Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටම කැලඹූ මැතිව් පීරිස් ඝාතන නඩුව

විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ සිදු වූ ඝාතන බොහොමයක් අතුරින් කිහිපයක් විවිධ හේතු නිසා පරසිදු වුණා. මේ අනුසාරයෙන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය පවා නිෂ්පාදනය වුණා. 1970 දශකය අග භාගයේ කරළියට පැමිණි ‘රසල් ඉංග්‍රම් හා ඉයුනීස් පීරිස්’ ඝාතන නඩුව මේ අතරින් ප්‍රමුඛස්ථානයක තිබෙනවා. ඒ මෙහි ප්‍රධාන චූදිතයා වූ මැතිව් පීරිස් පියතුමා ලංකාවේ සුප්‍රසිද්ධ චරිතයක් වූ නිසා යි.

මැතිව් පීරිස් ගැන සැකෙවින්

මොරටුවේ උපන් මැතිව් ෆෙඩ්‍රික් ජෝර්ජ් පීරිස් සොයුරු සොයුරියන් 6 දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් සොයුරා වුණා. පසුකාලීන ව ලංකාවේ සුප්‍රසිද්ධ ම පූජකයෙකු බවට පත් වූව ද, ඔහුට කුඩාකල එවැන්නෙකු වීමේ කිසිදු උවමනාවක් තිබුණේ නැහැ. 1944 වසරේ සැප්තැබර් මස 16 වැනි දා ඔහු ෆිලීෂියා ලුවිස් ඉයුනීස් මෙන්ඩිස් මෙනෙවියගේ අත ගන්නවා. මෙම යුවළට දරුවන් 4 දෙනෙක් ලැබෙන අතර, ඉන් එක් අයෙකු කුඩාකල ම මිය යනවා. දෙවන ලෝක යුධ සමයේ දී ඔහු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට සක්‍රීය ව දායක වෙනවා.

මැතිව් පීරිස්ගේ දිවියේ නව සංධිස්ථානයක් උදා වූයේ 1950 වසරේ දී යි. හදිසියේ ම ඔහු බලවත් ලෙස රෝගාතුර වෙනවා. සියලු දෙනා ඔහුගේ මොළයෙහි ගැටිත්තක් ඇති බවට සැක කළා. අංශභාග තත්ත්වයක් සහිත ව සති 6ක් ආරෝග්‍ය ශාලාවේ ගත කරන්නට ඔහුට සිදුවෙනවා. ඉන්පසු ව ඔහු සුව වන අතර, සුව වූ පසු ඔහු විසින් පුදුමාකාර කතාවක් සිය මිතුරන්ට පැවසීමට පටන් ගත්තා. සිය කැපකරු මව කිහිපවිටක් ම පෙනී සිට තමන් දෙවියන්වහන්සේ විසින් සුවපත් කරනු ඇති බවත්, ඉතිරි ජීවිත කාලය උන්වහන්සේ වෙනුවෙන් කටයුතු කරමින් ගෙවා දැමිය යුතු බවත්, තමන් හට පැවසූ බව ඔහු විසින් පවසන්නට යෙදුණු අතර, කෙටිකලක් ඉන්දියාවේ ආශ්‍රමයක ගත කොට එංගලන්තය බලා යනවා. 1954 වසරේ දී එංගලන්ත සභාවට අයත් පූජක වරය ඔහුට පිරිනැමෙනවා. කෙටි කලෙකින් නැවත ලංකාව බලා එන මැතිව් පීරිස් පියතුමා විවිධාකාරයේ ‘ප්‍රාතිහාර්යයමය සුවකිරීම් හා මරණයට පත් කරන්නට නියම වූ සිරකරුවන්ට අවසාන යාඥා මෙහෙය පැවැත්වීම’ යන කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වුණා. මේ හේතුවෙන් ම ඔහු සමාජයේ බලවත් පුද්ගලයෙකු බවට පත් වුණා.

මැතිව් පීරිස් පියතුමා- thinkworth.wordpress.com

ඉයුනීස් පීරිස්ගේ හදිසි මරණය

1979 වසරේ ජනවාරි මස 31 වන දා කොළඹ මහ රෝහලේ 47 වන වාට්ටුවට ඉතා අසාධ්‍ය ලෙස රෝගී වූ කාන්තාවක් ඇතුළු කරනු ලැබුණා. ඇය ව රෝහල වෙත රැගෙනවිත් තිබුණේ මැතිව් පීරිස් පියතුමා විසිනුයි. මෙලෙස රෝගී වී සිටියේ අන් කවරෙකුවත් නොව මැතිව් පීරිස් පියතුමාගේ බිරිඳ වන ඉයුනීස් පීරිස් මැතිණිය යි. ඇය සිහිමද ගතියෙන් පෙළුණු අතර, රෝගියා ව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ට පෙනී ගියේ ඇයගෙ රුධිර සීනි මට්ටම ඉතා භයානක ලෙස පහළ ගොස් ඇති බව යි. හයිපොග්ලයිසීමියා යනුවෙන් හැඳින්වෙන මේ රෝගී තත්ත්වයට වෙනත් සාධකයක් නොමැති ව රෝගියෙකු භාජනය වන්නේ ඉතා කලාතුරකින් බැවින්, ඔවුන් මේ ගැන පියතුමාගෙන විමසා සිටියා. ඔහු පවසා සිටින්නේ ඇය ඊට මාස කිහිපයකට කලින් එංගලන්තයේ සිය දරුවන් හමුවට ගොස් නැවත පැමිණි බව යි. එමෙන්ම ඇය දියවැඩියා රෝගියෙකු බව ද ඔහු කියා සිටිනවා.

හයිපොග්ලයිසීමියා රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ ද ඉතා අසාමාන්‍ය ලෙස ඇයගේ තත්ත්වය දරුණු වෙන්නට පටන්ගන්නවා. මාර්තු මස මුල් භාගය වන විට ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්වන අතර, මාර්තු මස 19 වන දා සදහට ම දෙනෙත් පියාගන්නවා. වෛද්‍යවරුන්ටත් ප්‍රහේලිකාවක් ඉතිරි කළ මේ මරණය සිදුවන විට ඉයුනීස් පීරිස් මැතිණිය 59 වියැති වුණා.

අසාමාන්‍ය දෙවන මරණය

ඉයුනීස් පීරිස් මැතිණියගේ වන් අසාමාන්‍ය මරණයක් සිදු වූ විට ඒ පිළිබඳ ව රෝහලක වෛද්‍යවරුන් අතර කතාබහක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. මේ ආකාරයට ඇයගේ මරණය සිදු වූ තදාසන්න ව කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු අතරත් කතාබහක් ඇති වුණා. එහි දී අනාවරණය වූයේ ඉයුනීස් පීරිස් මාස කිහිපයක් තුළ මේ ආකාරයට මියගිය පළමුවැන්නා නොවන බව යි.

1978 වසරේ දී තරුණයෙකු වූ රසල් ඉංග්‍රම් ද කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබුණේ ඉයුනීස් පීරිස් මැතිණියට සමාන රෝග ලක්ෂණ සහිත ව යි. ඔහු ද අසාමාන්‍ය ලෙස දිනෙන් දින දුර්වල වූ අතර, 1978 වසරේ අගෝස්තු මස 10 වන දා මියගොස් තිබුණා. ඉතා දරුණු ඝණයේ හයිපොග්ලයිසීම්යා තත්ත්වයකට ඔහු ද ලක් ව තිබූ බව මරණ පරීක්ෂණයේ දී හෙළිවුණා.

ඉතා වැදගත් කාරණය වූයේ රසල් ඉංග්‍රම් ද රෝහල් ගත කොට ඇත්තේ මැතිව් පීරිස් පියතුමා ම බව හෙළිවීම යි. මරණය සිදුවන විට රසල් හා ඔහුගේ බිරිඳ ඩැල්රින් නවාතැන් ගෙන සිටියේ කොළඹ කින්සි පාරේ පිහිටි මැතිව් පීරිස් පියතුමාගේ නිවහනෙහි බවත් සටහන් වී තිබුණා. මේ සිද්ධීන් දෙක අහඹු සිදුවීමක් වීමට ඇති ඉඩකඩ අඩු බව අවබෝධ කරගත් වෛද්‍යවරු මේ පිළිබඳ ව වහා ම පොලීසිය දැනුවත් කළා.

සිද්ධිය එකල පුවත්පත් වාර්තා කළ ආකාරය- vernoncorea.wordpress.com

ඩැල්රින්ගේ හා මැතිව් පීරිස් පියතුමාගේ සම්බන්ධතාවය

මැතිව් පීරිස් පියතුමාට ඇති කීර්ති නාමය හා ඉහළ සමාජ සම්බන්ධතා නිසා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවට අදාළ සාක්ෂ්‍ය පිළිබඳ ව සෙවිය යුත්තේ පරෙස්සමෙන් බැව් පොලිසිය අවබෝධ කරගත්තා. සූක්ෂම ලෙස සිදු වූ පර්යේෂණ මඟින් කරුණු රැසක් අනාවරණය වුණා.

රසල් ඉංග්‍රම් හා ඩැල්රින් ඉන්ග්‍රම් යන යුවළ රැකියා විරහිත ව සිටිය දී මැතිව් පීරිස් පියතුමාගේ දේව මෙහෙයකට සහභාගී වන අතරතුරක දැන හඳුනාගෙන, ඔවුන් දෙදෙනාට රැකියා ලබාදීමට ඔහු උත්සුක වී තිබෙනවා. සුරූපිණියක වූ ඩැල්රින් සිය පෞද්ගලික ලේකම් කරගෙන ඇති ඔහු, යුවළට ම සිය නිවසෙහි නවාතැන් දී තිබෙනවා. රසල් ඉංග්‍රම්ගේ රෝගී තත්ත්වය ඇති වී තිබෙන්නේත් ඒ අතර යි. ඉතා නිරෝගී තරුණයෙකු වූ ඔහුගේ මරණය සැක සහිත බැව් එය සිදු වූ වහා ම ඔහුගේ හිතවතුන් විසින් සැක කරන්නට යෙදුණු බවත්, පියතුමා හා ඩැල්රින් අතර සම්බන්ධයක් ඇති බවට කසුකුසු පැතිර තිබූ බවත් පොලිසියට දැනගන්නට ලැබෙනවා.

රසල්ගේ මරණය සිදු වූ තදාසන්න ව ඉයුනීස් පීරිස් මැතිණිය එංගලන්තය කරා පිටත් කර ඇති බවත්, ඇය නැවත පැමිණි පසු රසල් හා සමාන රෝගී තත්ත්වයට ලක් වූ බවත් ඔවුන් සොයාගන්නවා. තවත් වැදගත් කාරණයක් වන්නේ සාමාන්‍ය මිනිසෙකු නොව, සුව කරන්නෙකු හා සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන මැතිව් පීරිස්ට රෝහල් ගතකළ පසුත් උක්ත දෙදෙනා ම කරා ඕනෑ ම මොහොතක සමීප වීමේ හැකියාව තිබූ බැව් පොලිසිය විසින් වටහා ගැනීම යි.

ඉහත කරුණු කාරණා සලකා බැලූ ඔවුන් වහා ම ක්‍රියාත්මක වන පරිදි රසල් ඉංග්‍රම්ගේ දේහය නැවත ගොඩගන්නටත්, මැතිව් පීරිස්ගේ නිවහන පරීක්ෂා කරන්නටත් නීතිමය අවසරය අධිකරණයෙන් ලබාගන්නවා.

මැතිව් පීරිස් (දකුණේ සිට දෙවැනියා) චන්ද්‍රන් රත්නම් (වමේ සිට පළමුවැනියා) සමග- Sunday Observer

සාක්ෂ්‍ය මතුවෙයි

අවසරය ලැබීමෙන් පසු මැතිව් පීරිස් පියතුමාගේ නිවහන පරීක්ෂා කරනු ලදු ව, එහි තිබී රුධිරගත සීනි මට්ටම අඩු කරන බෙහෙත් පෙති හමුවනවා. කෙසේ නමුත් මැතිව් පීරිස් පියතුමා පවසන්නේ තමන් දියවැඩියා රෝගියෙකු බැවින් ඒවා තමන්ගේ පරිභෝජනයට ගෙන ආ බව යි. මේ අතර රසල් ඉංග්‍රම්ගේ දේහය ද නැවත ගොඩගැනෙන අතර, එය යොදාගෙන සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වන්නේ ඔහුගේ සිරුරේ රුධිරගත සීනි මට්ටම අඩු කරන ඖෂධ අධිමාත්‍රාවලින් අන්තර්ගත ව තිබෙන බව යි. විශේෂ ම කාරණය වන්නේ මේ මරණ සිදුවන විට මැතිව් පීරිස් පියතුමා රුධිරගත සීනි පාලනය කිරීම පිළිබඳ ව නිබන්ධනයක් සකසමින් සිටීම යි. මේ කරුණු හා තවත් සාක්ෂ්‍ය සලකා බැලූ පොලිසිය ද්විත්ව මිනිමැරුම් චෝදනා යටතේ ඔහු හා ඩැල්රීන් ඉංග්‍රම් යන දෙදෙනා ම පොලිස් භාරයට ගන්නවා.

අවසානය

1980 වසරේ මැතිව් පීරිස් පියතුමා හා ඩැල්රින් ඉංග්‍රම් මහත්මියට එරෙහි චෝදනා ගොනු වී මඳ කලෙකින් ඔවුනට එරෙහිව වූ නඩු විභාගය පටන් ගැනෙනවා. 1984 වසරේ පෙබරවාරි 15 වන දා මොවුන් දෙදෙනා ම මිනීමැරුම් ද්විත්වයට වරදකරුවන් වූ අතර, මරණ දඬුවම නියම වෙනවා. කෙසේ නමුත් ඇපෑලක් මඟින් නිදහස් වන්නට ඩැල්රීන් ඉංග්‍රම් සමත් වෙනවා. මැතිව් පීරිස් සඳහා වූ මරණීය දණ්ඩණය ඇපෑලකින් පසු ද තහවුරු වූ නමුත් ඒ වන විට ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසා සිරබත් කෑමට ඔහුට සිදුවෙනවා.

According to Mathew (2018) චිත්‍රපටයේ ඇල්ස්ටන් කොච් මැතිව් පීරිස් පියතුමා ලෙස- charmboard.com

වසර ගණනාවක් සිරබත් කෑ මැතිව් පීරිස් පසුකාලීන ව සමාව ලබා නිදහස් වෙනවා. ඔහු 1998 වසරේ දී මිය යන්නේ වයෝවෘධ ව යි. ඩැල්රීන් ඉංග්‍රම්ට කුමක් සිදුවූවා ද යන්න හරියාකාර ව සඳහනක් නැහැ. මේ සිද්ධිය පාදක කොට ගෙන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් විසින් නිපදවන ලද ‘According to Mathew’ චිත්‍රපටය වර්තමානයේ තිරගත වෙනවා.

 

Related Articles