Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මිල් පවුලේ හෙලිකොප්ටර්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊලාම් යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුම් වලදී LTTE මර්මස්ථානවලට සාර්ථක ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන ලද ප්‍රහාරක ගුවන් යානා පිළිබඳව විස්තරයක් පසු ගිය ලිපියකින් “ත්‍රස්ත ඉලක්ක සුනුවිසුණු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන්යානා තුනක්” නමින් ගෙන ආවා ඔබට මතක ඇති.

අවසන් යුද්ධ සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද්දේ එම ලිපියේ විස්තර කර තිබූ ප්‍රහාරක ගුවන් යානා තුන පමණයි. ඉතින් මේ ලිපියෙන් අද ඔබ වෙත ගෙන එන්නට සුදානම් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් හා ප්‍රවාහනය සඳහා භාවිතා කරන හෙලිකොප්ටර් යානාවක් පිළිබඳව කෙටි විස්තරයක්. මේවාගේ සුවිශේෂී ගුණාංග ඒ වගේම කොහොමද මෙම හෙලිකොප්ටර් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබුණේ වැනි කරුණු මේ ලිපිය යටතේ සාකච්ජා කරන්නට අපි සුදානම්.

උඩු ගුවනේ යුද්ධ ටැංකිය – Mil Mi 24

Mi 24 හෙලිකොප්ටරය (Foxtrot Alpha)

හමුදා ක්‍රියාන්විත සඳහා උඩුගුවනේ සිට සහාය දැක්වීම සඳහා ගුවනේ සිට සාර්ථක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති Mi 24 හෙලිකොප්ටරය, ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හදුන්වා දෙන්නේ 1995 වසරේදීයි. උතුරු නැගෙනහිර අවසන් යුද්ධ සමයේ පාබල හමුදාවට ඉදිරියට යාම සඳහා ඉඩ විවර කර දුන් මෙම හෙලිකොප්ටරය අප කා අතරත් ඉතා ප්‍රසිද්ධයි.

Mi 24 ගුවන් බලඝනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 9 වන ප්‍රහාරක බලඝනය ලෙස හිඟුරක්ගොඩ ගුවන් හමුදා පරිශ්‍රයේ ස්ථාපිත කරන අතර 1995 වසරේ නොවැම්බර් 24 වනදායි. ඒ සඳහා බදු පදනම යටතේ හෙලිකොප්ටර් තුනක් හා ගුවන් නියමුවන් පස් දෙනෙක්, කාර්ය මණ්ඩලය 26 දෙනෙක් යොදා ගනු ලබනවා. 1996 වසරේදී නවතම Mi 24 හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලදී ගන්නා අතර Radar system, Fully functional helmet  හා Mounted target tracking systems යොදා පසු කාලයේදී එම  හෙලිකොප්ටර් වැඩිදියුණු කර තිබෙනවා.

1972 වසරේ සෝවියට් දේශයේ නිෂ්පාදනයක් ලෙස සටන් භූමියට පිවිසෙන Mi 24 අද වන විට රටවල් 34ක ගුවන් හමුදාව විසින් භාවිතා කරන අතර මෙම  හෙලිකොප්ටරය නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් වෙන්නේ 1960 වර්ෂයටත් පෙරයි. ඒ  Mikhail Leont’yevich Mil නම් සෝවියට් හෙලිකොප්ටර් ආකෘති සලසුම්කරුවකුගේ මූලිකත්වයෙන්. ඔහුට ගරු කිරීමක් ලෙසයි මෙම යානයේ නම Mil Mi 24 ලෙස නම් කරන්නේ. වර්තමානය වන විට මෙය නිපදවන්නේ රුසියාවේ Mil Moscow Helicopter Plant හීදියි.

ප්‍රවාහන (Transport) හා ප්‍රහාරක (Attack) යන හෙලිකොප්ටර් වර්ග දෙකම එක් කර නිපදවූ Mi 24 හි 8 දෙනෙක්ගෙන් යුත් භට ඛණ්ඩයකට යා හැකි අතර ප්‍රහාර එල්ල කිරීමේදී තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ප්‍රහාරක හෙලිකොප්ටර යානය තුළ ගමන් කළ හැකියි. එසේ යා හැක්කේ ගුවන් නියමුවාට, අවි පද්ධතිය හසුරවන්නාට හා තාක්ෂණික නිලධාරියාටයි. Mi 24 හෙලිකොප්ටර යානය top-mounted turbo shaft එන්ජින් දෙකක් මගින් බලය ලබා ගන්නා අතර යානයේ ප්‍රහාරක පියාසර පරාසය 450 km – 1000 km පමණ වෙනවා.

සෝවියට් දේශය මගින් නිපදවූ 12.7 mm Yakushev-Borzov Yak-B Gatling gun නම් ප්‍රභල ප්‍රහාරක වෙඩි බලයකින් යුත් ගිනිඅවි බට හතරකින් සමන්විත වූ අවිය මගින් මිනිත්තුවට වට 4000-5000 (rpm) අතර වේගයකින් භ්‍රමණය වෙමින් වෙඩි තබන්නට පුළුවන්. මෙහි තවත් අවියක් වන්නේ UB-32 S-5 rocket launchers නම් රොකට් විදිනයයි. එය S-5 නම් රුසියානු මිසයිල දියත් කිරීම සඳහා යොදා ගන්නවා. හෙලිකොප්ටරයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 300ක් පමණ වෙන අතර දැනට ලෝකයේ නිපදවා ඇති වේගවත්ම හෙලිකොප්ටර් අතරින් එකක් ලෙස නම් කරන්නට පුළුවන්.

නවවෙනි බලඝනය සිය 20 වන සංවත්සරය සමරමින් (Sri Lanka Air Force)

පාබල හමුදාවට ශක්තියක් වෙමින් සතුරු කඳවුරු හා සතුරු බරඅවි විනාශ කරමින් භූමියේ සිටින හමුදා ඛණ්ඩයන්ට නොමඳ සහයක් ලබා දුන් Mi 24 වර්ගයේ හෙලිකොප්ටර් 7ක් යුද්ධ සමයේ LTTE ගුවන් යානා නාශක මිසයිල වලට අසු වී විනාශ වෙනවා. 2001 වසරේ කටුනායක ප්‍රහාරයේදී නවතා තිබූ එක් යානයක් විනාශ වෙන අතර අනුරාධපුර ගුවන් කදවුරට LTTE ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් තවත් හෙලිකොප්ටරයක් විනාශ වෙනවා.

හතරවන ඊළාම් යුද්ධය නිම කිරීමේදී දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් Mi 24 හෙලිකොප්ටර් බලඝනයට 2009 වසරේදී ජනාධිපති වර්ණ හිමි වෙනවා.

යුද්ධයේදී  භාණ්ඩ හා මගී ප්‍ර‍වාහනයේ යෙදුණු  Mil Mi 17 හෙලිකොප්ටරය

Mi 17 හෙලිකොප්ටරය (Colombo Gazette)

පසුගිය දින කිහිපයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ආපදා කළමනාකරණයේ නියුතු හෙලිකොප්ටරයක් බද්දේගමදී කඩාගෙන වැටුණු බව ඔබට හොඳින් මතක ඇති. එසේ කාර්මික දෝෂයකට ලක් වී කඩා වැටුෙණ් සහන සැලසීමේ නිරතව සිටි Mi 17 හෙලිකොප්ටරයක්.

මෙම හෙලිකොප්ටරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙන්නේ 1993 වසරේදීයි. යුද්ධ භටයන්, භාණ්ඩ මෙන්ම විශේෂ පුද්ගලයන් රැගෙන යෑමට ගුවන් හමුදාව විසින් මෙය යොදා ගත් අතර ඉතිහාසය පුරාවට ක්‍රියාකාරීත්වය අතින් ඉතා විශ්වාසදායක මට්ටමක පැවතිනි.

බහුකාර්ය හෙලිකොප්ටරයක් වන මෙය1967 වසරේදී රුසියාවේ Mil Moscow Helicopter Plant විසින් නිර්මාණය කළ Mi 8 හි වැඩි දියුණුවක් ලෙස නම් කළ හැකියි. එම සැකිල්ලම පදනම් කරගෙන 1977 වසරේදී සෝවියට් රුසියාවේ Kaazan හා Ulan Ude කර්මාන්ත ශාලාවලදී Mi 17 නිපදවනු ලබනවා. Twin Turbine එන්ජින් ද්විත්වයකින් සමන්විත වෙන අතර සතුරාට ඉලක්ක නොවී වැඩි උසකින් ගමන් කිරිමට හැකියාවක් තිබෙනවා.

යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා යොදාගත් MI 17 (www.incentivetoursrilanka.com)

1993 වසරේදී වවුනියාව ගුවන් හමුදා පරිශ්‍රය මුල් කරගනිමින් හයවන බලඝනය ලෙස ස්ථාපිත වන Mi 17 හෙලිකොප්ටර් බලඇණිය ලංකාවේ යුද්ධමය වාතාවරණය පැවති කාලයේදී ගුවන් පැය 5000 කට වඩා ගුවන් ගත වෙමින් ටොන් 70 ක පමණ භාණ්ඩද 6000 කට අධික තුවාල ලත් සෙබළුන්ද ප්‍ර‍වාහනය කරමින් යුද්ධ ජයග්‍ර‍හණයේ නියමුවන් ලෙස කටයුතු කරනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වලට පිටත් වීම සදහා සුදානම් කළ Mi 17 හෙලිකොප්ටර්යානා (airforce.lk)

යුද්ධය නිමවීමෙන් පසුව 2012 වසරේදී නැවතත් රුසියානු රජයෙන් මෙම හෙලිකොප්ටර් කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදී ගන්නවා. වර්තමානය වන විට මෙම හෙලිකොප්ටර් තුනක් හා කාර්ය මණ්ඩලය 120 දෙනෙක් පමණ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වල නිරත වී සිටිනවා. ශ්‍රී ලංකාවේ ඇති වූ බරපතල ගංවතුර හා නායයෑම් වැනි තත්ව වලදීත් ලැවුගිනි ඇති වූ අවස්ථා වලදීත් ඒවා කළමනාකරණය කිරීමට යොදවනු ලබන්නේ Mi 17 හෙලිකොප්ටරයයි. ඉන්දියාව මෙන්ම ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සිදු කරන ඇමරිකන් හමුදාවද මෙම හෙලිකොප්ටරය භාවිතා කරනු ලබන්නේ එහි ඇති විශ්වාසනීත්වය හේතුවෙන්.

මුලාශ්‍ර – www.airforce.lk, www.russianhelicopters.aero

කවරයේ ජායාරූපය – Asian Mirror

Related Articles