Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිම කලක් කිරුළ දැරූ බ්‍රිතාන්‍ය රජුන් හා රැජිණියන්

බ්‍රිතාන්‍ය කිරීටයට වසර දහසකටත් වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා. මේ කාලය තුළ එහි කිරුළ හෙබවූ රජුන් හා රැජිණියන් ගණනාවක් සිටිනවා. මේ අතරින් දීර්ඝ කාලයක් රජකම් කරන්නට ලැබුණේ සමහරෙකුට පමණ යි. දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පුද්ගලයින් කිහිපදෙනා ගැන යි මේ සටහන.

තෙවන හෙන්රි රජු

royal.uk

තෙවන හෙන්රි රජු බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූයේ 1216 වසරේ සිට 1272 දක්වා යි. මොහු සිහසුනේ සිටි කාලය වසර 56කුත් දින 29ක්. තෙවන හෙන්රි රජුගේ පියා වන ජෝන් රජු ජනයා අතර ඉතා අපකීර්තියට පත්ව සිටියා. නමුත් තෙවන හෙන්රි රජු ඊට සාපේක්ෂව මිනිසුන් අතර හොඳ නාමයක් දිනාගැනීමට සමත් වුණා. මොහු සිහසුනට පත් වූයේ නව වියැතිව සිටිය දී යි. එනිසා මොහු අඩුම වයසෙන් බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වූ කිහිපදෙනා අතර ද සිටිනවා. මොහු සිහසුනට පත් වන විට පළමුවන බැරන්වරුන්ගේ සටන සිදුවෙමින් පැවතුණා. මොහුගේ රාජ සමය තුළ දුෂ්කරතා රැසකට මුහුණදෙන්නට මොහුටත් රටවැසියාටත් සිදුවුණා. 1263 වසරේ දී සිදුවූ දෙවන බැරන්වරුන්ගේ සටන ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. 1207 වසරේ උපන් මේ රජු 1272 වසරේ දී මියයන විට 65 වියැති වුණා.

සයවන ජේම්ස් රජු

royal.uk

ස්කොට්ලන්ට්යේ රජු වූ සයවන ජේම්ස් රජුත් ඉතා දීර්ඝ කාලයක් සිහසුනේ සිටි රජෙක් වෙනවා. 1567 වසරේ දී ස්කොට්ලන්තයේ රජ වූ ඔහු 1625 වසරේ දී මියයන විට වසර 57කුත් දින 246ක් රජ කොට තිබුණා. මේ කාලය අතරතුර ඔහු එංගලන්තයේ බලයත් තහවුරු කරගත්තා. ඒ එකල එංගලන්තයේ රජ කරන්නට කිසිවෙකුත් නොසිටි නිසා යි.

අටවන හෙන්රි රජු හට දරුවන් තිදෙනෙකු සිටි අතර ඔවුන් තිදෙනාම දරුවන් නොමැතිව මියගොස් තිබුණා. මේ තිදෙනාගෙන් එක් අයෙකු වූයේ පළමුවන එළිසබෙත් රැජින යි. ඇයගේ මරණයෙන් පසුව එංගලන්තයේ රජකම, ඇගේ ඥාතියෙකුව සිට ඇගේ අතින් මරණ දඬුවම පනවන ලද ස්කොට්ලන්තයේ මේරි රැජිනගේ පුත් වූ සයවන ජේම්ස් රජුට පැවරුණා. ඔහු පළමුවන ජේම්ස් රජු ලෙස එහිදී කිරුළු පැළඳි අතර, ඉන් පසු වසර 22ක් රජ කළා. කෙසේ නමුත් ඒ වන විටත් ඔහු වසර 35ක් ස්කොට්ලන්ත සිහසුන දරා තිබුණා. සයවන ජේම්ස් රජු 1566 වසරේ ඉපිද 1625 වසරේ මියගිය අතර ඔහු ස්කොට්ලන්ට්යේ රජකමට පත් වන විට එක් අවුරුදු ළදරුවෙක්ව සිටීමත් විශේෂ යි. මොහුගේ පාලන කාලය තුළ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වන්නේ ගයි ෆෝක්ස් නම් තැනැත්තෙක් 1605 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරවා හැර ජේම්ස් රජු ඇතුළු පාර්ලිමේන්තුවම ඝාතනය කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වීම යි.

තෙවන ජෝර්ජ් රජු

royal.uk

බ්‍රිතාන්‍ය සිහසුන දැරූ තෙවන ජෝර්ජ් රජු සැලකෙන්නේ මානසික සංකූලතා තිබූ අයෙකු ලෙස යි. ඔහු සිය දිවියේ අවසන් සමයේ මානසික ගැටළුවලින් පීඩා විඳි අතර සිය කණිටු දියණිය අමීලියා කුමරිය අකාලයේ මියයාම එම තත්ත්වයන් වර්ධනය වීමෙහි ලා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා. මේ නිසා 1810 වසරේ දී තවදුරටත් සිහසුන දැරීමට ඔහු සුදුසු නොවන බවට තීරණය කොට ඔහුගේ පුත් සිව්වැනි ජෝර්ජ් රජකම ලබාගන්නවා.

1760 වසරේ දී රජකම ලබා තිබූ තෙවන ජෝර්ජ් රජු ඒ වන විට වසර 59කුත් දින 96ක් සිහසුන හොබවා තිබුණා. කෙසේ නමුත් ඔහු ක්‍රියාකාරීව රට පාලනය කළේ ඉන් යම් කාලයක දී පමණ යි.

තෙවන ජෝර්ජ් රජුගේ පාලන කාලය තුළ යුධමය වශයෙන් ජයග්‍රහණ මෙන්ම පරාජයන් රාශියක් ද බ්‍රිතාන්‍යයන්ට අත්විඳින්නට සිදුවුණා. මේ කාලය තුළ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ හමුදා පරාජය කළ අතර ඇමෙරිකානු යටත්විජිතවල දී පරාජයන් ලැබුවා. ඇමෙරිකාව මේ කාලය තුළ සිය නිදහස ලබාගත්තා. මුල දී ජනප්‍රිය රජෙකු වුව ද පසුකාලීනව ඔහු ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ ‘උමතු රජු’ ලෙස යි. 1738 උපන් මේ රජු 1820 වසරේ දී මියගිය අතර සිහසුනට පත්ව තිබුණේ 22 හැවිරිදිව සිටිය දී යි.

වික්ටෝරියා රැජින

royal.uk

වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය කිරීටය දැරූ අය අතරින් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ අයෙක් වෙනවා. වික්ටෝරියා රැජින රජකළ සමය බ්‍රිතාන්‍යයේ කාර්මික පුනරුදය ඇතුළු වෙනස්කම් රාශියක් සිදු වූ සමය යි. මේ කාලය තුළ බ්‍රිතාන්‍යය හා බ්‍රිතාන්‍ය යටත්විජිතවල දුම්රිය මාර්ග ඉදි වූ අතර තවත් විවිධ දේ ඉදිවුණා. වික්ටෝරියා රැජින 1837 වසරේ සිට ඇගේ මරණය සිදුවූ 1901 වසර දක්වා වසර 63කුත් දින 216ක් රජකම් කළ අතර මැයගේ පාලන කාලය තුළ බ්‍රිතාන්‍යය ලොව බලවත්ම රාජ්‍යයක් ලෙස ලොව වැජඹුණා. 1819 වසරේ උපත ලබා තිබූ ඇය 1901 වසරේ ජනවාරි මස මියයන විට 81 වන වියෙහි පසුවුණා. ඇයට සිහසුන ලැබී තිබුණේ 18 වියැති යෞවනියක ලෙස සිටිය දී යි.

දෙවන එලිසබෙත් රැජින

Getty Images

බ්‍රිතාන්‍ය සිහසුන වර්තමානයේ දරා සිටින දෙවන එලිසබෙත් රැජින එම සිහසුන එදාමෙදා තූර දීර්ඝතම කාලයක් දරා සිටි තැනැත්තා හෝ තැනැත්තිය වෙනවා. පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ දෙවන පුත්‍රයාගේ දෙටු දියණිය වූ ඈ උප්පත්තිය ලැබුවේ රජකම අනාගතයේ හිමිවන අයුරින් නොවේ. කෙසේ නමුත් පස්වන ජෝර්ජ් රජුගෙන් පසු සිහසුන උරුම වූ අටවන එඩ්වඩ් රජු සිහසුන අත්හැරීමත් සමග එය එලිසබෙත් කුමරියගේ පියා වන සයවන ජෝර්ජ් රජුට ලැබුණා. අනතුරුව 1952 වසරේ දී ඔහු මියයාමත් සමග දෛවෝපගතව රජකම එලිසබෙත් කුමරියට ලැබුණා. ඒ වන විට ඇය 25 වන වියෙහි පසුවුණා.

එලිසබෙත් රැජිණ 2019 වසරේ මැයි මස 26 වන දා වන විට වසර 67කුත් දින 109ක් බ්‍රිතාන්‍ය කිරුළ හොබවා තිබෙනවා. මැයගේ පාලන කාලය තුළ ද විශේෂ සිදුවීම් රැසක් සිදුවුණා. මිනිසුන් එවරස්ට් තරණය කළ අතර සඳ මත ද පාතැබුවා. 1926 වසරේ අප්‍රේල් මස 21 වන දා උපන් දෙවන එලිසබෙත් රැජින මේ වන විට 93 වන වියෙහි පසුවනවා.

කවරයේ පින්තූරය- Getty Images

Related Articles