චීන සේද මාවත සහ ශ්‍රී ලංකාව

චීනයත් ශ්‍රී ලංකාවත් අතර තියෙන මිතුරුකම අද ඊයේ ඇති වුණු එකක් නෙවෙයි. මෑත කාලයේදී චීනයේ ආධාර සහ ණය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිසා සමීප සම්බන්ධයක් ඇති වෙලා තිබුණත් ඇත්තටම ඉස්සර ඉඳන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර සමීප මිතුරුකමක් තිබුණා. ශ්‍රී ලංකාවත් චීනයත් අතර සම්බන්ධතා ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවස දක්වා දිව යනවා. ඒ කියන්නේ අපි චීනයත් එක්ක සම්බන්ධතා පටන් අරගෙන දැනට අවුරුදු 3000කටත් වඩා වැඩියි.

ඉතාම දීර්ඝ (වසර 2500කට වැඩි) ලේඛනගත ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාව අතීතයේ ලොව පුරා පැතිරිලා තිබුණු විශාලතම අධිරාජ්‍යයන් කිහිපයක් එක්කම කිට්ටු සම්බන්ධතා පවත්වා තියෙනවා. ඒ අතරින් රෝම අධිරාජ්‍යය සහ චීන අධිරාජ්‍යය ප්‍රධානයි. ඇත්තටම පුරාණ රෝම ලේඛන වල ශ්‍රී ලංකාව ගැන සඳහන් වෙන අවස්ථා කිහිපයක්ම ඇති බව විවිධ පර්යේෂණ ග්‍රන්ථ වල දැක්වෙනවා. ඒ අතරේ හමු වෙන ටිකක් අමුතු නමකුත් දැක ගන්න පුළුවන්. ඒ තමයි “ප්ලීනි”. (Pliny)

ශීලා ටෙරී (Sheila Terry) කියන චිත්‍ර ශිල්පිණිය ඇඳපු ප්ලීනිගේ චිත්‍රයක්. (ප්ලීනිගේ පුතාගේ නමත් ප්ලීනි මයි. ඉතින් අපි මේ ලිපිය පුරාවට කියන්නේ වැඩිමහල් ප්ලීනි ගැන බව විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි.) ප්ලීනි ජීවත් වෙලා ඉන්න කාලයේ ඇඳපු සිතුවමක් හොයා ගන්න නැති නිසා ඔහු ගැන ලේඛන වල තියෙන විස්තර ආශ්‍රයෙන් තමයි ඇය මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. රෝම ලේඛන වල ශ්‍රී ලංකාව ගැන විස්තරාත්මකව සඳහන් කරපු මුල්ම රෝම ප්‍රාඥයා විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්. චීන වෙළෙන්දන් සහ ශ්‍රී ලාංකිකයන් අතර තිබුණු කිට්ටු මිතුරුකම තමන් පෞද්ගලිකවම අත්විඳපු බව ඔහු තමන්ගේ ලේඛන වල සඳහන් කරලා තියෙනවා.

ප්ලීනි කියන්නේ රෝමානු ජාතික ඉතිහාසඥයෙක් වගේම ස්වභාව විද්‍යාඥයෙක්. (ඔහු විසූවියස් ගිනි කන්ද පුපුරා ගිය අවස්ථාවේදී මරණයට පත් වුණා) එක්තරා අවස්ථාවක ශ්‍රී ලංකාව සහ චීනය අතර මැටි භාණ්ඩ සහ සේද රෙදි වෙළඳාම දියුණු කිරීම වෙනුවෙන් චීන තානාපති කාර්යාලයක් හසුන්පත් එවපු බව පවා ඔහු සඳහන් කරලා තියෙනවා. මේ කාලයේ චීනයත් එක්ක වෙළඳාම් කරපු ප්‍රධාන වරාය වුණේ “මංතොට” වරාය. දැන් ජම්බුකොළ වරාය කියලා හැඳින්වෙන මේ වරාය පිහිටලා තියෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ඉහළම කොටසේ.

වරාය කියලා කිව්වට දැන්නම් මේ ස්ථානයේ ඉතිරි වෙලා තියෙන්නේ පැරණි පන්සලක නටබුන් විතරක් බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ඉපැරණි කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් දීපු මේ වරායේ අද ඒ ඉතිහාස කතා සිහි ගැන්වෙන කිසිවක් ඉතිරි වෙලා නැහැ. කොහොම වුණත් යාපනය අවට මුහුදේදී අනතුරු වලට ලක් වෙලා මුහුදු බත් වුණු පැරණි නැව් විශාල ගණනක චීන මැටි භාණ්ඩ හමු වෙලා තියෙනවා.

චීන අධිරාජ්‍යයන් ඒ දවස්වල “සෙයිලෑන්” දූපතේ (ශ්‍රී ලංකාව ඒ කාලයේ හැඳින්වුණේ සෙයිලෑන් – Zeilan කියන නමින්) පාලනය හිමි රාජකීයයන්ට ඉස්තරම්ම සේද රෙදි ඇතුළු වටිනා තෑගි බෝග යවලා ඔවුන්ව මිතුරු කරලා තබා ගත්තා. ඒ මිතුරුකමේ ප්‍රතිඵලයක් විදිහට අපේ රාජකීයයන් චීන අධිරාජ්‍යය සහ මැද පෙරදිග මුහුද අතර වෙළඳාමේ යෙදුණු සියලුම නැව් වෙනුවෙන් අපේ රටේ ප්‍රධානතම වරාය විදිහට යාපනයේ මංතොට වරාය පිහිටුවලා තියෙනවා. අවුරුදු 4000ක් පැරණි මේ මුහුදු වෙළඳ මාර්ගය දිගේ තමයි ආසියාවේ හැම අධිරාජ්‍යයකම ප්‍රධානතම වරායන් පිහිටලා තිබුණේ.

සේද මාවත

මේ මුහුදු වෙළඳ මාර්ගය 19 වැනි සියවසේ ජීවත් වුණු “බාරොන් ෆර්ඩිනැන්ඩ් වොන් රිච්තෝෆන්” (Baron Ferdinand von Richthofen) කියන ජර්මන් ජාතික ප්‍රාඥයා විසින් “ඩයි සීඩෙන්ට්‍රාසේ” (Die Siedenstrasse) කියලා නම් කරනු ලැබුවා. මේකේ අදහස “සේද මාර්ගය” කියන එකයි. ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් මේ ඉපැරණි වෙළඳ මාර්ගයේ වැදගත් කොටස්කරුවෙක්. ශ්‍රී ලංකාවේ වගේම චීනයේත් පාලකයන් බුදු දහම වැළඳ ගෙන හිටපු නිසා ඒ දවස් වල ඉඳලාම චීනයත් ශ්‍රී ලංකාවත් අතර සමානකම් බොහොමයක් තිබුණා. මේ නිසා එකිනෙකා අතර සාකච්ඡා බොහොම සුහදව, සාර්ථකව පවත්වා ගෙන යන්න අවස්ථාව හිමි වුණා.

ක්‍රිස්තු වර්ෂ 410 දී සුප්‍රසිද්ධ චීන දේශාටකයෙක් වන “ෆාහියන්” බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණා. එතුමා තමන්ගේ චාරිකා වාර්තාවේ තමන් අනුරාධපුරය නගරයට වැඩම කළ බවත්, ශ්‍රී ලංකාව තුළදී චීන සේද ව්‍යාපාරිකයන් විශාල ගණනක් මුණ ගැසුණු බවත් සඳහන් කරලා තියෙනවා. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ පාලකයා වුණේ මහානාම රජතුමා. ඔහුගේ රාජමාලිගාව ගැන වගේම ඒ ආශ්‍රිතව ඉදි කරලා තිබුණු විහාරය ගැනත් විස්තරාත්මක කරුණු ෆාහියන් තුමන්ගේ වාර්තාවේ දැක ගන්න පුළුවන්.

මේ දවස් වල චීන ජාතිකයන් අපේ රට හඳුන්වන්න පාවිච්චි කළේ “සිහළද්වීප්” කියන නම. (Sihaladvip) චීනයෙන් ලැබුණු සේද ඇතුළු භාණ්ඩ වෙනුවෙන් අපේ රටෙන් ඔවුන් වෙත මැණික්, ඇත් දළ සහ කුළු බඩු අපනයනය කෙරුණා. අපේ රටේ අදටත් ප්‍රධානතම ඓතිහාසික ලියැවිල්ල විදිහට සැලකෙන මහාවංශයට මග හැරුණු සමහර කරුණු පවා ෆාහියන් තුමන්ගේ දේශාටන වාර්තා වල සවිස්තරාත්මකව දැක්වෙනවා.

අතීත කාලයේ සේද මාවත දිගේ අපේ රටට ආපු තවත් වැදගත් දේශාටකයෙක් තමයි අරාබි ජාතික “ඉබන් බතූතා” (Ibn Batutta). ඔහු අපේ රටේ මධ්‍යම ප්‍රදේශයේ තිබුණු ශ්‍රී පාදය නරඹන්න ආපු බොහොම දුෂ්කර චාරිකාව විස්තර කෙරෙන වාර්තා බොහොමයක් සොයා ගන්න පුළුවන්. බතූතා අපේ රටට ආවේ ෆාහියන් තුමන්ගේ සංචාරයෙන් අවුරුදු 900කට වගේ පසුවයි.

අනෙක් වැදගත්ම වෙළඳ සංචාරකයා තමයි මාකෝ පෝලෝ (Marco Polo). ඇමරිකාව සොයා ගැනීම වෙනුවෙන් ලෝකය පුරාම ගෞරවයට පාත්‍ර වුණු ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට දේශාටනයේ යෙදෙන්න ආසාවක් ඇති වුණේත් මාකෝ පෝලෝගේ චාරිකා නිසා බව කියැවෙනවා. අවුරුදු 17 ක් පුරාවට මෞගල් අධිරාජ්‍ය කුබ්ලායි ඛාන් (Kublai Khan) රජතුමාගේ රාජකීය සභාවේ නියෝජිතයෙක් විදිහට හිටපු මාකෝ පෝලෝව අවුරුදු දෙකක් සඳහා ශ්‍රී ලංකාවටත් එවනු ලැබුවා.

ඒ ක්‍රිස්තු වර්ෂ 1292 සිට 1294 දක්වා කාලයේ. අතීත කාලයේ ක්‍රියාත්මක කෙරුණු තානාපති සේවා විශාල ගණනකින් එකක් විදිහට ඔහුව මේ විදිහට ශ්‍රී ලංකාවට එවලා තියෙන්නේ මෞගල්-චීන අධිරාජ්‍යය එක්ක ශ්‍රී ලංකාව මැණික්, දේශීය ඖෂධ පැළෑටි සහ බෙහෙත් වර්ග වෙළඳාමේදී දක්වපු සුහදශීලී බව අගය කිරීමක් හැටියටයි.

ෆාහියන් තුමන්ගේ සහ මාකෝ පෝලෝගේ පිළිරූ දෙකක්. මේවා තැන්පත් කරලා තියෙන්නේ සිංගප්පූරුවේ සෙන්ටෝසාහි වර්ල්ඩ් රෙසෝට් එකේ පිහිටා තියෙන “සමුද්‍රාශ්‍රිත අත්දැකීම් අනුබද්ධ කෞතුකාගාරය සහ මින්මැදුර” කියන ස්ථානයේ. (Maritime Experiential Museum & Aquarium, Resorts World, Sentosa, Singapore) රූපය : commons.wikimedia.org

ෆාහියන් තුමන්ගේ සහ මාකෝ පෝලෝගේ පිළිරූ දෙකක්. මේවා තැන්පත් කරලා තියෙන්නේ සිංගප්පූරුවේ සෙන්ටෝසාහි වර්ල්ඩ් රෙසෝට් එකේ පිහිටා තියෙන “සමුද්‍රාශ්‍රිත අත්දැකීම් අනුබද්ධ කෞතුකාගාරය සහ මින්මැදුර” කියන ස්ථානයේ. (Maritime Experiential Museum & Aquarium, Resorts World, Sentosa, Singapore) රූපය : commons.wikimedia.org

පාරාදීසයේ මතුවුණු ගැටළු

කොහොම වුණත් ඕනෑම මිතුරුකමක් වගේම මේ මිතුරුකමේදීත් ගැටළු කිහිපයක්ම ඇති වුණා. 1400 ශත වර්ෂයේ මුල් භාගයේදී චීනයේ තුන් වැනි මින්ග් රජ පෙළපතට අයත් “චෙන්ග් සූ” (Cheng Tsu) අධිරාජ්‍යයා “චෙන්ග් හෝ” (Cheng Ho) නම් ජෙනරාල්වරයෙක් යටතේ සේනාවක් ශ්‍රී ලංකාවට එවන්න කටයුතු කළා. ඔහුට අණ ලැබිලා තිබුණේ අපේ රටේ තිබුණු ශ්‍රී දළදා කරඬුව සහ පාත්‍රා ධාතුව චීනයට අරගෙන එන්න කියලයි.

අවුරුදු දෙකක මුහුදු ගමනකින් පස්සේ ඔහු ඇතුළු සේනාව ශ්‍රී ලංකාවේ බේරුවල ආසන්නයේ තියෙන සීනිගම වෙරළ ආසන්නයෙන් රටට ගොඩ බැස්සා. කොහොම නමුත් ඔහුට මේ පූජා වස්තූන් සොයා ගන්නට ඉඩ ලැබුණේ නැහැ. මේ නිසා කෝපයට පත් වුණු ජෙනරාල් චෙන්ග් හෝ ශ්‍රී ලංකාවේ රජතුමා සහ පවුලේ උදවියව සිර භාරයට අරගෙන 1411 අවුරුද්දේ ජූලි 6 වැනිදා චීනයට ගෙන යන්න කටයුතු කළා. කොහොම නමුත් චීනයේ අධිරාජ්‍ය චෙන්ග් සූ ශ්‍රී ලංකාවේ රජ පරම්පරාව නැවත සියරට බලා යැවීමත් එක්ක මේ ඇති වුණු ප්‍රශ්නය තරමක් දුරට සමනය වුණා.

ජෙනරාල් “චෙන්ග් හෝ” (Zheng-He) ගේ සිතුවමක්. ඔහු නැව් 300ක් සහ නාවිකයන් 28,000ක් එක්ක රටවල් 30 කට වැඩි ගණනකට යාත්‍රා කළා. ඔහුගේ නාවික බල ඇණියට “නිධාන ඇණිය” කුත් අයත් වුණා. (Treasure Fleet) බටහිර පැසිෆික් ප්‍රදේශය සහ ඉන්දියානු සාගරයේ පිහිටි රටවල වැසියන් අතර මුහුදු මාර්ගයක් ස්ථාපනය කිරීමේ ගෞරවය ඔහුට පිරිනමා තිබෙනවා. ඔහු කොලොම්බස් ඇමරිකාවට ළඟා වෙන්න දශක ගණනාවකට කලින් ඇමරිකාවටත් ගිය බවට ඇතැම් අය මත පළ කර තිබෙනවා. රූපය : bbc.co.uk

ජෙනරාල් “චෙන්ග් හෝ” (Zheng-He) ගේ සිතුවමක්. ඔහු නැව් 300ක් සහ නාවිකයන් 28,000ක් එක්ක රටවල් 30 කට වැඩි ගණනකට යාත්‍රා කළා. ඔහුගේ නාවික බල ඇණියට “නිධාන ඇණිය” කුත් අයත් වුණා. (Treasure Fleet) බටහිර පැසිෆික් ප්‍රදේශය සහ ඉන්දියානු සාගරයේ පිහිටි රටවල වැසියන් අතර මුහුදු මාර්ගයක් ස්ථාපනය කිරීමේ ගෞරවය ඔහුට පිරිනමා තිබෙනවා. ඔහු කොලොම්බස් ඇමරිකාවට ළඟා වෙන්න දශක ගණනාවකට කලින් ඇමරිකාවටත් ගිය බවට ඇතැම් අය මත පළ කර තිබෙනවා. රූපය : bbc.co.uk

කොහොම වුණත් චෙන්ග් හෝ අපේ රටේ රජ පවුල සිරභාරයේ තබාගෙන චීනය බලා පිටත් වෙන්න කලින් ගල් පුවරුවක සටහනක් තබන්න නියෝග කළා. චීන, පර්සියන් සහ දෙමළ භාෂා තුනෙන්ම සටහන් කෙරුණු මේ ගල් පුවරුව, නැතිනම් සෙල් ලිපිය දැන් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක සාක්ෂියක් විදිහටත් මේ සෙල් ලිපිය සැලකෙනවා. ඒ කාලයේ පැවති ප්‍රධාන ආගම් තුන වන බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ධර්මයන් අතර තිබුණු සාමකාමී බවත් මේ ගල් පුවරුවේ දැක ගන්න පුළුවන්.

කොළඹ කෞතුකාගාරයේ තබා ඇති චෙන්ග් හෝ ගේ භාෂා තුනකින් කොටා ඇති සෙල් ලිපිය. රූපය රචකයාගෙනි

කොළඹ කෞතුකාගාරයේ තබා ඇති චෙන්ග් හෝ ගේ භාෂා තුනකින් කොටා ඇති සෙල් ලිපිය. රූපය රචකයාගෙනි

ශ්‍රී ලංකාවත් චීනයත් අතර සම්බන්ධතාවය මේ සිදුවීමෙන් පස්සෙත් තවත් ශත වර්ෂයක් තරම් කාලයක් තිස්සේ සාර්ථකව පැවතිලා තියෙනවා. මේ මුළු කාලය පුරාවටම සේද මාවත දිගේ වෙළඳ ගණුදෙනුත් විශාල වශයෙන් සිදු වුණා. නමුත් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල බලය යුරෝපීය අධිරාජ්‍යයන්ට යටත් වුණාට පස්සේ නම් ශ්‍රී ලංකාවට මේ කටයුතු වලින් දුරස් වෙන්නට සිද්ධ වුණා. ඉන් පස්සේ තමයි අපේ රටේ බස්නාහිර සහ දකුණු ප්‍රදේශ වල වරායන්ගෙන් ඒ ප්‍රදේශ අල්ලාගෙන සිටි රටවල් වලට පමණක් භාණ්ඩ අපනයනය ආරම්භ වුණේ.

කොහොම වුණත් පසුකාලීනව නැවතත් චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වුණා. අතරමගදී බිඳීම් සිදු වුණත් වසර දහස් ගණනක් පුරාවටම මේ රටවල් දෙක අතර කිට්ටු මිතුරුදමක් තියෙනවා. අපේ රටේ හැම අංශයකටම චීනයත් එක්ක තිබුණු සම්බන්ධතා නිසා ඇති වුණු බලපෑම් ගැන හොයලා බැලුවොත් පොතක් ලියන්න තරම් කාරණා පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් වේවි.

දවස පුරා මහන්සි වෙලා හවස් වරුවේ කොළඹ පැත්තේ ජනාකීර්ණ වීදියක ඇවිදගෙන යන කෙනෙකුට රෝමය අපේ රට මොන තරම් කිට්ටුවෙන් ආශ්‍රය කළාද කියන එක වගේම පර්සියාව සහ චීනය අතීතයේ අපට මොන තරම් කිට්ටුවෙන් හිටියාද කියන එකත් විශ්වාස කරන්න අපහසු වෙන්න පුළුවන්.

නමුත් ඉතිහාසයේ සැඟවුණු තැන් වල ලියැවිලා තියෙන කරුණු ඒ මුළුමනින්ම වගේ අමතක වෙලා ගිය අතීතයට සාක්ෂි දරනවා. ඇත්තටම අපිට මගහැරුණු මොන තරම් දේවල් අපේ ඉතිහාසය විසින් ගිලගෙන ඇත්ද? අපි අද තත්වයට එන්න යම් තරමකින් හරි බලපෑම් කරපු මොන තරම් සිදුවීම් වාර්තා වලට ඇතුලත් නොවී අමතක වෙලා ගිහින් ඇත්ද? මේ දේවල් කල්පනා කරන කොට ඒ ගැන සියුම් දුකකුත් ඇති වෙන එක වළක්වන්න බැහැ.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles