Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහවැලියේ පංච මහා ජලාශ – මාදුරු ඔයේ සිට මොරගහකන්දට

“අපි අධිෂ්ඨානය කරගෙන ඉන්නවා මේ අවුරුදු පහ ඉවර වෙන්න ප්‍රථම මේ ලංකාවට උවමනා කරන හාල් ඔක්කොම අපේ ගොවියාගේ, ගම් වැසියාගේ ආධාර ඇතිව මේ රටේම නිපදවන්න. තමුන්නාසේලා දන්නා එක් කාරණයක් තමයි, මහවැලි ගඟ ව්‍යාපාරය. ඒ ව්‍යාපාරයේ මුළු කාලයත්, අපි අවුරුදුවලින් ගණන් කරොත් අවුරුදු 30ක් යනවා අවසන් කරන්න. අපි තීරණයක් අරන් තියෙනවා,අවුරුදු 30කින් නෙවේ, පුලුවන්නම් අවුරුදු 6කින් අවසන් කරන්න. එහෙනම් අපිට ලක්ෂ 10කට රක්ෂාවල් දෙන්න පුළුවන්. ලක්ෂ 10කට කුඹුරු වගාකරන්න පුළුවන්. අපේ ලංකාවට උවමනා කරන ජල විදුලිය දෙගුණයකින් වැඩි වෙනවා.”

(1974 පෙබරවාරි 4 – කොත්මලා උදානය – ප්‍රවෘත්ති අංශය – මහවැලි සංවර්ධන අමාත්‍යංශය)

ඒ කඩිනම් මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 1979 වසරේ පෙබරවාරි 4 වන දින කොත්මලා ජලාශයට මුල්ගල  තබන විට එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන දැක්වූ අදහසක්. කාලයක් අක්‍රියව පැවති මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නැවතත් “කඩිනම් මහවැලිය” ලෙස නම් කර වසර 30කින් පමණ නිමා කිරීමට තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 5ක 6ක කාල සීමාවක් තුළ නිමා කිරීමට 1977 දී බලයට පත් වූ ජේ. ආර් ආණ්ඩුව තීරණය කරනවා. 

ඒ ඔස්සේ “පංච මහා ජලාශ” නමින් ජලාශ පහක් සෑදීමටත් ඒ ඔස්සේ වගාවට අවශ්‍ය ජලය හා ජාතික විදුලි පද්ධතියට අවශ්‍ය විදුලි ශක්තිය ලබා ගැනීමත් තීරණය කෙරෙනවා. මාදුරුඔය හා වික්ටෝරියා ජලාශය නිර්මාණ කිරීමෙන් පංච මහා ජලාශ නිර්මාණය ආරම්භ වෙන අතර එය නිමාවට පත් වෙන්නේ මෑත කාලයේ ඉදි වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියත් සමග යි.

මහවැලිය, කඩිනම් මහවැලි වීම 

පොල්ගොල්ල (dailynews.lk)

මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉතිහාසය 1940 ගණන්වලට දිවෙන අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම ආයතනය (FAO) වැනි ජාත්‍යන්තර ආයතනවල නිර්දේශ මත මේ ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) සිදුවෙනවා. බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණු වන්නේ වගාවට අවශ්‍ය ජලය ලබාගෙන වී ගොවිතැන ප්‍රමුඛ අනෙකුත් වගාවන් සාර්ථක කර ගැනීම හා ජාතික විදුලි බල පද්ධතියේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම යි. 

ඒ අනුව මහවැලි ව්‍යාපෘතියේ පළමු ජලාශය සඳහා මුල්ගල තැබෙන්නේ 1970 වසරේ පෙබරවාරි 28 වන දින යි. ඒ සඳහා මුල් වී කටයුතු කරන්නේ එවකට අගමැති ඩඩ්ලි සේනානායක හා මහවැලි විෂයය භාර ආමාත්‍යවරයා වන සි.පී ද සිල්වා යි. නමුත් 1970 වසරේ මුල් භාගයේ පැවති මහා මැතිවරණයෙන් පසුව ඩඩ්ලි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙන බැවින් 1976 වසරේ දී එම ජලාශය විවෘත කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය හා එවකට මහවැලි විෂයයභාර ඇමතිවරයා වන මෛත්‍රිපාල සේනානායක විසින්. නමුත් ශ්‍රී ලංකා රජය මුහුණ දුන් මූල්‍ය අර්බුදය, ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රවල නිලධාරීන් හිඟ වීම වැනි කරුණු හේතුවෙන් මහවැලිය ඉන් ඉදිරියට කරගෙන යාමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරනවා.

පංච මහා ජලාශ සංකල්පය 

කඩිනම් මහවැලියේ ඇමතිවරයා – ගාමිණි දිසානායක (wikimedia.org)

1977 වසරේ බලයට පත්වෙන ජේ.ආර් ජයවර්ධන වසර තිස් ගණනක මහවැලි ව්‍යාපෘතිය තම ආණ්ඩුව යටතේ “කඩිනම් මහවැලි ව්‍යාපෘතිය” ලෙස නම් කර වසර හයක් තුළ නිමාකර අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට අදහස් කරනවා. ඉන් පසුව ඒ සඳහා මහවැලි අමාත්‍යංශයක් වෙනම නිර්මාණය කරන අතර ව්‍යාපෘතියේ දේශපාලනික නායකත්වය ගාමිණි දිසානායක වෙත පවරනවා. ඉංජිනේරු නායකත්වය පවරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ නව නිපැයුම්කරුවෙක් ලෙස නමක් දිනාගත් ඉංජිනේරු A.N.S කුලසිංහට යි.

ඉංජිනේරු A.N.S කුලසිංහ (jungle.lk)

පංච මහා ජලාශ සංකල්පය යටතේ ජලාශ පහක් ඉදිකර ඒ ආශ්‍රයෙන් මහවැලියේ අපේක්ෂිත ඵලයන්ගෙන් වැඩි කොටසක් ළඟා කර ගැනීමට හැකි බව රජය විසින් අපේක්ෂා කරනවා. ඒ අනුව පංච මහා ජලාශයන්ගෙන් පළමු ජලාශය ලෙස 1978 අගෝස්තු 14 වන දා මාදුරු ඔය ජලාශයට මුල් ගල තබනවා.

මාදුරු ඔය ජලාශය සඳහා ශ්‍රී ලංකාවට ආධාර කරන්නේ කැනඩා රජය යි. මාදුරු ඔය හරහා යෝධ වේල්ලක් නිර්මාණය සඳහා කැනඩා ඉංජිනේරුවන් සැරසෙන අවස්ථාවේ එම ප්‍රදේශයෙන්ම පැරණි රජ දවසේ මාදුරු ඔය හරහා බැඳ තිබූ පැරණි වෑ කන්දක නටබුන් හමුවෙනවා. එය හෙළ වාරි තාක්ෂණයේ විශිෂ්ටතම සාක්ෂ්‍යය ලෙස අදටත් පිළිගැනෙනවා. මාදුරු ඔය නවීන ජලාශය 1983 වසරේ දී විවෘත කරනවා.

වේගයෙන් නිම වූ පංච මහා ජලාශ 

වික්ටෝරියා (amazinglanka.com)

මාදුරු ඔය ජලාශයෙන් අනතුරුව ඉදිවෙන කොත්මලා හා වික්ටෝරියා ජලාශ 1985 වසරේ දී විවෘත වෙනවා. කොත්මලේ ජලාශය සෑදීම සඳහා ස්වීඩන රජය විසින් මෙරටට ආධාර ලබා දෙන අතර වික්ටෝරියා ජලාශය සෑදීමට මහා බ්‍රිතාන්‍ය රජය විසින් ආධාර සපයනවා.

මෙම ජලාශවල වැඩකටයුතු සොයා බැලීමට එවකට මහා බ්‍රිතාන්‍ය අගමැතිනිය වන මාග්‍රට් තැචර්, ස්වීඩන් අගමැති ඕලා උල්ස්ටන් හා එවකට ඉන්දියානු අගමැති මොරාජි දේසායි ද ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

මාදුරු ඔය ජලාශය, මාදුරු ඔය මුහුදට වැටෙන ස්ථානයට සැතපුම් 48ක් ඉහළ දී වේල්ලක් ඉදිකර නිර්මාණය කරන අතර, තෙල්දෙණිය නගරයට නුදුරු මහවැලි ගඟේ වික්ටෝරියා ඇල්ලයැ යි ප්‍රසිද්ධ ස්ථානය අසල ගඟ හරහා වේල්ලක් බැදීමෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය වෙනවා. කොත්මලා ඔය දෙපස පිහිටි කඩදොර කන්ද හා තිස්පනේ කන්ද යා කිරීමෙන් කොත්මලා ජලාශය නිර්මාණය වෙනවා.

මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයට සැතපුම් 13ක් පහළින් හා මිනිපේ අමුණට සැතපුම් 4ක් ගඟ ඉස්මත්තෙන් රන්දෙනිගල ජලාශය ඉදිකර අවසන් වෙන්නේ 1988 වසරේ දී යි. ඒ සඳහා මෙරටට ආධාර කරන්නේ බටහිර ජර්මානු රජය යි.

නමුත් පංච මහා ජලාශයන්ට යෝජිත අවසාන ජලාශය වන මොරගහකන්ද ජලාශය නිර්මාණය කිරීමට එවකට ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ නෑ. එය නොයෙකුත් දේශපාලන අර්බුද, ආර්ථික හා තාක්ෂණික දුබලතා හේතුවෙන් දිනෙන් දින කල් යනවා. 

රන්දෙණිගල (wikimedia.org)

කෙසේ හෝ 2007 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ දී ආරම්භ කළ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018 වසරේ ජනවාරි මාසයේ දී විවෘත කරනු ලබනවා. වාරිමාර්ග, විදුලි උත්පාදනය මෙන්ම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීමට ද මේ ඔස්සේ බලාපොරොත්තු වෙනවා.

මේ ආකාරයට පංච මහා ජලාශ ඉදිකර අවසන් වී තිබෙනවා. වර්තමානය සලකා බැලීමේ දී  ජාතික විදුලිබල පද්ධතියට දක්වනු ලබන දායකත්වය හා වගාවට සපයන දියවර අතින් ජාතික ආර්ථිකයට මෙම ජලාශ මඟින් ඉතා වැදගත් දායකත්වයක් දක්වනු ලබනවා.

නමුත් මහවැලි ව්‍යාපෘතියට එල්ල වී තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ පරිසර පිළිබඳව නියමිත ශක්‍යතා අධ්‍යනය නිසිපරිදි නොකර ඇති බව යි. ඒ හේතුවෙන් විවිධ පාරසරික අර්බුද නිර්මාණය වී ඇති බවත් පරිසර සංවිධාන චෝදනා කරනවා.

කවරයේ පින්තූරය -  මොරගහකන්ද ව්‍යාපෘතිය (pmdnews.lk)

Related Articles