කාර්ප් ලයිකොව් සිය පවුලේ සාමාජිකයින් ද කැටුව මිනිස් වාසයෙන් ඈතට ගොස්, සයිබීරියානු වන මැද තනිවම වාසය කිරීමට තීරණය කරන්නේ 1936 වසරේ දී යි. මේ වන විට දෙවන ලෝක යුද්ධයවත් නියමාකාරයෙන් ආරම්භ වී තිබුණේ නැහැ. ඉන් වසර 42කට පසු ඔවුන් වනයෙන් ඉවතට පැමිණෙන විට ලෝකය බොහෝ සෙයින් වෙනස් වී තිබුණා.

අහඹු හමුවීමක්

1978 වසරේ දිනෙක හෙලිකොප්ටර් යානයක් සයිබීරියානු තැන්නේ වූ වනගත පෙදෙසකට ඉහළින් ගමන් කරමින් තිබුණා. මෙය සම්පූර්ණයෙන් ජනශුන්‍ය පෙදෙසක් ලෙස සැලකුණු අතර යානයේ නියමුවා එක්වරම දුටු යමක් නිසා ඔහුගේ සිතෙහි යම් කුකුසක් උපන්නා.

උස් කඳුකරයක් පසු කරමින් සිටි ඔහු එහි වූ මඳක් බෑවුමෙන් අඩු බිමක් වෙත ප්‍රවිෂ්ඨ වෙමින් සිටි අතර, එක් වරම ඔහු දකින්නේ එම බිමෙහි ස්ථානයක ලියැදි බැඳ ඇති ආකාරය යි. මෙයට ජලය ලැබෙන ලෙස කුඩා ඇල මාර්ගයක් ද කපා තිබුණා. ඒ ආසන්නයේ මඩුවක් වැනි යමක් ද දිස් වුණා. පැහැදිලිවම මෙහි යමෙක් වෙසෙන බැව් ඔහුට ප්‍රත්‍යක්ෂ වූ අතර, ඔහු ඒ පිළිබඳ විමසිලිමත් වුණා.

නියමුවා දුටු ලියැදි හා මඩුව- Smithsonian

මෙම කඳුකරය ආසන්නතම ජනාවාසය පිහිටා තිබුණේ ඊට සැතපුම් 150කටත් වඩා දුරිනු යි. මේ පෙදෙසේ කිසිදු ජනාවාසයක් ඇති බවට කිසිදු ලියකියැවිල්ලක සටහන්ව තිබුණේ නැහැ. උක්ත හෙලිකොප්ටරය යවා තිබුණේ රුසියානු භූගර්භ විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනු යි. ඒ එම පෙදෙසේ යපස් නිධි ඇති බවට අනුමාන කිරීමෙන් පසු, කණ්ඩායමක් ගොඩබැස්සවීමට සුදුසු ස්ථානයක් සෙවීම සඳහා යි. මෙම ලියැද්ද හා ඇළ මාර්ගය දුටු වහාම හෙලිකොප්ටරයේ නියමුවා ඒ පිළිබඳව උක්ත විද්‍යාඥයින් දැනුවත් කළා. මේ අනුව එය පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායමක් එහි යැවීමට ඔවුන් තීරණය කළා.

වන මැද දිවි ගෙවූ පවුල

හෙලිකොප්ටර් නියමුවාගේ මඟ පෙන්වීම යටතේ උක්ත ස්ථානයට කණ්ඩායමක් ළඟා වූ අතර ඔවුනට හමුවන්නේ ඇළ මාර්ගයක් අසල තනන ලද තරමක් විශාල මඩුවකුයි. මෙම මඩුව එක් කමරයකින් පමණක් සමන්විත වූ අතර, එය තෙත බරිත, ශීතල හා අඳුරු එකක් වුණා. මෙහි බිම සකස් කර තිබුණේ අර්තාපල් පොත්තෙන් හා පයින් ඇටවල ලෙල්ලෙනු යි. සයිබීරියාවේ දේශගුණික තත්ත්ව සැලකීමේ දී මෙහි යමෙක් ජීවත් වූවායැ යි යන්නත් ඔවුනට අදහාගත නොහැකි වුණා.

කාප් ලයිකොව්- arthusiast.art

කෙසේ නමුත් එහි පුද්ගලයින් පස් දෙනෙකු දිවි ගෙවමින් සිටියා! ඔවුන් සියළු දෙනා මිත්‍රශීලීව පැහැදිළි රුසියානු බසින් විද්‍යාඥයින් ඇමතීමත් සමග විද්‍යාඥයින් වටහා ගත්තේ ඔවුන් සාමාන්‍ය රුසියානු ජාතිකයින් වන බව යි. පස් දෙනාම එක් පවුලකට අයත් වූ අතර එහි ප්‍රධානියා ලෙස පෙනී සිටි කාප් ලයිකොව් නම් අයෙක් තම පවුල ඔවුනට හඳුන්වා දුන්නා. ඔහුගේ එක් දියණියක වූයේ ඇගෆියා ලයිකොව්නා නැමැත්තිය යි. ඔවුන් ඔවුන්ගේ අසමසම කතා ප්‍රවෘත්තිය බිඳෙන් බිඳ විද්‍යාඥයින් හමුවේ දිගහරින්නට වුණා.

අතීත කතාව

ලයිකොව් පවුලේ ප්‍රධානියා වන කාප් සාම්ප්‍රදායික ඕතඩොක්ස් ක්‍රිස්තියානුවෙක් වුණා. 1917 වසරේ දී නිරාගමික මත දැරූ බොල්ෂෙවික්වාදීන් රුසියාවේ බලය තහවුරු කරගැනීමත් සමග, කාප් වැන්නවුන්ට විවිධ කම්කටොළුවලට මුහුණ දෙන්නට සිදුවුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොල්ෂෙවික්වරුන් අතින් කාප්ගේ සොහොයුරා ඝාතනය වෙනවා. ඒ 1936 වසරේ දී යි. එන පොට හොඳ නැති බැව් වටහා ගත් කාප් වහාම සිය පවුල ද කැටුව වනගත වෙනවා. කාප් සමග ඔහුගේ බිරිඳ අකුලිනා හා දරුවන් දෙදෙනා වන නටාලියා හා සැවින් ද වනගත වුණා. සයිබීරියානු වනයේ ඉතා රහසිගත පෙදෙසක් ජීවත් වීම සඳහා ඔවුන් විසින් තෝරාගත් අතර, එහිදී එම යුවලට දිමිත්‍රි හා ඇගෆියා නම් තවත් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ ආකාරයට ඔවුන් වසර 42ක කාලයක් කල් ගත කළා. 1978 වසරේ දී භූගර්භ විද්‍යාඥයින් ඔවුන්ගේ පරිශ්‍රයට පැමිණෙන තුරු කණිටු දරුවන් දෙදෙනා තම පවුලේ සාමාජිකයින්ගෙන් පරිබාහිර කිසිදු මිනිසෙක් දැක තිබුණේ නැහැ.

දකුණේ සිට ඇගෆියා, දිමිත්‍රි හා කාප් භූගර්භ විද්‍යාඥවරියක් සමග- Smithsonian

ශීතල සයිබීරියාවේ වනගත පෙදෙසක, ශීතලෙන් ආරක්ෂා වීම සඳහා හරිහැටි ආවරණයක් නොමැතිව කල්ගත කිරීම ඔවුනට ඉතා අපහසු වී තිබුණා. ගෝනි රෙදිවලින් ඇඳුම් මසාගත් ඔවුන් බර්ච් පොතුවලින් පාවහන් ද නිපදවා ගත්තා. ගින්දර නිපදවගැනීමත් ඉතා උගහට වූ බැවින් ආහාර පිසීම ද ගැටළුවක් වුණා. 1961 වසරේ දී ඔවුන්ගේ ගොවිබිම හිම කුණාටුවක් නිසා විනාශ වූ අතර, සිය පාවහන් හා වෙනත් ගස්වල පොතු කමින් දිවි ගැටගසාගන්නට ඔවුනට සිදු වුණා. මෙහිදී අකුලිනා සිය සැමියා හා දරුවන් හට ඉතිරි වී තිබූ ආහාර ලබා දී, කුසගින්නේ මියයාමට තීරණය කළා.

වන රජදහන

භූගර්භ ව්ද්‍යාඥයින් ලයිකොව් හා දරුවන් සමග කුළුපග වුව ද ඔවුන් සිය නිවස අත්හැර ඒමට කැමති වූයේ නැහැ. ඔවුන්ට එහි ජීවිතය හොඳින්ම හුරු වී තිබුණා. ඔවුන් 1930 දශකයෙන් පසු මෙලොව බිහිවූ කිසිදු උපකරණයක් දැක තිබුණේ නැහැ. එමෙන්ම දෙවන ලෝක යුද්ධය වැනි දේ පිළිබඳ අසා තිබුණේත් නැහැ. මුල දී ඔවුන් විද්‍යාඥයින් ලබා දුන් දේවලින් පිළිගත්තේ ලුණු පමණ යි. අනතුරුව පිහි, ධාන්‍ය, පෑන්, කඩදාසි හා විදුලි පන්දම් වැනි දේ ද ඔවුන් පිළිගත්තා.

1981 වසරේ දී ලයිකොව් පවුලට කණකොකා හැඬුවා. ඒ එහි දරුවන් තිදෙනෙකුම දින කිහිපයක් තුළ මියයාම නිසා යි. දිමිත්‍රි හට නියුමෝනියාව වැළඳී තිබූ අතර, ඔහු ගුවන් මඟින් රෝහල වෙත ගෙන එන්නට තනද්දී හේ එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.

ඇගෆියා හා කාප්- Smithsonian

මේ මරණ සමග සමහරෙක් එහි ළඟා වූ විද්‍යාඥයින් හට චෝදනා කළේ ඔවුන් සමග විෂබීජ ද එහි යන්නට ඇති බව යි. මෙතෙක් කල් නීරෝගීව සිටි ඔවුන් හදිසියේ මියගියේ එබැවින් බැව් ඔවුන් පවසන්නට වුණා. කෙසේ නමුත් පසුව ඔප්පු වූයේ සැවින් හා නටාලියා යන දෙදෙනාම දීර්ඝ කාලීනව වකුගඩු ආබාධවලින් පෙළී ඇති බව යි.

අවසානය

දරුවන් තිදෙනෙක් මියයාම සමග වනයේ වූ නිවසේ ඉතිරි වූයේ කණිටු දියනිය ඇගෆියා හා කාප් පමණ යි. කාප් 1988 වසරේ දී මියයාමත් සමග මේ අපූර්ව පවුලේ ජීවතුන් අතර සිටින එකම සාමාජිකයා බවට ඇගෆියා පත් වුණා. ඇය ද තනිව සිටීම වඩා ප්‍රිය කළ අතර තමන් හුන් නිවස්නය හැරපියා පැමිණීම ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් අවට සමාජය සමග සම්බන්දතා පැවැත්වූ ඇය විටින් විට සිය නිවස්නයෙන් පිටතට 'සංචාරය' කළා. කාලයක් භූගර්භ විද්‍යාඥයෙකු වන යෙරොෆෙයි සෙදොව් ද එහි නතර වී සිටි අතර ඔහු 2015 වසරේ දී මියගියා.

ඇගෆියා අද- Iliya Pitalev/Sputnik

2016 වසරේ දී එවකට 71 වියැතිව සිටි ඇය ගුවන් මඟින් රෝහලක් කරා ගෙන ආවේ පාදයක ඇති වූ ආබාධයකට ප්‍රතිකාර කරන්නට යි. එවර ද බොහෝ දෙනා ඇයට නැවත වනයට නොයන ලෙස ඇවිටිලි කළ මුත් ඇය ඊට කන් නොදී නැවත එහි ගියා. අදටත් ඇය 75 හැවිරිදි වයෝවෘධ කාන්තාවක් ලෙස සිය 'වන රජදහනේ' වෙසෙනවා.

කවරයේ පින්තූරය- pinterest.com

මූලාශ්‍රයයන්

Rbth.com

Smithsonianmag.com

Allthatsinteresting.com

Boredpanda.com