Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් රුධිරයෙහි පිපුණු ‘මැජික් හතු’

විවිධාකාරයේ රෝගාබාධවලට සුදුසු යැයි ව්‍යවහාරයේ පවතින ‘ගොඩ වෙදකම්’ ලොව පුරා විවිධ රටවල ජනයා භාවිත කරනවා. ඇතැම්විට නිසි විද්‍යාත්මක හෝ ආයුර්වේදික පදනමක් සහිත මෙන් ම ඇතැම්විට රහිත මෙම ගොඩ වෙදකම් සමහරක් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙද්දී, තවත් සමහරක් විශාල ගැටලුවලට මුල පිරූ අවස්ථා ද ඉතිහාසය පුරා දැකගත හැකි වෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයෙහි නෙබ්‍රස්කා ප්‍රාන්තයේ අයකුට මෑතකදී මෙවැනි අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවුණා. සිය රුධිරයේ ‘හතු පිපීම’ නිසා ඔහුගේ ජීවිතය ගැළවුණේ අනූ නවයෙන්.

 මැජික් හතු- farmer images/Getty Images 

 

මැජික් හතු රුධිරයට ඇතුළු වූ හැටි

අමෙරිකා එක්සත් ජනපදයෙහි සමහර පෙදෙස්වල හොඳින් වැවෙන ‘මැජික් හතු’ නම් හතු විශේෂයේ ක්‍රියාකාරී සංඝටකය වන සයිලොසයිබින් මානසික පීඩනය වැනි මානසික තත්ව හෝ රෝගවලට එරෙහි හොඳ ප්‍රතිකාරයක් බව සනාථ වී තිබෙනවා. ඒවා නිසි පමණින් භාවිත කර සමහරක් ජනයා සිය මානසික පීඩනය දුරලාගත්තත්, නෙබ්‍රස්කා හි වෙසෙන, තිස් වියැති, ද්වීධ්‍රැවීය මානසික තත්ත්වයක් (Bipolar Disorder) ඇති මිනිසකුට ඉක්මන් ප්‍රතිඵල අවශ්‍ය වී, එහි ඉක්මන් ක්‍රියාකාරීත්වය උදෙසා සිය ශරීරයට එන්නත් කරගෙන තිබුණා. 

ඉන් ටික දිනකට පසුව ඔහුට පාචනය, ඔක්කාරය සහ විඩාකාරී බව ඇති වූ අතර, ඉක්මනින් ම ඔහුගේ සම කහ පැහැ වී ලේ වමනය ද යන්නට පටන් ගත්තා. තත්වය දිනෙන් දින් අවුලෙන් අවුලට පත් වූ අතර, ඔහුගේ අසනීප තත්වය තවත් වර්ධනය වී ශරීර ඉඳුරන් එකින් එක ක්‍රියා විරහිත වන්නට පටන් ගත්තා. රෝගියා වහාම රෝහකට ඇතුළත් කළ පසු අනාවරණය වූයේ ඔහුගේ රුධිරයේ ‘මැජික් හතු’ වැවෙන්නට පටන්ගෙන ඇති බව යි.

 සයිලොසයිබින් හි රසායනික ව්‍යුහය- vectorstock.com 

 

මරු තුරුළට ගොස් නැවත පැමිණීම

ඒ මිනිසා රෝහල් ගත කිරීමෙන් අනතුරු ව ඔහුගේ තත්ත්වය ඉතා භයානක බැව් වටහා ගත් වෛද්‍යවරුන් වහා ම ඔහු ස්වසනාධාරක වෙත යොමු කළා. ඔහු එහි සති තුනකට වඩා කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ අතර අවසානයේ හතු නිසා ඔහුගේ රුධිරයට එක් වූ විෂ සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වුණා. මෙම මිනිසා සිය මානසික රෝගී තත්ත්වය වෙනුවෙන් භාවිත කරන මෝෆීන් වැනි ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ වලින් තැවුලට පත්ව සිට ඇති අතර, ඒ හේතුවෙන් යම් විකල්පයක් සොයමින් සිට තිබෙනවා. 

අනතුරුව ඔහු මැජික් හතු පිළිබඳව දැනගෙන ඇති අතර, ඒවා සොයා ගෙන, තලපයක් වන තුරු රත් කොට සිය ශරීරයට එන්නත් කරගෙන තිබෙනවා. ඔහු ඒවා එන්නත් කරගෙන ඇත්තේ සිය රුධිර සංසරණ පද්ධතියට  කෙළින් ම ඇතුළු වන පරිදි යි.

මැජික් හතු එන්නත් කරගැනීමෙන් දින කිහිපයකට පසු ඔහු කෙරෙන් රෝග ලක්ෂණ මතු වී ඇති අතර, ක්‍රම ක්‍රමයෙන් ඒවා බලවත් වී තිබෙනවා. මින් බියපත් වූ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරු ව දින අටක් දැඩිසත්කාර ඒකකයේ සිට තිබෙන්නේ සිහිසුන් ව යි. ඔහු රෝහල් ගත කරන අවස්ථාව වන විටත් යම් පමණකට ඔහුගේ වකුගඩු හා අක්මාව හතුවල බීජාණු හේතුවෙන් අකර්මණ්‍ය වී තිබුණා.

 හතුවලින් සයිලොසයිබින් නිස්සාරණය කොට ඖෂධ නිපදවෙනවා- adf.org.au

 

රෝහලට ඇතුළත් කරන මොහොතේ දී වෛද්‍යවරුන් සැක කළේ ඔහුට යම් ආසාදනයක් සිදු වී ඇති බව යි. මේ අනුව පරීක්ෂණයක් සිදු කෙරුණු අතර, එහිදී ඔප්පු වූයේ ඔහුට බ්‍රෙවියාබැසිලස් නම් බැක්ටීරියා ආසාදනය හා සයිලොසයිබ් කියුබන්සිස් හෙවත් මැජික් හතු ආසාදනය යන දෙක ම සිදුවී ඇති බව යි. මෙම මැජික් හතු ‘ආසාදනය’ බොහෝ වෛද්‍යවරුන්ගේ දෙබැම රැළි ගැන්වූ අතර, ඉන් ගම්‍ය වූයේ මැජික් හතු මෙම මිනිසාගේ රුධිරයෙහි ප්‍රරෝහණය වී ගුණනය වෙමින් පවතින බව යි. මෙය මීට පෙර වෛද්‍ය විද්‍යාත්මක ව අත් නොවිඳි දෙයක් වුණා.

රෝගියාගේ පෙනහළු ද අකර්මණ්‍ය තත්වයක් පෙන්වීම නිසා ඔහුට ස්වසනාධාරක ලබා දීම සිදු වූ අතර, ඒ වන විටත් ඔහුගේ පෙනහළ වල තරළ පිරෙමින් තිබුණු බව අනාවරණය ව තිබෙනවා. මෙය ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් හතුවලට පහරදීම නිසා සිදුවෙමින් පැවතුණු සංසිද්ධියක් වුණා.  ප්‍රතිජීවක ශරීරගත කිරීම වහාම ආරම්භ වුණු අතර, අවසානයේ ඔහුගේ දිවි බේරුණේ දින 22 ක මහන්සියකින් පසුව යි.

සයිලොසයිබින් නම් ක්‍රියාකාරී සංඝටකය

සයිලොසයිබින් නම් ක්‍රියාකාරී සංඝටකය මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග කිහිපයකින් ම හමු වෙනවා. මේ හතු පිළියෙළ කර ආහාරයට ගැනීම හෝ තේ වැනි දේ සමග මිශ්‍ර කර පානය කිරීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. විද්‍යාත්මක පර්යේෂණ කිහිපයකින් ම ඔප්පු වී ඇති අන්දමට සයිලොසයිබින් මානසික ආතතිය හා පීඩනය වැනි තත්ත්ව සමනය කර ගැනීමට මාහැඟි සංඝටකයක් වෙනවා. නිව්යෝක් හා ජෝන්ස් හොප්කින්ස් යන විශ්වවිද්‍යාලවල සිදු කළ අධ්‍යයනවලට අනුව මෙම සංඝටකය පිළිකා රෝගීන්ගේ මරණ බිය අඩු කර ඔවුන්ගේ මානසික සුවය වැඩිදියුණු කර, ජීවන තත්ත්වය උසස් කරන බව හඳුනාගෙන තිබෙනවා. 

සයිලොසයිබින් ඇතුළත් ඖෂධ වර්ග – www.theguardian.com 

 

මේ අනුව සයිලොසයිබින් ඇතුළත් ඖෂධ වර්ගත් නිපැද වී ඇති අතර ඒවා මුඛ මාර්ගයෙන් ශරීරගත කෙරෙන ලෙස බොහෝවිට සකස් වී තිබෙනවා. පසුකාලීන ව මින් එන්නතක් ද නිපැදවුණු මුත් එහිදී එන්නත් කරන්නේ සයිලොසයිබින් සංඝටකය හතුවල අනෙක් දේවලින් වෙන් කර ගෙන විනා එහි බීජාණු, මයිසීලියම් වැනි දේ සමඟින් නොවේ. උක්ත නෙබ්‍රස්කා වැසියාට සියල්ල වැරදී ගියේ ඔහු සම්පූර්ණ වශයෙන් මැජික් හතු දිය කර, එය එන්නත් කරගත් නිසා යි. මෙහිදී ඔහු එම ද්‍රාවණය පුළුන් කැබලි ආධාරයෙන් පෙරා ඇති මුත්, එය නිසි ලෙස පෙරී නැහැ. කොටින් ම ඔහු එන්නත් කරගෙන් ඇත්තේ මෙම හතු, වගා මාධ්‍යයක රෝපණය කර ගැනීමට අවශ්‍ය වූ විට එය සිදු කරන ආකාරයේ මිශ්‍රණයකු යි.

පසුවදන

මැජික් හතු එන්නත් කරගත් මිනිසා කෙටි කලකට පසු සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. ගොඩ වෙදකමක් හිතුමතේ උත්සාහ කරන්නට යාම නිසා ඔහු මරණයේ එළිපත්තට ම ගොස් නැවත ජීවත් වීමේ වාසනාව ලැබුවේ, ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙනු යි.

කවරයේ ඡායාරූපය - මැජික් හතු - www.verywellmind.com 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Livescience.com

Globalnews.ca

Related Articles