙරළබඩ පෙදෙසින් හමු වූ මුළු සිරුරු සංඛ්‍යාව 11 ක් බවට පත් කරමින්.

ගිල්ගෝ බීච් හි මිනිස් අවශේෂ හමු වූ ස්ථානයක්- Thomas A. Ferrara/Newsday RM via Getty Images

මෙලෙස දෙවනුව හා තෙවනුව හමු වූ මළසිරුරු ගෝනිවල බහා නොතිබුණු මුත්, ඒවා ද පළමු ව හමු වූ සිරුරු හා සම්බන්ධ ඝාතකයා ම සිදු කළ  ඝාතන බවට අනුමාන කළ පොලිසිය මෙහෙයුම් තව දුරටත් පුළුල් කළා. එසේ අවසන් වරට හමු වූ සිරුරු වලින් ඔවුන්ට අනන්‍යතාව තහවුරු කර ගත හැකි වූයේ එකක පමණ යි. 20 වියැති ජෙසිකා ටේලර් නම් වූ ඇය ද 2003 වසරේදී අතුරුදහන් වන විට ලිංගික ශ්‍රමික වෘත්තියෙහි නිරත වෙමින් සිටියා. ඇය මිහිදන් කර තිබුණේ තවත් කාන්තාවක්, කුඩා දරුවෙක් හා පුරුෂයෙක් සමඟ යි.

පර්යේෂණ අතරමඟ නවතියි

2011 වසරේ අප්‍රේල් මස 11 වන දා ගිල්ගෝ බීච් පෙදෙසින් තවත් කාන්තා මළ සිරුරක් හමුවුණා. මේ අනුව හමුවූ සම්පූර්ණ සිරුරු ගණන 12ක් වූ අතර ඉන් 10ක් තරුණ කාන්තාවන්ගේ වුණා. කෙසේ නමුත් ඒ කිසිවක් මෙහෙයුම් ආරම්භ කිරීමට හේතු වුණු, අතුරුදන් වූ ෂැනන් ගිල්බට්ගේ වූයේ නැහැ.  එතෙක් හඳුනා නොගත් සිරුරු හඳුනාගැනීම ද අතිශය දුෂ්කර වුණා. එම පෙදෙසින් ම හඳුනා නොගත් සිරුරු කොටස් ගණනාවක් හමුවීම එහි සංකීර්ණත්වය තවත් වැඩි කළා.

2016 වසරේ දෙසැම්බර් මස දී පර්යේෂකයන්ට සුළු හෝඩුවාවක් ලැබුණා. 1997 වසරේ, ලෝන්ග් අයිලන්ඩ් හි වෙනත් ස්ථානයක තිබී හමු වූ කළු ජාතික තරුණ කාන්තාවකගේ කවන්ධයකට ගිල්ගෝ බීච් හි හමු වූ ශරීර කොටසක ඩී.එන්.ඒ සැසඳුණා. කෙසේ නමුත් ඝාතකයා ඇගේ හිස සිරුරෙන් වෙන් කර තිබීම නිසා, ඇගේ හැඩහුරුකම් දක්වමින් චිත්‍රයක් ඇඳ ප්‍රසිද්ධ කර, තොරතුරු සොයා ගන්නට පොලිසිය අපොහොසත් වුණා.

මෙහෙයුම් එතරම් සාර්ථක නොවූ තැන, පොලිසිය ලෝන්ග් අයිලන්ඩ් දාම ඝාතකයා පිළිබඳ තොරතුරු ලබා දෙන්නකුට අමෙරිකානු ඩොලර් 5000 සිට 25000ක් අතර ත්‍යාගයක් ලබා දෙන බවට ප්‍රසිද්ධ කළා. කෙසේ නමුත් ඉන් සුළු හෝ තොරතුරක් ලැබුණේ නැහැ. මේ නිසා කාලයාගේ ඇවෑමෙන් මෙම සිද්ධිය ගැන සොයන්නට පොලිසියට ඇති උනන්දුව අඩු වී ගියා.

ගිල්ගෝ බීච් ඝාතන පිළිබඳ නවත ම තත්ත්වය

ඉහත සිරුරු සොයා ගෙන කාලයක් ගතවූ පසු, ගිල්ගෝ බීච් තදාසන්න ඕක් බීච් නම් පෙදෙසින් ෂැනන් ගිල්බට් ගේ සිරුරෙහි කොටස් හමුවුණා. ගිල්බට් ද වෘත්තියෙන් ලිංගික ශ්‍රමික වෘත්තියේ යෙදුණෙක් වුණා. මේ වනවිට පර්යේෂණ උනන්දුවෙන් නොකිරීම, නිසි ලෙස නිවැරදි කරුණු මාධ්‍යයට නිකුත් නොකිරීම වැනි හේතු ගණනාවකට සෆ්ලොක් පොලිසියට චෝදනා එල්ල වෙමින් පවතිනවා. කෙසේ නමුත් මෑතකදී එහි තේරී පත් වූ නව කොමසාරිස් රොඩ්නි හැරිසන් මෙම සිද්ධිය ගැන නව ජවයකින් යුක්ත ව නැවත විමර්ෂණය ආරම්භකර තිබෙනවා. ඒ අනුව, ගිල්ගෝ බීච් ඝාතන පිළිබඳව මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ කරුණු රාශියක් ඔහු නිකුත් කර ඇති අතර, තොරතුරක් ලබාදෙන අයකුට  අමෙරිකානු ඩොලර් 50000 ක මුදලක් ලබා දෙන බවටත් ප්‍රසිද්ධ කර තිබෙනවා.

රොඩ්නි හැරිසන්- Abc7ny.com

2022 වසරේ මැයි මස දී ෂැනන් ගිල්බට් අතුරුදන් වීමට පෙර 911 අංකය අමතා සිදු කළ මිනිත්තු 21 ක් දිග කතාබහ මාධ්‍යයට නිකුත් කෙරුණා. එහිදී ඇය කීප විටක් ම “කිසිවෙක් මගේ පසුපසින් එනවා” යැයි පවසනවා.

පසුවදන

ගිල්ගෝ බීච් මිනිමැරුම් තවමත් පවතින්නේ නොවිසඳුණු ඒවා හැටියට යි. කෙසේ නමුත් ඉහත සඳහන් කළ නව ප්‍රවණතා නිසා, මෙම අබිරහස ඉක්මණින් විසඳෙනු ඇති බැව් විචාරක මතය යි.

කවරයේ ඡායාරූපය -  ගිල්ගෝ බීච්- Spencer Platt / Getty Images
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Nbcnewyork.com
gilgocase.com

Related Articles