Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුඩා දරුවන්ගේ මාරයා – ලුයිස් ගැරවිටෝ

ලොව එතෙක් මෙතෙක් බිහිවූ දාම ඝාතකයින් අතරින් ලුයින් ගැරවිටෝ කෲරතම දාම ඝාතකයින් අතර ඉහළම ස්ථානයක සිටිනවා. වසර 7ක කාලය තුළ ඔහු අතින් ඝාතනය වූ පිරිමි දරුවන් ගණන 150 සිට 400 අතර ප්‍රමාණයක්!

“තිරිසන්” මිනිසා

කොලොම්බියාවේ පිටිසර පෙදෙසක, ඉතා දැඩි ආරක්ෂාව යටතේ පවතින සිර මැදිරි සංකීර්ණයක, අන්‍ය සිරකරුවන්ගෙන් වෙන් වූ කුටියක මිනිසෙකු රඳවා තිබෙනවා. ඔහු ලුවිස් ගැරවිටෝ යි. කුරිරු දාම ඝාතකයෙක් වූ ඔහු ‘තිරිසනා’ නම් ආරූඪ නාමයෙන් හඳුන්වනු ලබනවා.

මොහු මෙලෙස අන්‍යයන්ගෙන් වෙන්කොට රඳවා තිබෙන්නේ ඔහුගේම ආරක්ෂාවට යි. එමෙන්ම ඔහු විසින් ආහාරයට ගන්නේ තමන් හොඳින්ම හඳුනන අය විසින් ලබාදෙන ආහාරපාන පමණ යි. ඔහුගේ ආරක්ෂාව සඳහා කුටිය අවට රඳවා සිටින නිලධාරීන් පවසන්නේ ඔහු ඉතා ආචාරශීලී, නිස්කලංක දිවි පෙවෙතක් ගෙවන, ධනාත්මක චින්තනයක් සහිත අයෙකු බව යි. අනාගතයේ දේශපාලඥයෙකු වීමේ අටියෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව වූ පතපොත පවා පරිශීලනය කරන ඔහු මතු නිදහස් ලැබූ විට අපචාරවලට ලක් වූ ළමුන් හට පිහිට වන්නට අදහස් කරගෙන සිටිනවා.

ලුයිස් ගැරවිටෝ තුරුණු වියේ දී- Youtube

වර්තමානයේ ගැරවිටෝගේ අදහස් එසේ වුවත්, ඔහු මෙලෙස සිරගත වී සිටින්නේ කුඩා දරුවන් සිය ගණනක් අපචාරයට ලක්කොට මරාදැමීම හේතුවෙන් වීම සුවිශේෂී යි.

ලුයිස් ගැරවිටෝ ගේ අඳුරු අතීතය

ලුයිස් ගැරවිටෝ සිදුකළ අපචාර හා ඝාතන 1992 වසර දක්වා ඈතකට දිව යනවා. 1992 වසරේ සිට 1999 වසර දක්වා සත් වසරක කාලය තුළ ඔහු විසින් කෲර වධහිංසාවලට පමුණුවා ඝාතනය කරන ලද පිරිමි දරුවන් ප්‍රමාණය අවම වශයෙන් 100ක් වත් වනවා. සමහර වාර්තාවන්වලට අනුව එම ප්‍රමාණය 400ක් පමණ විය හැකියි. ඔහුට ගොදුරු වූ දරුවන් සියළු දෙනා වයස 6 සිට 16 දක්වා වූ අය වන අතර, නිල වශයෙන් ඔහු විසින් සිදුකෙරුණු ඝාතන ගණන 138ක්. මේ සියල්ල ඔහු අධිකරණය හමුවේ පාපොච්ඡාරණය කළ ඒවා වෙනවා. කෙසේ නමුත් ඔහු සිදුකළ ඝාතන ප්‍රමාණය ඊට වඩා බොහෝ වැඩි බැව් සැක කළ පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.

1992 වසර වන විට කොලොම්බියාව වසර ගණනාවක් පැවති සිවිල් යුද්ධයකට මැදි වී සිටියා. 1960 දශකයේ ආරම්භ වූ මේ යුද්ධය නිසා දහස් ගණන් කොලොම්බියා වැසියන්ට උන් හිටි තැන් අහිමි වූ අතර, වීදිවලට වී සිය ජීවිතය ගැටගසාගන්නට ඔවුනට සිදුවුණා.

සිවිල් යුද්ධය හේතුවෙන් සිය නවාතැන් අහිමි වූ බහුතරය කුඩා දරුවන් වුණා. මොවුන්ගේ දෙමාපියන් මියගොස් සිටි අතර, ඔවුන් උපද්‍රවවලට ලක්වන්නේ දැයි සොයා බලන්නට කිසිවෙකු සිටියේ නැහැ. මේ හේතුවෙන් විවිධ හේතූන් අරබයා කුඩා දරුවන් ‘දඩයම් කරන්නවුන්’ හට ඔවුන් ඉතා පහසු ඉලක්ක වුණා.

ලුවිස් ගැරවිටෝ ඉහත ‘අවස්ථාව’ කලක සිට හොඳින් අධ්‍යයනය කර තිබුණා. කවදත් කුඩා පිරිමි දරුවන් කෙරෙහි ආකර්ශනය වී සිටි ඔහු හට සිය මනදොල සපුරාගන්නට මේ පරිසරය ඉතා හිතකර එකක් බැව් ප්‍රත්‍යක්ෂ වී තිබුණා. මවුපියන් දෙදෙනාම අහිමිව, ඉතා අසරණව සිටි කුඩා පිරිමි දරුවන් පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටි ඔහු ඔවුන් වෙත ගොස්, රසකැවිලි දෙන බැව් පවසා හෝ, මඳක් මුහුකුරා ගිය දරුවන්ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන් අන් අයගේ ඇස් මානයෙන් ඉවතට ගෙනයාමට කටයුතු කළා. විවිධ වේශයන් ආරෝපණය කොටගෙන ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගැන්මට ඔහු සමත් වූ නිසා සිතුවාට වඩා එම කාර්යය පහසු වුණා. යමෙකුට සැකයක් නොසිතෙනු වස් එක් වරක් වෙස්වලාගත් ‘වේශය’ නැවත ආරෝපණය කර නොගැනීමට ඔහු ප්‍රවේශම් වුණා. පූජකයෙක්, ගොවියෙක්, වෙළෙන්දෙක් ඔහු ආරෝපණය කරගත් චරිත අතරින් කිහිපයක් වෙනවා.

ගැරවිටෝ ගේ ගොදුරක අවශේෂ- Youtube

ගොදුරක් ඩැහැගන්නට ගැරවිටෝ සෑමවිටම පාහේ භාවිතා කළේ එකම ක්‍රමවේදයක්. දරුවා පසෙකට ගෙනගිය පසු ගැරවිටෝ කෙටි වේලාවක් ඔහු හා සුහදව කතා කරනවා. මෙහිදී ඔහුගේ ජීවිතය පිළිබඳ කතා කරන්නට පටන්ගන්නා ඔහු දරුවා වෙහෙස වන තුරු ඇවිද්දවන්නට වග බලාගන්නවා. අනතුරුව නිසි වේලාව බලා ඔහු දරුවා වෙත කඩාපැන පහර දෙනවා. දරුවාගේ දෑත් බැඳ දමන ඔහු අනතුරුව අමානුෂික අයුරින් ඔහුට අඩන්තේට්ටම් කර අවසන මරාදමනවා.

ලුයිස් ගැරවිටෝ ගේ අඩන්තේට්ටම් කෙතරම් දරුණු වී ද යත්, ඔහුගේ සමහර ගොදුරුවල සිරුරේ බොහෝ තැන්වල ගැඹුරට කා වැදී තිබූ දත් පහරවල් දක්නට ලැබුණා. මීට අමතරව ගුද මාර්ගය ද ඉරී ගොස් තිබුණා. ගැරවිටෝ තමන් ගොදුරු කරගත් දරුවන් කිහිපදෙනෙක්ගේම ලිංගය කපා එය ඔහුගේම මුවේ රුවා දමන්නට තරම් සැහැසි වී තිබුණා. තවත් සිරුරු කිහිපයක් කැබලි කර තිබුණා.

හසුවීම

ලුවිස් ගැරවිටෝ වසර 5ක පමණ කාලයක් නීතියේ රැහැනට හසු නොවී ඝාතනයන් හා අපචාර ක්‍රියා සිදුකළා. කෙසේ නමුත් 1997 වසර වන විට පොලිසියට ඔහු පිළිබඳව ඉව වැටුණා. ඒ වන විටත් කුඩා දරුවන් ඝාතනය කරන අයෙකු ප්‍රදේශයේ සැරිසරන බවට ඔවුනට ප්‍රත්‍යක්ෂ වී තිබුණත් ඒ ගැරවිටෝ බව කිසිවෙක් දැන සිටියේ නැහැ. ඔහුගේ ශාන්ත රූප සොබාව නිසා කිසිවෙකුත් ඔහු ඊට සැක කළේ නැහැ. කෙසේ නමුත් අඩන්තේට්ටම් කර මරා දැමූ දරුවන් තිදෙනෙකු වැටී සිටි පරිශ්‍රයේ තිබී හමුවූ, මිනිමරුවා අතින් වැරදීමකින් වැටී තිබූ කොළ කැබැල්ලක් නිසා සියල්ල උඩු යටිකුරු වෙනවා. එම කොළ කැබැල්ල ගැරවිටෝ ගේ ඒ වන විට පෙම්වතියව සිටි අයගේ ලිපිනය සහිත එකක් වුණා. ඒ අනුව ගිය පොලිසියට පෙනී යන්නේ මේ ඝාතන පසුපස සිටින්නේ ගැරවිටෝ බව යි. ගැරවිටෝගේ පෙම්වතියගේ නිවසේ තිබී ඔහු සිදුකළ ඝාතන බහුතරයක් පිළිබඳව වූ සටහන් පොතක් නිසා ගැරවිටෝ තමන් සිටියාට වඩා ඉතා දරුණු අයෙක් බව කොලොම්බියානු පොලිසියට දැනගන්නට ලැබෙනවා. තමන් පසුපස පොලිසිය පැමිණෙන බැව් වටහාගත් ගැරවිටෝ ඔවුන්ට වසන්වීමට උත්සාහ කරනවා. යම් කාලයක් යනතුරු නැවත සමාජය හමුවේ පෙනී නොසිටින්නට ඔහු තීරණය කරනවා.

ගැරවිටෝ සිරගතව විටින විට- sybyluv.slcbrand.com

මෙලෙස යම් කාලයක් ගත වූ පසුත් ඔහු අල්ලාගන්නට පොලිසියට හැකි නොවූ අතර, ඔවුන් වෙනතක සිය අවධානය යොමා ඇතැයි උපකල්පනය කළ ගැරවිටෝ, තමන් හුන් තැනින් ඉවතට පැමිණ නැවත සිය ‘විනෝදාංශයේ’ යෙදෙන්නට ගන්නවා. කෙසේ නමුත් කුඩා දරුවෙකුට ලිංගික අතවර කරන්නට යාමේ දී ඒ අවට මිනිසුන් අතට ඔහු හසුවන අතර ඔවුන් ඔහු පොලිසියට භාර දෙන්නේ එම සිද්ධිය මුල් කරගෙන යි. කරුණු එසේ වූවත් පොලිසියට අවසන පෙනී ගියේ මෙලෙස තමන් සන්තකයට පත්වී ඇත්තේ හුදු සාමාන්‍ය මිනිසෙකු නොව ලුයිස් ගැරවිටෝ බව යි. පොලිස් බලපෑම් හමුවේ තමන් කළ අපරාධ පිළිබඳව පාපොච්ඡාරණය කරන්නට පෙළැඹෙන ඔහු, අපචාරවලින් පසු තමන් සිය සමහර ගොදුරු වල දැමූ ස්ථාන පවා පෙන්වන්නට ඉදිරිපත් වුණා. එහීදී ඔහු විසින් සිදුකළ මිනිමැරුම් ගණන සියයකට අධික බව කාට කාටත් ප්‍රත්‍යක්ෂ වෙනවා.

කොලොම්බියානු නීතියට අනුව මිනිමැරුමකට පැවරිය හැකි උපරිම දඬුවම වන්නේ වසර 13ක සිරදඬුවමකු යි. මේ අගය එක් මිනිමැරුමක් සම්බන්ධයෙන් වෙන අතර, කොලොම්බියානු නීතිය අනුව ළමා අපචාරකයෙකුට වසර 60ක් වැනි දීර්ඝ සිරදඬුවමක් ලැබෙනවා. මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ගැරවිටෝට වසර 1853ක සිරදඬුවම් හිමිවෙනවා. කෙසේ නමුත් පොලිසියට සහයෝගය දැක්වීම හා නීතියේ තවත් හිඩැස් කිහිපයක් නිසා ඔහුට හිමිවූ දඬුවම පසුකාලීනව වසර 22කට අඩු කෙරෙනවා.

වර්තමානය වන විට ගැරවිටෝ මඳක් වියපත්ව, නමුත් ශක්තිමත්ව කොලොම්බියාවේ සිර කොටුවට වී කාලය ගතකරනවා. 2021 වසරේ දී ඔහුට නිදහස ලැබීමට නියමිත යි.

Related Articles