Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතුරුදන්ව සිට නැවත පැමිණි තව තවත් පුද්ගලයින්

වසර ගණනාවක් අතුරුදන්ව සිටීමෙන් අනතුරුව නැවතත් සමාජය හමුවේ පෙනී සිටි කිහිප දෙනෙක් පිළිබඳව මේ ලිපි ද්විත්වයෙහි පළමු ලිපියෙන් අප ඔබ හමුවට ගෙන ආවා. මේ ලිපියෙනුත් තවත් එවැනිම කිහිපදෙනෙක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නව අප සූදානම්.

ස්ටීවන් ස්ටයිනර්

Swordandscale.com

1965 වසරේ උපන් ඇමෙරිකානු ජාතික දරුවෙකු වූ ස්ටීවන් ස්ටයිනර්, 1972 වසරේ ඔහු සත් හැවිරිදිව සිටිය දී කෙනත් පානෙල් නම් අයෙකු විසින් පැහැරගනු ලබනවා. කුඩා දරුවන් කෙරෙහි ලිංගිකව ආසක්තව සිටි පානෙල් කුඩා ස්ටීවන් කිහිප විටක්ම ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කරනවා. අනතුරුව ස්ටීවන්ගේ නම කෙනත් පානෙල් ලෙස වෙනස් කළ ඔහු පිටත ලෝකයට ඔහු සිය පුත්‍රයා බැව් පෙන්වමින් පාසල් යැවීමට පවා කටයුතු කළා.

1980 වසරේ ආරම්භය වන විට ස්ටීවන් 14 හැවිරිදි නව යොවුන් පුද්ගලයෙකු වී සිටි අතර කෙමෙන් කෙමෙන් කෙනත් විසින් ඔහු අත්හරිනු ලබන්නේ වයසින් මුහුකුරා යාම නිසා ඔහුට ස්ටීවන් කෙරෙහි තිබූ ලිංගික ආකර්ෂණය අඩු වී යාම හේතුවෙනුයි. ඒ වෙනුවට 5 හැවිරිදි තිමති වයිට් නම් කුඩා දරුවෙක් කෙනත් විසින් පැහැරගෙන නිවසට රැගෙන එනවා. තිමති කෙරෙහි අනුකම්පාවක් උපදවාගත් ස්ටීවන් ඔහු තමන් විසින් විඳි අමිහිරි අත්දැකීම්වලට ලක් විය යුතු නැතැ යි තීරණය කොට ඔහුත් රැගෙන කෙනත්ගෙන් මිදී පලා එනවා.

නැවත සමාජයට එක් වුව ද ස්ටීවන්ට එහි සතුටින් කල් ගෙවීමට නොහැකි වෙනවා. තමන් කුඩා කළ විඳි දුක් ගැහැට සම්පූර්ණයෙන් අමතක කර දමන්නට නොහැකි වීම නිසා මානසික පීඩනයට පත් වූ ඔහු කෙමෙන් කෙමෙන් මත් පැන් හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. අවසන 24 වියැතිව සිටිය දී යතුරු පැදි අනතුරක් හේතුවෙන් ඔහු මරුමුවට පත් වෙනවා.

පෙට්‍රා පැසිට්කා

independent.co.uk

1984 වසරේදී 24 වියැති ජර්මානු ජාතික කාන්තාවක් වන පෙට්‍රා පැසිට්කා හදිසියේ අතුරුදන් වෙනවා. ඇයගේ සමීපතමයන් රට පීරා ඇයව සෙවූව ද ඇය හමුවන්නේ නැහැ. මේ හේතුව නිසා අතුරුදන් වීමෙන් වසර 5කට පසුව ඇය මියගොස් ඇති බවට ප්‍රකාශ වෙනවා. කෙසේ නමුත් 2015 වසරේ දී හදිසියේම ඇය ජීවතුන් අතර සිටින බව ලොවට අනාවරණය වෙනවා. ජර්මනියේ ඩසල්ඩෝෆ්හි නිවසක සිදුවූ සොරකමක් පිළිබඳව 55 වියැති එක්තරා කාන්තාවක් විසින් පැමිණිල්ලක් සිදුකළ අතර එය පරීක්ෂා කිරීම සඳහා එහි ගිය පොලිස් නිලධාරීන්ට ඇගේ අනන්‍යතාව පිළිබඳව සැකයක් උපන්නා. මේ අනුව අවසන තමන් ඇත්තෙන්ම මීට වසර 30කට පමණ ඉහත අතුරුදන් වූ පෙට්‍රා පැසිට්කා බැව් ඇය පිළිගත්තා. යම් සිත් රිදවීමක් නිසා සිය පවුලෙන් ඈත්ව සිටින්නට ඇය කටයුතු කර තිබූ අතර, ඇය පිළිබඳව කිසිවෙකුට හෙළි නොවනු වස් ඇය කිසි දිනෙක බැංකු ගිණුමක් ආරම්භ කර නොතිබූ අතර බිල්පත් ද මුදල් මඟින්ම ගෙවන්නට ප්‍රවේශම් වී තිබුණා. පොලිසිය ඇයගේ පවුලේ අයට ඇය ජීවතුන් අතර බැව් ප්‍රකාශ කළත්, ඔවුන් සමග එක් නොවී සිටින්නට ඇය තීරණය කළා.

ගාබ්‍රියෙල් නැගී

s-i.huffpost.com

ඕස්ට්‍රේලියානුවෙකු වූ ගාබ්‍රියෙල් නැගීගේ අතුරුදන් වීම පිළිබඳව ලොව බොහෝ දෙනා අතර පසුකාලීනව කතිකාවතක් ඇති වුණා. හොඳ පවුල් ජීවිතයක් ගත කළ දයාබර පියෙකු වූ නෙගී 1987 වසරේ දී දරුණු රිය අනතුරකට මුහුණ දෙනවා. සිඩ්නිහි දී සිදුවූ මෙම අනතුරෙන් ඔහුට සිය නම වැනි සුළු කරුණු කිහිපයක් හැර සිය මතකය සම්පූර්ණයෙන් අහිමි වෙනවා. ඔහුගේ පවුලේ උදවිය හා අනෙකුත් සමීපතමයින් ඕස්ට්‍රේලියාව පුරා සෙව්ව ද ඔවුනට නෙගී හමුවන්නේ නැහැ. මේ අතර මතකය අහිමි වූ නෙගී තමන් කවුදැ යි අමතකව සිඩ්නි නගරයේ වීථි පුරා ඇවිදිමින්, කුලී වැඩ කරමින් ජීවත් වුණා. ඔහු මියගොස් ඇතැ යි තීරණය කළ පොලීසිය එය නිළ වශයෙන් ප්‍රකාශ කරන්නට සූදානම් වුණා. එය ප්‍රකාශයට පත් කරන්නට යොදා තිබූ දිනයට සති දෙකකට පෙර නැවතත් ‘ගාබ්‍රියෙල් නැගී’ පිළිබඳ නිකමට සොයා බලන්නට ඔවුන් කටයුතු කළා. මෙහිදී ඔවුනට අහම්බයකින් ‘ගාබ්‍රියෙල් නැගී’ යන නම ඇති අයෙකු හරිහමන් රක්ෂාවක් නොමැතිව වීදි සරන බැව් දැනගන්නට ලැබෙනවා. ඒ ඔහු කුලී වැඩ සිදුකර දුන් අයෙකුගෙන් ඇසේ සුද ඉවත් කර ගැනීම සඳහා වෛද්‍ය වාර්තාවක් සකස් කර ගැනීමට සහය පැතීම නිසා යි. වහාම බලධාරීන් ඔහු සොයාගිය අතර එහිදී අනාවරණය වන්නේ ඒ ඇත්තෙන්ම අතුරුදන් වී සිටි ගාබ්‍රියෙල් නැගී බව යි. පවුලේ උදවිය හඳුන්වා දී, ඔහුගේ පැරණි මතකය ආවර්ජනය කිරීමට ඔවුන් කටයුතු කළ අතර ඉක්මණින්ම ඔහු යථා තත්ත්වයට පත් වුණා.

ජේසී ඩුගාර්ඩ්

ABC News

එකළොස් හැවිරිදි ඇමෙරිකානු දැරියක වූ ජේසී ඩුගාර්ඩ්, ෆිලිප් හා නැන්සි ගැරිඩෝ නම් යුවලක් විසින් පැහැරගනු ලබනවා. අනතුරුව ඇය 18 වසක් පුරාවට සමාජයෙන් වෙන් කොට සිරකර තබාගන්නට ඔවුන් සමත් වෙනවා. මේ අතර ෆිලිප්ට දාව දරුවන් දෙදෙනෙක් ද ජේසීට ලැබෙනවා.

2009 වසරේ දී ෆිලිප් ඔහුට දාව ඩුගාර්ඩ්හට උපන් දරුවන් දෙදෙනා බර්ක්ලි උසස් අධ්‍යාපන ආයතනයට රැගෙන එනවා. මේ වන විට ඔහු නීතිය ඉදිරියේ වරදකරුවකු වී, බන්ධනාගාර ගතව හිඳ, රජයේ සමාව ලබා නිදහස් වී සිටියා. එහිදී 15 හා 11 වියැතිව සිටි දරුවන් දෙදෙනාගේ හැසිරීමේ අසාමාන්‍යතාවක් නිරීක්ෂණය කළ එහි නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනය කිරීමට තීරණය කළා. මේ අනුව ගැරිඩෝ ලිංගික අතවර හේතුවෙන් සිරගතව, නිදහස ලැබූ අයෙකු බැව් ඔවුනට දැනගන්නට ලැබෙනවා. තවත් කරුණු සොයා බැලීමේ දී ඔහුට දරුවන් සිටින බවල් පොලිස් වාර්තාවල සඳහන් වී නොමැති බවත් ඔවුනට දැනගන්නට ලැබෙනවා. වහාම ක්‍රියාත්මක වන බර්ක්ලිහි නිලධාරීන් ඔහු හා දරුවන් දෙදෙනා පිළිබඳව පොලිසියට දන්වන අතර, ගැරිඩෝ පොලිස් භාරයට ගැනෙනවා. එහිදී අනාවරණය වූයේ මීට වසර 18කට පෙර අතුරුදන් වූ ජේසී ඩුගාර්ඩ් ඔහු හා ඔහුගේ බිරිය සන්තකයේ පසුවන බව යි. මීට අමතරව උක්ත දරුවන් දෙදෙනා ෆිලිප්ට දාව ඩුගාර්ඩ්ට ලැබුණු දරුවන් බව ද ඔවුනට අනාවරණය වෙනවා.

වහාම ගැරිඩෝ යුවලට එරෙහිව චෝදනා ගොනු කෙරුණු අතර ජේසී ඩුගාර්ඩ් හා ඇගේ දරුවන් දෙදෙනා අද වන විට නිදහසේ සමාජයේ ජීවත් වෙනවා.

කවරයේ පින්තූරය- abcnews.go.com

Related Articles