ඇෆ්ගනිස්ථානයේ දුකින් බර ඉතිහාසය ලොවට කියූ “මාර්ජන්”

ආසියාවේ දිළිඳුම රාජ්‍යයක් වන ඇෆ්ගනිස්ථානය ගැන පසුගිය කාලයේ දී අපට අසන්නට ලැබුණේ එතරම් යහපත් දේවල් නොවෙයි. යුධමය වාතාවරණය සහ ත්‍රස්තවාදී බලපෑම් නිසා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑ රටක් ලෙස අදටත් ඇෆ්ගනිස්ථානය පවතින්නේ ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයක. නමුත් ඇෆ්ගනිස්ථානයේ මේ දුර්දාන්ත සමය ඇරඹුණේ අද ඊයෙක නොවෙයි. දශක හතරක් තිස්සේ යුද්ධය නිසා ඇතිවන විනාශකාරී සිදුවීම්වලට ඇෆ්ගන් ජනයා අවාසනාවන්ත ලෙස මුහුණ දෙනවා. එමෙන්ම මේ අනාරක්ෂිත වාතාවරණය හමුවේ ඇෆ්ගනිස්ථානයේ සොබාදහමට සිදුවූ හානියත් සුළුපටු නැහැ. එරට මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානවල අණදෙන නිළධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ඇෆ්ගන් භූමියේ තිබූ ගස් රාශියක් කපා පාකිස්ථානයට දැවවලට විකුණනු ලැබුවා.

ඇෆ්ගනිස්ථානයේ කටුක යතාර්ථය විස්තර කිරීමට ක්‍රම බොහෝමයක් තිබුණත්, එක්තරා සුවිශේෂී චරිතයක ජීවිත කතාව අධ්‍යයනය කිරීමෙන් ඇෆ්ගනිස්ථානයේ දශක කිහිපයක් තිස්සේ සිදුවූ විනාශය ගැන මනා අවබෝධයක් ලබාගත හැකියි. නමුත් මේ චරිතය මනුෂ්‍යයෙකු නම් නොවෙයි. ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සත්ත්වෝද්‍යානයේ සිටි “මාර්ජන්” නමැති සිංහයා තමයි මේ ලිපියට පාදක වන සුවිශේෂී චරිතය වන්නේ.

ජර්මනියෙන් ඇෆ්ගනිස්ථානයට පැමිණි මාර්ජන්

වර්ෂ 1973 දී එවකට ඇෆ්ගනිස්ථානයේ රජු වූ මොහොමඩ් සහීර් ෂාහ් හට ජර්මනියෙන් ලැබුණ ත්‍යාගයක් ලෙස මාර්ජන් නමැති සිංහයා ඇෆ්ගනිස්ථානයට පැමිණෙනවා. ජර්මනිය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති මිත්‍රත්වයේ සංකේතයක් බවට මාර්ජන් පත්වුණා. එකල ඇෆ්ගනිස්ථානයේ පාලන තන්ත්‍රය පැවතුණේ රාජාණ්ඩුවක් ආකාරයකට යි. කෙසේ නමුත් මොහොමඩ් සහීර් ෂාහ් ඇෆ්ගනිස්ථානයේ අවසාන රජු බවට පත්වුණා. ඉන්පසු රාජාණ්ඩු ක්‍රමය අහෝසිවීම නිසා ඔහු ධුරයෙන් නෙරපා හැරෙනවා. නමුත් ඔහුගේ පාලන සමයේ දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර, රට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නවීකරණයන් වූ බව සඳහන් වෙනවා. පොදුවේ ගත්කළ මොහොමඩ් සහීර් ෂාහ් රජුගේ පාලන සමය තුළ ඇෆ්ගනිස්ථානයේ සාමකාමී වාතාවරණයක් පැවතුණා. මාර්ජන් ඇෆ්ගනිස්ථානයට පැමිණියේ මෙලෙස සාමකාමී වටපිටාවක් එරට තුළ පැවති අවධියේ දී යි. මාර්ජන් පැමිණි විගසම එරට අගනුවර වූ කාබුල් නගරයේ අළුතින්ම තැනූ සත්වෝද්‍යානයේ ඔහුව රඳවනු ලැබුවා.

තලේබාන් පාලනයට පෙර ඇෆ්ගනිස්ථානය/demilked.com 

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මාර්ජන් කාබුල් නුවර සත්වෝද්‍යානයේ වාසය කළා. ඇෆ්ගනිස්ථානයේ අවසාන රජුගේ වැටීමත් සමග එරට සෞභාග්‍ය වියැකී ගිය හැටි, ඔහුගෙන් පසු අඳුරු සෙවණැලි ඇෆ්ගනිස්ථානය පුරා පැතිරුණු හැටි, සෝවියට් දේශයේ ඇෆ්ගනිස්ථාන ආක්‍රමණය, ප්‍රතිවාදී මුජාහිඩීන් කණ්ඩායම් සමග ඇතිවුණ කටුක සටන්, තලේබාන් සංවිධානයේ හිංසනකාරී ක්‍රියා, එක්සත් ජනපද හමුදාවේ මැදිහත්වීම් නිසා ඇති වූ විනාශයන් යන මේ හැමදේම මර්ජාන් අත්දැකලා තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයකට ලක් වූ අසරණයා

වර්ෂ 1992 දී සෝවියට් හමුදාව කාබුල් නුවරින් ඉවත්වන විට, මාර්ජන් වාසය කළ සත්වෝද්‍යානය මුජාහිඩීන් සටන්කරුවන් සහ රජයේ හමුදා අතර වූ ගැටුමකට මැදිවුණා. සටන්කරුවන් නිරන්තරයෙන් රයිෆල් අතැතිව සත්වෝද්‍යානය හරහා දිව යමින් චලනය වන ඕනෑම දෙයකට වෙඩි තැබීමට පෙළඹුණා. මාර්ජන්ගේ දිවියේ එක් අවාසනාවන්ත මොහොතකට මුහුණදීමට සිදුවන්නේ මේ ගැටුම් අතරතුර යි.

වර්ෂ 1993 එක් දිනෙක සටන්කාමී කණ්ඩායමක එක් තරුණයෙක් තම සගයන්ට තමාගේ පුරුෂත්වය සහ ධෛර්යය පෙන්වීමට මාර්ජන්ගේ කූඩුවට ඇතුළුවුණා. ඒ වනවිට මාර්ජන් සමග ඔහුගේ සහකාරිය වූ “චූචා” නම් සිංහ ධේනුව ද එම කූඩුවේ වාසය කළා. තරුණයා මුලින්ම ගියේ චූචා අසලට යි. සිංහ ධේනුව ඔහු ඉදිරියේ සන්සුන් ඉරියව්වක් ප්‍රදර්ශනය කළත් මාර්ජන් එම තරුණයාට පහර දී සුළු මොහොතකින් ඔහුව මරා දැම්මා. සාමාන්‍යයෙන් සිංහයන්ගේ පිරිමි පාර්ශවය තම අභිමානය රැකගැනීම සහ තමාට අයත් භූමිය ආගන්තුකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් ක්‍රියා කරනවා. අනෙක් අතට යුධමය තත්ත්වය හමුවේ සත්වෝද්‍යානයේ සතුන් පොදුවේ ශාරීරිකව මෙන්ම මානසිකවත් පහළ අඩියකට වැටී තිබුණා.

තුවාල ලැබූ මාර්ජන්ට ප්‍රතිකාර ලබාදීමට සූදානම් වෙමින්/hambastagi.org/

මරාදැමූ සටන්කරුගේ සහෝදරයා පසුදා මාර්ජන් සොයා පැමිණියේ මේ සිංහයාගෙන් පළිගැනීමට යි. ඔහු කෙලින්ම අත් බෝම්බයක් මාර්ජන්ගේ මුහුණ වෙත විසි කළා. මෙයින් මාර්ජන් බරපතල ලෙස තුවාල ලැබුවා. මේ පුවත ලොව පුරා පැතිරීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවලින් පැමිණි වෛද්‍යවරුන් මාර්ජන්ට ප්‍රතිකාර කරන ලද අතර, ආසාදනයන් පැතිරීම වැළැක්වීම සඳහා ඔහුගේ එක් ඇසක් සහ දත් කිහිපයක් ඉවත් කිරීමට ඔවුන්ට සිදුවුණා. කෙසේ වෙතත්, බෝම්බයෙන් මාර්ජන්ගේ හිසේ ඉතිරිව තිබූ කැබලි සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකිවුණේ නැහැ. මේ අභිමානවත්, නිර්භීත සත්ත්වයා අවසානයේ දී ඇසක් සහ මුඛයෙන් කොටසක් අහිමි වූ ආබාධිතයෙකු බවට පත්වුණා. ඔහුගේ කන් ඇසීම ද දුර්වල වුණා. ඔහුගේ ඉදිරි ජීවිතය ඉතා දුක්ඛිත වූ අතර, ඔහුට අවසානය දක්වාම අස්ථි සහිත මාංශ ආහාරයට ගැනීමට නොහැකි වුණා.

1990 දශකයේ මුල් භාගය සත්වෝද්‍යානයට ඉතා දුෂ්කර කාලයක් වුණා. මුජාහිඩීන් සටන්කරුවන් සත්වෝද්‍යානයේ මුවන්, එළුවන්, හාවන් සහ අනෙකුත් කුඩා සතුන් මරා අනුභව කිරීමට පෙළඹුණා. සත්වෝද්‍යානයේ සිටි එකම අලියා වර්ෂ 1994 දී එල්ලවුණු රොකට් ප්‍රහාරයක් හමුවේ කැබලි වී ගිය අතර, එයින් වසරකට පසුව එහි වාසය කළ එකම ව්‍යාඝ්‍ර‍යාත් අත් බෝම්බ ප්‍රහාරයක් හමුවේ ජීවිතයට සමු දුන්නා. කෙසේ නමුත් තලේබාන්වරු බලයට පත්වන විට සත්වෝද්‍යානය ආශ්‍රිතව ඇති වූ ගැටුම් නතර වුණා. එහෙත් තවදුරටත් සත්වෝද්‍යානයේ සතුන් කුසගින්නෙන් හා නොසළකා හැරීමෙන් පීඩා වින්දා. මේ සියළු බාධක මැද මාර්ජන් නියම සිංහ තේජස පෙන්වමින් කෙසේ හෝ දිවි රැකගත්තා.

 

මුහුණට එල්ල කළ බෝම්බයෙන් මාර්ජන්ගේ ඉතිරි ජීවිත කාලය බොහොම දුඛිත එකක් වුණා/alchetron.com/

කාර්ය මණ්ඩලය ආහාර වෙනුවෙන් සිඟමන් යදියි

වර්ෂ 1996 දී කාබුල් නගරයේ පාලනය තලේබාන් සංවිධානය යටතට පත්වීමත් සමග ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවෙන්න පටන් ගත්තා. අරමුදල් ගැන සැළකිලිමත් වූ තලේබාන් සංවිධානය, සත්වෝද්‍යානයේ  සතුන්ගේ ආහාර සඳහා වෙන්කර තිබූ මුදල් කපා හැරියා. එම සිදුවීමත් සමග එකොළොස් දෙනෙකුගෙන් හෙබි සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයට සතුන් පෝෂණය කිරීම සඳහා ප්‍රදේශයේ වෙළඳපොළවලින් ආහාර ඉල්ලා සිටීමට සිදුවුණා. දිනකට මස් කිලෝග්‍රෑම් 12ක් පමණ අවශ්‍ය වන මාර්ජන්ට බොහෝවිට ආහාර නොමැතිව දින ගණනාවක් ගතකිරීමට සිදු වුණා. එවකට සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ධුරයේ සිටි ෂිර් ආකා සතුන්ට විඳින්නට සිදුවෙන ගැහැට සම්බන්ධයෙන් සංවේගයට පත්වී සිටියා.

මාර්ජන්ව රැක ගැනීමට කාබුල් සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දැරුවා/vice.com/

“අපිට කාබුල් මහ නගර සභාවෙන් මුදල් ලැබුණ කාලයක් තිබුණා. නමුත් දැන් අපට කිසිවක් ලැබේවියැ යි විශ්වාස කරන්න බැහැ. සතුන්ව පෝෂණය කරන්න, වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න, කූඩු අළුත්වැඩියා කරන්න අපට මුදල් අවශ්‍ය යි”

තලේබාන් පාලනය හමුවේ ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවය ගැන එකල ෂිර් ආකා එලෙසින් අදහස් දක්වා තිබුණා.

තලේබාන් පාලන කාලයේ දීත් මාර්ජන්ට ශාරීරික පීඩාවලින් අඩුවක් තිබුණේ නැහැ. තලේබාන් සටන්කාමීන්  වරින් වර මාර්ජන්ට ගල්මුල්වලින් පහර දී හිංසා කළා. වරෙක මාර්ජන්ගේ භාරකරුවෙකු මාර්ජන්ගේ දිවි රැකගත්තේ, තමන් සියල්ලන්ගේම ශාස්තෘවරයා සතුන්ට කැමති හෙයින් මාර්ජන්ව මරා නොදමන ලෙස තලේබාන් අණදෙන නිලධාරියෙකු ඉදිරියේ බැගෑපත්වීමෙන්. කෙසේ හෝ මාර්ජන්ට ආදරය කරන අතළොස්සක් වූ පිරිස ඔහුව රැක ගත්තා.

ඒ වනවිට මාර්ජන් හැරුණුකොට වඳුරන් හත්දෙනෙක්, වෘකයන් දෙදෙනෙක්, කළු වලසෙක්, සහ කුරුල්ලන් දුසිම් කිහිපයක් සත්වෝද්‍යානයේ ඉතිරි වී සිටියා. ඉතිරිව සිටින සතුන් අතළොස්සත් මියයාවියැ යි දුක්වූ කාර්යමණ්ඩලය අවසානයේ දී ජාත්‍යන්තර සංවිධානවලින් උදව් ඉල්ලා ලිපි යැවීමට තීරණය කළා. යුද්ධය නිසා වසර ගණනාවක් පීඩා වින්දත්, සත්වෝද්‍යානය නැවත ගොඩනැඟීමේ අභිලාෂය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සිත් තුළ තිබුණා.

මාර්ජන්ගේ අවසන් කටයුතු බොහෝ පිරිසකගේ සෝ සුසුම් මැද සිදුවූ බව සඳහන්/hambastagi.org

පීඩිත සතුන් වෙනුවෙන් ලෝකය එකතු වෙයි

කාබුල් නුවර සත්වෝද්‍යානයේ නිළධාරීන් තමන් පත්ව ඇති අසීරුතාවය ලොවට ප්‍රකාශ කිරීමෙන් පසු එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස “World Association of Zoos and Aquariums (WAZA) ” නම් සංවිධානය යුද්ධයෙන් බැට කෑ මෙම සත්වෝද්‍යානය සඳහා අරමුදල් රැස්කිරීමට පටන් ගත්තා. ඉදිරි අර්ධ වාර්ෂිකය සඳහා සත්වෝද්‍යානය පවත්වා ගෙන යෑම වෙනුවෙන් ඩොලර් 35,000ක මුදලක් එකතු කිරීම ඔවුන්ගේ අරමුණ වුණා. කාබුල් සත්වෝද්‍යානය WAZA සංගමයේ සාමාජිකත්වය නොදරන වාතාවරණයක පවා ඔවුන් මේ අසරණ සතුන් බේරා ගැනීමට හැකි පමණ මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. තවත් ආයතන බොහොමයක් මේ සද්කාර්ය උදෙසා ඒකරාශී වුණා.

මෙම ජාත්‍යන්තර උපකාරවල දී මාර්ජන් නමැති සිංහයා ගැනත් විශේෂ අවධානය යොමුවුණා. එවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ටෝනි බෑන්ක්ස්, බ්‍රිතාන්‍ය රැකවරණය යටතේ මාර්ජන්ගේ ඉතිරි ජීවිත කාලය සතුටින් ගෙවා දැමීමට ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් ගැන අවධානය යොමු කළා. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නියෝජිතයෙකු රජයට දන්වා සිටියේ ඇෆ්ගන් ගැටුම්වලින් පීඩා විඳින මාර්ජන් ඇතුළු සතුන් බේරා ගැනීම බ්‍රිතාන්‍ය රජයේ වගකීමක් බව යි. එමෙන්මපශු වෛද්‍ය කණ්ඩායමක් හැකි ඉක්මණින් කාබුල් නුවරට පිටත්කර යැවීමට ද ටෝනි බෑන්ක්ස්ට අවශ්‍ය වුණා. ඔහු ජාත්‍යන්තර සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සමග එක්ව, කාබුල් නුවරට යැවීම පිණිස ආහාර හා මුදල් එක්රැස් කිරීමත් ආරම්භ කළා. මාර්ජන් යනු ඇෆ්ගනිස්ථානු කලබල ඉදිරියේ දිවි ගලවාගත් තේජවන්ත සත්ත්වයෙක් ලෙස ටෝනි බෑන්ක්ස් සැලකුවා.

කාබුල් නුවර සත්වෝද්‍යානයේ වර්තමාන ස්වරූපය/vice.com/

 

තේජවන්තයෙකුගේ අවසන් හුස්ම පොද

මාර්ජන්ට අවශ්‍ය වෛද්‍ය උපකාර ප්‍රමාද වී හෝ ලැබුණත්, ඔහු වැඩිකල් ජීවත්වීමේ වාසනාව ලැබුවේ නැහැ. අක්මාව සහ වකුගඩුවල අකර්මණ්‍යතාව හේතුවෙන් අමාරු දින කිහිපයක් ගත කළ මාර්ජන්, අවසානයේ දී අවසන් හුස්ම හෙළනවා. 2002 අගෝස්තු 28 වන දින, සිය ගණනක් ශෝකවන්නන් ඉදිරිපිට කාබුල් සත්වෝද්‍යානයේ දී මාර්ජන් සිංහයාගේ අවසන් කටයුතු සිදුකෙරෙනෙවා. ඒ වනවිට ඔහු ලෝකය පුරා අතිශය ප්‍රසාදයට පත් වූ සත්ත්වයෙක් බවට පත්වී සිටියා. ලෝකඩවලින් තැනූ මාර්ජන්ගේ මූර්තියක් සත්වෝද්‍යානයේ පිවිසුම් දොරටුව අසල ඉදි කරන්න පසුකලෙක මිනිසුන් උත්සුක වුණා.

මාර්ජන් කියන්නේ සිංහයෙකු පමණක් නොවේ. දශක තුනකට ආසන්න කාලයක් ඇෆ්ගනිස්ථානයේ කාලීන විපර්යාසවලට මුහුණ දෙමින් ඇෆ්ගන් ජනයාගේ දුක නිහඬවම ලෝකයට පැවසූ ශක්තිවන්තයෙක්, මාර්ජන්. බෝම්බ ප්‍රහාරයෙන් විකෘති වී ගිය ඔහුගේ මුහුණ සහ ඔහුගේ ශාරීරික ආබාධයන් ඇෆ්ගන් යුද්ධයේ කුරිරු බව ලෝකයට කියා පෑවා.  

සාමකාමී අතීත ඇෆ්ගනිස්තානය නැවත පැමිණෙන තුරු මාර්ජන් අදටත් බලා සිටිනවා/thephuketnews.com/

සියලු පීඩා මැද මාර්ජන් තමන්ට හැකිතාක් කාලයක් ජීවත්වුණේ, අතීතයේ සාමකාමී සහ නිදහස්ව ජීවිතය ගත කළ හැකි ස්ථානයක් බවට පත්ව තිබූ ඇෆ්ගනිස්ථානයට නැවතත් එම වාසනාවන්ත කාලය පැමිණේවි යන බලාපොරොත්තුව, ඔහුට ආදරය කළ අතළොස්සක් වූ මිනිසුන් වෙනුවෙන් ඉතිරි කරමින්. ඒ දවස එනකම් මාර්ජන් ලෝකඩ මූර්තියක් බවට පත්ව අදටත් කාබුල් සත්වෝද්‍යානයේ සිට ඇෆ්ගනිස්ථානය දෙස බලා සිටිනවා.

මාර්ජන් පිළිබඳ වීඩියෝවක් ඔබට මෙතනින් නැරඹිය හැකියි.

මූලාශ්‍රයයන්: dw.com/

hambastagi.org/

brut.media/

Cover photo : twitter.com/Panshiri_M/

Related Articles