Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකිකයන්ගේ දිව පිනවන මිහිරි පළතුර

ශ්‍රී ලංකාව තුළ බහුලවම වැවෙන පළතුරු වර්ග අතුරින් අඹ ශාකයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. මහින්දාගමනය සිදුවුණු අවස්ථාවේ මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට අඹ ගස පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළ බව කියැවෙනවා. ඉන් නිගමනය කළ හැක්කේ අඹ ගස එම යුගයේ සිටම ලාංකීය ජනතාවට සමීපව තිබුණු ශාකයක් බව යි. එසේම ලංකාවේ ග්‍රාමයන් කිහිපයකම නම් සමග අඹ ගස සම්බන්ධ වී තිබෙන්නේ ලාංකීය ජන සමාජය තුළ අඹ නම් පළතුර සුලභව භාවිතා කළ නිසා විය යුතු යි. අතීතයේ සිටම ලාංකිකයන්ගේ කුසගින්න නිවූ අඹ නම් මිහිරි පළතුර අදටත් බොහෝ දෙනෙකුගේ ප්‍රියතම පළතුරක්. අඹ ශාකය ශ්‍රී ලංකාව තුළ වාණිජ වගාවක් සහ ගෙවතු වගාවක් ලෙසින් බහුලව වගා කරනු ලබනවා. 

අඹ වගාවට අවශ්‍ය දේශගුණික සාධක 

අඹ නිවර්තන සහ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්ට මනාව අනුවර්තනය වී තිබෙන ශාකයක්. සාමාන්‍යයෙන් ලංකාව පුරාම විවිධ වර්ගයේ අඹ ශාකයන් දක්නට ලැබුණත් අඹ වගාවට වඩාත් උචිත දේශගුණික තත්ත්වයන් තිබෙනවා.

1) අඹ ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 1300ක් තරම් උස්බිම්වල වගා කළ හැකියි. නමුත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සි‍ට මීටර් 600ට වඩා අඩු ප්‍රදේශ යි. 

2) අඹ වගාව සඳහා සෙල්සියස් අංශක 27-30 අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් පැවතිය යුතු යි.

3) වාර්ෂික වර්ෂාපතනය මි.මි. 500-2500 පමණ විශාල පරතරයක් පවතින ප්‍රදේශවල අඹ ශාකය ‍වගා කළ හැකියි. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා ‍වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ‍ලැබෙන සම්පූර්ණ වර්ෂාපතන ප්‍රමාණය නොව එහි ව්‍යාප්තිය යි. 

4) අඹ ගසක හොඳින් මල් හටගැනීම සඳහා මාස 3 – 4 පමණ වියළි කාලයක් තිබීම වැදගත් වනවා. එසේම මල් හටගන්නා අවස්ථාවේ දී වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි ප්‍රමාණය අඩු වීමට ඉඩ තිබෙනවා.

එක් එක් කලාපයට ගැලපෙන අඹ වර්ග

ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශය තුළ දක්නට ලැබෙන දේශගුණික ලක්ෂණ අනුව තෙත් කලාපය, වියළි කලාපය, සහ අතරමැදි කලාපය ලෙසින් කලාපවලට වෙන්කර තිබෙනවා. පළතුරු බෝග සංවර්ධන සහ පර්යේෂණ ආයතනය එම කලාපවල වගාකිරීම සඳහා එකිනෙකට වෙනස් අඹ වර්ග නිර්දේශ කර තිබෙනවා. 

වියළි කලාපය

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ ප්‍රධාන වශයෙන් අඹ වගා කරන ප්‍රදේශ ලෙසින් හම්බන්තොට, වව්නියාව, යාපනය, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, මන්නාරම, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චි වැනි ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශවල වැවීම සඳහා වඩාත් සුදුසුයැ යි නිර්දේශ කර තිබෙන්නේ පහත සඳහන් අඹ වර්ග කිහිපය යි.

1) කර්ත කොලොම්බන්

2) Tom EJC

3) විලාඩ්

4) මල්වාන 

5) චෙම්බාටන්

6) පෙට්ටි අඹ

7) අම්බලාවි

ලංකාවේ බහුලවම අඹ වගා කරන වියළි කලාපය තුළ අනිකුත් කලාපවලට සාපේක්ෂව වැඩි අඹ ප්‍රභේද ප්‍රමාණයක් සාර්ථකව වගා කළ හැකියි. එසේම වැඩි අස්වැන්නක් ද ලබාගත හැකියි.

 කර්ත කොලොම්බන් අඹ ගෙඩියක් (doa.gov.lk)

අතරමැදි කලාපය

ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපය තුළ ප්‍රධාන වශයෙන් අඹ වගා කරන ප්‍රදේශයන් ලෙසින් කුරුණෑගල, මොණරාගල, බදුල්ල, මාතලේ වැනි ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශවල වැවීම සඳහා වඩාත් සුදුසුයැ යි නිර්දේශ කර තිබෙන්නේ පහත සඳහන් අඹ වර්ග කිහිපය යි.

1) කර්ත කොලොම්බන්

2) Tom EJC

3) වෙල්ලෙයි කොලොම්බන් (රට අඹ)

4) විලාඩ්

5) චෙම්බාටන්

6) පෙට්ටි අඹ

7) මල්වාන

වෙල්ලෙයි කොලොම්බන් අඹ ගෙඩියක් (doa.gov.lk)

තෙත් කලාපය

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ ප්‍රධාන වශයෙන් අඹ වගා කරන ප්‍රදේශ ලෙසින් කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, මහනුවර වැනි ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රදේශවල වැවීම සඳහා වඩාත් සුදුසුයැ යි නිර්දේශ කර තිබෙන්නේ පහත සඳහන් අඹ වර්ග කිහිපය යි.

1) ගිරා අඹ

2) දම්පර

3) වෙල්ලෙයි කොලොම්බන් (රට අඹ)

4) පීටර් පසාන්ඩ්

ගිරා අඹ ගෙඩියක් (doa.gov.lk)

වාණිජමය වශයෙන් වගා කරන අඹ වර්ග

ශ්‍රී ලංකාව තුළ වාණිජමය වශයෙන් අඹ වගාව සිදුකරනු ලැබුවත් ලෝකයේ ප්‍රධානම අඹ වගාකරන රටවල් අතරට ලංකාව අයත් වන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල අඹ වගාව වාණිජමය වගාවක් ලෙස බහුලව සිදුකරනු ලබනවා. එලෙස වගාකරන අඹ වර්ගවලින් වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ Tom EJC නම් අඹ වර්ගය යි. එම අඹ වර්ගය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකා කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ටොම් එල්ලාවලට සහ ඔහුගේ මිතුරෙකු වුණු පිලිපීන ජාතික ජුවාන් කාලෝස්ට යි. මෙම අඹ වර්ගයට Tom EJC යන නම තබා ඇත්තේ ද ඔවුන් දෙදෙනාගේ නම් එකතු කිරීමෙන්. මෙරට වියළි සහ අතරමැදි කලාපවල ඉතාමත් හොඳින් වැවෙන මෙම අඹ වර්ගය ඉතාමත් ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වනවා. එසේම මෙම අඹ වර්ගයේ එක් ගෙඩියක බර ග්‍රෑම් 600-1000 පමණ වීම නිසා වෙළෙඳ පොළ තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා. Tom EJC නම් අඹ වර්ගයට අමතරව කර්ත කොලොම්බන්, වෙල්ලෙයි කොලොම්බන්, විලාඩ්, සහ පීටර් පසාන්ඩ් වැනි අඹ ප්‍රභේද වාවාණිජමය වශයෙන් කරන අඹ වගාව සඳහා යොදාගනු ලබනවා.

Tom EJC අඹ ගෙඩියක් (doa.gov.lk)

ගෙවත්තේ දී දක්නට ලැබෙන අඹ වර්ග

සාමාන්‍යයෙන් මීට දශක කිහිපයකට පෙර බොහෝ ගෙවතුවල කර්ත කොලොම්බන්, වෙල්ලෙයි කොලොම්බන් (රට අඹ), පෙට්ටි අඹ, මී අඹ, කොහු අඹ, වල් අඹ, ඇටඹ, පොල් අඹ වැනි අඹ ප්‍රභේදයන් සුලභව දක්නට ලැබුණා. නමුත් කාලයත් සමග ඉන් සමහර අඹ ප්‍රභේදයන් නිවෙස්වල රෝපණය කිරීම නවතා දැමුවා. ඒ වෙනුවට බද්ධ අඹ වර්ග සහ නව අඹ ප්‍රභේද වගා කිරීමට බොහෝ දෙනෙකු පෙළඹුණා. එම නිසා මී අඹ, වල් අඹ, ඇටඹ, සහ කොහු අඹ වැනි අඹ වර්ග වර්තමානයේ දී සුලභව දකින්නට නැහැ. එම අඹ වර්ග සුලභව දකින්නට නොමැති වුණත් බද්ධ කිරීමේ දී ග්‍රාහකය සඳහා එම අඹ වර්ග භාවිතා කරනු ලබනවා. එයට හේතුව වන්නේ එම අඹ ප්‍රභේදවල මූල මණ්ඩලය ශක්තිමත් වීම යි. 

ඇටඹ ගහක් (Herbal plants Sri lanka)

අඹ ගෙඩියෙන් කරන නිෂ්පාදන

ඉදුණු අඹ ගෙඩියේ මාංශල කොටසෙහි සීනි 15%ක් ද, 1%ක් දක්වා ප්‍රෝටීන් ද, විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතිනවා. එම නිසාම අඹ ගෙඩිය විවිධ ආහාර වර්ග නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබනවා. පහත දැක්වෙන්නේ අඹවලින් කරනු ලබන නිෂ්පාදන යි.

1) අඹ ජෑම්

2) අඹ කෝඩියල්

3) අඹ අයිස්ක්‍රීම්

4) අඹ බීම වර්ග

5) අඹ චට්නි

6) අඹ අච්චාරු

අඹවලින් කරන නිෂ්පාදන (Juice Benefits)

කවරයේ ඡායාරූපය- ලංකාවේ වාණිජ අඹ වගාවක් (Nelna)

මූලාශ්‍රයයන්-  පළතුරු භෝග සංවර්ධන සහ පර්යේෂණ ආයතනයේ නිල වෙබ් අඩවිය.

Related Articles