මහා පැණි මංකොල්ලය

ක්විබෙක් කියන්නේ කැනඩාවේ පිහිටි තරමක් දුරට ස්වෛරීත්වයක් ඇතැයි සැළකෙන පළාතක්. නිල භාෂාව ප්‍රංශ වන මේ පළාතේ ආර්ථිකය තුළ කෘෂිකාර්මික කටයුතු වැදගත් තැනක් ගන්නවා. ඒ අතරින් බොහෝ දුරට මේ ප්‍රදේශයටම ආවේණික වූ කර්මාන්තයක් වන්නේ මේපල් ශාකයේ පැණි ලබා ගැනීමයි. උතුරු ඇමරිකාව මෙන්ම ලෝකය පුරාමත් විශාල ඉල්ලුමක් ඇති මේපල් පැණි (maple syrup) පෑන් කේක්, ටෝස්ට් වර්ග මෙන්ම වෙනත් රසකැවිලි නිෂ්පාදනයේත් වැදගත් තැනක් ගන්නවා. ක්විබෙක් සහ කැනේඩියානු සංස්කෘතිය සමග දැඩිව බද්ධ වී ඇති මේපල් පැණි නිෂ්පාදනය විශාල පිරිසකගේ ජීවනාලිය වෙනවා. ලෝකය පුරා මේපල් පැණි නිෂ්පාදනයෙන් 70% කටත් වඩා සිදු කෙරෙන්නේ ක්විබෙක් ප්‍රදේශය තුළයි.

කැනඩාව තුළ ක්විබෙක්හි පිහිටීම (wikimedia.org)

මේ තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන ක්විබෙක් ප්‍රදේශයේ මේපල් පැණි නිෂ්පාදනයට FPAQ හෙවත් ක්විබෙක් මේපල් පැණි නිෂ්පාදකයන්ගේ ෆෙඩරේෂණය (Fédération des Producteurs Acéricoles du Québec) නමින් කාටලයක් බිහි වී තිබෙනවා. මේපල් පැණි නිෂ්පාදනය දැඩි ලෙස නියාමනය කිරීමත්, ඒ තුළින් ලෝක මේපල් පැණි මිල මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමත් ඔවුන්ගේ අරමුණයි. නමුත් මෑතකදී ඔවුන්ගේ දැඩි රෙගුලාසි නිසා සිදු වූ මහා මංකොල්ලයක් නිසා ලොව පුරාම අවධානය ක්විබෙක් වෙත යොමු වුණා.

මේපල් පැණි කියන්නේ මොනවාද?

මේපල් සීනි සමග ආහාරයට ගන්නා ඇමරිකානු පෑන් කේක් (tesco.com)

පැණි රසය කියන්නේ ඉස්සර සිටම ඉමිහිරි බව නිසා විශාල ඉල්ලුමක් පවතින දෙයක්. මේ නිසා විවිධ වර්ගයේ පැණිරස කාරක භාවිත වන ආහාර වර්ග ලොව ඕනෑම සංස්කෘතියක දැක ගන්න පුළුවන්. අද වන විට පැණි රස ලබා ගැනීම සඳහා භාවිතයට ගන්නා ප්‍රධාන ප්‍රභවය වෙන්නේ උක් දඬු වලින් ලබා ගන්නා සීනි වුවත් බොහෝ ආහාර සඳහා අවස්ථාවට සුදුසු ලෙස වෙනත් පැණි රස වර්ග අතීතයේ සිටම යොදා ගැනෙනවා. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ගත්තොත් මී පැණි, කිතුල් පැණි, පොල් පැණි ආදිය යොදාගෙන හදන විවිධ ආහාර වර්ග මෙයට හොඳ උදාහරණයක්.

අධික ශීතල කාලගුණයක් සහිත කැනඩාවේ හොඳින් වැවෙන මේපල් ගස අපිට පොල් ගස වගේම ප්‍රයෝජන ගණනාවක් ලබා දෙන ශාකයක්. කැනඩාවේ ජාතික ධජයේ පවා මේපල් පත්‍රයක් තිබීම එහි වැදගත්කමට හොඳම සාක්ෂියක් ලෙස සලකන්න පුළුවන්. දැව ලෙස භාවිතයට අමතරව මේපල් ශාකයෙන් ලබා ගන්නා ප්‍රධානතම ප්‍රයෝජනයක් වන්නේ එහි කඳේ ඇති සාරයෙන් පැණි ලබා ගැනීමයි. මෙසේ ලබා ගන්නා මේපල් පැණි (maple syrup) උතුරු ඇමරිකාව පුරා බොහෝ සංස්කෘතීන්වල අතීතයේ සිටම භාවිතයට ගැනෙන ප්‍රධානතම පැණිරස කාරකයක්.

කැනේඩියානු ජාතික ධජයේ පවා ඇති මේපල් පත්‍රය (potnetwork.com)

මේරූ මේපල් ගස්වල උණුසුම් කාලයට පත්‍රවල නිපදවෙන පිෂ්ඨය උකු ද්‍රාවණයක් ලෙස ගසේ මුල් තුළ තැන්පත් වෙන්නේ ශීත කාලයේදී ප්‍රයෝජනයට ගැනීමටයි. වසන්ත කාලය ආරම්භ වීමත් සමග මුල් තුළ ඉතිරි වූ පිෂ්ඨය යුෂ ලෙස කඳ දිගේ ඉහළට නැගීම ආරම්භ වෙනවා. වාර්ෂිකව සති 4 ක සිට 8 ක කාලයක් සිදු වන මේ සංසිද්ධියේදී වයස අවුරුදු 30-40 පමණ වන මේපල් ගස්වල කඳ මත තරමක් ගැඹුරට සිදුරක් සකස් කළ විට මේපල් යුෂය පිටතට ලබා ගන්න පුළුවන්. වාර්ෂිකව ලීටර් 50 ක පමණ ප්‍රමාණයක් මේපල් ගසට වසර 100 ක් ඉක්මවන තෙක් ලබා ගන්න හැකියාව තිබෙනවා.

මේ යුෂය උණු කර අතිරේක ජලය වාෂ්ප කිරීම මගින් උකු මේපල් පැණි සකස් කරගන්න හැකියාව තිබෙනවා.

ක්විබෙක් තුළ මේපල් පැණි නිෂ්පාදනය සහ නියාමනය

කඳ විද ලෝහ කොටසක් ඇතුළු කිරීමෙන් මේපල් යුෂය ලබා ගන්නා අයුරු (flickr.com)

මේපල් ගස් හොඳින් වැඩෙන ක්විබෙක් පළාත තුළ මේපල් පැණි නිෂ්පාදනය විශාල කර්මාන්තයක් ලෙස සිදු කෙරෙනවා. විවිධ පෙදෙස්වල පරම්පරා ගණනාවක් තිස්සේ මේපල් පැණි නිෂ්පාදනයේ නියැළෙන මේපල් වතු සහිත ගොවිපළවල් පිහිටා තිබෙනවා. ඒවායේ සිටින පිරිස් මේපල් යුෂ ලැබෙන කාලයට (මෙය බොහෝ දුරට පෙබරවාරි සහ අප්‍රේල් අතර කාලයයි) ඒවා ලබාගෙන, උණු කොට බෝතල් කිරීම සිදු කරනවා. මෙය තරමක් දුරට අපේ රටේ රබර් වතු පවත්වාගෙන යාමට සමානයි.

කොහොම නමුත් මේපල් පැණි නිපදවීම අධික ලාභ ඇති කටයුත්තක් නෙවෙයි. ඒ වගේම යම් හේතුවක් නිසා නිෂ්පාදනය පහත වැටුණොත් හෝ මිල පහළ වැටුණොත් ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක් වෙන්න ඉඩ තිබෙනවා. මේ හේතුවෙන් මේපල් පැණි නිෂ්පාදනය බොහෝ කාලයක් පුරාවට අතිරේක ආර්ථික කටයුත්තක් ලෙසයි පැවතුණේ. හොඳ මිලක් ලබා ගන්න හැම විටම හැකියාවක් තිබුණේ නැහැ.

මේපල් පැණි උණු කරන උපාංග (flickr.com)

මේ තත්ත්වයට විසඳුමක් විදිහට තමයි FPAQ එක බිහි වෙන්නේ. ඒ හරහා නියමාකාර නියාමනයක් ඇතිව මේපල් පැණි නිෂ්පාදනය කරන්නටත්, නිපදවෙන පැණි ප්‍රමාණය මධ්‍යගතව පාලනය කිරීම තුළින් ස්ථාවර මිල මට්ටමක් පවත්වාගෙන යන්නටත්, මිලේ හෝ නිෂ්පාදනයේ සිදු වන වෙනස්කම්වලදී ප්‍රයෝජනයට ගැනීමට ක්‍රමෝපායයික ගබඩාවක් පවත්වාගෙන යන්නටත් එකඟතාවක් ඇති කර ගැනුණා. ටිකෙන් ටික ක්විබෙක්හි මේපල් නිෂ්පාදකයන්ගේ අති බහුතරය එහි සාමාජිකත්වය ලබා ගත්තා.

පසුකාලීනව ක්විබෙක්හි ප්‍රාදේශීය රජය වගේම කැනේඩියානු රජයත් FPAQ වෙත නිල වශයෙන් ක්විබෙක්හි මේපල් පැණි නිෂ්පාදනය නියාමකයා ලෙස පිළිගනු ලැබුවා. ඒ සමග ලැබූ නීතිමය තත්ත්වයත් එක්ක ක්විබෙක්හි මේපල් පැණි නිෂ්පාදකයන් සියලු දෙනාටම FPAQ හි නියමයන්ට යටත්ව පමණයි මේපල් පැණි නිෂ්පාදනය කරන්නට හැකි වුණේ.

FPAQ හි උපදෙස් ගැන විවිධ මත

FPAQ කියන්නේ පැහැදිලිවම නිදහස් වෙළඳපොළක් පැවති තැනකට නියාමනය කරන ලද වෙළඳපොළක් පැමිණි අවස්ථාවක්. එමගින් අදාළ වර්ෂයේ කාලගුණය, ඉල්ලුම ඇතුළු විවිධ කාරණා ගැන සලකා බලා ක්විබෙක්හි සියලු මේපල් පැණි නිෂ්පාදකයන් වෙත කෝටාවන් නිකුත් කිරීම සිදු කෙරෙනවා. එම ප්‍රමාණය ඉක්මවා නිපදවන්න අවසරයක් නැහැ. ඒ වගේම මේපල් පැණි අලෙවියත් FPAQ හි අලෙවිකරණ ජාලය හරහා සිදු කළ යුතුයි. එයට පරිබාහිර පුද්ගලයන්ට මේපල් පැණි අලෙවිය තහනම් කර තිබෙනවා.

bipodesign.com

මේ ක්‍රමයේ වාසි බොහොමයක් ඇති බවයි FPAQ ට සහය දක්වන බොහෝ දෙනාගේ මතය. වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙන මුළු මේපල් පැණි ප්‍රමාණය දන්නා නිසා ඉතා හොඳින් එහි මිල මට්ටම ගැන පුරෝකතනය කරන්න පුළුවන්. ඒ වගේම හදිසි අවස්ථාවකදී නිෂ්පාදනය පහත වැටුණොත් ක්‍රමෝපායික ලෙස ගබඩා කර ඇති මේපල් පැණි වෙළඳපොළ වෙත නිකුත් කිරීමෙන් මිල පාලනය කරන්නටත්, පීඩාවට ලක් වූ නිෂ්පාදකයන්ට සහන සලසන්නටත් හැකියාව තිබෙනවා. මේපල් පැණි මිල වසර පුරාම සාධාරණ මට්ටමක, ඉතාම ස්ථාවරව තිබෙන නිසා මේපල් පැණි නිෂ්පාදනය ඉතාම ආකර්ශණීය කර්මාන්තයක් වී ඇති බවටත් ඔවුන් පවසනවා. FPAQ එකේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යම් කොමිස් මුදලක් අය කෙරුණත් එය සමස්තයක් වශයෙන් නිෂ්පාදකයන්ටම ලාභයක් බව ඔවුන් පවසනවා.

කොහොම නමුත් ඇතැම් මේපල් පැණි නිෂ්පාදකයන් FPAQ ට විරුද්ධයි. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වන්නේ තමන්ගේ වතුවල තිබෙන මේපල් ගස්වලින් අවශ්‍ය ලෙස පැණි ලබා ගන්න තමන් අයිතියක් නැති වීමත්, තමාට අවශ්‍ය ලෙස අලෙවි කරන්නට හැකියාවක් නොතිබීමත්, ඒ අනුව හැකියාව තිබියදීත් අඩු ආදායමකින් සැනසෙන්නට සිදු වීමත් අසාධාරණ බවයි. මේ නිසාම වංචනිකව මේපල් පැණි අලෙවි කරන ජාවාරම් බිහි වී තිබෙන බවටත් ඔවුන් චෝදනා නගනවා. මෑතකදී සිදු වූ මහා මේපල් පැණි මංකොල්ලයත් මේ ක්‍රමයේ අසාර්ථකත්වයට සාක්ෂියක් බවයි ඔවුන් පවසන්නේ.

මේපල් පැණි ක්‍රමෝපායික ගබඩාව

බැරල් ලෙස මේපල් පැණි ගබඩා කර තබන ක්‍රමෝපායික ගබඩාව (flickr.com)

වාර්ෂිකව නිශ්චිත මේපල් පැණි ප්‍රමාණයක් පමණක් වෙළඳපොළට නිකුත් කරන FPAQ එක අවශ්‍ය අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීම සඳහා සුවිසල් මේපල් පැණි ගබඩාවක් පවත්වාගෙන යනවා.  ISR (International Strategic Reserve) ලෙස හඳුන්වන මෙය වර්ෂය පුරාවට මේපල් පැණි මිල ස්ථාවරව පවත්වාගෙන යන්න වැදගත් කාර්යයක් ඉටු කරනවා. හදිසියේ ඉල්ලුම පහත වැටුණහොත් අතිරේක පැණි ප්‍රමාණය ගබඩා කර ගන්නත්, ඉල්ලුම ඉහළ ගියහොත් පැණි මුදා හරින්නටත් කටයුතු කරමින් නිශ්චිත මිල මට්ටමක් පවත්වා ගන්න ISR එකට හැකියි.

ISR එක පවත්වාගෙන යන්නේ ක්විබෙක් පුරා පිහිටි විවිධ ප්‍රදේශවල ඇති ගබඩාවල බැරල්ගත කළ මේපල් පැණි ගබඩා කිරීමෙන්. මෙට්‍රික් ටොන් 35,000 ක් හෙවත් සාමාන්‍ය ගෝලීය වාර්ෂික පරිභෝජනයෙන් 60% ක පමණ ප්‍රමාණයක් මෙහි තැන්පත් කර තිබෙනවා. මේ නිසා ලෝකයේ මේපල් පැණි ඉල්ලුමේ හෝ සැපයුමේ ඇති වන ඕනෑම ගැටලුවකට මුහුණ දී මිල ස්ථාවරව පවත්වා ගන්නා ISR එකට හැකියි.

කොහොම නමුත් මේ තරම් විශාල ගබඩාවක් පවත්වාගෙන යාමේදී ආරක්ෂාව ගැන ගැටලුත් බොහොමයි. මේපල් පැණිවල වර්තමාන මිල ගණන් අනුව මේ බැරලයක වටිනාකම ඩොලර් 1300 ක් පමණ වෙනවා. එවන් බැරල් දහස් ගණනක් ISR එකේ ගබඩාවන් සතුයි. FPAQ එක වාර්ෂිකව විශාල කොමිස් මුදලක් ඉපැයුවත් ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා නැති බවටත් බොහෝ සාක්ෂි තිබුණා.

මේපල් පැණි මී පැණි තරමටම මිලයි (amazon.com)

කාලයක් තිබුණු මේ සැකය තහවුරු කරමින් 2012 අගෝස්තු මාසයේදී මෙහි මේපල් පැණි ටොන් 3000 ක පමණ සුවිශාල සොරකමක් සිදු වී ඇති බව හෙළිදරව් වුණා.

ගබඩාවේ මේපල් පැණි සොරකම

FPAQ එක පවත්වාගෙන ගිය දැඩි නියාමනය නිසා කාලයක් පුරාවටම හොර රහසේ මේපල් පැණි ජාවාරම් කිරීම සිදු වෙමින් තිබුණේ. පවතින ඉහළ මිලත් එක්ක මේ විදිහට මේපල් පැණි හොරෙන් අලෙවි කිරීම ඉතාම ලාභදායී දෙයක් බවට පත් වුණා. ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් නැති ISR එකේ මේපල් පැණි හොරකම් කරොත් ඉතා පහසුවෙන් අධික ලාභයක් ලබා ගන්න හැකි බව බොහෝ දෙනෙක් දැන සිටියා.

2011 දී ඇවික් කැරෝන් (Avik Caron) නැමැත්තෙකුගේ බිරිඳට අයත් ගබඩාවක් FPAQ එක විසින් කුලියට ගෙන මේපල් පැණි ගබඩා කිරීමට යොදා ගැනුණා. ඒ කාලයේ මේ ගබඩාවල තැන්පත් කරන බැරල් විවෘත කර පරීක්ෂාවට ලක් කෙරුණේ වසර ගණනකට වරක් පමණයි. එයට වැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණේත් නැහැ.

මේ බව දැනගත් රිචඩ් වැලියෙරේ (Richard Vallières) නැමැත්තාට අපූරු අදහසක් ආවා. ඒ තමයි මේ බැරල්වල ඇති මේපල් පැණි ඉවත් කර ඒවාට ජලය පුරවා ගබඩා කිරීම. ඇවික් සමග මිතුරු වූ ඔහු තමන්ගේ පියා වූ රේමන්ඩ් වැලියෙරේවත් (Raymond Vallières) හවුල් කරගෙන ට්‍රැක්ටර් ට්‍රේලරයක් යොදාගෙන රාත්‍රී කාලවල බැරල් කිහිපය බැගින් ගෙන ගොස් අසල රේමන්ඩ් සතු වූ මේපල් පැණි උණු කරන ගොඩනැගිල්ලක් තුළදී බැරල්වල තිබූ පැණි ඉවත් කර ඒවාට ජලය පුරවා නැවතත් ගෙන ගොස් ගබඩා කිරීමට සැලසුම් කර ගත්තා. ට්‍රැක්ටරය පදවන්නට සෙබෙස්තියන් ජුට්‍රාස් (Sébastien Jutras) නමැති රියදුරෙකුත් හවුල් වුණා.

හොරකමේ මහ මොළකරු රිචඩ් වැලියෙරේ (montrealgazette.com)

FPAQ සීමාවන්ට අයත් නොවූ නිව් බ්‍රන්ස්වික් ප්‍රදේශයේත් මේපල් පැණි නිෂ්පාදනය කෙරෙනවා. එහි පවතින්නේ විවෘත, නිදහස් වෙළඳපොළක් නිසා නිව් බ්‍රන්ස්වික් මේපල් පැණි ලබා ගන්නා ගැනුම්කරුවන් බොහෝ දෙනෙක් සිටිනවා. ගබඩාවෙන් සොරකම් කරන ලද මේපල් පැණි නිව් බ්‍රන්ස්වික්හි සකස් කළ මේපල් පැණි ලෙස හොරෙන් අලෙවි කරන්නට රිචඩ් වැලියෙරේ ව් බ්‍රන්ස්වික්හි මේපල් පැණි වෙළඳාමේ යෙදී සිටි එටියෙන් සෙන්ට් පියෙරේ (Étienne St-Pierre) නැමැති ගැනුම්කරුවෙකුත් හවුල් කර ගත්තා.

මේ පස් දෙනා හවුල් වී 2011 ගිම්හාන සමයේ සිට වරින් වර මේ විදිහට බැරල් 9571 ක තිබූ මේපල් පැණි ගෙන ගොස් හොරෙන් විකුණා දැමුවා. ඇතැම් විට ඔවුන් ජලය පුරවන්නේවත් නැතිව හිස් බැරල් පවා ආපසු ගෙන ගොස් තබන්න කටයුතු කළා.

වංචාව හෙළිදරව් වීම සහ ප්‍රතිඵල

මේ ගැන FPAQ එකට සැක සිතුණේ 2012 අගෝස්තු මාසයේදීයි. වරක් ගබඩාවන් පරීක්ෂා කිරීමේදී එහි සේවකයන්ට ඇතැම් බැරල් මළකඩ කා ඇති බව දකින්න ලැබීමයි මෙයට මුල් වුණේ. මේපල් පැණි සහිත බැරල් මළකඩ කන්න හේතුවක් නැති නිසා එවන් බැරල් කිහිපයක් විවෘත කර පරීක්ෂා කර බැලූ විට තමයි ඒවායේ ජලය පුරවා ඇති බව හෙළි වුණේ. පසුව සියලුම බැරල් පරීක්ෂාවක් ආරම්භ වූ අතර ටොන් 3000 ක පමණ මේපල් පැණි ප්‍රමාණයක් සොරාගෙන ඇති බව එහිදී හෙළිදරව් වුණා. වෙළඳපොළ අනුව මෙහි වටිනාකම ඩොලර් මිලියන 18.7 ක්. වංචාවේ තරම වටහා ගැනීමත් එක්ක එය මුළු ලෝකය පුරාම ප්‍රවෘත්තියක් බවට පත් වුණා.

මෙවන් බැරල් 10,000 ක පමණ පැණි සොරකම් කෙරුණා (vanityfair.com)

මේ සොරකම සිදු කළ අය සොයා ගන්න දැවැන්ත පර්යේෂණයක් ආරම්භ වුණා. 2012 දෙසැම්බර් වන විට මීට සම්බන්ධ බවට සැකපිට 17 දෙනෙකු අත් අඩංගුවට ගැනුණා. ඒ අතරින් මුළු වංචාවම සැලසුම් කළ රිචඩ් වැලියෙරේ හැර ඩොලර් මිලියන 9.4 ක දඩයක් සහ වසර 8 ක සිර දඬුවමක් නියම කෙරුණේ දඩය නොගෙව්වොත් තවත් වසර 6 ක අමතර සිර දඬුවමක්ද සමගයි. ඔහුගේ පියා වූ රේමන්ඩ් වැලියෙරේත්, එටියෙන් සෙන්ට් පියෙරේවත් ජාවාරමට අනුබල දීම යටතේ වැරදිකරුවන් කෙරුණා. තම බිරිඳගේ අයිතියට තිබූ ගබඩාවෙන් මේපල් පැණි සොරකම් කිරීමට උදව් කළ ඇවික් කැරෝන්ට ඩොලර් මිලියන 1.2 ක දඩයක් ගෙවා වසර 5 ක් සිර ගත වීමට සිදු වුණා. මේපල් පැණි ප්‍රවාහනයේ නියැලුණු රියදුරු සෙබෙස්තියන් ජුට්‍රාස් මාස 8 කට සිරගත කෙරුණා.

මෙය හෙළිදරව් වීමෙන් පසුව පසුව FPAQ එක තමන්ගේ ගබඩාවල ආරක්ෂක ක්‍රම සහ බැරල් පරීක්ෂාවන් වඩාත් තීව්‍ර කරන්න කටයුතු කළා. ඒ සමගම මේ විදිහට FPAQ එක හරහා මේපල් පැණි කර්මාන්තය නියාමනයේ ගැටළු ගැනත් විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. මෙයට විරුද්ධ බොහෝ දෙනෙකුගේ මතය වන්නේ FPAQ එක අහෝසි කර නිදහස් වෙළඳපොළක් ඇති කළ යුතු බවයි.

අන්තර්ජාතිකව පුවත් මවමින් මහා මේපල් පැණි මංකොල්ලය ලෙස හැඳින්වුණු මෙය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදු වූ විශාලතම වංචාවන්ගෙන් එකක් ලෙසයි සැළකෙන්නේ.

කවරයේ රූපය : ytimg.com

Related Articles