Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාර්කෝස් – ඉන්දියානු මැරීන් කමාන්ඩෝ බලකාය

ඉන්දියානු නාවික හමුදාවේ ස්ථාපනය කර ඇති විශේෂ ඒකකය හදුන්වනු ලබන්නේ මාර්කෝස් (MARCOS) ලෙස යි. එම විශේෂ ඒකකය වර්තමානයේ දී මාර්කෝස් ලෙස හැඳින්වූවත් ඊට පෙර එය හදුන්වා තිබෙන්නේ මැරීන් කමාන්ඩෝ බලකාය (Marine Commando Force (MCF)) ලෙස යි.

සතුරු කලාපයට ඇතුල්වී තොරතුරු ගවේෂණය, සතුරු කලපයේ දීම සැඟවී සිට සතුරාට පහර දී ක්ෂණිකව ඉවත්ව යාම, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම්, රාජ්‍ය ත්‍රාන්තික කටයුතුවල දී බුද්ධි මෙහෙයුම්වලට දායක වීම, ජලයෙන් පැමිණ ගොඩබිමට සාර්ථක ප්‍රහාර එල්ල කර නැවතත් ජලය හරහා පලා යාම හා ප්‍රති මුහුදු මංකොල්ලකාරී මෙහෙයුම් වැනි විවිධ යුධ ක්‍රියාකාරකම් සඳහා විශේෂ දක්ෂතාවයක් මාර්කෝස් බලකාය විසින් දක්වනවා. තවත් විටෙක ඔවුන් ඉන්දියානු පාබල හමුදා සේනාංක සමග ද එකතු වී මෙහෙයුම් කටයුතුවල නිරත වෙනවා.

මාර්කෝස් ආරම්භ වූ ආකාරය

මාර්කෝස් භටයන් (YouTube)

1971 වසරේ දෙසැම්බර් මාසයේ දී ආරම්භ වූ ඉන්දු – පාකිස්තාන් යුද්ධයේ දී දෙපාර්ශවය අතර සිදු වූ යුධ ගැටුම්වල දී ඉන්දියානු හමුදාවට නාවික හමුදා විශේෂ ඒකකයක් නොමැති වීමේ අඩුපාඩුව තදින් දැනෙන්නට විය. විශේෂයෙන් දෙරට අතර මුහුදුබඩ කලාපයේ සිදු වූ ගැටුම්වල දී විශේෂ පුහුණුව ලැබූ දිය යට සටන් කළ හැකි භටයන් නැති හේතුවෙන් ඉන්දියානු නාවික හමුදා සමහර ස්ථානවල දී පසුබෑමට ලක්වෙනවා.

මේ හේතුවෙන් සටන් අතරතුර ඉන්දියානු නාවික හමුදා භටයන්ට අවශ්‍ය මූලික පාඨමාලා කිහිපයක් ක්‍රියාත්මක වෙන නමුත් ඒවාගෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ, එම යුද්ධය අවසන් වූ පසුවත් නාවික හමුදාව තුළම මේ සඳහා විශේෂ පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට ඉන්දියානු රජය කටයුතු කරනවා. නමුත් ඒවාගෙන් ද විශේෂ පුහුණුවක් ලැබූ භට කණ්ඩායමක් නිර්මාණය වෙන්නේ නෑ.

මේ හේතුවෙන් 1986 වසරේ අප්‍රේල් මාසයේ දී ජලය ආශ්‍රිත සටන් සඳහා විශේෂ මැරීන් බලකායක් පිහිටුවීමට ඉන්දියානු නාවික හමුදාව තීරණය කරනවා. ඒ අනුව මෙම බලකායට ගොඩබිම් සටන් පුහුණුව හා මූලික පාබළ පුහුණුව ඉන්දියානු පාබල හමුදාවෙන් හිමි වෙනවා. විශේෂ සටන් උපක්‍රම හා යුද්ධ ක්‍රම හා උපායන් පිළිබඳව විශේෂ පුහුණුව ලැබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික සීල් (Navy SEAL) බලකායෙන් හා එක්සත් රාජධානියේ SAS (Special Air Service) බලකායෙනි.

1987 වසරේ පෙබරවාරි මාසයේ දී බලකායේ පළමු භට පිරිස විසිරී යන අතර ඉන්දීය මැරීන් විශේෂ බලකාය (Indian Marine Special Force) ලෙස එය පළමුවෙන්ම හදුන්වනවා. මෙම බලකාය 1991 වසරේ දී මැරීන් කමාන්ඩෝ බලකාය ලෙස නම්වෙන අතර වර්තමානයේ එය හදුන්වන්නේ මාර්කෝස් නමින්.

තෝරාගැනීම හා පුහුණුව

පුහුණු සැසියක (The Better India)

මේ සඳහා භටයන්, ඉන්දියානු නාවික හමුදාව තුළින් තෝරා ගැනීම සිදුවෙනවා. බලකාය සඳහා බදවාගන්නේ පිරිමින් පමණ යි. තෝරාගන්නා භටයන් මානසික හා කායික ශක්තියෙන් ඉතාමත් උසස්, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන ආකාරයේ අය විය යුතු යි. ඊට අමතරව දරා ගැනීමේ හැකියාව හා කණ්ඩායම් හැඟීම ද පරික්ෂා කරනු ලබනවා. භටයන් තෝරා ගැනීම සඳහා සහභාගී වන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ විශේෂඥයන් කණ්ඩායමක්. ඔවුන් වසර 20ක් පමණ කාලයක් තිස්සේ සිට මෙම තෝරා ගැනීමේ සුදුසුකම් ඉතාමත් දැඩිව පරීක්ෂා කරනවා.

තෝරාගත් ඉන්දියානු තරුණයන්ට අවුරුදු දෙකක් පුරාවට මූලික පුහුණු හා විශේෂ පුහුණු සඳහා යොමු කෙරෙනවා. මේ සඳහා ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය යුධ විශේෂඥයන්ගේ සහය ද හිමිවෙනවා. පුහුණුව සඳහා මූලික පාබල පුහුණුව, පැරෂුට් පුහුණුව, කිමිදුම් පුහුණු පාඨමාලාව, ප්‍රති පැහැරගැනීම් මෙහෙයුම්, ප්‍රති මුහුදු මංකොල්ලකාරී මෙහෙයුම්, ස්නයිපර් පුහුණු පාඨමාලාව, නවීන අවි භාවිතා කිරීමේ පුහුණු පාඨමාලාව ඇතුළත් වෙනවා. මෙම පුහුණු පාඨමාලා සඳහා ඉන්දියානු යුධ හමුදා විශේෂ බලකායේ හා කමාන්ඩෝ බලකායේ සහය ද හිමි වෙනවා.

ඊට අමතරව ගුවන් පිහිනුම් පාඨමාලාව, ඉන්දියානු බුද්ධි අංශ විසින් මෙහෙයවන බුද්ධි පාඨමාලාව, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව සඳහා ද මෙම සෙබළුන්ව යොමු කරනවා.

සහභාගී වූ මෙහෙයුම්

වෙරළබඩ සටන් (Indiatimes.com)

ඔවුන් 1987 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු සාම සාධක හමුදාවේ සහය සඳහා මෙරටට පැමිණෙනවා. ඒ යටතේ ක්‍රියාත්මක වූ පවන් මෙහෙයුමේ දී (Operation Pawan) යාපනය හා ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත පැවති සටන්වලට සිය දායකත්වය ලබා දෙනවා.

1988 වසරේදී මාලදිවයින් ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයේ දී ඊට විරුද්ධව ඉන්දියානු රජයේ සහයෝගය හිමි වූ අතර මෙහිදී ප්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරා ගැනීම් සඳහා මාර්කෝස් බලකාය කටයුතු කරනවා. 1991හා 1992 වසරවලදී ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වූ LTTE මුහුදු කොටි බලකායේ විවිධ බෝට්ටු හා නැව් වර්ග කිහිපයක් ගිල්වා දැමීමට ඔවුන් සමත් වෙනවා.

ඉන්දු – පකිස්තාන යුද්ධවල දී ද ඉන්දියාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබෙන මාර්කෝස් බලකාය 1999 වසරේ දී දෙරට අතර ක්‍රියාත්මක වූ කාර්ගිල් යුද්ධය සඳහා ද සහභාගී වෙනවා. ඊට අමතරව ජම්බු කාශ්මීර් ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන ඉස්ලාමීය බෙදුම්වාදී සංවිධානවලට විරුද්ධව මාර්කෝස් බලකාය තම මෙහෙයුම් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනවා.

විදේශ හමුදා සමග (TopYaps)

2008 නොවැම්බර් මාසයේ දී ත්‍රස්තයන් විසින් එල්ල කළ මුම්බායි ප්‍රහාරයේ දී එය මර්දනය කිරීම සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් යොදවන්නේ මාර්කෝස් බලකාය යි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ  හා විවිධ සාගර ප්‍රදේශවලදී මුහුදු මංකොල්ලකරුවන් අතට පත් වූ විවිධ ජාතීන්ට අයත් නෞකා මුදාගැනීම සඳහා ද මාර්කෝස් බලකාය විවිධ මෙහෙයුම් දියත් කරනවා. ඊට ඉතියෝපියානු නෞකාවක්, ඉරාන නෞකාවක් හා ග්‍රීක නෞකාවක් අයත් වෙනවා. එවැනි මෙහෙයුම් සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශවලද සහයෝගය ඔවුන්ට හිමිවෙනවා. එම මෙහෙයුම් සඳහා කුඩා බෝට්ටු, සබ්මැරීන හා හෙලිකොප්ටර් යානා යොදා ගෙන තිබෙනවා.

මුලාශ්‍රයයන් -

indiatimes.com

youtube.com

indiannavy.nic.in

Related Articles