Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහල සිනමාවේ සුවිශේෂී කඩඉමක් වූ ‘මාතලන්’

අද වන විට සිංහල සිනමාවට 72 වසරක් සපිරී තිබෙනවා. මේ කාලය තුළ සිංහල චිත්‍රපට 1300කට ආසන්න සංඛ්‍යාවක් මෙහි තිරගතව තිබෙනවා. මින් සමහරක් ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී තිබෙනවා.

අද මෙන් නොව 1950 දශකයේ දී සිංහල චිත්‍රපටයක් නිපදවීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වුණා. සිනමාකරණයට අවශ්‍ය මූලික පහසුකම් පවා එවකට මෙහි සොයාගැනීම උගහට වූ නිසා ඒවා සොයාගෙන ඉන්දියාවට යාමට අධ්‍යක්ෂකවරුන්ට සිදුවුණා. මෙවැනි බාධක රාශියක් තිබූ නිසාත්, කර්මාන්තයක් හැටියට එතරම් මුල්බැසගෙන නොතිබූ නිසාත් 1950 දශකය නිමවන විට තනා තිරගතව තිබුණේ සිනමාපට 73ක් පමණයි. කෙසේ නමුත් මේ අතරෙන් කිහිපයක්ම ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් අතර මින් අතලොස්සක් පිළිබඳ අදටත් මිනිසුන් සිහිපත් කරනවා. 1955 වසරේ තිරගත වුණු ‘මාතලන්’ චිත්‍රපටය එවැන්නක්.

මාතලන් කතා සාරාංශය

එක්තරා ඉන්දියානු රාජ්‍යයක චිත්‍රාලම්භ නම් කුමාරයෙක් වාසය කරනවා. ඉතා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ඔහුට ඊටම සරිළන මිතුරන් පිරිසක් ද සිටිනවා. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ රට පුරා රෝන්දේ ගැසීම යි. එහිදී හමුවන සුරූපී ළඳුන් සිය ග්‍රහණයට ගැනීම ඔවුන් විසින් සිදුකරනවා.

චිත්‍රවල්ලි හා චිත්‍රාලම්භ- Films.lk

චිත්‍රවල්ලී ඉහත රාජ්‍යයේ වෙසෙන ඉතා රූමත් මෙන්ම කටකාර ගොවි තරුණියක්. ඇය ඉතා එඩිතර යි. ඇගේ මව මියගොස් වන අතර ජීවත් වන්නේ පියා සමග යි. එක් දිනක අහම්බයකින් ඇගේ පියා චිත්‍රාලම්භ කුමරුගේ හොඳම මිතුරා වන මහ ඇමති පුත් දුෂ්ටබුද්ධි ගෙන් පහර කනවා. මෙය නොඉවසන චිත්‍රවල්ලී පියාගේ කීම ද නොතකා රජමාලිගාවට යන්නේ කුමරයා බැහැදැක දුෂ්ටබුද්ධිට දඬුවම් පමුණවන්නට යි. ඇය දකින කුමරා රාගයෙන් මත් වන අතර ඇයට හොඳ වේෂයක් මවාපානවා.

චිත්‍රවල්ලි නැවත නිවසට පැමිණ කමතෙහි තල වේලන අතරතුර කුමරා ඇය සොයා එනවා. අනතුරුව චුම්භනයක් දීම සඳහා අවස්ථාව පතනවා. දඟකාර තරුණියක වන චිත්‍රවල්ලි ඊට කැමති සෙයක් පෙන්වා චුම්භනය දෙන අවස්ථාවේ දී කුල්ල පානවා. මේ සිද්ධියෙන් ඉතා උදහසට පත්වන කුමරු යම් දිනක ඇය සරණ පාවාගෙන ජීවිත කාලයටම සිර කරන බව ශපථ කරනවා. ඒත් සමගම අභියෝගයක් කරන චිත්‍රවල්ලි එසේ කළහොත් යම් දිනෙක ඔහුටම දාව පුතෙක් උපද්දවා කසයකින් ඔහුට තලවන බවට පොරොන්දු වෙනවා.

රාජ බලතල භාවිතා කරන චිත්‍රාලම්භ කුමරු කියූ ලෙසම චිත්‍රවල්ලි සරණ පාවාගෙන ඇය මාලිගයක සිර කරනවා. එනමුත් ඇයට සියළු රජ සැප දීමටත්, ඇගේ පියාට තාන්න මාන්න මෙන්ම දියණිය බැලීමට අවස්ථාව දීමටත් ඔහු ක්‍රියා කරනවා. සිරගත වන චිත්‍රවල්ලි සිය පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ කෙසේදැ යි කල්පනා කරනවා. හදිසියේම ඇයට අදහසක් පහළ වන අතර කාටත් හොරෙන් නිවසේ සිට ඇය රඳවා සිටින මාලිගයට උමගක් කණින ලෙස සිය පියාට දන්වනවා. චිත්‍රාලම්භ කුමරුගේ මුදල්වලින්ම ඇගේ පියා එය සිදු කරන අතර චිත්‍රවල්ලි ඇය අසල තබා ඇති කාන්තාව බියකර සිය කුටියෙන් පිටකර තබාගන්නට සමත් වෙනවා.

තමන්ට රිසි සේ නිවසට යන චිත්‍රවල්ලි සිය උපායේ ඉදිරි කොටස ක්‍රියාත්මක කරනවා. චිත්‍රාලම්භ කුමරු විජ්ජා හා නර්ථනවලට කැමති බැව් සොයාගන්නා ඕ කාටත් සොරෙන් නර්ථන කණ්ඩායමකට බැඳී ඒවා ඉගෙනගන්නවා. අනතුරුව ඔවුන් සමග මාලිගාවට ගොස් ඒවා රඟ දක්වනවා. කවදත් ස්ත්‍රී ලෝලියෙකු වූ කුමරු ඒ චිත්‍රවල්ලි බැව් හඳුනා නොගෙන ඇය හාද කරගෙන යහන් ගත වෙනවා. ඇය ගැබිණියක බවට පත් වෙනවා.

කාටත් හොර රහසේ සිය පියාගේ නිවසේ සිය පුතුට උප්පත්තිය දෙන ඇය ඔහුට ‘මාතලන්’ යැ යි නම තබනවා. සිය පියා යටතේ සියළු ශිල්ප ශාස්ත්‍ර ඔහුට උගන්වන්නට ඇය කටයුතු කරනවා. ඉතා බුද්ධිමත් මෙන්ම ක්‍රියාශීලී තරුණයෙකු වූ මාතලන් ඉක්මණින් තරුණයෙක් බවට පත් වන අතර සම්පූර්ණයෙන් චිත්‍රාලම්භ කුමරුගේ ස්වරූපයම ඔහුට ලැබී තිබෙනවා.

vodtv.vhx.tv

නිසි කළ වයස එළඹි පසු මාතලන් සිය මවට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගන්නවා. ඔහු රාජ්‍යයේ විවිධ කලබගෑනි ඇති කර මේ වන විට රජු බවට පත් ව සිටින චිත්‍රාලම්භගේ සිත ව්‍යාකූල කරනවා. මේ අතර වර්තමාන මහ ඇමති දුෂ්ඨබුද්ධි ගේ දියණිය හා හාදවන්නටත් ඔහු සමත් වෙනවා. රජු වහාම ඔහු ඇල්ලීමට භට කණ්ඩායම් යොදන නමුත් ඒවායින් ඔහු ගැලවෙන්නේ රජුට සමාන රූපකායක් තිබීමත්, වැඩි බුද්ධියකින් යුක්ත වීමත්, දුෂ්ඨබුද්ධිගේ දියණියගේ සහාය ලැබීමත් යන කාරණා නිසා යි. ඔහු අල්ලාගැනීම සඳහා වූ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන රජු තනිවම ඔහු ඇල්ලීමට යනවා.

මාතලන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා රජු ගෝනියක බහා බැඳ දමන්නට ඔහු සමත් වෙනවා. අනතුරුව රජ ඇඳුම් ඇඟලාගන්නා ඔහු තමන් මාතලන් ඇල්ලූ බව භටයන්ට දැනුම් දී රජු සහිත ගෝනිය මාලිගාවට ගෙනයනවා. ජනයා ප්‍රීතිඝෝෂා නගන අතර මාතලන් චිත්‍රාලම්භට කස පහර දෙන්නට සූදානම් වනවා. මේ අතර චිත්‍රවල්ලි මැදට පැන එය නවත්වා දමා රජුටත් ජනතාවටත් කරුණු පැහැදිළි කරනවා. රජු සිය මුග්ධභාවය පිළිගෙන, තමන්ට හොඳ භාර්යාවක් හා පුත්‍රයෙක් සිටීම පිළිබඳ සතුටු වෙනවා. අනතුරුව මාතලන් කුමරුට රජකම භාර දෙනවා.

මාතලන්හි පාත්‍ර වර්ගයා

ශේෂා පළිහක්කාර- archives.dailynews.lk

මාතලන් චිත්‍රපටය ලංකාව තුළ මුලින්ම තිරගත වූයේ 1955 වසරේ අගෝස්තු මස 27 වන දා යි. ඒ සිංහල සිනමාවේ 30 වන චිත්‍රපටය ලෙස යි. මෙහි අධ්‍යක්ෂණය ඒ.එස් නාගරාජන් විසින් වන අතර නාගරාජන් හා හියුගෝ ප්‍රනාන්දු මෙහි තිර පිටපත රචනා කොට තිබෙනවා. ශේෂා පළිහක්කාර චිත්‍රාලම්භ කුමරුගේ හා මාතලන් ගේ ද්විත්ව චරිත නිරූපණය කරන අතර, චිත්‍රවල්ලි ලෙස ක්ලැරිස් ද සිල්වා, චිත්‍රවල්ලිගේ පියා ලෙස හියුගෝ ප්‍රනාන්දු, දුෂ්ඨබුද්ධි ලෙස මාක් සමරනායක හා ඔහුගේ දියණිය ලෙස රත්න කුමාරිත් රංගනයෙන් දායක වෙනවා.

ක්ලැරිස් ද සිල්වා- Films.lk

එස්.එම් නායගම් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර කැමරාකරණය කොන්ඩා රෙඩ්ඩි හා සංස්කරණය එල්.එස් රාමචන්ද්‍රන් විසින් සිදුකර තිබෙනවා. මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන් පාහේ සිදුවී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ දී යි.

මාතලන්හි සාර්ථකත්වයට එහි සංගීතය හා ගීත ඉතා දැඩි සේ රුකුල් දී තිබෙනවා. මෙහි ගීත 12ක් අන්තර්ගත අතර විශේෂත්වය වන්නේ ඉන් එකක් හැර අන් 11ම ස්වතන්ත්‍ර නිර්මාණයන් වීම යි. මෙහි සංගීතය ආර්. මුත්තුසාමි විසින් සිදුකර ඇති අතර ගී ගායනය ධර්මදාස වල්පොළ හා ලතා වල්පොළ විසින් සිදුකර තිබෙනවා. විශේෂයෙන් මෙහි අඩංගු වූ ‘සිරිනි සරුසර වීලා’, ‘රන්වන් දුල් කරලින් පැසිලා’, හා ‘හනික යමන් පුල්ලි ගොනෝ’ වැනි ගීත අතිශය ජනප්‍රිය වුණා.

ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර

ලතා වල්පොළ- freemusic.lk

මාතලන් චිත්‍රපටය ඉන්දියානු ජනකතවක් අනුසාරයෙන් තැණුනු චිත්‍රපටයක්. මේ සඳහා එම ජනකතාව යොදාගෙන තැණුනු දමිළ චිත්‍රපටවල ආභාෂය ගෙන ඇති අතර පිටපත මෙන්ම ඇඳුම් ආයිත්තම් ද දමිළ ඌරුවට සෑදී තිබෙනවා. කෙසේ නමුත් මෙය ලාංකීය ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය වුණා. මෙහි ප්‍රබල තිර පිටපත ඊට ප්‍රධානතම සාධකයක් වුණා. එහි ආරම්භයේ සිටම අවසානය දක්වා ගලායාම ඉතාමත් සුමට වන අතර ප්‍රේක්ෂක අවධානය නොකැඩී තබාගන්නට සමත් වෙනවා. මෙය හා හොඳ මට්ටමක ඇති රංගනයත් විශිෂ්ට සංගීතයත් මුසු වූ විට කුහුලින් යුතු ඉතා රසවත් නිර්මාණයක් ප්‍රතිඵල වී තිබෙනවා. විචාරකයින් මෙය වාණිජ්‍ය පැත්තට බර නිර්මාණයක් සේ නම් කළ ද සරල රසවින්දනය හේතුවෙන් සම්භාව්‍ය හා එසේ නොවන යන ප්‍රේක්ෂක දෙවර්ගයාගේම ප්‍රසාදය දිනාගැනීමට සමත්ව තිබෙනවා. මෙය කෙතරම් ජනප්‍රිය වී ද යත් පසුකාලීනව නැවත සංස්කරණය කරන ලද පිටපත් ද තිරගත කෙරුණා.

Related Articles