Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම් පහ ගැන වැඩි දෙනෙක් නොදන්නා කරුණු

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය කියන්නේ සිත් ගන්නා සුළු කතන්දර අඩු නැතිව අහන්න ලැබෙන තැනක්. දැන් ලෝකයේ විශාලතම සමාගම් විදිහට තියෙන ආයතන පවා ආරම්භයේදී බොහොම සුළුවට තිබුණු ඒවා බව වැඩි දෙනෙක් දන්නවානේ. ඒ නිසාම ඒවා ආරම්භ වුණු හේතු වගේම අද තියෙන තත්වයට ආවේ කොහොමද කියන එක ගැනත් කතන්දර ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. ඉදිරි ගමනක් යන්න හිතන සමාගම් වලට සහ පුද්ගලයන්ට ඒවායින් ගන්න තියෙන ආදර්ශ හරිම වටිනවා.

අපේ රටේ තියෙන බොහොමයක් සමාගම් ලෝකයත් එක්ක බැලුවාම අතිවිශාල නැති වුණත් ඒවා ආරම්භ වීම පිටුපස තියෙන කතා නම් ප්‍රසිද්ධම සමාගම් පිටුපස තියෙන කතා වගේම රසවත් කියලා කිව්වොත් වැරැද්දක් නැහැ. මෙහෙම කිව්වාට සමහරුන් එක සැරේම පිළිගන්න එකක් නෑ. ඒත් මේ කාරණාව ටිකක් හිතලා බලන්න: ලංකාවේ අද දියුණුම තත්වයේ තියෙන සමාගම් බොහොමයක් බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉඳලාම පැවතගෙන එන ඒවා. ඉතින් වසර ගණනක ඉතිහාසයම අපූරු කතන්දර බිහි වෙන්න ප්‍රමාණවත් බව වැටහෙනවා නේද?

මේ ගැන ටිකක් තොරතුරු හොයලා බලලා ලංකාවේ දැනට තියෙන විශාලතම සමාගම් පහ පිටුපස තියෙන සිත්ගන්නා සුළු දේවල් එක තැනකට ගෙනෙන්න අපි තීරණය කළේ මේ නිසයි. අපි මෙතනදී ලොකුම සමාගම් කියලා කිව්වේ රටේ දැනට වෙළඳපොළ ප්‍රාග්ධන සම්පාදනය (කාටත් තේරෙන විදිහට කිව්වොත් Market Capitalisation එක) අනුව වැඩිම වටිනා කමක් හිමි සමාගම් පහට. මේ සමාගම් පහේ ආරම්භය ගැන වගේම අනෙකුත් අපූරු තොරතුරු ගැනත් අද ලිපියෙන් විස්තර කෙරෙනවා.

zonechart

1 – ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (JKH)

මාලදිවයිනේ පිහිටි “Cinnamon Dhonveli” නිකේතනය. - මේකත් ජෝන් කීල්ස් සමාගමට අයිති නිවාඩු නිකේතනයක්. රූපය : Virgin Holidays

මාලදිවයිනේ පිහිටි “Cinnamon Dhonveli” නිකේතනය. – මේකත් ජෝන් කීල්ස් සමාගමට අයිති නිවාඩු නිකේතනයක්. රූපය : Virgin Holidays

ආරම්භ වුණු හැටි:

ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් එකේ ආරම්භය සිදු වුණෙත් බොහොම සුළු පරිමාණයෙන්. 1870 ගණන් වල මුල් භාගයේ ලංකාවේ ජීවත් වුණු එඩ්වින් සහ ජෝර්ජ් ජෝන් කියලා ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙක් කොළඹ ප්‍රදේශයේ විනිමය හුවමාරු සහ තැරැව්කාර සමාගමක් පටන් ගන්න තීරණය කළා. 1948 දී මේ සමාගම එංගලන්තයේ තිබුණු තවත් තැරැව්කාර සමාගම් දෙකක් එක්ක එකතු වුණු නිසා සමාගමේ නමත් “ඊ. ජෝන්, තොම්සන් සහ වයිට් සීමාසහිත සමාගම” (E. John, Thompson, White & Co. Ltd) විදිහට වෙනස් වුණා. ඊට ටික කාලෙකට පස්සේ මේ ආයතනයෙන් ලංකාවේ තිබුණු තවත් තැරැව්කාර සමාගමක් වුණු කීල් සහ වොල්ඩොක් සමාගම (Keell & Waldock Ltd) පවරා ගත්තා. ඒ අනුව සමාගමේ සම්පූර්ණ නම “සීමාසහිත ජෝන් කීල් තොම්සන් වයිට්” (John Keell Thompson White Ltd) නැතිනම් JKTWL විදිහට තවත් වාරයක් වෙනස් වුණා.

ඊට පස්සේ 1970 දශකයේ මැද භාගයේදී JKTWL එකෙන් “වෝකර්ස් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්” (Walkers Tours and Travels) ඇතුලත්ව “මැකිනන්ස් සමූහය” (Mackinnons Group) පවරා ගැනීමත් එක්ක තමයි සීමාසහිත ජෝන් කීල්ස් (John Keells Limited) විදිහට නැවතත් නම් කෙරුණේ. මේ මැකිනන් සමූහය ඒ කාලයේ මුහුදු ගමන් ක්ෂේත්‍රයේ ලොකු ආයෝජන කරලා තිබුණු ආයතනයක්. මේ මිලදී ගැනීමෙන් පස්සේ ජෝන් කීල්ස් එක 1974 අවුරුද්දේ පොදු සමාගමක් බවට පත් වුණා.

ඊටත් අවුරුදු 12කට පස්සේ තමයි සීමාසහිත ජෝන් කීල්ස් එක “ජෝන් කීල්ස් හෝල්ඩින්ස්” විදිහට සංස්ථාපිත කෙරුණේ. ඒ විදිහට තමයි දැන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් එක විකාශනය වුණේ.

අපූරු තොරතුරු:

  • 1994 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ සමාගමක් විදිහට වෙනත් රටක සමාගම් ලැයිස්තුවක ලියාපදිංචි ආයතනයක් වෙන්න මුලින්ම පුළුවන් වුණේ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් එකටයි. ඔවුන් ගෝලීය තැන්පත් රිසිට්ටු (Global Depository Receipts – GDRs) නිකුත් කරන්න ගත්තු තීරණය මේකට හේතු වුණා. ඔවුන්ගේ රිසිට්ටු “ලක්සම්බර්ග් කොටස් වෙළඳපොළේ” (Luxembourg Stock Exchange) ලැයිස්තුගත වුණා.
  • ශ්‍රී ලංකාවේ වැඩිම හෝටල් කාමර සංඛ්‍යාවක් කළමනාකරණය කෙරෙන්නේ JKH එකෙන්.
  • ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම ඵලදායී බහාලුම් අංගන දෙකෙන් එකක් වන “දකුණු ආසියා මුවදොර” අංගනය පාලනය වෙන්නේ JKH එක යටතේ. (South Asia Gateway Terminal නැතිනම් SAGT එක) අනෙක් බහාලුම් අංගනය වන “කොළඹ ජාත්‍යන්තර බහාලුම් අංගනය” (Colombo International Container Terminal නැතිනම් CICT) එක පාලනය කරන්නේ හොංකොං පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන චයිනා මර්චන්ට් හෝල්ඩින්ස් ඉන්ටර්නැෂනල් (China Merchant Holdings International) සමාගමෙන්.

2 – ශ්‍රී ලංකා දුම්කොළ සමාගම (CTC)

ශ්‍රී ලංකා රජයට වැඩිම බදු ආදායමක් ලබා දෙන තනි ආයතනය විදිහට සැලකෙන්නේ ශ්‍රී ලංකා දුම්කොළ සමාගම නැතිනම් CTC එක. රූපය : ljenergy.com

ශ්‍රී ලංකා රජයට වැඩිම බදු ආදායමක් ලබා දෙන තනි ආයතනය විදිහට සැලකෙන්නේ ශ්‍රී ලංකා දුම්කොළ සමාගම නැතිනම් CTC එක. රූපය : ljenergy.com

ආරම්භ වුණු හැටි:

කොළඹ කොටස් වෙළඳපොළට අනුව දෙවැනි වැඩිම වටිනාකමක් හිමි සමාගම වන ශ්‍රී ලංකා දුම්කොළ සමාගම ලන්ඩන් වල මූලස්ථානය පිහිටා තියෙන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු දුම්කොළ ආයතනයේ (British American Tobacco – BAT) සාමාජික සමාගමක්. ලංකා දුම්කොළ සමාගමේ මව් සමාගම වන “බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ” එක ලෝකයේ විශාලතම දුම්කොළ සමාගම් පහෙන් එකක් විදිහට ප්‍රසිද්ධයි. අපේ රටේ තියෙන ශාඛා සමාගමත් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අවුරුදු 100කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියනවා. බ්‍රිතානයන්ගෙන් නිදහස ලැබුණට පස්සෙත් රටේ ඉතිරි වුණු ලොකු සමාගම් වලට CTC එක හොඳ උදාහරණයක් විදිහට සලකන්න පුළුවන්.

අපූරු තොරතුරු:

  • ලංකා දුම්කොළ සමාගම, නැතිනම් CTC එක ශ්‍රී ලංකා රජයේ බදු ආදායමට වැඩිම දායකත්වයක් දක්වන තනි සමාගම විදිහට කාලයක් පුරා මුල් තැන තියෙනවා. 2015 අවුරුද්දේ මුළු බදු ආදායමෙන් 7%ක්ම ලබා දුන්නේ ලංකා දුම්කොළ සමාගමෙන්. වටිනාකමෙන් කිව්වොත් CTC එකෙන් ගෙවන බද්ද රුපියල් බිලියන 92ක් විතර වෙනවා. ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ ගණනාවකම වාර්ෂික වැය ශීර්ෂය පවා මීට වඩා අඩුයි.
  • දුම්කොළ ක්ෂේත්‍රයේ තියෙන සංවේදී බව වගේම නීතිමය බාධක නිසාත් CTC එක සමාජ වගකීම්, නැතිනම් CSR ව්‍යාපෘති සිදු කරන්නේ සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේදයට වඩා ටිකක් වෙනස් විදිහකටයි. ඔවුන්ගේ ව්‍යාපෘති හැඳින්වෙන්නේ සමාජ ආයෝජන ව්‍යාපෘති නැතිනම් CSI (Corporate Social Investment) හැටියටයි. මේවා තුලින් ශ්‍රී ලංකා ජන සමාජයේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආයෝජන සිදු කරන්න CTC එක කටයුතු කරනවා. ඔවුන්ගේ විශාලතම CSI ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ ධරණීය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (Sustainable Agricultural Development Program) නැතිනම් SADP කියලයි. සෘජු මූල්‍ය ආධාර දෙන එකෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා දුප්පත් කම නැති කරන්න හේතු වෙන වෙනත් ධරණීය පිළියම් ගැන තමයි ඔවුන් වැඩිපුරම උනන්දු වෙන්නේ.

3 – නෙස්ලේ සමාගම (Nestlé)

කුරුණෑගල පිහිටා තියෙන නෙස්ලේ ලංකා කර්මානතශාලව. රූපය : Nestlé Lanka

කුරුණෑගල පිහිටා තියෙන නෙස්ලේ ලංකා කර්මානතශාලව. රූපය : Nestlé Lanka

ආරම්භ වුණු හැටි:

ශ්‍රී ලංකාවේ කාගේත් ජනප්‍රියම පානයක් වන “මයිලෝ” නිෂ්පාදනය කරන නෙස්ලේ මව් සමාගම ආරම්භ වුණේ 1866 අවුරුද්දේ. නමුත් මේ ආයතනය නෙස්ලේ ලංකා විදිහට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹුවේ 1906 වසරේ ඉඳලයි. මුලින්ම ළදරු ආහාර වර්ගත්, ලංකාවේ අදටත් හැමෝම දන්න එකම උකු කිරි වර්ගය වන “මිල්ක් මේඩ්” එකත් නිෂ්පාදනය කරන එකෙන් තමයි ඔවුන් ව්‍යාපාරය ආරම්භ කළේ. 1934 අවුරුද්දේදී විතර ඔවුන් ශ්‍රී ලංකාවේදී මයිලෝ බීම නිෂ්පාදනය ආරම්භ කළා. ඉන් පස්සේ අවුරුදු 20ක 30ක කාලයක් තුළ ඔවුන් හඳුන්වා දුන්නු මැගී (Maggi), නෙස්කැෆේ (Nescafé) සහ නෙස්ටමෝල්ට් (Nestomalt) ඔවුන්ගේ ජනප්‍රියම වෙළඳ නාම විදිහට දක්වන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ නිෂ්පාදන රට පුරාම ජනප්‍රිය වෙද්දී ඔවුන් 1986 දී මුල් වරට දේශීය පොල් වලින් පිටි කළ පොල් කිරි නිෂ්පාදනය කරලා ලෝකය පුරා බෙදා හැරීම ආරම්භ කළා.

අපූරු කරුණක්:

  • අදටත් ලෝකයේ පිටි කළ පොල් කිරි අපනයනයෙන් ඉහළම තැනක නෙස්ලේ ලංකා ආයතනය තියෙනවා.

4 – කොමර්ෂල් බැංකුව

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව කොමර්ෂල් බැංකුවයි. රූපය : nation.lk

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව කොමර්ෂල් බැංකුවයි. රූපය : nation.lk

ආරම්භ වුණු හැටි:

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකු ආයතනය වන කොමර්ෂල් බැංකුව ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ 1920 අවුරුද්දේ කොළඹ චැතම් වීදියේ. ඒ කාලේ කොමර්ෂල් බැංකුව පැවතුණේ “ඊස්ටර්න් බෑන්ක්” (Eastern Bank) කියලා බ්‍රිතාන්‍ය බැංකු සමාගමක ශාඛාවක් විදිහටයි. පස්සේ කාලෙක මේ ඊස්ටර්න් බැංකුව චාටර්ඩ් බැංකුව (Chartered Bank) විසින් පවරා ගනු ලැබුවා. ඒ අනුව තමයි අද පවතින “ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්” බැංකුව (Standard Chartered Bank) බිහි වුණේ.

ඊස්ටර්න් බැංකුව (1957 දී ඉඳලා චාටර්ඩ් බැංකුව යටතේ තිබුණු) ලංකාව තුළ ඔවුන්ගේ ශාඛා සමාගමක් විදිහට 1969 අවුරුද්දේදී “ලංකා වාණිජ බැංකුව”, නැතිනම් Commercial Bank of Ceylon කියලා ආයතනයක් ආරම්භ කළා. මේ තීරණයට වැඩිපුරම හේතු වුණේ ඒ කාලයේ රජයෙන් විදේශ බැංකු වලට පනවලා තිබුණු දැඩි නීති රීති. 1997 අවුරුද්දේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ඔවුන් සතුව තිබුණු කොමර්ෂල් බැංකුවේ කොටස් (ඊස්ටර්න් බැංකුව පවරා ගැනීමත් එක්ක හිමි වුණු) ආපහු පවරලා දීමත් එක්ක කොමර්ෂල් බැංකුවට ස්වාධීන බැංකුවක් විදිහට කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. 2003 අවුරුද්දේ කොමර්ෂල් බැංකුවෙන් බංගලාදේශයේ “ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් ඉන්ඩෝසියුස්” (Credit Agricole Indosuez) කියන ආයතනයේ මෙහෙයුම් කටයුතු පවරා ගෙන බෙංගාල භූමියේත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව ලබා ගත්තා.

අපූරු කරුණක්:

  • 2016 අවුරුද්දේ ජූනි මාසය වෙනකොට කොමර්ෂල් බැංකුවේ සම්පූර්ණ මූල්‍ය සම්පත් වල වටිනා කම රුපියල් බිලියන 905ක්. සංසන්දනය කරලා බලන්න අවශ්‍ය නම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයත් රුපියල් බිලියන 10,000කට වඩා අඩුයි!

5 – ඩයලොග් ආසියාටා සමාගම

ඩිජිටල් මාධ්‍යයෙන් ගෝලීය ජංගම සන්නිවේදන සේවා සැපයීම, නැතිනම් ඩිජිටල් GSM සේවය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ඩයලොග් ආයතනය විසින්. රූපය : adaderana.lk

ඩිජිටල් මාධ්‍යයෙන් ගෝලීය ජංගම සන්නිවේදන සේවා සැපයීම, නැතිනම් ඩිජිටල් GSM සේවය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ඩයලොග් ආයතනය විසින්. රූපය : adaderana.lk

ආරම්භ වුණු හැටි:

මේ ආයතන ලැයිස්තුවේ ලාබාලම සමාගම වන ඩයලොග් ආයතනය මුලින්ම ආරම්භ වුනේ 1993 අවුරුද්දේ. ඩයලොග් සමාගම බිහි වෙන්න මුල් වුණේ මැලේසියාවේ “ටෙලිකොම් මැලේසියා බර්හැඩ්” (Telekom Malaysia Berhad) සහ කැපිටල් මහරාජා ආයතනය අතර ඇති වුණු හවුල් ගිවිසුමක්. ඩයලොග් සමාගම ව්‍යාපාර කටයුතු කරන කාලයේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා සැපයීමේ එකාධිකාරීත්වය තියාගෙන හිටියේ 1989 දී සේවා සැපයීම අරඹපු සෙල්ටෙල් සමාගමයි. වෙන එකක් තියා ඒ කාලයේ ජංගම දුරකථන හැඳින්වුණේත් “සෙල්ටෙල් එකක්” කියලා.

ඒ වුණත් අලුතෙන් ආරම්භ වුණු ඩයලොග් එකට වෙළඳපොළ අල්ලා ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඔවුන්ගේ ප්‍රධානතම ආයුධය වුණේ අලුතෙන් ඇති වුණු ඩිජිටල් GSM තාක්ෂණය. ඒ වන විට සෙල්ටෙල් ජාලයේ කටයුතු සිදු වුණේ ඇනලොග් තාක්ෂණය හරහා විතරයි. ඇනලොග් ක්‍රමයේදී ඇති වන ඝෝෂා ශබ්දය ඩිජිටල් ක්‍රමයේදී ඇති වෙන්නේ නැහැ වගේම SMS පහසුවෙන් යැවීමේ හැකියාවත් තියෙන්නේ ඩිජිටල් GSM වලින් පමණයි. මේ විදිහට ඩිජිටල් GSM තාක්ෂණය හඳුන්වලා දීම නිසාත්, ආචාර්ය හාන්ස් විජේසූරිය වගේ හොඳ දැක්මක් තියෙන නායකයෙක් යටතේ පාලනය වුණු නිසාත් ඩයලොග් ආයතනයට නව සහස්‍රය උදා වීමත් එක්කම රටේ ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රයේ මූලිකයා බවට පත් වෙන්න පහසුවෙන්ම පුළුවන් වුණා.

ඊළඟ අවුරුදු පහක දහයක කාලය ඇතුළත රැහැන් රහිත අන්තර්ජාල දත්ත සැපයීම, ස්ථාවර දුරකථන වගේම සැටලයිට් රූපවාහිනී සේවා සැපයීම කියන ක්ෂේත්‍ර වලටත් ඇතුලත් වෙලා ලංකාවේ පළමු සිව් විධ දුරකථන සන්නිවේදන සේවා ආයතනය (Quadruple Play” telecom services provider) වෙන්න ඩයලොග් සමාගමට හැකි වුණා. ඩයලොග් GSM පසුව තමයි “ආසියාටා” (Axiata) සමාගමේ කොටස් කරුවෙක් බවට පත් වෙලා “ඩයලොග් ආසියාටා PLC” විදිහට නම වෙනස් කර ගත්තේ.

අපූරු කාරණා:

  • ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඩයලොග් ආයතනයේ විධායක අධ්‍යක්ෂක (CEO) විදිහට 1997 අවුරුද්දේ පත් වෙද්දී ඔහුගේ වයස අවුරුදු 29ක් විතරයි. ඒ අනුව ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලාබාලම CEO කෙනෙක් විදිහට ඔහු ගැන ලොකු කතාබහක් ඇති වුණා. මේ තීරණය වඩාත්ම ආන්දෝලනාත්මක වුණේ කොණ්ඩය පැහුණු පුද්ගලයන්ට සමාගම් වල ඉහළ පුටු හිමි වීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය ලංකාවේ ඉහළින්ම තිබුණු නිසයි.
  • ඩයලොග් ආයතනය වෙනුවෙන් කාලයක් පුරා සිදු වුණු ආයෝජනය සෘජු විදේශ ආයෝජනයක් (FDI එකක්) විදිහට සලකලා බැලුවොත් ඒක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වුණු විශාලම තනි FDI එක. ආරම්භයේ ඉඳලා මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 2ක පමණ අති විශාල ඍජු විදේශ ආයෝජනයක් ඩයලොග් ආයතනය වෙනුවෙන් සිදු වෙලා තියෙනවා.

මේ අපි කතා කරේ ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් පහ ගැනයි. බලාගෙන ගියාම ලංකාවේ සමාගම් ගැනත් ලොකු ලොකු සමාගම් වල වගේ අපූරු කතා තියෙනවා. එහෙම නේද?

කවරයේ පින්තුරය: kesara.lk

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles