Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතුරුදන් වී සිට නැවත පැමිණි මිනිස්සු

ඕනෑම රටක නිතර පුද්ගලයින් අතුරුදන් වීමේ සිදුවීම් වාර්තා වෙනවා. සමහරෙක් සිය අනන්‍යතාවය ලොවින් සඟවාගැනීම සඳහා සිතාමතාම ‘අතුරුදන්’ වන විට තවත් අයෙකු විවිධ අකරතැබ්බවල ප්‍රතිඵලයක් ලෙස අතුරුදන් වෙනවා. මින් සමහරෙක් මියගිය බව කල්යාමේ දී ලොවට හෙළි වන අතර තවත් සමහරෙක් පිළිබඳව කිසිදිනෙක තොරතුරු අනාවරණය වන්නේ නැහැ.

වසර ගණනාවක් මුළුල්ලේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ සිට එක් වරම සමාජයේ පෙනී සිටි අයවළුන් කිහිප දෙනෙකු පිළිබඳව ඉතිහාස පොත්වල සටහන් වී තිබෙනවා. ඔවුන් මුහුණපෑ සිද්ධීන් සමහරක් අසාමාන්‍ය යි. මේ එවැන්නන් පිළිබඳව වන ලිපි ද්විත්වයෙහි පළමුවැන්න යි.

එලිසබෙත් ස්මාට්

cbsnews.com

2002 වසරේ දී ඇමෙරිකානු ජාතික දැරියක වූ එලිසබෙත් ස්මාට් පැහැරගැනෙනවා. ඇයගේ නිවසට ඇතුළු වූ බ්‍රයන් ඩේවිඩ් මිචෙල් නම් අයෙක් පිහියක් පෙන්වා ඇය බියවද්දා සිය නිවසට ගෙනයනවා. මිචෙල් හා ඔහුගේ බිරිය ජීවත් වූ එම නිවස්නයෙහි කාමයරක ඔහු ඇය සිරකරනවා.

එක්තරා ආගමක ලබ්ධිකයෙකු වූ මිචෙල් තමන් ධර්ම දූතයෙකු සේ හඳුන්වාගත් අයෙකු වූ අතර, ඔහු විසින් අදාළ ආගමානුකූලව ස්මාට්ව ද විවාහ කරගැනෙනවා. අනතුරුව ඇයට මත්පැන් හා නිද්‍රාජනක ඖෂධ ලබා දී ලිංගික අඩන්ටේට්ටම්වලට ලක් කරනවා.

පැහැරගැනීම සිදුවුණු දින රාත්‍රියේ එලිසබෙත්ගේ සොයුරිය ද ඇයගේ කාමරයෙහි සිටි අතර, ඇය මිචෙල්ගේ මුහුණ මතක තබාගෙන තිබුණා. මේ විස්තර ඇය විසින් ප්‍රසිද්ධියට පත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස 9කට පසු මිචෙල් හා එලිසබෙට් ස්මාට් වීථියක ඇවිදයමින් සිටිය දී හඳුනාගන්නට යමෙකු සමත් වෙනවා. මේ අනුව මිචෙල් හා ස්මාට් පොලිස් භාරයට පත් වන අතර, ස්මාට් නැවතත් සිය පවුල හා එක්වනවා. ඇය වර්තමානයේ කාන්තා හා ළමා හිංසනය පිටුදැකීමේ ව්‍යාපාර වෙනුවෙන් සක්‍රීයව පෙනී සිටිනවා.

කාලෝස් සැන්චෙස් ඔර්ටිස් ඩි සලසා

nationalpost.com

ස්පාඤ්ඤ ජාතික මානසික වෛද්‍යවරයෙකු වූ කාලෝස් සැන්චෙස් ඔර්ටිස් ඩි සලසා හදිසියේම අතුරුදන් වන්නේ 1995 වසරේ දී යි. ඔහුගේ මෙම හදිසි අතුරුදන් වීමෙන් කම්පාවට පත් වූ සමීපතමයින් අස්සක් මුල්ලක් නෑර ඔහු පිළිබඳව විපරම් කර බැලුව ද ඔහු පිළිබඳව හෝඩුවාවක් හෝ හමුවූයේ නැහැ. මේ නිසා ඉන් වසර 15කට පසු, එනම් 2010 වසරේ දී ඩි සලසා මියගොස් ඇති බැව් ප්‍රකාශ කෙරුණා.

2015 වසරේ ඉතාලියේ ගම්බද පෙදෙසක වෙළඳාමේ නියුතු බිම්මල් එක්කාසු කරන්නන් දෙදෙනෙකු හට හදිසියේම කිළිටි වස්ත්‍රාභරණ හැඳි මිනිසෙකු හමුවනවා. ඔහු තනිව ජීවත් වෙමින් සිටි අතර, හැකිතාක් මිනිසුන්ගේ ඇස ගැටීමෙන් වැලකී සිටින්නට උත්සාහ දරා තිබෙනවා. කෙසේ නමුත් ඔහු මීට වසර 20කට පෙර අතුරුදන් වූ සලසා බව හඳුනාගන්නට ඔවුන් සමත් වෙනවා. ඔවුන් අදාල බලධාරීන් දැනුවත් කළ අතර වහාම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සලසා හමු වීමට පැමිණෙනවා. කෙසේ නමුත් ඒ කෙටි කාලය තුළ දී ඔහු එතැනින් නික්ම ගොස් තිබූ අතර නැවත කිසි දින සමාජය හමුවේ පෙනී සිටියේ නැහැ.

කෝරා හුඩ්

gandul.info

ඇමෙරිකානු ජාතික ලූලා කොරා හුඩ් 1970 වසරේ දිනෙක සිය නිවැසියන් අතැර යන්නේ නිවසේ සිදුවූ යම් හිත් නොහොඳ වීමක් නිසා යි. කෙසේ නමුත් තිදරු මවක් වූ ඇය ඇත්තෙන්ම කවරෙකු හෝ විසින් ඝාතනය කරන්නට යෙදුණු බවට සමහරු සැක කළා. මෙය වඩාත් තහවුරු කරමින් ඉන් 26 වසරකට පසු හෙවත් 1996 වසරේ දී ඇයගේ නිවසෙහි ගෙවත්තෙන් මිනිස් සිරුරක අවශේෂ ද හමුවනවා. මෙය කෝරා හුඩ්ගේ බවට පොලිසිය තීරණය කරන අතර ඇයගේ දරුවන් තිදෙනාට ද දන්වනවා.

උක්ත සිදුවීමෙන් වසර 10ක් ගිය තැන හදිසියේ සිදුකරන ලද ඩී.එන්.ඒ පරීක්ෂණයකින් හෙළිවන්නේ ගෙවත්තේ තිබී හමුවූ මිනිස් සිරුරු කොටස් හුඩ් මහත්මියගේ නොවන බව යි. මේ කරුණ සොයාගැනීමත් සමග කෝරා හුඩ් නැවතත් ‘මියගිය’ ලැයිස්තුවෙන් ‘අතුරුදන් වූවන්’ ගේ ලැයිස්තුවට වැටුණු අතර ඇගේ දරුවන් විසින් නැවතත් සිය මව සෙවීමට පටන්ගන්නවා. එම උත්සාහයන් සඵල කරමින් සති දෙකක කාලයක් තුළ ඇය නිරුපද්‍රිතව ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ජැක්සන්විල්හි ජීවත් වන බව ඔවුනට සොයාගන්නට ලැබෙනවා. ඇය විසින් එහිදී වෙනත් විවාහයක් සිදුකොට ගෙන තිබූ අතර ඉන් දරුවන් 12 දෙනෙකු ලබා තිබුණා. මෙලෙස වසර 40කට ආසන්න කාලයක ඇවෑමෙන් කෝරා හා ඇගේ වැඩිමල් දරුවන් තිදෙනා එකට හමුවුණා.

ක්ලීව්ලන්ඩ් පැහැරගැනීමේ සිද්ධිය

starcasm.net

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ක්ලීව්ලන්ඩ්හි දී 2003 වසරේ දිනක බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ පැහැරගැනීමේ සිද්ධියක් සිදුවුණා. ඒරියල් කැස්ට්‍රෝ නම් අයෙකු විසින් මිචෙල් නයිට්, අමන්දා බෙරී හා ජෝර්ජිනියා ඩි ජීසස් නම් තරුණියන් තිදෙනෙකු පැහැරගත්තා.

කැස්ට්‍රෝ විසින් පැහැරගන්නා ලද දැරියන් තිදෙනා රහසිගත ස්ථානයක රඳවා තබාගන්නට ඔහු කටයුතු කළා. ඔවුන් තිදෙනා වෙන් කළ කුටි තුනක රඳවා තැබූ ඔහු එම තිදෙනාට ලිංගික අඩන්තේට්ටම් ද සිදුකළා. බෙරී විසින් ඔහුට දාව දරුවෙකු ද බිහිකළේ මේ අතර යි.

වසර ගණනාවක් කාගේවත් ඇස නොගැටී මේ තරුණියන් තිදෙනා සිය සන්තකයේ තබාගන්නට තරම් කැස්ට්‍රෝ සූක්ෂ්ම වුණා. කෙසේ නමුත් 2013 වසරේ එක් දිනෙක බෙරී රඳවා සිටි කාමරයේ දොරගුළු ලා යන්නට කැස්ට්‍රෝ හට අතපසු වෙනවා. මේ අවසරයෙන් කාමරයෙන් ඉවතට එන බෙරී, සිය දරුවා හා අනෙක් තරුණියන් දෙදෙනා ද කැටුව, පිටත පෙනෙන ස්ථානයකට දිවයනවා. අනතුරුව යාබද නිවසෙහි විසූ චාල්ස් රැම්සේ ගේ අවධානය දිනාගන්නට ඔවුන් සමත් වෙනවා. රැම්සේ ඔවුන් සිවුදෙනා නිවසෙන් ඉවතට ගන්නා අතර ඔවුන්ගේ ආධාරයෙන් සිද්ධිය ප්‍රදේශයේ පොලිසියට දන්වන්නට බෙරී සමත් වෙනවා.

වහාම බෙරී ඇතුළු සිවුදෙනා මුදවාගන්නට පොලිසිය කටයුතු කරන අතර කැස්ට්‍රෝව ද අත් අඩංගුවට ගැනෙනවා. මේ අනුව වසර ගණනාවකට පසු සිය සහෘදයන් අතරට යාමේ අවස්ථාව තරුණියන් සිවුදෙනාට ලැබෙනවා. බන්ධනාගාරගතව සිටිය දී කැස්ට්‍රෝ ගෙල වැළ ලාගෙන මියයනවා.

කවරයේ පින්තූරය- abcnews.go.com

Related Articles