Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“ලීලා” සමග පැමිණ සාහිත්‍යයේ “බවතරණය” කළ, මාර්ටින් වික්‍රමසිංහ

“හෙළයේ මහා ගත්කරු” යන විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහයන්, සිංහල සාහිත්‍යයේ දැවැන්තම සලකුණකි. ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන අයගේ එකම දරුවා ලෙස 1890 වසරේ මැයි 29 වන දා ගාල්ල, කොග්ගල ග්‍රාමයේ දී උපත ලද ඔහු, මුලකුරු කියැවූයේ 1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙනි. ඉන් දෙවසරකට පසු ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුරේ අකුරු ඇහිඳින ඔහු, 1900 වසරේ දී ගාල්ල බොනවිස්ටා කණිෂ්ඨ විද්‍යාලයට අකුරට යයි. එහි දී සිංහල බසට අමතරව ඉංග්‍රීසි හා ලතින් භාෂාවන් ද ප්‍රගුණ කරන්නට කුඩා මාර්ටින්ට අවස්ථාව සැලසෙන්නේ එය ඉංග්‍රීසි පාසලක් වූ නිසාවෙනි. තම පියාගේ ඇවෑමෙන් ඔහුට නැවතත් අහංගම සිංහල විද්‍යාලය වෙත යන්නට සිදුවුණු අතර, ඉන්පසු ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇනහිටිණි.

මාර්ටින් වික්‍රමසිංහ- dailynews.lk

ජීවන අරගලය කෙටියෙන්

පියාගේ මරණයත් සමග දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීම නිසාවෙන් පාසල් අධ්‍යාපනයෙන් නික්මී වයස අවුරුදු 16 දී පමණ කොළඹට පැමිණෙන මාර්ටින් වික්‍රමසිංහයන්, පළමුව කොළඹ කරෝලිස් සිල්වා කඩ සාප්පුවේ ද, දෙවනුව කොළඹ ජෝන් සිල්වාගේ තැරැව්කාර සමාගමක ද ලිපිකරුවෙකු වශයෙන් සේවයෙහි යෙදෙයි. 1915 වසරේ සිදු වූ සිංහල-මුස්ලිම් කෝලාහලයත් සමග නැවත ගමරට බලා යන වික්‍රමසිංහ තරුණයා නැවතත් රස්සාවක් සොයා මඩකලපුවට යන්නේ කොරනේලිස් සිල්වාගේ සාප්පුවේ ලිපිකාර තනතුරක් උදෙසා ම ය. මේ ජීවන අරගලය මධ්‍යයේ කාලයේ ඇවෑමෙන් ඔහු ගත්කතුවරයෙකු ලෙස ලේඛන කාර්යයට පිවිසෙයි. මේ අතරවාරයේ ඔහු “හේතු වාදී” යන අන්වර්ථ නාමයෙන් දිනපතා දිනමිණ පුවත්පතට ලේඛනයෙන් දායක වෙයි. පසුව කොළඹ ලේක්හවුසයට සම්බන්ධ වී ලක්මිණ, දිනමිණ, හා සිළුමිණ යන පුවත්පත් හි කර්තෘ ධූර පවා හොබවන ලදී.

හෙළයේ මහා ගත්කරු- ArtCeylon

සාහිත්‍යමය ගමන් මඟ

1914 දී “ලීලා” නම් නවකතාව ඔස්සේ සාහිත්‍යමය කරළියට පිවිසෙන මාර්ටින් වික්‍රමසිංහයන් ඉන්පසු, සාහිත්‍ය විචාර ලිපි එකතුවක් “ශාස්ත්‍රීය ලේඛන” නමින් 1919 දී ජනගත කරයි. 1916 දී දිනමිණට ලියන සමයේ “සොබාදහම” පදනම් කොටගෙන ළමුන් තුළ කියවීමේ රුචිය ඇතිවන පරිදි “කුරුමිණි සත්තු”, “කුරු කුහුඹු සත්තු”, “වෙස් මාරු කරන සත්තු”, “මුහුදු වෙරළ”, “සත්ත්ව ලෝකය”, හා “විද්‍යා විනෝද කතා” යනුවෙන් ළමා කතා එකතුවක් කලින් කලට පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. “ලීලා”ගෙන් පසුව තවත් නවකතා කිහිපයක්ම ඔහු අතින් ලියැවිණි. “සෝමා” (1920), “අයිරාංගනී” (1923), “සීතා” (1923), “මිරිඟු දිය” (1925), “උන්මාද චිත්‍රා” (1929), “රෝහිණි” (1929), “ගම්පෙරළිය” (1944), “මඩොල් දූව” (1947), “යුගාන්තය” (1949), “විරාගය” (1956), “කලියුගය” (1957), “කරුවල ගෙදර” (1963), හා “බවතරණය” (1973) යනු එකී නවකතා පෙළ යි. මේ අතරින් ගම්පෙරළිය නවකතාව, නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකතා හා සැසඳිය හැකි එකල දී පළ වූ ප්‍රථම සිංහල නවකතාව යි. ඔහු විසින් රචිත මෙම ගම්පෙරළිය, යුගාන්තය, හා කලියුගය ගැඹුරු සමාජ දර්ශනයකින් යුතු තුන් ඈඳුතු නවකතාවකි. එමෙන්ම, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විශිෂ්ටතම නවකතාව ලෙස සැලකෙනුයේ “විරාගය” යි.

එපමණක් නොව, සාහිත්‍යෝදය කතා (1932), විචාර ලිපි (1941), ගුත්තිල ගීතය (1943), සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් ඔස්සේ සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය සම්ප්‍රදායයන් සමග සසඳමින් විචාරයට බඳුන් කිරීමට ද ඔහු වෙහෙසුණි. එමෙන්ම 50 දශකයේ දී “සාහිත්‍ය කලාව සහ කාව්‍ය විචාර” යන විචාරාත්මක ග්‍රන්ථ ද්විත්වය ජනගත කෙරිණි. තවද, “ගැහැනියක්”, “බිල්ල සහ අපූරු මුහුණ”, “මගේ කතාව”, “මඟුල් ගෙදර”, “හඳ සාක්කි කීම”, “වහල්ලු”, “පව්කාරයාට ගල් ගැසීම”, “අපේ විත්ති”, හා “කතා අහුර” නමින් කෙටිකතා සංග්‍රහයන් ද තම පාඨකයා වෙත පිරිනැමීය. තම පෞද්ගලික ජීවිතය ඇසුරින් ලියැවුණු “කළුනික සෙවීම”, “අපේ ගම”, හා “උපන්දා සිට” යන ග්‍රන්ථ මෙන්ම “විජිතා, මයුරි, චිත්‍රා” නම් දෘශ්‍ය කාව්‍යයන් ද ඇතුළත් ව තවත් ග්‍රන්ථ හා ලිපි ලේඛන රාශියක් ඔහු අතින් ලියැවිණි.   

ගතින් පමණක් නික්මුණු, පාඨක හිතින් නොනික්මුණු “වික්‍රමසිංහයන්”- lifie.lk

කයින් දුබල වුණුමුදු, සිතින් ප්‍රබලව විසූ අවසන් සමය

කෙමෙන් කෙමෙන් ඉලක්කමෙන් පමණක් වයසට ගිය මේ මහා ප්‍රාඥයාගේ ඇස් පෙනීම 1971 දී පමණ දුර්වල වන්නට විය. එය තමාට සිදුවන විශාල විපතකැ යි ඔහු සැලකීය. එහෙයින් ඔහු විගස අක්ෂි ප්‍රතිකාර සඳහා යොමු වූ අතර, නොයෙක් පරීක්ෂණවලින් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා මොස්කව් බලා පිටත් වූයේ තම ආදරණීය බිරිඳ ප්‍රේමා ද කැටුව ය. එකී ශල්‍යකර්මයෙන් මාස තුනකට පසුව වික්‍රමසිංහයන් දිවයින බලා නැවත පැමිණිය ද, ඒ වන විටත් සම්පූර්ණ සුවය ලබා නොසිටියේ ය. කාලයාගේ ඇවෑමෙන් ශල්‍යකර්මය සිදුකළ ඇසෙහි පෙනීම යහපත් අතට වර්ධනය වූයෙන්, අනෙක් ඇසට ද එවන් ශල්‍යකර්මයක් කරන්නට හැකි නම් අගනේයැ යි ඔහුට සිතිණි. නමුත්, අවාසනාවට මෙන් එම බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීමට ඔහුට නොහැකි විය. ඔහු ක්‍රමක්‍රමයෙන් කායිකව විඩාවට පත්වන්නට විය. සෞඛ්‍ය තත්ත්වය බිඳෙන් බිඳ පිරිහෙන්නට විය. 1976 ජුලි මාසයේ දී හදිසියේ රෝගාතුර වූ ඔහුගේ අසනීප තත්ත්වය සුළු කලක් නොකඩවා පැවතිණි. ජුලි 23 වන දා ඔහු සිය නාවල නිවසෙහි දී ඔහුගේ අවසන් සුසුම් විශ්වයට මුදා හැර අප අතරින් සදහටම නික්මිණි.

Related Articles