Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාමාන්‍ය රෝග සඳහා ඔසු පැළෑටි ප්‍රතිකාර ක්‍රම

ලංකාවේ අපේ මුතුන් මිත්තන් සාමන්‍ය රෝගයකදී අප අවට පරිසරයෙන් සොයාගත හැකි පැළෑටි වලිනුයි බෙහෙත් ද්‍රව්‍ය සකසාගෙන ඇත්තේ. ඇත්තෙන්ම අප ජිවත් වන්නේ ඉතා වටිනා ඔසු පැළෑටි වලින් සපිරි පරිසරයක. නමුත් ගැටලුව වන්නේ ඒවා ඔසුවක් ලෙස භාවිතා කරන අයුරු අප නොදැන සිටීමයි. සාමාන්‍ය ජිවිතයේ අපට ඇතිවන රෝග සඳහා පැළෑටි වලින් නිවසේදීම බෙහෙත් වට්ටෝරුවක් සකස් කරගන්නා අන්දම මේ ලිපියෙන් දක්වමු.

අජීර්ණය (Indigestion)

ආහාර ජීරණ පද්ධතියෙහි ඇතිවන ව්‍යාකුලත්වයක් හෝ ආහාර දිරවවීමෙහි ඌණතාවක් ඇති වූ විට එය අජීර්ණයක් ලෙස හඳුන්වයි. ආහාර දිරවීම යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා පහත ඔසු පැළෑටි උදව් වේවි.

ඉදුණු පැපොල්

ප්‍රෝටීන් ඉක්මණින් දිරවීමට මෙය උපකාරී වන අතර බර ආහාරයක් අනුභවයෙන් පසු අතුරුපසක් ලෙස ගැනීමට සුදුසුය.

අනෝදා කොළ

අනෝදා Scientific Name- Anona reticulate Linn (herbstime.com)

මුලින්ම අනෝදා කොළ ගිනි දැල්ලට අල්ලා රත් කර ගන්න. එම කොළ රස්නය සමඟ උදරය මතුපිට තබා රෙදි පටියකින් වෙලන්න. මෙය පැය දෙකකට වරක් වෙනස් කළ යුතු අතර දරුවන්ට මෙන්ම ළදරුවන්ට ද සුදුසුය.

පිනි කරල් කොළ

පිනි කරල් පත්‍ර කෝප්පයක් වතුර කෝප්ප 5ක් සමඟ මිනිත්තු 10ක පමණ කාලයක් ලිපේ තබා උතුරවා ගන්න. එයට දිය ලුණු තේ හැඳි ½ ක් පමණ එකතු කර පහත මාත්‍රාවට භාවිතා කරන්න.

  • වැඩිහිටි- පැය 4 ට වරක් මුලදී කෝප්ප 2 බැගින් හා පසුව කෝප්ප 1 බැගින්
  • ළමා- පැය 4 ට වරක් මුලදී කෝප්ප 1 බැගින් හා පසුව කෝප්ප ½ බැගින්
  • ළදරු- පැය 4 ට වරක් මුලදී මේස හැඳි 1 බැගින් හා පසුව තේ හැඳි 1 බැගින්

මෙයට අමතරව පැය හතරක් පමණ නිරාහාරව සිටීම ද සුදුසුය. එම කාල සීමාවේදී පැයකට වරක් බැගින් උණු වතුර කෝප්පයක් පානය කළ හැකියි. නිරාහාර කාලයෙන් පසු සැහැල්ලු ආහාරයක් අනුභව කරන්න.

උණ (Fever)

සිරුර තුලට බැක්ටීරියා සහ වෛරස් ඇතුළු වූ විටෙක ඊට එරෙහිව සටන් කිරීම සඳහා සුදු රුධිරාණු නිපදවීම අවශ්‍ය වේ. එසේ කිරීමට අවශ්‍ය වූ විට ශරීර උෂ්ණත්වය ඉහළ නඟින අතර උණ ගැනෙන්නේ එවිටයි. වෛරසයක් මඟින් ඇති වූ උණ ගැන්මක් සඳහා පහත ඔසු පැළෑටි උදව් වේ.

විනාකිරි

විනාකිරි මේස හැඳි 2ක් ඇල් වතුර බේසමකට දමන්න. මෙසේ සාදාගන්නා මිශ්‍රණය නළල මත විනාකිරි සංකෝචකයක් ලෙස භාවිතා කළ හැකි වේ.

කාමරංගා කොළ

සිහින් ලෙස කපාගත් කාමරංගා කොළ කෝප්ප 2ක් වතුර ගැලුම් ½ ක බහා මිනිත්තු 10 ක පමණ කාලයක් උතුරවා ගන්න. එය පෙරාගත් පසු පැය 2ක පමණ කාලයක් නිවෙන්නට ඉඩ හරින්න. එසේ සකසාගත් ද්‍රාවණය ශීත සංකෝචකයක් ලෙස භාවිතා කළ හැකියි.

බණ්ඩක්කා ඇට

වියළි බණ්ඩක්කා ඇට කබලේ බැදගෙන හොඳින් කුඩු කරගන්න. මෙසේ සකසාගත් කුඩු කෝප්ප ½ ක් වතුර වීදුරු 2ක් සමඟ මිශ්‍ර කර මිනිත්තු 15ක් පමණ හොඳින් උතුරවාගන්න. සිසිල් වූ පසු පෙරාගත් එය පහත මාත්‍රාවට පානය කරන්න.

  • වැඩිහිටි:- ආහාර ගැනීමෙන් පසු කෝප්ප 1 බැගින් දවසට 3 වරක්
  • ළදරු:- ආහාර ගැනීමෙන් පසු මේස හැඳි 1 බැගින් දවසට 3 වරක්
  • අවු. 2-6 :- ආහාර ගැනීමෙන් පසු කෝප්ප ¼ බැගින් දවසට 3 වරක්
  • අවු. 7-12:- ආහාර ගැනීමෙන් පසු කෝප්ප ½ බැගින් දවසට 3 වරක්

නික දළු

සිහින් ලෙස කපාගත් වියළි නික දළු මේස හැඳි 4ක් හෝ අමු නික දළු මේස හැඳි 6ක් හෝ වතුර වීදුරු 2ක් සමඟ මිනිත්තු 15ක් පමණ උතුරවා ගන්න. එසේ සකස් කරගත් ද්‍රාවණය පහත මාත්‍රාවට පානය කරන්න.

  • වැඩිහිටි:- පැය 4 කට වරක් කෝප්ප 1 බැගින්
  • ළදරු:- පැය 4 කට වරක් මේස හැඳි 1 බැගින්
  • අවු. 2-6 :- පැය 4 කට වරක් කෝප්ප ¼ බැගින්
  • අවු. 7-12:- පැය 4 කට වරක් කෝප්ප ½ බැගින්

කැස්ස (Cough)

කැස්ස ඇතිවන්නේ ස්වාස නාලය ඉදිමීම හෝ සෙම හේතුවෙනි.

නික දළු

සිහින්ව කපාගත් වියළි නික කොළ මේස හැඳි 4ක් හෝ සිහින්ව කපාගත් අමු කොළ මේස හැඳි 6ක් ගෙන වතුර වීදුරු 2ක් සමඟ මිනිත්තු 15 ක පමණ කාලයක් උතුරවා ගෙන පහත මාත්‍රාවට භාවිතා කරන්න.

  • වැඩිහිටි:- කෝප්ප ½ බැගින් දවසට තුන් වරක්
  • ළදරු::- තේ හැඳි 1 බැගින් දවසට තුන් වරක්
  • අවු. 2-6:- මේස හැඳි 1 බැගින් දවසට තුන් වරක්
  • අවු. 7-12:- කෝප්ප ¼ බැගින් දවසට තුන් වරක්

කප්පර වල්ලිය දළු

සිහින්ව කපාගත් කප්පර වල්ලිය දළු වතුර වීදුරු 2ක් සමඟ මිනිත්තු 15ක් පමණ උතුරවා ගන්න. එසේ සකසාගත් ද්‍රාවණය පහත මාත්‍රාවට පානය කරන්න.

  • වැඩිහිටි:- කෝප්ප ½ බැගින් දවසට තුන් වරක්
  • ළදරු:- තේ හැඳි 1 බැගින් දවසට තුන් වරක්
  • අවු. 2-6:- මේස හැඳි 2 බැගින් දවසට තුන් වරක්
  • අවු. 7-12:- කෝප්ප ¼ බැගින් දවසට තුන් වරක්

කපුරු කොළ සහ මල්

සිහින්ව කපාගත් වියලි කපුරු කොළ සහ කපුරු මල් කෝප්ප 1ක් හෝ සිහින්ව කපාගත් අමු කපුරු කොළ සහ මල් කෝප්ප 1 ½ ක් වතුර වීදුරු 2ක් සමඟ මිනිත්තු 15ක් පමණ උතුරවා ගන්න. එම ද්‍රාවණය පහත මාත්‍රාවට පානය කරන්න.

  • වැඩිහිටි:- කෝප්ප ½ බැගින් පැය 4ට වරක්
  • ළදරු:- තේ හැඳි 1 බැගින් පැය 4ට වරක්
  • අවු. 2-6:- මේස හැඳි 2 බැගින් පැය 4ට වරක්
  • අවු. 7-12:- කෝප්ප ¼ බැගින් පැය 4ට වරක්

ගඳපාන (හිඟුරු) කොළ සහ මල්

ගඳපාන (හිඟුරු) Scientific Name- Lantana camara L. (gardeningknowhow.com)

සිහින්ව කපාගත් හිඟුරු අමු කොළ සහ මල් වතුර වීදුරු 2ක් සමඟ මිනිත්තු 15ක පමණ කාලයක් උතුරවා ගන්න. එය පහත මාත්‍රාවට භාවිතා කළ හැකියි.

  • වැඩිහිටි:- කෝප්ප ½ බැගින් දවසට තුන් වරක්
  • ළදරු:- තේ හැඳි 1 බැගින් දවසට තුන් වරක්
  • අවු. 2-6:- මේස හැඳි 2 බැගින් දවසට තුන් වරක්
  • අවු. 7-12:- කෝප්ප ¼ බැගින් දවසට තුන් වරක්

ඉල්ල කොළ

සිහින්ව කපාගත් අමු ඉල්ල කොළ කෝප්ප 1ක් වතුර වීදුරු 2ක් සමඟ මිනිත්තු 15ක පමණ කාලයක් උතුරවා ගන්න. හොඳින් පෙරාගත් එයට දෙහි ගෙඩි 2ක යුෂ සහ සීනි මේස හැඳි 1ක් එකතු කරගැනීමෙන් අනතුරුව පහත මාත්‍රාවට පානය කරන්න.

  • වැඩිහිටි:- කෝප්ප ½ බැගින් පැය 4ට වරක්
  • ළදරු:- තේ හැඳි 1 බැගින් පැය 4ට වරක්
  • අවු. 2-6:- මේස හැඳි 2 බැගින් පැය 4ට වරක්
  • අවු. 7-12:- කෝප්ප ¼ බැගින් පැය 4ට වරක්

දත් කැක්කුම (Toothache)

අක්කපාන කොළ

අක්කපාන Scientific Name- Kalanchoe pinnata (Lam) Pers. Bryophyllum Calycinum (healthbenefitstimes.com)

අක්කපාන දළු අවශ්‍ය ප්‍රමාණයට ගෙන පොඩි කරගන්න. එය ඉදිමීම ඇති කම්මුල මත ආලේප කරන්න.

මිංචි කොළ

මිංචි Scientific Name- Mentha cordifolia Opiz (biocarve.com)

මිංචි කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන පොඩි කරගන්න. එයින් එන යුෂ වල රෙදි කැබැල්ලක් ඔබා පොඟවා ගන්න. තෙත රෙදි කැබැල්ල දත් කුහරය ඇති තැන තබා කුහරය පුරවා ගන්න.

සුදු ළුණු/ අලි ගැට පේර ඇට

දත් කුහරයට සරිලන සේ සුදු ළුණු හෝ  අලි ගැට පේර ඇටයකින් කැබැල්ලක් කපාගන්න. එය කුහරය ඇති තැන තබා කුහරය පුරවා ගන්න. මෙය දවසට දෙවරක් මාරු කිරීම අවශ්‍ය වේ.

හිසරදය (Headache)

දරුණු පීනස රෝගය සමඟ ඇතිවන හිසරදයට පහත ප්‍රතිකර්ම වඩාත් සුදුසුය.

කපුරු කොළ

අමු කපුරු කොළ 5ක් 6ක් පමණ ගෙන මඳක් පොඩි කරගන්න. එයට පොල් තෙල් බින්දු 2ක් වත් කරන්න. එය හැන්දකට ගෙන පිළිස්සෙන්නට නොදී ගින්නට අල්ලා උණුසුම් කරගන්න. එම කපුරු කොළ උණුසුම්ව තිබියදීම නළල මත සහ කම්මුල් මත තබන්න. නින්දට යාමට පෙර මිනිත්තු 30ක පමණ කාලයක් මෙම ප්‍රතිකර්මය කිරීම සුදුසුය.

උගුර තුවාල වීම (වණ වීම)- (Sore Throat)

සෙම් ගෙඩි නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඇති වන ඉදිමීමක් නිසා උගුර තුවාල විය හැකියි.

ඉඟුරු

ඉඟුරු Scientific Name- Zingiber officinale Roscoe (hygeiahmo.com)

අමු ඉඟුරු කැබැල්ලක් සෝදා පිටපොත්ත ඉවත් කරගන්න. එය කටේ දමා විනාඩි කිහිපයක් හොඳින් හපන්න. යුෂ ගිලින්න.

කෝමාරිකා පත්‍ර

කෝමාරිකා Scientific Name- Aloe Barbadensis Mill (food.ndtv.com)

කෝමාරිකා කොළයක් ගෙන කුඩා කැබලි වලට කපාගන්න. ඒවා මුව තුල රඳවා ගනිමින් යුෂ ගිලින්න. යුෂ ඉවත් වුණ විට කෝමාරිකා පත්‍ර කැබැල්ල වෙනස් කරන්න.

සුදුළූණු

සුදුළුණු Scientific Name- Allium sativum Linn (ripeme.com)

සුදුළුණු බික්කක් ගෙන පොත්ත ඉවත් කරගන්න. එය මුවේ තබා විකමින් යුෂ ගිලින්න.

කවරයේ ඡායාරුපය – mirmam.pro 

මූලාශ්‍ර: 

  • ‘ඔසු පැළෑටි හාස්කම්’, හ්ර්මිනියා ද ගුස්මාස්- ලැවියොන්,වැරැල්ලගම ගාමිණී වීරතුංග, ලක්පහන පොත් ප්‍රකාශකයෝ, 1998.‘A
  • Field Guide to Economically Important Plants in Sri Lanka’, Prabha Amarasinghe, Priyangani Senanayake, Gunpala Amarasinghe.
  • http://www.lankalibrary.com/foo/aurveda.html
  • thakshana.nsf.ac.lk/slstic/NA-349/NA349.pdf

මෙම ඔසු වට්ටෝරු කෙතරම් යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ගෙන එන්නේ ද යන්න පිළිබඳව Roar විසින් අත්හදා බලා නැත. එනිසා මේවා භාවිත කරන්නේ නම් එහි වගකීම ඔබ සතු බව දත යුතු.

Related Articles