Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා වගේද “පාතීනියම්”

ලෝකය පුරා පැතිරී පවතින ජෛව විවිධත්වය නොනැසී පැවතීමට නම් ශාක, සත්ව හා මානව ප්‍රජාව එකසේ සිය කාර්යභාරය නොපිරිහෙලා ඉටු කළ යුතුවනවා. ශාක හා සත්ව ප්‍රජාව මෙම කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටු කළත් බොහෝ අවස්ථාවලදී මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ඇතැම් වටිනා පරිසර පද්ධති සහමුලින්ම වැනසී යනවා. ඇතැම් අවස්ථාවන්වලදී හුදෙක් මානව ක්‍රියාකාරකම් කිසිවක බලපෑමකින් තොරව ස්වභාවික පරිසර පද්ධතිය තුළින්ම ඉස්මතු වන ශාක හෝ සත්ව විශේෂ හරහා ද මෙකී ජෛව පද්ධති සම්පුර්ණයෙන් ම විනාශ වී යාමේ හැකියාව පවතිනවා. ස්වභාවික පරිසර පද්ධතියක් තුළ අනෙකුත් ශාක අභිබවා සිය බලය තහවුරු කරගන්නා ඇතැම් ශාක වර්ග සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සමස්ත  පරිසර පද්ධතියම ආක්‍රමණය කරනු ලබන අවස්ථා බොහෝ විට දැකගත හැකි වෙනවා. මෙවැනි ශාක පොදුවේ “ආක්‍රමණශීලී ශාක” ලෙස වර්ගීකරණය කොට දක්වනවා. “පාතීනියම් හෙස්ටෝපොරස්” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “පාතීනියම්” ශාකය මෙවැනි ආක්‍රමණශීලී ශාක අතර ඉතා භයානක ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මල් පීදීමට ආසන්න පාතීනියම් ශාකයක් (wildturmeric.net)

පාතීනියම්” ශ්‍රී ලංකාවට සංක්‍රමණය වුණේ කොහොමද?

මීට වසර 10 -15ක කාලය අතරතුර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන කෘෂිකාර්මික කලාප තුළ “පාතීනියම්” නම ඉතා බහුලව කතාබහට ලක් වුණා. උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය බව ශාකයක් ලෙස හඳුනාගත හැකියි. මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර” (Food for Peace) නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ මිශ්‍ර වීමෙන් බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව මෙම පාතීනියම් බීජ කෘෂිකාර්මික ධාන්‍ය සමඟ එක්ව ආසියා රවවල් තුළ පැතිරී ගොස් තිබෙනවා. පාතීනියම් ශාකය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම පිළිබඳ ඉතිහාසය විමසා බැලීමේ දී එය ඉන්දියානු සාම සාධක හමුදා ලංකාවට පැමිණීමෙන් අනතුරුව සිදු වූ බව සඳහන් වෙනවා. ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නිරත වූ අතර 1987- 88 කාල වකවානුව තුළ ඔවුන්ගේ එළුවන්ට ආහාර වශයෙන් එම වල් පැළෑටිය එම පරිසරට මුදා හැරීමත් සමඟ මෙම ආක්‍රමණික ශාකය ඉතා වේගයෙන් එම ප්‍රදේශ තුළ පැතිර ගිය බව ද සඳහන් වෙනවා. 

පාතීනියම් ශාකයේ ස්වභාවය හා බෝවීමේ උපක්‍රම

සරුවට වැවුණු පාතීනියම් ගසක් අඩි පහක් හයක් උස වන අතර අතු රිකිලි බෙදෙමින් වර්ධනය සිදුවන බව සඳහන් වෙනවා. වියළි පරිසර පද්ධතීන් තුළ ඉතා හොඳින් වැඩෙන මේ වල් ශාකය සුදු පැහැති අලංකාර වූ මලින් යුක්ත බව සඳහන්. මල් මගින් බීජ හටගැනීම සිදුවන අතර එක් ගසකින් බීජ 25,000 ක් 30,000 ක් පමණ මුදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙළි කර ඇති දත්තයන්හි සඳහන් වෙනවා. පාතීනියම් ශාකයේ එක් මල් පොකුරක ඉතා සියුම් බීජ 5000 ත් 7000ත් අතර ප්‍රමාණයක් හටගැනීමේ හැකියාව පවතින බැවින් නියං සමයට සුළඟ මගින් එම බීජ ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් වසරකට නව පාතීනියම් ශාක ලක්ෂයක් පමණ මව් ශාකයට නුදුරින් හට ගැනීමේ හැකියාව පවතින බව සඳහන් වෙනවා. වියළි පරිසර පද්ධතියක මෙම ශාකය ඉතා හොඳින් වර්ධනය වුණත්, තෙත් බිම්, මුඩු බිම්, ගංගා ඇළ දොළ ආශ්‍රිතව, වගාබිම් ආශ්‍රිතව, මාර්ග දෙපස, දුම්රිය මාර්ග පද්ධතිවල මෙන්ම ඕනෑම කටුක පරිසර තත්වයක් තුළ නොනැසී පැවතීමේ හැකියාව පාතීනියම් ශාකය සතුව පවතිනවා. ශාකය පැතිරී යාම ප්‍රධාන වශයෙන් ජල මූලාශ්‍ර මඟින්, සතුන් මඟින්, වාහන පෘෂ්ඨ මඟින්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ මඟින්, ධාන්‍ය සමඟ මිශ්‍ර වීම මඟින් මෙන්ම සුළඟ මඟින් මව් ශාකයේ සිට කෙටි දුරක් දක්වා පැතිරී යාම සිදු වෙනවා. මෙහි ඇති බරපතලම තත්වය වනුයේ මෙම බීජවලට වසර ගණනාවක් පුරා නොනැසී පැවතීමට ඇති හැකියාවයි. ඒ අනුව පස සමඟ මිශ්‍ර වන බීජ වසර ගණනාවක් පුරා නොනැසී පැවතෙමින් වර්ෂාපතනය ආරම්භ වීමත් සමඟ වර්ධනය වීම ඇරඹෙනවා. දින 180 – 240 අතර කාල පරාසයක ජීව කාලයක් තුළ මෙම ශාකය සම්පුර්ණයෙන් ම පරිණතව වැඩී ඉතා විශාල බීජ සංඛ්‍යාවක් පරිසරයට මුදාහරිමින් විනාශ වී යනවා. 

පරිණතව වැඩී වර්ගයා බෝ කරන පාතීනියම් ශාකයක් (4.bp.blogspot.com)

පාතීනියම් ශාකය ඇතිකරන හානිකර තත්ත්ව 

ජෛව විවිධත්වය මත ඇති කරන බලපෑම

ඉතා ආක්‍රමණශීලී ශාක විශේෂය වන මෙම ශාකය ඉතා වේගයෙන් සිය ගහනය වර්ධනය කර ගන්නා බැවින් ඕනෑම පරිසර පද්ධතියක් තුළ වේගයෙන් වර්ධනය වීමේ හැකියාව පවතී. මෙහි ඇති බරපතලම තත්වය වනුයේ යම් විශේෂිත පරිසර පද්ධතියක් විසින් ඇතැම් දුර්ලභ සහ බොහෝ ජීවීන්ගේ පැවත්මට අත්‍යාවශ්‍ය වන ශාක සඳහා අවශ්‍ය පරිසර තත්ත්ව නිර්මාණය කරත්, පාතීනියම් ශාකයෙහි තර්ජනයට ලක්වුවහොත් එම පරිසර පද්ධතිය සම්පුර්ණයෙන් විනාශ වී දුර්ලභ ශාක හා සත්ව විශේෂ විනාශ වී යාමේ අවධානමක් ඇති වීමයි. පාතීනියම් ශාකය විෂ සහිත ශාක විශේෂයක් බැවින් ඇතැම් ජීවීන්ට මරණීය තර්ජන එල්ල කිරීමේ හැකියාව මෙම ශාකය සතුව පවතිනවා. එම ජීවීන්ට ආහාර හිඟ වීම, වාසස්ථාන අහිමි වීම වැනි බරපතල ගැටලු රාශියක් මෙම ශාකය මඟින් ජෛව පරිසර පද්ධතිය මත ඇති කරනවා.

පාතීනියම් ශාකය වැඩෙන පරිසරයක ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශ වී යයි. (CABI.org)

වගාවන්හි පලදාව මත ඇතිකරන බලපෑම

පාතීනියම් ශාකයේ ග්‍රහණයට ලක් වන වගාබිම් බොහෝ විට වෙනත් භෝග වගාවක් සඳහා සුදුසු නොවන මට්ටමට පත්වෙනවා. ඊට හේතුව මෙම ශාකය ඉතා වේගයෙන් පැතිරී යාමත්, අනෙකුත් ශාක විශේෂයන්ට හිරු එළිය, ජලය, ඔක්සිජන් වැනි අත්‍යාවශ්‍ය සාධක ලබා ගැනීම සඳහා මෙම ශාකය සමඟ තරඟ කිරීමේ හැකියාවක් නොමැති වීමයි. තක්කාලි, වම්බටු, බෝංචි වැනි වගාබිම් තුළ පාතීනියම් ශාකය පැතිරී ගියහොත් එහි පලදාව සම්පුර්ණයෙන්ම පාහේ විනාශකර දැමීමට ඊට හැකියාව පවතිනවා. මීට අමතරව පාතීනියම් ශාකය විෂ සහිත රසායනයන් කිහිපයක් නිෂ්පාදනය කරනවා. නාමික වශයෙන් ගත් කල පාතෙනින්, හයිස්ටෙරින්, හයිමෙනින් සහ  ඇම්බ්‍රොසින් (Parthenin, Hysterin, Yymenin, and Ambrosin) යන නම් වලින් මේවා හඳුන්වන අතර වගාබිම්හි පලදායීතාව අඩු කිරීමේ හැකියාව මේවා සතු වෙනවා. මීට අමතරව පාතීනියම් ශාකය වර්ධනය වන වගාබිම් තුළ නොයෙක් ආකාරයේ රෝග පැතිරී යාම හේතුවෙන් ද එළවළු හා පලතුරු වගාවන්හි පලදායීතාව අවම වීම සිදුවන බව ද සඳහන් වෙනවා. 

සත්ත්ව ප්‍රජාව මත ඇතිකරන බලපෑම

පාතීනියම් ශාකය සතුව පවතින විෂ සහිත රසායනික සංඝටක අශ්වයින්, හරකුන් වැනි සතුන්ගේ සම මත තුවාල ඇති කරනවා. ඊට අමතරව යම් හෙයකින් ආහාරයට ගැනීම සිදුවුවහොත් සතුන්ගේ මුඛය වණ වීම, අධික ලෙස කෙළ වැගිරීම ආරම්භ වීම සහ බොහෝ අවස්ථාවලදී හරකුන් වැනි සතුන් මරණයට පත් වීම පවා සිදු වෙනවා. පාතීනියම් ශරීරගත වන සත්වයින්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව හීන වී ආහාර අරුචිය, පාචනය,   අතීසාරය වැනි රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතිනවා. තණකොළ සමඟ මිශ්‍ර වී සත්ව ආහාර තුළට එක් වීම නිසා කිරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එළදෙනුන්ගේ කිරි අමිහිරි රසයක් ගැනීම, මස් සඳහා යොදා ගන්නා සත්වයින්ගේ මාංශවල ගුණාත්මක භාවය අඩු වීම සිදුවිය හැකියි. 

මිනිසා මත ඇති කරන බලපෑම

පාතීනියම් ශාකයේ පරාග කණිකා, වියළී ගොස් වාතය සමඟ මුසු වන ශාක කොටස් සහ මුල්, කොළ වැනි එක් එක් කොටස්  මිනිසා මත විවිධාකාර ආසාත්මිකතා ඇති කරන බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. ශ්වසනාලිකා ප්‍රදාහය, චර්ම ප්‍රදාහය, පීනස් රෝගය, ඇදුම රෝගය මේවා අතර ප්‍රමුබව දැකහත හැකි රෝග වේ. යම් හෙයකින් පාතීනියම් ශාක කොටස් ශරීරගත වීමක් සිදුවුවහොත් එය මිනිසාට මාරාන්තික වීමේ හැකියාව ද පවතින බව හඳුනාගෙන තිබෙනවා. සම මත ස්පර්ශ වීමෙන් කුෂ්ඨ, තුවාල සහ වණවීම් සිදුවන බවත්, වාතය සමඟ මුසුව ස්වසන මාර්ගය හරහා ශරීරගත වුවහොත් ස්වසනාබාධ ඇති වීමේ හැකියාව ද පවතින බව සඳහන් වෙනවා. 

පාතීනියම් ශාකය මිනිසාගේ සමේ රෝග මෙන්ම ස්වසන රෝග සහ මරණය පවා සිදු කරයි. (hindawi.com)

පාතීනියම් බෝ වීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නෛතික පසුබිම 

“ඔබ දැන් සිටින්නේ පාතීනියම් වල් පැළෑටිය බහුලව ඇති ප්‍රදේශයකයි. මේ ප්‍රදේශයෙන් පස් වැලි සහ පැළෑටි ගෙනයාමෙන් වළකින්න” වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළු වීමෙන් අනතුරුව ඔබට වවුනියාව නගරය හා ඒ අවට මෙවැනි දැන්වීම් පුවරු අදටත් දැකගැනීමේ හැකියාව ලැබෙයි. මෙම පුවරු මීට වසර 10කට පමණ පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත්තේ පාතීනියම් පිළිබඳ නොදත් සාමාන්‍ය ජනතාව වෙත මෙම ශාකයේ ඇති අවධානම වඩා පහසුවෙන් අවධාරණය කරවීමේ අභිලාෂය පෙරදැරිවයි. ශ්‍රී ලංකාවේ ශාක ආරක්ෂක පනත යටතේ පාතීනියම් ශාකය වැවීමට ඉඩ හැරීම ළඟ තබා ගැනීම වරදක් වන අතර එසේ වරදක් වන අයෙකුට මාස 06 කට නොඅඩු සිර දඬුවමක් හෝ රුපියල් දහසකට නොඅඩු දඩ මුදලක් නියම කිරීමට නීතිමය හැකියාව පවතිනවා. මේ හේතුව නිසා පාතීනියම් වල්පැළෑටිය බෝවෙමින් පැතිර ගිය මුල් වකවානුවේ දී එම වල්පැලෑටිය වැවෙන්නට ඉඩ හරින නිවෙස් හිමියන්ට දඩ මුදලක් හා සිරදඬුවම් ලබා දීමට කටයුතු කළත් දැනට වසර දහයක පමණ සිට එම ක්‍රියාවලිය සිදු නොවන බව වාර්තා වෙනවා. නෛතික පසුබිම දුර්වල වීමත් සමඟ පසුගිය කාල වකවානුවේ දී පාතීනියම් ශාකය වවුනියා දිස්ත්‍රික්කය තුළ නැවත පැතිරී යාම ආරම්භ වී ඇති බවත් සඳහන් වෙනවා. 

පාතීනියම් බෝවීම වැලැක්වීමට යොදාගන්නා උපක්‍රම

පාතීනියම් ශාකය බෝවීම ආරම්භ වී ඇතැයි හඳුනාගන්නා ප්‍රදේශ තුළ පවතින ශාක මල් හටගෙන බීජ නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට ප්‍රථම ශාක මුලින් උදුරා ගිනි තබා විනාශ කිරීම මෙතෙක් හඳුනාගෙන ඇති සාර්ථකම ක්‍රමය ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව විශේෂයෙන් පාතීනියම් මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති රසායනික පළිබෝධනාශක භාවිතය ද සාර්ථක ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇතත් රසායනික පළිබෝධනාශක සෑම විටම පාහේ ස්වභාවික පරිසර පද්ධති මත ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි අනිසි බලපෑම් එල්ල කරනවා. පාතීනියම් මර්දනය කිරීම සඳහා පරිසර හිතකාමී ජෛව විද්‍යාත්මක ක්‍රමවේද ගණනාවක් ද පවතිනවා. ඒවා අතර පාතීනියම් ශාකයට එරෙහිව ක්‍රියාත්මක වන ජෛව විද්‍යාත්මකව නිෂ්පාදනය කළ ක්ෂුද්‍ර ව්‍යාධිකාරක වර්ග, දිලීර වර්ග, කෘමි විශේෂ හෝ පාතීනියම් අභිබවා වර්ධනය වියහැකි පරිසර හිතකාමී ශාක විශේෂ හඳුන්වා දීම ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා. 

පාතීනියම් ශාකය ආහාරයට ගන්නා කෘමි විශේෂ මඟින් ශාක ව්‍යාප්තිය පාලනය කළ හැකියි. (efloraofindia.com)

පාතීනියම් යනු ආක්‍රමණශීලී ලෙස වර්ධනය වෙමින් ස්වභාවික පරිසර පද්ධති මත අතිමහත් විනාශයක් ඇති කරන එක් ශාක විශේෂයක් පමණකි. යෝධ නිදිකුම්බා, ජපන් ජබර, කහ කරාබු, කටු පතොක්, යූලෙක්ස්  සැල්වීනියා වැනි තවත් බොහෝ ශාක ගණනාවක් මෙවැනිම ආකාරයේ හානිකර තත්වයන් ස්වභාවික පරිසර පද්ධති මත ඇති කරනවා. 

කවරයේ ඡායාරුපය : පාතීනියම් මර්දනයේ යෙදෙන පිරිසක් 

මූලාශ්‍ර:

*hindawi.com

*nethnews.lk 

*archives.dinamina.lk

Related Articles